තවත් සතියක පමණ කාලයක් ධනංජයට රෝහල් ගතව සිටින්නට සිදු විය. දියුණු රටක වුවත් එහිදී ඔහු වෙනුවෙන් නියමිත වෛද්‍ය ප්‍රතිකාර සිදුවී නොමැති බව වෛද්‍ය වරුන්ගේ මතය විය.
“ අක්කේ හෙට අයියගේ ටිකට් කපනවා කියලා කිව්වා.”
ඒ පණිවිඩය පැමිණෙද්දී හසාරා උන්නේ පාසලේය. කාලච්ඡේදය නිමාවනතුරු සිට ඈ ඉන්දුමා සොයා යන්නට සැරසුණේ ඒ බැව් පවසන්නටය. එහෙත් ඇයට විවේක කාමරයට යන්නට මත්තෙන් ඕ මගදීම හමුවිය.
“ සර් කෝල් එකක් දීලා කිව්වා ඔෆිස් එකට එන්න කියලා. සතුටුදායක ආරංචියක් වෙන්න ඕනේ. හරි සතුටකින් කතා කලේ..”
ඈ පැවසූයේ හසාරාගේ දකුණතින් අල්ලාගෙනය. දෙදෙනාම කුඩා කාර්යාල කාමරයට ගියේ ඒ ආරංචිය කුමක්දැයි සිතමින්ය. හසාරා ඇය සොයා පැමිණි කාරණය පවසන්නට මඳක් පමා කලේ හිතා මතාමය.
බුවනෙක සිටියේ කිසියම් ලිපියක් කියවමින්ය. තරුණ ගුරුවරියන් දෙදෙනා දුටු ඔහු පුටුවේ මදක් පසුපසට වූයේ සිනහසීගෙනමය.
“ ඒකනම් සතුටුම දායක ආරංචියක් වෙන්න ඕනෙ බුවනෙක සර්. හිනාවෙන්ම ඒක තේරෙනවා…”
“ මගේ ජීවිතේ එක ජයග්‍රහණයක්. ඒ උනාට මට දැනෙන්නේ ඒක අපි හැමෝගෙම ජයග්‍රහණයක් වගේ. ඉඳගන්න ඉන්දුමා..හසාරා…”
දෙදෙනා බුවනෙක ඉදිරිපස වූ යකඩ පුටු දෙකෙන් අසුන් ගත්තේ මුහුණෙන් මුහුණ බලා ගත්තාට පසුවය. මෙම පාසලේ අදටත ඇත්තේ අවම පහසුකම්ය.හරිහැටි කබඩයක් නොවීය. පන්ති කාමර විවේකාගාරය සේම කුඩා කාර්යල කාමරයෙත් බිම සිමෙන්ති ගැලවී වලවල් සෑදී තිබිණ. අත්‍යාවශ්‍ය ලිපි ලේඛන දමා තිබූ කබඩය පවා බුවනෙක සිය පුද්ගලික මුදලින් රැගෙන ආ එකකි. කාර්‍යාලය තුළ අමුත්තන්ට අසුන් ගැනීමට ඇත්තේ දරුවන් පාවිච්චි කරන අයුරේ යකඩ පුටු දෙකකි.
බුවනෙක තමා අත වූ ලිපිය දිගු කළේ හසාරා දෙසටය.
“අනේ…ඒකනං හරිම සතුටක් තමයි. සර්ට අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් විදිහට පත්වීම හම්බවෙලා..”
“ අපේ සුභ පැතුම් සර්…”
ඉන්දුමා පැවසූයේ සිනහමුසුවය. දෙදෙනාම නැගි සිට තමා ඉදිරිපස උන් තරුණ විදුහල්පතිවරයාට සුභ පැතුවේ එකටමය.
“ මං මේක බලාපොරොත්තු උනා. මේ ඉස්කෝලේ විතරක් නෙමෙයි. මේ කලාපෙ තව ගොඩක් ඉස්කෝල තියෙනව දියුණු වෙන්න ඕන ඒවා. අහල තියෙනවනේ පාසලක් දියුණු කරන එක දහම් පාසලක් අරින එක හිර ගෙවල් දහයක් වැහෙන වැඩක් කියලා. මේවයෙ හරි දක්ෂ දරුවෝ ඉන්නවා. එයාලට ඉස්සරහට යන්න ක්‍රමයක් අපි හදලා දෙන්න ඕනේ. මොකද අපි මේ රටේ මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් ඉගෙන ගතපු අය…”
හසාරා ඔහු දෙස බලා සිටියේ සිනහවක් මුවග තවරාගෙනය. ඈ ප්‍රිය කරන්නේම ඔහුගේ මේ වදන්වලටය.
“ සර්ට ඉක්මනින් අපේ ඉස්කෝලෙන් අයින් වෙන්න වෙනවා. හිතට සතුටුයි සර් මීට වඩා හොඳ පුටුවකට යන නිසා. මීට වඩා වැඩක් කරන්න පුළුවන් පුටුවකට යන නිසා. ඒ උනාට අපේ ඉස්කෝලේ පාලු වෙලා යාවි.”
ඉන්දුමා එසේ පැවසූයේ හසාරාගේ දකුණත මිරිකා ගෙනය. ඒ බැව් බුවනෙක දුටුවේ නැත. ඒ හැඟීමම හසාරාටත් දැනෙමින් තිබිණ. එහෙත් ඕ ඒ හැඟීම වදන් වලට පෙරලන්නට ඉක්මන් නොවූවාය.
“ එහෙම හිතන්න එපා. මේ පුටුවට අලුත් කෙනෙක් ඒවි. සමහරවිට එයා මටත් වඩා හොඳට මේ දරුවන්ව බලා ගනීවි. හසාරා මට අහන්න බැරි වුණා. දැන් කොහොමද ධනංජයගේේ තත්වය.”
“ හෙට ධනංජය ඩිස්චාර්ජ් කරනවා කියලා මල්ලි කෝල් එකක් දීලා කිව්වා. මම හිතුවේ එයාලා එක්ක මහ ගෙදරට ගිහිල්ලා එන්න.”
“ දැන් ඔය කලා මදිද හසාරා.. එහේ මැරෙන්න යද්දි ලංකාවට ගෙන්නලා දුන්නා. ඊට පස්සේ ලක්ෂ ගානක් වියදම් කළා. දවස් හතර පහකට සැරයක් කිලෝමීටර් ගානක දුරක් තනිම වාහනේ එලවං මහන්සිය බලන්නේ නැතුව ඉස්පිරිතාලේ ගියා…”
ඉන්දුමාගේ වදන්වල වුයෙ නොරිස්සුමකි.කෝපයකි..
“ නෑ ඉන්දුමා..හසාරා හොඳයි කියලා හිතෙන දේ කරන්න එයාට ඉඩ දෙන්න.. හැබැයි හොඳට හිතල බලලා. ජීවිතේ කාලයක් ගිහිල්ලා ආපස්සට හැරිලා මට ඒ වෙලාවේ කරන්න තිබුණ යුතුකම මං කලේ නෑ කියලා හිතට පසුතැවීමක් ඇතිකර ගන්න ඕන නෑ..”
එවර බුවනෙක පැවසූයේ හසාරා දෙස බලාගෙනය.
“ මං ඒකනෙ කියන්නෙ. ඔය දෙන්නම එකම විදිහයි. ඕනවට වඩා පරාර්ථකාමී වෙලත් මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ බුවනෙක සර්..”
“ ඇයි බැරි එතකොට අපේ හිත සතුටින්.”
“ මට දැන් ඕනේ මේ හැම මතකයක්ම අමතක කරලා දාන්න. තව ටික කාලයක් ගිහිල්ලා හරි ධනංජය සනීප වෙයි. එයාගේ ජීවිතේට අනතුරක් නෑ කියලා අපි මේ මොහොතේ දන්නවනේ..කමක් නෑ ඉන්දු මම ඒකත් කරනවා..එතකොට බුවනෙක සර් කියන්න වගේ මගේ හිත සතුටින්..”
“ අනේ මන්දා ඔය දෙන්නා ඕන දෙයක් කරගන්න. මට නම් ඔච්චරම පරාර්ථකාමී වෙන්න බෑ එච්චරයි…”
“ ඒකනේ ඔයා හසාර වගේ සුදු නැත්තේ..”
“ ආ..ආ…ඒ මොකක්ද ඒ සුදු කළු බේදය..”
“ හසාරා පරාර්ථකාමී හින්දා, හසරා කාත් එක්කවත් කේන්ති ගන්නෙ නැති හින්දා, හසාරා කාටවත් වෛර කරන්නේ නැති හින්දා එයා දවසින් දවස ලස්සන වෙනවා…මේ අව් කාෂ්ඨකේ ඉඳලත් කලු වෙන් නෑ..”
“බුවනෙක සර් කොහොමහරි මගේ පිටින් දාලා හසාරා ලස්සනයි කියන එක එයාට කියාගත්තා…බලාගෙන ඉමුකෝ අපිත් ඉන්නේ මේ රටේ නේ…”
එවන් විහිළුවක් කරන්නට තරම් ලෙන්ගතුකමක් දැන් තිදෙනා අතර ඇතිව තිබිණ. හසාරා උන්නේත් හිනැහෙමින්ය.
“ ඉතිං බුවනෙක සර්ට හෙටයි අනිද්දයි වැඩක් නැත්තං අපිත් යමුකෝ හසාරා එක්ක. සමීරත් කැමති වෙයි. කීප පාරක්ම කිව්වා ධනංජයව බලන්න යන්න ඕනෙ කියලා. මට නං මේ සෙනසුරාදා ඉරිදා ඒ තරම් ලොකු වැඩක් නෑ.”
“ මට ප්‍රශ්නයකුත් නෑ. හසාරාගේ අකමැත්තක් නැත්නම්.”
“ අනේ ඇයි මං අකමැති වෙන්නේ. ඔය දෙන්න එනවනං ඒක මට ලොකු ශක්තියක්.”
“ හැබැයි ඔන්න දැම්මම මතක තියාගන්න. අඬන්නනම් ලෑස්ති වෙන්න එපා. ඒ කඳුළු ඊට වඩා වටිනාකමක් ඇති කෙනෙක් වෙනුවෙන් තියාගන්න. අඬන්න ඕනෙම නං අපි බුවනෙක සර් කලාපෙට ට්‍රාන්සර් වෙන දවසට ඇති වෙනකල් අඬමු..”
“ අපෝ එපා..අනිත් ගුරුවරු හිතයි මේ ටීචර්ස්ලා දෙන්නට ප්‍රින්ස්පල් බෙදාගන්න බැරුව රණ්ඩු වෙලා අඬනවා කියලා..”
බුවනෙක පැවසූයේ සිනහසෙමින්ය. ඉතිරි සැලසුම් ගැන අඩ හෝරාවක් පමණ කතා කරමින් උන් මිතුරියන් දෙදෙනා කාර්යාල කාමරයෙන් පිට වූයේ පසුදා ගමනට වේලාවත් තීරණය කරගත්තාට පසුවය.
======*******======******=======******
ධනංජය උන්නේ තමා ගැනම උපන් කලකිරීමක් දරාගෙනය. කිසිදු මැසිවිල්ලක් නොනගා හසාරා සිනහ මුසුව තමාට පිහිට වූ ආකාරය ගැන ඔහු බලා උන්නේ මහත් වූ පසුතැවීමක් සිතෙහි තබා ගෙනය. මේ ඒ හසාරාමය. වසර හයකටත් වැඩි කාලයක් පුරා තමා ප්‍රේම කළ හසාරාමය. තවත් වසර හයකට ආසන්න කාලයක් පුරා එක යහන බෙදාගත් බිරිඳමය. ඇය වෙනස්ව තිබුණේ නැත. වෙනස් වූයේ තමාය. තම සිතය. හිතා මතා දුක තුරුළු කර ගත්තේ තමාමය.
ගෙවී ගිය කාලය පුරා සොහොයුරාත්, නැගණියත්, වරින් වර රෝහලට පැමිණ ගිය කසුනුත් බොහෝ දේ පැවසූහ. හසාරා හිත හදාගත් ආකාරය ගැන ඔවුන් පවසද්දී ධනංජයට දැනුනේ තම පපුව පිහිතුඩකින් සිදුරු කරන්නා සේ වේදනාවකි. දින දෙකකට ඉහතදී නීතිඥ සුරංජිත් පැමිණ ගියේ ධනංජය ඔහුට දුරකථන ඇමතුමක් ලබා දුන්නාට පසුවය.
“ හසාරා මේ සිටුවේෂන් එකට මුහුණ දීපු හැටි මතක් වෙද්දි අදටත් ඒක මහා වේදනාවක් වෙලා මගේ හිතේ තියෙනවා ධනංජය. ඔය මනුස්සයා ඇවිල්ලා නිනව්වක් නැති ගානට මගේ ඔෆිස් එකේ වාඩිවෙලා බලාගෙන ඉන්නවා. එක දවසක් මගේ ඔෆිස් එකේ ඉඳලා ගිනි අව්වේ කුඩයක් නැතුව කිලෝමීටර් ගානක් ඇවිදගෙන ගියා…කාලාන්තරයක් යනකල් කොයි වෙලාවෙ බැලුවත් හසාරාගේ ඇස්වල කඳුලක් තිබුණා. ඔයා එයාව දාල ගියාට පස්සේ මං හසාරා අදිනවා දැක්කේ සුදු විතරයි. හසාරා තමන්ගේ හිතත් එක්ක ලොකු යුද්ධයක් කරන්න ඇති මේ තැනට එන්න..ඒත් මං හිතන්නෙ නෑ අදටත් එයා සම්පූර්ණයෙන්ම එයාගේ හිත හදාගෙන ඇති කියලා. හසාරා එයාගේ ගේ විකුණලා දාන්න තීරණය කරපු වෙලාවේ පැයකට වඩා මමත් එක්ක ෆෝන් එකෙන් කතා කළා. එයා කිව්වා ඔය ගෙදර හැම වැලි කැටයකම ඔයාල දෙන්නගෙ ආදරේ, මහන්සිය, දාඩිය, කඳුළු ගෑවිලා ඇති කියලා. ඒ ගෙදර ඉන්නකොට ඔයා ළඟ ඉන්නවා වගේ එයාට දැනෙනවා කියලා. වෙලාවකට එයා ඔයාට කතා කරනවා කියලා..මට මතකයි හසාරා කිව්වා මගේ ජීවිතේ ලස්සනම කාලෙ ගෙවිලා ගියේත් මගේ ජීවිතයේ දුක්බරම කාලෙ ගෙවිලා ගියේත් මේ බිත්ති අතරෙ කියලා..
ඒ අතහැරීම නිර්දෝෂී ගැහැණියකට මහා වේදනාවක්…”
ඔහු එසේ පවසද්දී ධනංජයගේ දෑස් දෙපසින් ගලා ගියේ කඳුළු වැලකි. ඔහුට අවැසි වී තිබුණේ සිත රිදවා ගන්නටය. අවසන ඔහුට ඒ රිදීමත් සැපයක් වී තිබිණ.
“ ධනංජයට තිබුණා එකම එක සැරයක් හසාරාත් එක්ක කතා කරලා හිතේ තියෙන අපැහැදීම දුරු කරගන්න උත්සාහ කරන්න. ඒත් ඔයා එහෙම කලේ නෑ. දික්කසාදය කියන්නේ ගැහැණියකට මානසික වේදනාවක්…මම මගේ ඇස් දෙකට දැක්කා හසාරා උපරිමයෙන්ම ඒ වේදනාව විඳිනවා.”
සිය ලය පැලී තමා මිය යාවියැයි ධනංජයට සිතුණි. එය එසේ වනවානම් හොඳය. මේ වේදනාව දෑස් පියවෙන තුරාම තමා දවන වේදනාවක් බව විශ්වාසය.
නිර්මිතා තමාගේ පළමු සැමියා සමඟ ප්‍රංශයේ ජීවත්වන බව ධනංජයට පැවසූයේ සොයුරියයි.ඒ බැව් ඈ දැනගෙන තිබුනේ හසාරාගෙන්ය. ඒ දෑස්වල පවා ලියැවී තිබුණේ උඹට හොඳ වැඩේයැයි පවසන අයුරේ කතාවකි. හසාරාට ද්වේශ කරන්නට තමා ඔවුන්ව පවා පෙළඹවූ අයුරු සිහිවද්දී ධනංජයට තමා ගැනම දැනුනේ කලකිරීමකි. නිර්මිතා පවා තමාව පාවිච්චි කර තිබුණේ ඇගේ අරමුණට ගමන් කරන්නටය. ඇය ගැන මේ සිතෙහි කවදාවත් පැහැදීමක් නොවූ බව සැබෑය. එහෙත් හසාරාව රිදවන්නට තමාත් ඇයත් එකතු වූයේ පුදුමාකාර ලෙසය.
“ අයියට දැන් තියෙන්නේ හසාරා අක්ක එක්ක ආපහු කතා කරන්න..අයියා ඒ වැරැද්ද කලාට හසාරා අක්කා වැරැද්දක් කළේ නෑනෙ. අනිත් එක ඔයා හසාරා අක්කව ඩිවෝස් කරලා තියෙද්දිත් එයා මේ විදිහට එන්නේ අපිට උදව් කරන්නේ ඔයා ගැන තවමත් ආදරයක් හිතේ තියෙන නිසාවෙන්න ඇති අයියේ. මංනං කියන්නේ තවත් පරක්කු කරන්නෙ නැතුව ඔයා හසාරා අක්කත් එක්ක කතා කරන්න. එතකොට ඔයාටත් ට්‍රින්කෝ යන්න හරි පුළුවන්නේ. අම්මටයි තාත්තටයි ඔයාව බලා ගන්න අපහසුයි අයියේ. අනිත් එක හැමදාම මේ විදිහට ඉදලා මල්ලිගේ ජීවිතෙත් විනාස වෙලාා යයි.”
ධනංජය පුදුම වූයේ නැත. තමා දැන් සැමටම බරක් වී අවසන්ය. දිගු සුසුමක් මුදා හැරියා මිස ධනංජය තම නැගණියට පක්ෂව හෝ විපක්ෂව කිසිවක් පැවසූයේ නැත. එහෙත් ඔහු තම ජීවිතයේ වර්තමානය තීරණය කර අවසන්ය. වෛද්‍යවරුන්ගේ මතය වී තිබුණේ විෂ බීජය හේතුවෙන් දුර්වලව ගිය මොළයේ සියුම් ස්නායු යළි වර්ධනය වීමට කෙටි කාලයක් ගතවන බවත් ඒ කාලය පුරාම තමා ඇඳකට වී සිටීම සුදුසු බවත්ය. කවුරුන් තමාව ප්‍රතික්ෂේප කලත් මවත් පියාත් තමාව ප්‍රතික්ෂේප නොකරන බවට විශ්වාසයක් ධනංජය තුළ විය. හසාරා තමා වෙනුවෙන් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින රෝද පුටුවේ ඡායාරූපයක් ඊයේ සොහොයුරා වෙත වට්ස්ඇප් මාර්ගයෙන් එවා තිබිණ. එය සැප පහසුකම් වන මිල අධික එකකි. එනිසාම තමාට තමාව බලා ගත හැකි වෙතැයි ඔහු විශ්වාස කළේය. තනිවීම මිනිසුන්ට තමාවත් හඳුනාගෙන අන් අයත් හඳුනාගන්නට ලැබෙන පරීක්ෂණයක් වැනිය.
( හමු වෙමු අවසන් කොටස සමගින්…)