“ඇත්තමයි නෙලී මට වෙන ජොබ් එකක් ඔයාට මේ වෙලාවේ හොයලා දෙන්න පුලුවන් වුණානම් මං ඔයාව මෙතනින් අරන් යනවා.ඊයේ සිල්වි ආන්ටි මට රෑ කෝල් කල වෙලාවේ මට ඇත්තෙන්ම ඇවිල්ලා ඔයාව මගෙ අපාර්ට්මන්ට් එකට අරන් යන්නත් හිතුණා….ශිට් අප්පා….මේ ස්ටීව් නම් මහ ජරාම මනුස්සයෙක්”
හමුවූ මොහොතේ පටන් මාලිකා පුපුරා හැලුණාය.
රාත්‍රිය පහන්ව නින්දක් ලැබීමෙන් අනතුරුව නිලංගා සිල්වියා ක්ලිෆර්ඩ් මුණ ගැසෙන්නට උඩුමහලට ගියේ පෝලාද සමගිනි. පෙරදා ඇයද බිම ඇද වැටුණ හෙයින් ඇයගේ එක් පාදයක තරමක ඉදිමුමක් වූ නිසා පහළ මාලයට එන්නට නොහැකි බව පෝලා දන්වා උන්නාය.නිලංගා ඇය සමගින් ගොස් සිල්වියා මුණගැසුණාය.
“නෙලී ඇත්තෙන්ම අපිට සමාවෙන්න ඊයේ වුණ දේට.මගෙ පුතා ස්ටීවන් හරිමම කේන්තිකාරයෙක්.එයාගේ ලෝකෙන් වැඩි හරියක්ම අයිතිකරන් ඉන්නෙ අපේ අම්මා ඒකයි ඔය ඊයෙත් කලබල වෙලා තියෙන්නෙ.ඒ උනාට දුර දිග හොයන්නෙ බලන්නෙ නැතුව කෑගහපු එක හරිම වැරදියි.අනේ සොරි නෙලී …ඔයාට පටන් ගන්නත් කලින් ජොබ් එක එපා වෙන්න ඇති…”
සිල්වියා ක්ලිෆර්ඩ් කණගාටුව ප්‍රකාශ කලාය.නිලංගා මඳ සිනහවක් පෑවාය.
“අපි කාගෙන් උනත් අතපසුවීම් , වැරදීම් වෙන්න පුලුවන් නේ මැඩම්.මගෙ හිත රිදුණා තමයි.නමුත් මම ඒක අමතක කරන්නම්….අද මාලිකා…සොරි මෙලා මාව එලියට එක්ක යන්න එනවා කීවා.මම ගිහින් එන්නම්..”
කෙටි සංවාදයකට පසු නිලංගා පහළ මාලයට එනවිටද මාලිකා ඇය වෙනුවෙන් බලා උන්නාය.පෙරදා රාත්‍රියේ සිල්වියා ක්ලිෆර්ඩ් සිදුවූ තතු පවසූ මොහොතේ ඒ සම්බන්ධව සිය අප්‍රසාදය පළ කළ හෙයින් නැවතත් ඒ සම්බන්ධව ඇය සමගින් කතාකළ යුතු නොවේ යැයි ඇය සිතුවාය.
“මට හිතාගන්නවත් බැරිඋනා මෙලා…මම මේරි මැඩම්ව කලබල නොකර වෝම් කරලා හෙමින් එයාව නැගිට්ටවන්න හැදුවා විතරයි.මිස්ටර් ස්ටීව් හරිකේන් එකක් වගේ කඩාපැන්නා..මාව තල්ලු කලා…මැඩම්ව අත්දෙකට උස්සාගත්තා…මට බැන ගෙන බැනගෙන ගියා ..මම බිත්තියේ වැදිලා නැවතුණේ….”
මාලිකාහට නිල්ව ගිය වැලමිට පෙන්වමින් නිලංගා පැවසුවාය.
“දෙයියනේ මේක හොඳටම තැලිලා වගෙනෙ….අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යමුද නෙලී…”
මාලිකා බෙහෙවින් කලබල වූවාය.
“නෑ නෑ මම පෝලාගෙන් ඉල්ලගෙන අයිස් තිව්වා…පැය විසිහතරක් වගේ යයි තැල්ම අඩුවෙන්න…මම බාම් මොනවා හරි ගාගන්නම් ඉන් පස්සෙ…”
නිලංගා පැවසුවාය.
“මට ජීවිතේ වැඩිකාලයක් තියෙන්නේ බැනුම් අහපු මතක මෙලා …ඊයේ මේ ජොබ් එක ලැබුණාම මම හිතුවා මට දැන්වත් පාඩුවේ සතුටින් ඉන්න ලැබෙයි කියලා. ..ඒත් හවස වුණ මේ දේට පස්සෙ මට ආපහු මගේ අනාගතය ගැනත් බයයි…”
නිලංගා සුසුමක් හෙළුවාය.
“අනේ එහෙම හිතන්න එපා නෙලී….මම ඉන්නවානෙ ඔයාට.හිතන්නකො මම ඔයාගෙම සිස්ටර් කියලා…ඒක නෙවේ ඇත්තෙන්ම මේ ඉක්මනින් අපි යාලුවුණාට මම ඇත්තෙන්ම ඔයාගේ ෆැමිලි එක ගැනවත් ඇහුවේ නෑනෙ…මමී, ඩැඩී එහෙම …ඔයාගෙ සිබ්ලින්ස්ලා එහෙම …එයාලා ලංකාවෙ නේද?”
නිලංගා එක්සත් රාජධානියට උසස් අධ්‍යාපනයට පැමිණි බවත් ඇය ඉන්නා නිවහනත් ගැන විනා වෙනත් පෞද්ගලික තොරතුරු ඔවුන් අතර හුවමාරු වූයේ නැති තරම්ය.
නිලංගාත් මාලිකාත් රිය නවතා උද්‍යානයකින් වටවූ කුඩා අවන්හලක් වෙත ඇවිද එමින් උන්හ.මාලිකා ගේ සිහිගැන්වීම මත සිත ලංකාවට ඉගිල ගියද සිතට සැනසුමක් සතුටක් ගෙනෙන පවුලක මතකයක් නිලංගා සතු නොවුණි.
උද්‍යානයේ කෙළවරක වූ මේසයක හිඳගත් නිලංගා මාලිකා දෙස සිනහවත් හැඬුමත් අතර බැල්මකින් බලා ඉඳ හඬ අවදිකළාය.
“ඇත්තෙන්ම මෙලා…මට ඊයෙ ඉඳන් මේ ඔක්කොම කාටහරි කියලා හිත පොඩ්ඩක් නිදහස් කරගන්න ඕන වෙලා හිටියේ.මෙච්චර කාලයකට මේ ඔක්කොම හිතේ මම තදකරන් උන්නේ තිබ්බ හයියට.ඒත් මට හරිම හිතට ස්ට්‍රෙස් ගතියක් දැන් දැන් එන්නේ….”
නිලංගා දෑඟිලි තුඩින් සිය ඇස් කෙවෙණිවල වූ කඳුළ තද කොට ගත්තාය.
“නෙලී මේ අහන්නකො…මේ ඔක්කොම දේවල් හෙටින් පස්සෙ අපි අමතක කරල දාන්න ඕනෙ.ස්ටීව්ගෙ කාරණය අපි පැත්තකින් තියමුකො.
මාව විශ්වාස නම් ඔයාගේ හිතේ තියන කියන්න ඕන කියල හිතෙන දේවල් අද කියන්න…මම අහන් ඉන්නම් දවසම හරි….”
මාලිකා නිලංගාගේ දෑතින්ම අල්ලාගත්තාය.සමහරක් ජීවිත සිදුවීම් හිත තුළ තියනා තාක් කල් ජීවිතය සැහැල්ලු නොවේ.අවුරුදු විසි ගානක් තිස්සේ නිලංගා හිත තුළ තද කොට ගෙන විඳවූයේ එම කටුක ජීවිතයයි.
“අපේ පවුලෙ අම්මයි තාත්තායි මායි නංගියි උන්නෙ මෙලා….නංගි මට වඩා අවුරුදු තුනක් බාලයි. නංගි හම්බ වෙන්න කලින් කාලේ මට ලොකුවට මතකයක් නතත් ඒ කාලේ මම මොකුත් ප්‍රශ්නයක් නැතුව උන්නා කියලා මට මතකයි.නංගි හම්බ වෙලා ගෙදර ගෙනාවට පස්සෙ ඉඳන් අම්මයි තාත්තායි මාව ටික ටික ඈත් කළා මට දැනෙන්න ගත්තා…”
“හුඟක් පුංචි කාලේ ඉඳන් සෙල්ලම් බඩුවේ ඉඳන් , කෑමේ බීමේ ඉඳන් මට වෙනස්කම් වෙන්න ගත්තා… ඒකට හේතුවක් මට තෝරාගන්න බැරි වයසක් ඒක.ඉස්කෝලේ ගිහින් ආවම අම්මා මට එක එක වැඩ පවරන්න ගත්තා.පොඩිම කාලේ පවා..මගේ ඉස්කෝලේ වැඩ පවා කියාදෙන්න කරලා දෙන්න උදව් වෙන්න කවුරුවත් මට උන්නෙ නෑ ….ඒත් මං ආසාවෙන් ඉගන ගත්තා…”
“මං මේ කියන්නේ හරිමම කෙටියෙන් මෙලා…නැත්නම් දවස් ගාණක් කියවන්න මට දේවල් මතක් වෙනවා..”
“මං පහේ ශිෂ්‍යත්ව විභාගය ඉස්කෝලෙ වැඩිම ලකුණු අරන් පාස් වුණාම අම්මා කීවේ එහා පැත්තේ ළමයාගෙන් එක්කෝ කොපි කරන්න ඇති නැත්නම් මගෙ උත්තර පත්‍රය බලපු කෙනාට වරදින්න ඇති කියලා…මගේ හිත එදා බිඳුණ තරම් ඔයාට හිතාගන්නවත් බෑ මෙලා…”
මාලිකා දෑස් විසල් කොට ගෙන අසා උන්නාය.ජීවිතයේ කිසියම්ම ලෙසක දෙමව්පියන්හට මෙසේ හැසිරිය හැකිදැයි ඇයට සිතා ගන්නටවත් නොහැකි විය.එවන් මොහොතක සිත රිදී දෑසේ කඳුළු පුරවාගෙන පස්සෙකට වී බලා ඉන්නා බිඳුනු දැරියක මාලිකා හට මැවී පෙනුණි.
“ඒ වගේම තමයි ඊට ටික කාලෙකට පස්සේ නංගි ශිෂ්‍යත්ව විභාගෙ ලිව්වම එයාට හුඟාක් අඩු ලකුණු ලැබිලා තිබුනේ.ඒ වෙලාවේ අම්මා කිව්වේ ඔය දෙකයි පනහේ විභාග මගේ කෙල්ලට ඕන නැහැ කියලා.ශිෂ්‍යත්ව විභාගේ පාස් වුණත් මාව වෙනත් ඉස්කෝලෙකට දාන්න අම්මයි තාත්තයි දෙන්නම කැමති වුණේ නැහැ.ඒක අනවශ්‍ය වියදමක් කියලයි ඒගොල්ලෝ නිතරම කිව්වේ…නමුත් ශිෂ්‍යත්වේ පාස්වුණේ නැතත් නංගිව ටවුන් එකේ තියෙන ලොකු ම කාන්තා පාසලට ඇතුළත් කලා.!
“මේ විදියේ වෙනස්කම් වෙන්නේ මොකක්ද කියලා මට ඇත්තටම තේරුනේ නැහැ.ඇඳුමක් පැළඳුමක් ගන්න ගියත් පමණක් බිමනක් ගියත් නංගිව ඉස්සර කරගත්තා මිසක් මාව පැත්තකට කරන්නමයි අම්මයි තාත්තයි දෙන්නමම බැලුවේ.මගේ පැත්තට කතා කරන්න හිටි එකම එක්කෙනා ආච්චි අම්මා විතරයි. ඒ අපේ තාත්තාගෙ අම්මා…ඒත් ආච්චි අම්මා උන්නේ ගමේ.”
“ආච්චි අම්මා හැම තිස්සෙම කිව්වේ..උඹල මේ කෙල්ලට කරන වෙනස්කම් කවද හරි ආපිට එනවා කියලා.ඒත් ආච්චි අම්මවත් මට කවදාවත් කිව්වේ නැහැ…අම්මයි තාත්තයි මටයි මෙහෙම වෙනස්කම් කරන්නේ කියලා…”
“නංගියි මායි ගත්තම අපි දෙන්නා පෙනුමෙනුත් ගොඩාක් වෙනස් වුණා.නංගි අම්මයි තාත්තයි වගේපෙනුමක් තිබ්බට මං ඒ දෙන්නම වගේ නෙමෙයි.අම්මයි තාත්තයි දෙන්නම ටිකක් මහතයි..ඒ වගේම කලුයි…ඔයාට හිතාගන්න පුළුවන්නේ එතකොට මං මේ කියන වෙනස…”
නිලංගා මාලිකා දෙස බලා සිනහවක් මුවට නගා ගන්නට උත්සාහ ගනිමින් පැවසුවාය.ඉතා පැහැපත් රුවැති සිහින් සිරුරැති මේ යුවතිය අසලින් සිටිනා…තරමක් තරබාරු එමෙන්ම සමේ වර්ණයෙන්ම තද පැහැගත් යුවතියක මාලිකාගේ මනසේ ඇඳුණි.
“අනේ ඒත් එහෙම වුණා කියලා මම නංගිට ගොඩාක් ආදරේකළා.මට උන්නේ එයා විතරයි.ඒත් අම්මයි තාත්තයි එයාගේ ඔලුවටත් පුංචි කාලෙ ඉඳලාම දැම්මේ මාව අයින් කරන්න කියන අදහස…”
මාලිකා නිලංගාගේ කතාව අසා උන්නේ බෙහෙවින්ම රිදුම් දෙන සිතකිනි.කුඩා වියෙහිදී පටන් මේ යුවතිය කෙතරම් කටුක අත්දැකීම් රැසක් විඳින්නට ඇත්දැයි ඇය සිතුවාය.ඇයට සහය වන්නට තමා පෙළඹුන සිතුවිල්ලම කෙතරම් යහපත් දෙයක්දැයි ඇයට යළිත් සිතුණි.
“මගේ ජීවිතේ ගැන විස්තර හුඟාක් ඇතුව කියන්න ගියොත් දවස් ගාණක් කියන්න මට දේවල් තියේවි මෙලා.ඇත්තෙන්ම මම මේ කතා ඔක්කොම හුඟාක් කෙටියෙන් ඔයාට කියන්නෙ…”
නිලංගා සුසුමක් හෙළා නැවතත් පැවසුවාය.රස කරමින් විස්තර කොට කියන්නට බැරිතරම් කටුක දේ ජීවිතයේ කෙතරම් සිදුවන්නට ඇත්ද.? කායික හිංසනයකට කිසිදා ලක්නොවූවද අම්මාත් තාත්තාත් නංගීත් තමා පෙළාලූයේ සමහරක් විට මානසිකව ගොඩ එන්නට බැරි මට්ටමටය.
අතිරේක පන්ති වලට සහභාගී නොවී සාමාන්‍ය පෙළ ඉහළ සාමාර්ථ ලැබ සමත්වී උසස් පෙළ අරඹන්නට සූදානම් වද්දී අම්මා එය වලකන්නට තැතනූ අන්දම නිලංගාට සිහිවිය.
“තාත්තාගෙ තනි පඩියෙන් දෙන්නෙක්ගෙ වියදම් කරන්න බැහැ. ඔයා ගාමන්ට් එකක හරි රස්සාවකට යන්න ලෑස්තිවෙන්න.ඕලෙවල් පාස් උනා කියලා ඔලුව උදුම්මා ගත්තාට ඒලෙවල් කරන්න බෑ ඒ වගෙ….”
අම්මාගේ කිසිදු තෙතමනයක් නැති කතාබහ නිලංගාගේ අනාගත සිහින මාලිගාවම බිමට සමතලා කොට දැමූ දිනය ඇයට සිහිවිය.එදා තරම් ඇයගේ ජීවිතය කඩා වැටුණු වෙනත් දිනයක් නිලංගාට මතකයේ වෙන නැති තරම් ය.