පුංචි සුරතලෙකුට අපේ ජීවිතේ කොයිතරම් වෙනසක් කරන්න පුලුවන්ද?

කිසිදු හැඟීමක් දැනීමක් නොමැති සේ ජීවත්වන මිනිසකුව වුවත් ආදරයෙන් වෙනස් කළ හැකි බව පෙන්වන අපූරු චිත්‍රපටයක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ.රිය අනතුරක් නිසා කුඩා කාලයේදීම දෙමව්පියන් වත් තමන්ගේ සහෝදරිය වත් අහිමි කරගන්නා ධර්මා කියන්නේ ආදරය නොලැබීම නිසා හෙම්බත් වූ , කර්මාන්තශාලාවේ රැකියාව ,මත්පැන් සහ ලෝක ප්‍රසිද්ධ චාලි චැප්ලින්ගේ වැඩසටහන් නැරඹීමත් ජීවිතය කරගත් අසල්වාසීන්ගේ අප්‍රසාදයට ලක් වූ පුද්ගලයෙක්. ඒත් ඔහුගේ ජීවිතය වෙනස් කරන ආදරණීයම කෙනෙක් ඔහුගේ ජීවිතයට එන්නේ ඉතාම අහම්බෙන්. ඔබට හිතෙයි ඒ පෙම්වතියක් කියලා.නෑ !

නීති විරෝධී අභිජනන මධ්‍යස්ථානයකින් පැනලා ඇවිත් , අනේක වාරයක් කුසගින්නේ ඉඳලා, අව්වෙන් වැස්සෙන් පීඩා විඳපු පුංචි සුනඛ සුරතලෙක් ධර්මා ජීවත් වෙන ජනපදය කිට්ටුවට එනවා.ඒ අතරතුරදී ඒ ජනපදය අසල පැවැත්වෙන සංගීත සංදර්ශනයකින් තමන්ගේ නින්දට බාධා සිද්ධවෙන නිසා කෝපයට පත්වෙන ධර්මා එය නවතා දමන්නට හිතාගෙන එතනට යනවා.සංගීත සංදර්ශනයේ අධික ශබ්දය නිසා බියට පත් වෙලා මුළු ගැන්විලා ඉන්න පුංචි සුරතලා ධර්මාව දකින්නේ ඒ වෙලාවෙදි.තමන්ව බියට පත් කරපු සැණකෙළිය නවතා දමපු ධර්මා ගේ පස්සෙන් යන මේ සුරතලා ඊළඟ දින කීපයේ දී ආහාරයට ගන්නේ ධර්මා කුණු කූඩයට විසි කරන ඉඩ්ලියි. ධර්මා ගේ අවධානය ලබාගන්න කොච්චර උත්සාහ කළත් , කිසිවෙකුත් ඇසුරු නොකරන ධර්මා ගේ අවධානය ලබා ගන්න මේ පුංචි සුරතලාට හැකියාව ලැබෙන්නේ නැහැ.

මේ අතරතුරේ දී දවසක් ධර්මා ජීවත්වන ජනපදයේ ම සිටින තරුණයෙකුගේ මෝටර් බයිසිකලය නිසා මේ පුංචි සුරතලා අනතුරට පත් වෙනවා. කෙසේ හෝ සුරතලාව වෛද්‍යවරයා වෙත ගෙන යන්න කිසිවෙකු ත් ඉදිරිපත් නොවෙන විට ධර්මා තමා පසුපස ආ පුංචි සුරතලාව තනිවම වෛද්‍යවරයා වෙත රැගෙන යනවා. අයිතිකරුවෙකු නොමැති නිසා ඇයව සුව වනතුරු රැක බලා ගන්න වෛද්‍යවරයා උපදෙස් දෙන නිසා ධර්මා අකමැත්තෙන් උනත් පුංචි සුරතලාව ගෙදර රැගෙන එන්නට කටයුතු කරනවා.

සතුන් ඇති කිරීම ජනපදය තුල තහනම් වුනත් ධර්මා ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ. ධර්මාගේ ප්‍රියතම වැඩසටහන චාලි චැප්ලින් වන නිසා පුංචි සුරතල් සුනඛයාට ” චාලි ” ලෙස ධර්මා නම් තබන්නේ ඒ ගැහැනු සුනඛයෙක් බවත් නොතකාමයි .උදෑසන අවදි වන විටත්, රාත්‍රියේ නින්දට යන විටත් ,රැකියාව අවසන් වී නිවසට එනවිටත් දකින චාලිගේ සුරතල් සහ ආදරණීය දඟකම් වලින් ධර්මාගේ නිවස පිරී යන්නෙ ටිකෙන් ටිකයි.

මේ අතරතුරදී දිනක් ධර්මා හදිසියේම අසනීප වනවා. ගිලන් රථයකින් ඔහුව රෝහලට රැගෙන ගිය පසු චාලි නිවසේ සිට රෝහල දක්වාම ගිලන් රථය පසුපස දිව ආ බව රෝහලේ අය ධර්මා සමඟ පවසන අතර චාලි රෝහලේ වීදුරු දොර අසල උඩ පනිමින් කලබල කරන බව ධර්මා දකිනවා. අහම්බෙන් හමු වූ සුරතලාගේ ආදරය සීමා රහිත බව ධර්මට දැනෙන්නේ ඒ මොහොතේදී යි.කිසිවෙකුටත් වෙනස් කිරීමට නොහැකි වූ ධර්මා ගේ සිතුවිලි එක මොහොතකින් වෙනස් කරන්නට චාලිට හැකි වෙනවා. කුඩා කල සිටම ආදරය අහිමි වූ ධර්මාගේ ජීවිතය ආදරයෙන් පුරවන්නට චාලි කටයුතු කරනවා.

ඒ ආදරය සහ සතුට උඩුයටිකුරු කරන්නට වැඩි දිනක් ගත වෙන්නේ නැහැ. දිනක් ධර්මා රැකියාවට ගොස් ආපසු නිවසට එනවිට ආහාර පවා නොගෙන අසනීප වී බිම වැතිරී සිටින චාලිව දකිනවා. වහාම ඇයව වෛද්‍යවරයා වෙත රැගෙන යන ධර්මාට අසන්නට ලැබෙන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පුවතක්.

චාලිගේ ආසාවන් ඉශ්ට කරන්න ධර්මා කැපවෙන්නේ ඒ පුවත අහන්න ලැබුණට පස්සේ. හැම හුරතලෙකුටම ලැබෙන්න ඕනේ ධර්මා වගේ ස්වාමියෙක් කියලා අපි ඔබට කියන්නේ ඒ නිසයි. ඔබ මේ චිත්‍රපටය නරඹන්නට ඕනේත් ඒ නිසයි.

තමන්ගේ ජීවිතය ආදරයෙන් පුරවා ආලෝකමත් කළ චාලිගේ සතුට වෙනුවෙන් ධර්මා විශාල කැප කිරීමක් කරනවා. ඒ චාලිගේ ආදරයත් අසීමිත බව දන්නා නිසා.

” ඔයා වාසනාවන්තයි නම් ඔයාගේ ජීවිතයටත් චාලි කෙනෙක් ඒවි ,
ඔයා වාසනාවන්තයි නම් විතරක් “

සමහර නික්ම යාම් අපට දරාගන්න අපහසු වෙන්නේ නැවත ඒ වගේ බැඳීමක් අපට නොලැබෙන බව දැනෙනකොටයි. ධර්මාටත් ඒ විදිහටම දැනෙන බව ඔබට මේ චිත්‍රපටය අවසානයේ දී වැටහේවි. ඒ වන විට ඔබේ දෑස් කඳුළින් තෙත් වෙලා තියේවි.

2022 ජූනි මස නිකුත් කෙරුණු මෙම චිත්‍රපටය මේ වන විට ලෝකයේම අවධානය සහ ආදරය දිනා ගෙන අවසන්. කිරන් රාජ් කේ විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද මෙහි ධර්මාගේ චරිතයට පන පොවන්නේ රක්ෂිත් ශෙට්ටියි. මිනිත්තු 164 ක් පුරාවට දිගහැරෙන චාලිගෙත් ධර්මාගේත් කතාව අවසානයේදී ඔබගේ ඇසට කඳුලක් එක් කරන බවට සැකයක් නැහැ. එය එතරම්ම සංවේදී වූ ආදර කතාවක්.

හැම මනුස්සයෙකුටම ජීවිතයේ එක් වතාවක් හෝ චාලි වගේ කෙනෙක් මුණගැහෙන්නට ඕනෑ බව චිත්‍රපටය නැරැඹීමෙන් පසුව ඔබට සිතෙන්නට පුළුවන් විතරක් නොවෙයි, ආදරය යනු වචනයෙන් පෙන්විය නොහැකි ක්‍රියාවෙන් පෙන්විය හැකි දෙයක් බවත් , ආදරයට මේ ලොව ඕනෑම දෙයක් වෙනස් කළ හැකි බවත් ” චාලි ” විසින් ඔබට කියනවා !

Related Articles

Don't Miss


Latest Articles