ප්‍රේමයේ නාමයෙන් සියල්ල ඉවසූ බිරිඳක්

“සමහර මිනිස්සු ගෝනුස්සෝ වගේ.කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ.වෙනස් කරන්නත් බෑ”

Netflix හරහා නිකුත් වූ Darlings චිත්‍රපටිය,ගෘහස්ථ හිංසනය කාන්තාවක මොනතරම් පීඩාවකට ඇද දමනවා ද යන්න මේ චිත්‍රපටියේ තරමට වෙනත් කිසිම චිත්‍රපටයක කතාබහකට ලක් වූවාදැයි සැක සහිතයි.

දිගින් දිගටම පහර දෙමින් මුහුණ තැලුණු තක්කාලි ගෙඩියක් බවට පත්කරන සැමියෙකුට නැවත නැවත අවස්ථා ලබා දෙන්නට සිහි කරන,රසවත් ආහාර පිස දීම සහ ආකර්ෂණීයව හැසිරීම මඟින් ඔහු වෙනස් කළ හැකි බව සිහිපත් කරන,දිනපතා ඔහු සමඟ ලිංගිකව හැසිරීම මගින් ඔහු නැවත දිනා ගත හැකි බව පවසන සයිබර් උපදේශකවරියන් ෆේස්බුක් කාන්තා සමූහවල අනන්තවත් මුණගැසෙනවා.නමුත් එවැනි උපදෙස් මොන තරමකට වින්දිතයා අනතුරේ හෙළනවා ද යන්න දැන ගන්නට නම් ඔබ මේ චිත්‍රපටය නැරඹිය යුතුමයි.

බද්රූ පියා අහිමිව මව සමග ජීවත්වන තරුණියක්.ඇගේ පෙම්වතා වූ හම්සා රැකියාවක් සොයමින් සිටියදී ඔහු ප්‍රීතියට පත් කරමින් ඔහුට රජයේ රැකියාවක් ලැබෙනවා.ඒ දුම්රිය සේවකයෙකු ලෙසයි.ටිකට් පත් පරීක්ෂකයෙකු ලෙස ලැබුණු මේ රැකියාවෙන් උද්දාමයට පත්වන ඔහු බද්රූ සමග ඉක්මනින් විවාහ වෙනවා.ඉන්පසු ඔවුන් පදිංචි වන්නේ ද මව ජීවත් වන මහල් නිවාස සංකීර්ණයේමයි.විවාහයෙන් පසු බද්රූ මුලදී පෙම් කළ හම්සා ඇත්තේ නැහැ.ඇය අතින් සිදුවෙන කුඩා වරදකට පවා ඔහු ඇයට බොහෝ පහර දෙනවා.කෑම ගනිද්දී ගල් කැටයක් හැපීම පවා ඈ තැලුම් තුවාල සහිතව පහර කන්නට හේතුවක්.මේ ගැන බද්රූගේ අම්මා හිඳින්නේ දැඩි වේදනාවකින්.

“ඔයා තාමත් පරක්කු නෑ.රෙදි ටිකත් අරගෙන ගෙදර එන්න පුතේ.”

අම්මා නිතරම  දියණියට එසේ පවසනවා.නමුත් විවාහයක් අවසන් කිරීම කටේ ඇති වතුර අහක දැමීම තරම් පහසු නොවන බව පවසමින් බද්රූ හම්සාට නැවත නැවතත් අවස්ථා ලබාදෙනවා.අනාගත සැලසුම් ගැන කිසිවක් ම නොතකමින් දිගින් දිගටම මත්පැන් පානය කිරීම ඔහුගේ සිරිත වී තිබුණා.මත්පැන් පානය කර නිවසට පැමිණ බද්රූගේ සුළු වරදක් හෝ සොයාගෙන පහර දීම හම්සාගේ එකම විනෝදය බවට පත් වෙනවා.නමුත් ප්‍රේමයේ නාමයෙන් බද්රූ සියල්ල ඉවසනවා.ඇයට ශාරීරික හානි සිදුවද්දී පවා ඉවසනවා.ඔහුගේ මත්පැන් පානය නවතන්නට ක්‍රම අත්හදා බලනවා 

“මීපාසානම් ටිකක් දුන්නනම් ඔය බීම සදහටම නතර වෙයි.”

අම්මා කෝපයෙන් එසේ පවසනවිට පවා ඇය ඔහු ගැන ආදරයෙන් ජීවත් වෙනවා.එක්තරා අවස්ථාවක බද්රූ මේ විඳින වේදනාව දරාගන්නටම නොහැකිව ඇය වෙනුවෙන් පොලිස් පැමිණිල්ලක් කරන්නේ ඇගේ සහ මවගේ ළඟම හිතවතා වූ සුල්ෆි නම් තරුණයා විසින්.නමුත් ඒ අවස්ථාවේ පවා බද්රූ සැමියාට සමාව දෙන්නට තීරණය කරනවා.මේ පැමිණිල්ල දමන්නේ අම්මා බව සිතමින් හම්සා බද්රූගේ අම්මාට ද පහර දෙනවා.

“එයාවද මාවද කියලා තෝරා ගන්න”

අම්මා එසේ පවසද්දී පවා බද්රූ හම්සා වෙතට යනවා.ඇගේ ජීවිතයට වසන්තය උදා වන්නේ හිටිහැටියේමයි.

නමුත් ඒ වසන්තය සදාකාලික එකක් ද?

බද්රූ ඇගේ සිහින සැබෑ කරගත්තා ද?

කාන්තාවන් ගෘහස්ථ හිංසනය සදාකාලිකවම දරා ගත යුතු ද?

කාන්තාවකගේ ඉවසීම අවසන් වන තැන සිදු වන්නේ මොන වගේ දේවල් ද?

මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු Darlings චිත්‍රපටිය හරහා ඔබට ලැබේවි.ආලියා භාත්ගේ වසර බව යළිත් තහවුරු කරමින් ඇය බද්රූ ලෙස විශිෂ්ට රංගනයක නිරත වෙනවා.විජේ වර්මා,රොෂාන් මැතිව්,ශෙෆාලි ශා වැනි රංගන ශිල්පීන් කිහිප දෙනෙකු මෙහි කරටකර රංගනයක නිරත වෙන බව කිව යුතුමයි.

සුන්දර පසුතල වල ගීතවලට නර්තනයේ යෙදෙන පෙම්වතුන් වෙනුවට මෙහි සැබෑ කලබලකාරී ජනාකීර්ණ ඉන්දියාව ද,එහි මහල් නිවාස,රජයේ රෝහල් සහ රෝහල්,දුම්රිය ස්ථානවල වටපිටාව ද අපූරුවට නිරූපණය වනවා.

නොගැලපෙන විවාහයක සිර වූ පසු ආදරයේ නාමයෙන් සැමියාට නැවත නැවත අවස්ථා ලබාදීම බොහෝ තරුණ බිරින්දෑවරුන් කරන වරදක්.මුහුණු තැලුණු තක්කාලි ගෙඩි බවට පත් වෙද්දී ගෙලෙහි ඇති තුවාල කර වසන ඇඳුම් වලින් පියවන්නට සිදු වෙද්දී,හැම සිහිනයම බොඳ වද්දී පවා ඉවසන ඔබ ඒ ඉවසීම අවසන් කළ යුතු දවස ගැන බද්රූ ඔබට වටිනා පාඩමක් කියා දෙනවා.ඒ විතරක් නෙවෙයි,බොහෝ ආසියාතික මව්වරුන් දියණියක දික්කසාද වනවාට දක්වන්නේ ඉතාම භීතියක්.පවුලේ නම්බුව ගැන සෑම මොහොතකම වදවෙමින් ඉවසීමට බල කරන අම්මලාට ද බද්රූගේ අම්මා හොඳ ආදර්ශයක් ලබා දෙනවා. දියණියකට අම්මා තරම් කෙනෙකු නැහැ.ඇය බොහෝ කරදර පටලවා ගන්නා මොහොතක පවා තමන්ගේ ආත්ම ගෞරවය ගැන නොසිතා ඇය ගන්නා ඕනෑම පියවරක ඇය සමඟ සිටගන්නා ෂම්සුන් වැනි මවක් හැම දියණියකටම ලැබිය යුතුමයි.

ගෘහස්ථ හිංසනය යනු පහසු කාරණාවක් නොවේ.නිදහස් වී පලා යන ඔබේ මාවත ගැන ඔබට සැක ඇතිනම් බද්රූ මුණ ගැසී ඇගේ ජීවිතයෙන් පාඩමක් ඉගෙන ගන්නට අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles