“මාර මහන්සියි අප්පා උදේ ඉඳල වැඩ කන්දරාවක් කරලා ඇවිල්ලා. කොන්දත් රිදෙනවා මගේ” කියාගෙන තමයි සමාලි කාමරේට ආවේ. හැමදාම ඉතින් සමාලි වොශ් එකක් දාන් නිදාගන්න කියල හිතාගෙන කාමරේට එන්නෙ රෑ නවයට විතර තමයි. බබා තාම පොඩි හන්දයි, කිරි ඉල්ලල අඬන හන්දයි උදේ පාන්දර නැගිටලා අරවින්දට ඔෆිස් අරගෙන යන්න ඕන කරන කෑම බීම හදන වෙලේ ඉඳලා ආයෙ අරවින්ද ගෙදර ඇවිල්ලා රෑ කෑම කාලා, වොශ් එකක් එහෙම දාලා, ෆෝන් එකේ ටික්ටොක් බල බල ඉන්න වෙලාව වෙනකම්ම සමාලි දාහක් වැඩ කරනවා.
සමහර දවසට නම් උදේම නැගිටලා කඩියා වගේ වැඩ කරන්න සමාලිට පණ තිබ්බට සමහර දවස්වල උදේ පාන්දර ඉඳ්අලා ඇඳගෙන ඉන්න නාවරයි, කුස්සියෙ දහ ජරාවයි, බබාගෙ හොටුයි චුයි ගෑවිච්ච නයිටිය ගලවන්නත් සමාලිට පුලුවන් වෙන්නෙ රැ අරවින්ද ආවටත් පස්සේ. ඒ වුණාට අරවින්ද නම් හිටියෙ කිසිම හැඟීමක් දැනීමක් නැති, ගඳක් සුවඳ්අක් දැනෙන්නෙ නැති, ඉන්න නොඉන්න කෙනෙක්ව පේන්නෙ කරන්නෙ නැති කෙනෙක් වගේ. අනික් එක බබා කොහොමත් පොඩි හන්දා දෙන්න අතර මෙච්චර කාලෙකට තිබිච්ච ශාරීරික ඇයි හොදැයිය පවා එහෙ මෙහෙ වෙලා තිබ්බ එකේ සමාලිට තියෙන ප්‍රශ්න මොනවද කියල අරවින්ද වත් අරවින්ද හිතන්නෙ කරන්නෙ මොනවද කියන එක සමාලිවත් දැනගෙන හිටියේ නෑ.
“කවද කොයිවෙලේ බැලුවත් ගෑණුන්ගෙ නාහෙන් අඬන එක නම් ඉවරයක් වෙන්නෙ නෑ නේද?” කියලා අරවින්ද අහද්දි තමයි අලුතෙන් අද රැට අදින්න හිතාගෙන අල්මාරියෙන් එලියට අරගත්ත නයිටියත් අරගෙන බාත් රූම් එකට යන ගමන නතර කරලා මූණෙ ප්‍රශ්නාර්තයක් ඇදගෙන අරවින්ද දිහා අමුතු විදියට බැලුවෙ.
“ඇයි එහෙම කිව්වේ?”කියලා සමාලි ආයෙ අහද්දිත් අරවින්ද නෙවෙයි එක මොහොතකටවත් ෆෝන් එකේ ටික්ටොක් ඇප් එක උඩ ඇලවිලා තිබිච්ච තමන්ගෙ ඇස් දෙක සමාලි දිහාවට හැරෙව්වෙ. ඒ උනාට දෙතොල් නම් තිබ්බෙ සන්මාලි වෙනුවෙන්ම වෙන් වෙච්ච කිණ්ඩි හිනාවකින් සැරසිලා කිව්වනම් හරියටම හරි.
“එහෙම කිව්වෙ ඉතින් වෙන කියන්න දෙයක් නැති හන්දා” කියල අරවින්ද කියද්දි උනත් සමාලිට ඇත්තටම හිතාගන්න පුලුවන් උනේ නෑ අරවින්ද මේ මොකක් ගැනද කතාකරන්නෙ කියලා.
“මොකද්ද අනේ ඔයා කියන්නෙ? මට නම් තේරෙන්නෙ නැ” කියලා හිනාවෙවී කිව්වට මොකෝ ඒ හිනාව ඇත්ත හිනාවක් නොවෙන බවත් මන්සියයි, ඇඟේ තැවරිලා තියෙන දාඩියවල අප්‍රසන්න කමයි එක්ක හිතේ තරහා පිරිල තියෙන විත්තියත් දැනගෙන හිටියෙ සමාලි විතරමයි.
“තමුසෙ කවද ඉඳලද කියනවකො කියන්නෙ ඔය වැඩ කන්දක් කරා, අරකයි මේකයි, ගෙදර වැඩවලින් නිවනක් නෑ අරකයි මේකයි කියලා”
“ඉතින් අරවින්ද මම ඇත්තනෙ කිව්වෙ. මං හැමදාම උදේ හතරහමාරට නැගිටිනවා. බබා ඇහැරෙන්න කලින් ඔයාට ඔෆිස් ගෙනියන්න උයලා දෙන්න. ඒ උයන අතරවාරෙ ඔයා බාතෘම් එකෙ ඉඳන් කෑගහද්දි ඔයාගෙ සපත්තු සෙරෙප්පු මේස් විතරක් නෙවෙයි අන්ඩර්වෙයාර් එක පවා මම එපාය ඔයාට ලං කරලා දෙන්න. ඒ අතරෙ බබා ඇඬුවොත් එක අතකින් ළමයව වඩාගෙන එයාව පරක්කරන ගමන්, ඔයාගෙ බත් මුල් ගැටගහන එකයි ඔෆිස් ගෙනියන බෑග් එක එහෙම ලැස්ති කරන එකයිත් කරන්න ඕන මම.
ඔයා ගියා කියල වැඩ ඉවර වෙනවද? නෑනෙ අරවින්ද. ඔක්කොම රෙදි හෝදලා, මිරිකලා ඒවා වේලෙන්න වැලට දාලා ආය වේලුනාම අරගන්න එක. හදිසියෙ හරි වැස්ස වෙලාවක නම් වොශ් රූම් එකේ ඉන්දැද්දි පවා දුවගෙන දුවගෙන ඇවිත් ආය ඒ රෙදි තෙමෙන්න කලින් අරගන්න, ගෙවල් අතුපතු ගාන්න, බබාව නලවන්න, රෑට උයන්න වැඩ කීයක් කියල තියෙනවද? ඔයා නිකමට මේ නෝණ්ඩි දාලා හිනා උනාට විකෙන්ඩ් එකකවත් ඔය මොකෝ මට මේ පොල් අඩලයක් ගාලා දෙන තරමෙවත් වැඩක් කරනවද? එහෙම නෑනෙ. ඔයාට ඉතින් හිනාවෙන්න පුලුවන් ඔයා මේ වදේ තරම දන්නෙ නැති හන්දා” කියල සමාලි තමන් ගැනම දුකෙන් වගේ කිව්වට මොකෝ අරවින්ද නම් ඒ වචනවලින් වත් තමන්ගෙ හිත උණුකරගන්න පොඩ්ඩක්වත් මහන්සි උනේ නෑ.
“අපෝ ඇති ඇති. කියවිල්ල පටන් ගත්තම ඉතින් නතර කරන්නෙ නෑනෙ. අනික මොකද්ද ඕයි ඔය කියන තරම් තියෙන වැඩ මේ ගෙදර ඉන්න ගෑණියෙක්ට? ඔන්න තමුසෙ රස්සාවකට යන ගමන් මේ ඔක්කොම කරා නම් බලන්න තිබුණා. බුදු අම්මෝ එහෙනම් මට කණක් ඇහිලා ඉන්න හම්බුවෙන්නෙ නෑ. තමුසෙ ඔය කරන ටිකම කරනවා රස්සාවකට යන ගෑණු පවා.
අනික මේ ඔය ඔක්කොම කියවන්නෙ මං තමුසෙට මේ අතට පයට ඕන කරන ඔක්කොම බඩු ටිකයි, මැශින් ටිකයි ගෙනත් දීලත් තියෙද්දිනෙ. මේ ලෝකෙ ඕන තරම් මිනිස්සු ඉන්නවා ගෙදරක මේ වොශින් මැශින් එකක්වත් හරියට නැතුව ළිඳ ලඟට ගිහිල්ල ගලේ ගහල රෙදි හෝදන්න වෙලා තියෙන. එහෙම එකේ තමුසෙලට මේ බොත්තමක් එබුවම ඔක්කොම වැඩ ටික ටක් ටක් ගාලා ලේසියෙන් කරගන්න පුලුවන්කම තිබිලා තමයි නාහෙන් අඬන්නෙ”
“බොත්තමක් එබුවම ඔක්කොම වැඩ ටික ඔටෝ වෙනවා කියලද අරවින්ද ඔයා හිතන් ඉන්නෙ? ඔයාලගෙ අම්මත් ගෙදර නේද හිටියෙ? අම්මත් රස්සාවක් කරපු මනුස්සයෙක් නෙවෙයිනෙ. එහෙම එකෙ ඔයාට කවදාවත් හිතිලා නැද්ද ඔයාලගෙ අම්මා කොච්චර මහන්සි වෙන්න ඇද්ද කියල ගෙදර වැඩ කරන්න? ඒ විදියටම මේ අත දරුවෙකුත් බලාගන්න ගමන් මම මේ ගෙදර ඔක්කොම වැඩ ටික කරනවා කියන එක මාර ලේසි දෙයක් කියලද ඔයා හිතාගෙන හිටියෙ? ඔෆිස් යන අය හිතාගෙන ඉන්නවා ඇත්තෙ මේ ගෙවල් වල ඉන්න ගෑණුන්ට කරන්න වෙන කිසිම වැඩක් නෑ හරි ශපාන් එකේ ගෙදරට වෙලා කකුල් දෙක උඩ දාගෙන ටීවී බල බල ඉන්නවා ඇති කියලා වෙන්නැති නේද?”
“ඔව් එහෙම තමයි? ඇයි තමුසෙ දැන් නෑ කියලද කියන්නෙ? මොනවද ඕයි ගෙදර ඉන්න ගෑණියෙක්ට කරන්න තියෙන වැඩ. උයන ටිකයි අතුගාන ටිකයි විතරනෙ කරන්න තියෙන්න්නෙ. රෙදි හේදෙනවා වොශින් මැශින් එකේ. උයන්න කරන්න රයිස් කුකර් මල්ටි කුකර් ප්‍රෙශර් කුකර් ඔක්කොම තියෙනවා. බිම මොප් කරන ක්ලීනර් එකේ ඔටෝ වැඩ කරනවා. මොනවද කියනවකො තියෙන වැඩ මේ ගෙවල්වල ඉන්න ගෑණුන්ට කරන්න? ඕකත් අර ලෝකෙ ඉන්න උතුම්ම කෙනා තමයි අම්මා කියලා කියනව වගේ මල බොරුවක්නෙ ඕයි. ගෙවල්වල ඉන්න ගෑණු තමන්ගෙ ජාමෙ බේරගන්න ගහපු බොරුවක් තමයි ඔය ගෙවල්වල කරන්න දාහක් වැඩ තියෙනවා කියන එක.
තමුසෙලට තියෙන වැඩ? තමුසෙලට තියෙන එකම වැඩේ තමයි උයල කරලා ඉවර වෙලේ පුටුවක් උඩට හරි ඇඳ උඩට හරි වැටිලා ෆෝන් එක බල බල ෆේස් බුක් එකෙයි ටික්ටොක් එකෙයි උඩ පහල යන එක. එහෙනම් ඔයි මම ඔෆිස් එකේ කොච්චර වැඩ කරල මහන්සි වෙලාද ගෙදර එන්නෙ? අඩුම තමුසෙල අස්පස් කරන්නෙ තමන් ජීවත්වෙන ගෙදර. උයන්නෙ කරන්නෙ තමන්ට කන්න බොන්න. මං එහෙමද? අනුන්ගෙ තැනක වැඩකරන්නෙ පඩියට. වැඩ කරනවා තමයි. වැඩක් නෑ ඕයි ඔහෙලට” කියල අරවින්ද දිගටම කියාගෙන කියාගෙන යද්දි ඇත්තටම අහගෙන ඉන්න බැරි තැන තමයි සමාලි බාත් රූම් එක ඇතුලට ගිහිල්ලා දොර වහගත්තෙ අරවින්ද කට කමසෙයියාවක් නැතුව කියවන ඒව ඇහෙන්නෙ නැති වෙන්න. ඒ වුණාට බාත් රූම් එක ඇතුලෙදි දත් මදින අතරවාරෙදිවත්, ඇඟ හෝදන අතරවාරෙදිවත් සමාලිට අමතක කරන්න බැරි වුණා අරවින්ද අන්තිමට කිව්ව කතාව. “වැඩක් නෑ ඔහෙලට” කියල අරවින්ද ඔය කතාව කිව්ව පලවෙනි දවසවත් පලවෙනි වතාවවත් අද නෙවෙයි කියන එක සමාලිට අමතක නෑ. කී පාරක් නම් තමන්ගෙ මූණට වගේම රස්සාවල් කරන කෙල්ලො ඉන්න යාලුවො මැද්දෙදි, නෑයො මැද්දෙදි ඕක කියල තියෙනවද? වෙනදට ඔය කතාව කියාගෙන එද්දි ඔලුව නවන් බොරුවට හිනාවක් මූණෙ අලවගෙන හිටියට මොකෝ අද නම් ඇත්තටම සමාලිට අද නම් කටවහගෙන ඉන්න හිතුනෙ නෑ. පොඩ්ඩා අද උදේ ඉඳලම උන්නෙ අතේ. එක අතකින් දරුවව වඩාගෙන තනි අතෙන් ගෙදර ඔක්කොම වැඩ පල කරල, අරවින්දට ආවම රෑට කන්න කෑමත් උයල ඉවර වෙද්දි සමාලි හිතුවෙ දරුවව වඩාගෙන උන්න අත කැඩිලා වෙන්යති කියල ඒතරමට වේදනාව හන්දා.
එහෙව් තමන්ටනෙ මේ මිනිහා මෙහෙම බලු කතා කියන්නෙ කියලා හිතන ගමන් සමාලි බාත් රුම් එකේන් එලියට එද්දිත් අරවින්ද සුපුරුදු විදියට හරිම ශපාන් එක නිදාගන්න ගිහිල්ලා හිටියා. ඔව් ඉතින් කන්න බොන්න ටික ලඟටම හම්බෙන එකේ අද උනේ මොකද්ද හෙට වෙන්නෙ මොකද්ද කියන එක ගැන හිතන්න කරන්න උවමනාවක් නෑනෙ.
මොන තරහක් හිතේ තිබුනත් සමාලි වෙනදා වගේම පස්සෙන්දත් නැගිට්ටා. අරවින්දට අරගෙන යන්න ඔක්කොම දේවල් අතට පයට ලෑස්ති කරලා දුන්නා. කෑම පාර්සල් කරලා බෑග් වලට දාලා, වතුර බෝතල් පුරවලා දීලා අරවින්දව පිටත් කලා.
ඉන්පස්සේ “මොන දේ කිව්වත් ඉතින් එයා මට ආදරෙයිනෙ” කියල හිතලා සමාලි දුක හිත අස්සෙ තද කරගෙන සුපුරුදු විදියට හොඳම හොඳ සුවච කීකරු භාර්යාව වගේ උන්නා කියල ලියන්න තිබ්බ නම් හොඳ්අයි කියලා කෙනෙක්ට හිතන්න පුලුවන් උනාට ඇත්තටම උනේ ඒක නෙවෙයි. එදා වැඩට ගිය අරවින්ද ආයෙ හවස හය හයහමාර වෙද්දි ගෙදර එද්දිත් මහ අමුතුම එලීයකිනුයි නිස්සද්දෙකනුයි තමයි තමන්ගෙ ගේ පිරිලා තිබ්බේ. වෙනදා මේ වෙලාවට ගේ අස්සෙන් එන බබා අඬන සද්ද, “අනේ පුතේ අඬන්න එපා හොඳ පුතානෙ” කියලා දරුවව නලවන ගමන් ගෙදර කුස්සියෙ වලං පිඟන් සද්ද කර කර උයන පිහන සමාලිගෙ සද්ද මුකුත් අද තිබ්බේ නෑ. වෙනදා කුස්සියෙන් මෙහා හොයාගන්න නැති සමාලි එදා කවදාවත් නැතුව කකුල් දෙකත් උඩ දාගෙන ෆෝන් එක උඩ පහල යනවා දැකලා අරවින්දට පොඩ්ඩක් පුදුමත් හිතුනා.
ඒ වුණාට මොකෝ අහන්නය “ආහ් මොකද කකුල් උඩ දාන්?” කියලා. එහෙම අහන්න තියා සමාලිගෙ එක බැල්මක්වත් තමන් දිහාවට එන්නෙ නැති බව දැක දැකම කාමරෙ ඇතුලට ගිය අරවින්ද ඔෆිස් ගෙනියන බෑග් එක කාමරේ මේසෙ උඩින් තියල වටයක් දෙකක් එහෙට මෙහෙට කැරකුණා. ඇඳගෙන උන්නු ඒව ගලවල කුණු රෙදි දාන කූඩෙට දාල වොශ් එකක් දාගන්න ගියා.
ආපහු එද්දි කුණු රෙදි කූඩෙ දකින්න තිබ්බෙ නැති උනාම අරවින්ද හිතුවෙ සමාලි ඒව හෝදන තැනට අරගෙන යන්න ඇති කියලා. මෙච්චර වෙලා ඇහිච්ච නැති වලං පිඟන් සද්ද කුස්සිය දිහයින් ඇහෙනවා දකිද්දි අරවින්ද හිතුවා “සමාලි අද උයන්න පරක්කු වෙලාද කොහෙද?” කියලා. ඒක කල්පනා කරන ගමන් එලියට ඇවිත් ආයෙ සාලෙ දිහාවට ඇහැ යැව්වම තමා දුටුවෙ සමාලි තාම ඉන්නෙ උන්නු තැනම වාඩිවෙලා පුටු ඇන්ද උඩට කකුල් දෙක දාගෙන ෆෝන් එක බලන ගමන් කියලා.
“එතකොට කවුද කුස්සියෙ ඉන්නේ?” කියල හිතන ගමන් අරවින්ද කුස්සිය දිහාවට ගියේ අම්මලවත් ආවද කියල හිත හිත. කකුල් දෙක ගල් ගැහුනෙ කුස්සියෙ දොරෙන් මූණ දාලා ඇතුලෙ උයන්නෙ පිහන්නෙ සද්ද කරන්නෙ කවුද කියල බැලුවම. “බුදු අම්මෝ” කියල බයවෙලා කැගැහිච්ච එක තමන්ගෙ පිරිමිකමට ලැජ්ජාවක් කියල හිතුනට මොකෝ එහෙම දෙයක් දැක්කයින් පස්සේ ඕන ලෝඩ් පකීර් කෙනෙක් බය වෙනවා කියන එක ඇත්තක් බව අරවින්ද ඒ ඔක්කොම සන්තෑසි අස්සෙ හිතුවා.
රයිස් කුකර් එකේ පියන ඔටෝ ඇරෙද්දි බත් හැන්ද කොහෙන්ද වගෙ පියාඹගෙන ඇවිල්ලා රයිස් කුකර් එක අස්සට තමන්ගෙ පොල්කටු ඇඟ දාලා බත් එක කූරු ගෑවා. හෙට උදේට ගන්න හිතාගෙනද කොහෙද ප්‍රෙශර් කුකර් එකට පෙඟෙන්න දාලා තිබිච්ච කඩල ටික පියඹලා වගේ ගියා. ඒ යද්දි හැලිච්ච වතුර බින්දු ටික පිහදල දාන්න මොප් එක කොහෙද මන්ද ඉඳලා ආව තමන්ගෙ ශරීරෙ දොර ළඟ තක්බීර් වෙලා උන්නු අරවින්දගෙ ඇඟෙත් හප්පගෙන.
තමන් කාමරේ කුණු රෙදි බාස්කට් එකට දාපු කුණු රෙදි ටික පාවෙලා වගේ වොශින් මැශින් එක දිහාවට යනවත්. වොශින් මැශින් එක ඔටෝ ඔන් වෙනවත් විතරයි අරවින්දට මතක් තිබ්බේ. ඉන්පස්සෙ සිහිය නැති උනා වෙන්නැති කියල අරවින්ද හිතුවෙ සමාලි ඇවිල්ලා මූණට වතුර බිංදු ටිකක් ඉහද්දි.
“තමන් හීනයක් දැකලා වෙන්නැති” කියල හිතාගෙන, “ඔක්කොම බැක් ටු නෝමල් වෙලා වෙන්නැති කියල හිතාගෙන නැගිට්ටට මොකෝ බිම දොංත පතං වෙලා ඉන්න තමන් දිහාවට එබිලා ඉන්නෙ සමාලිගෙ මූණ විතරක් නෙවෙයි, වතුර ජොග්ගුවයි, කොස්සයි, පොල් කටු හැන්දයි ඔක්කොම ඉන්නවා කියල දැක්කම අරවින්ද හිතුවෙ තමන්ට පිස්සු හැදීගෙන එනවා කියලා.
“සමා…සමාඅ…ලි….මේ…. මේ…බඩු වලට…බඩු…. පණ….ප..ණ…ආ…..ආවෙ….ක්….ක්ක්ක්..කොහොමද?” කියල අරවින්ද වෙව්ල වෙව්ල අහද්දි නම් සමාලි කලේ හිනාවෙච්ච එක.
“අයියෝ බොත්තමක් ඔබන්න විතරන අනේ තියෙන්නෙ. මට ඒක විතරනෙ කරන්න තියෙන්නෙ. වෙන වැඩක් නෑනෙ මට කරන්න. මං ඉතින් බොත්තම් ටික ඔබලා දැම්මා ඔක්කොම ඒවයි”
අරවින්දට ආයෙ සිහිය එද්දි මිනිහා හිටියෙ ඇඳ උඩ. දාඩිය හොඳටම දාලා තිබ්බ හන්ද ස්ටැන්ඩ් ෆෑන්ඩ් එක ඇවිදගෙන ඇඳ ලඟටම ඇවිල්ලා පෙති ටික කැරකෙව්වා හුලං ටිකක් වැදෙන්න!
ReplyForwardAdd reaction |