නිලංගා මුලුතැන් ගෙයට යන බවක් හැඟවූවාට ඇය වහා නික්ම ගියේ සිය කාමරයටය.මේරි මැඩම්ගේ නපුරු මුණුපුරා…කුමක් හෝ අදත් ඇදයක් සොයාගනු ඇතැයිද ඉන්පසු තමාහට බැන වදිනු ඇතැයිද ඇය බියගත්තාය.කාමරයට ගොස් දොර වසා ගෙන දොරටම පිටුපා දෑස් පියාගෙන ගැඹුරු හුස්මක් ගත්තාය.
ඔහු පිටව යන තුරු ඉතින් කාමරයට වී සිටින්නට නොහැක.මේ තමාගේ සේවය කරනා වේලාවයි. ඉතින් කාමරයට වී සිටීම යළි ප්‍රශ්නයකට හේතුවන්නට ඉඩ ඇත…නිලංගා මේ සීතල පරිසරයකදීත් සිය වත දහඩියෙන් පෙඟෙණු අත්වින්දාය.කඩිනම් ගමනින් නානකාමරයට දිව ගොස් මුහුණ සෝදා යළි හිස කේ සකසා ගෙන මුලුතැන්ගෙය දෙසට ඇවිද ආවාය.
“මිස්ටර් ස්ටීව් ආවා නේද නෙලී…?”
මුලුතැන්ගෙය තුළ වූ රාක්කයක ඇති බඳුන් කිහිපයක් මේසය මත තබමින් උන් පෝලා විමසුවාය.නිලංගා හිස සැලීමෙන් පමණක් පිළිතුරු දුන්නාය.පෙර දවසක වූ සිදුවීම හේතුවෙන් නිලංගා තවමත් ඉන්නේ චකිතයෙන් බව පෝලාට වටහාගන්නට අපහසු නොවීය. බියෙන් මෙන් නෙත් පිය සලන…මුවග වෙවුලන ..ඇය දුටුවිට පෝලාට ඇතිවූයේ අනුකම්පාවකි.
“ඇයි නෙලී මේ බයවෙලා…?”
පෝලා යුවතියගේ උරහිසට අතක් තබා විමසුවාය.සමහරක් අවස්ථාවලදී නොසන්සුන් සිතක් සන්සුන් කරන්නට මෘදු ස්පර්ශයක් වුව ප්‍රමාණවත්ය.නිලංගා සුසුමකින් සිත සැහැල්ලු කරගත්තාය.කිසිවක් නැතැයි හිස සලා ඇඟවූවාය.
ආච්චී අසළ ඉඳගත්තද ස්ටීව් සිටියේ කල්පනාවක ගැලීය.තමා දෙස නොබලාම ඇය නික්ම ගියේ පෙරදා වූ සිදුවීම නිසා බව ඔහු වටහාගත්තේය.එක් පසෙකින් ඒ කෙසේ වතුදු ඇයගේ හාම්පුතෙකු වන තමා එසේ නොසලකා හැර නික්ම යාම ගැන යම් නොරිස්සුමක් හිතේ ඇතිවූ අතර අනෙක් පසට ඇය හට එදා වූ සිදුවීමෙන් ඇය එතරම්ම නොසන්සුන් වීම ගැන දුක්විය.
“මෙයා නම් ගුඩ් වගේ ස්ටීව්..”
හෙට දවසේ ලෝකය අනෙක් අතට භ්‍රමණය වේදැයි සැක සිතෙන මට්ටමේ වගන්තියක් ආච්චීගේ මුවින් පිටවූයේ ඒ මොහොතේය.ස්ටීව් සිය මිත්තණිය දෙස විමසුමෙන් බැලීය.අනතුර වූදා පටන් එක තැනකට වී ඉන්නා ආච්චී කිසිවෙක්ගේ හොඳක් නම් කියනු ස්ටීව් අසා තිබුණේ නැති තරම් ය.
“මොකක් කිව්වා…මේරි ගර්ල් ඔයාට මොකුත් අසනීපයක් එහෙම නෑ නේද..?”
ස්ටීව් තරමක් බරසාර ස්වරයකින් මේරි දෙස බලා විමසුවේය.
“මට ඇති ලෙඩක් නැහැ…ඇයි මොකද මට ලෙඩ වගේද පේන්නේ..?”
මේරි සිය මුණුපුරාට සැරවිය.
ස්ටීව්ගේ සිනා හඬ කාමරයෙන් පිටතට විත් මුලුතැන්ගෙය දෙසටද ඇදී ආවේය.මේ ආච්චීගේත් මුණුපුරාගේත් බොරු රණ්ඩු සහ සුරතල් කතාබස් නිවැසියන්ට හොඳින් හුරුය. ස්ටීව් ක්ලිෆර්ඩ් සිනාසෙනු ඇසෙන්නේ එහෙමත් වේලාවක පමණි.පෝලා නිලංගා දෙස බලා ඉඟිකළාය.
“ඇහෙනවනෙ..ග්‍රැනී එක්ක හිනාවෙන සද්දෙ….ඔය යකා වගෙ උන්නට මිස්ටර් ස්ටීව් හරි හොඳ මනුස්සයෙක් නෙළී.ඒ උනාට වැඩේ තියෙන්නේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ යකා වැහෙනවා.ඉතින් අහල පහල ඉන්න මිනිස්සු තමයි ඔක්කොම ඒ සැර බලන්ඩ ඕනේ..ආච්චි මුණුපුරයි එකිනෙකාට කෝලම් කරගැනිලි නම් එමටයි…”
පෝලා සිනහ සෙමින් පැවසුවාය.
“මට නම් පේන්න ඇති හොඳක් නෑ…ඔලුවේ මුදුණේ ඉඳන් කකුළෙ සුලැඟිල්ලට යනකල් තියන නපුරුකම මිසක…”
නිලංගා සිතුවාට එම සිතුවිලි වදන් නොකළාය.
“අහන්නකො පෝලා අද රෑට මේරි මැඩම්ට ගාලික් ටෝස්ට් එක්ක චිකන් මෂ් රූම් සුප් එකක් හදමුද?”
නිලංගා ගේ හඬට පෝලා ඇය වෙත විමසුම් ඇසක් පා බැලුවාය.
“ඒ ඇයි….හදිසියෙම..?”
පෝලා විමසුවේ කුකුසක් ඇතිවය.නිලංගාගේ මුවග දඟකාර සිනහවක් මතුවිය.
“පොඩි ප්ලෑනක් තියනවා පෝලා…හරියන්න හරි සුප් නාන්න හරි ට්‍රයි එකක් දෙමුද..?”
මුලුතැන් ගෙයද සිනහවකින් එළිය වී ගියේය.
ස්ටීව් සිය මිත්තණියගේ ඇඳ හරහා තබන මේසය මත ඇති කුඩා සටහන් පොත අතට ගත්තේය.කොළ පැහැ තුරු ගොමුවක නෙක පැහැ සමනල් රටාවක් පිරි කවරයෙන් යුතු කුඩා සටහන් පොත ආච්චී සන්තක එකක් නම් නොවේ ..
ඔහු එය පෙරළා බැලුවේ කුතුහළයෙනි.
පළමු පිටුවේම කොටු සටහනකි. දින දමා කොටු ගසා උදෑසන, දිවා, රාත්‍රී ලෙස නම් කළ එහි දින කිහිපයක් වෙනුවෙන් ඉඩ ඇත..
අද දිනයේ රාත්‍රියට චිකන් මෂ් රූම් සුප් සහ ගාලික් ටෝස්ට් ලෙස ලියා ඇත… කොහේදෝ නැති බඩගින්නක් ස්ටීව් වෙතද ආවේ ඒ වටකුරු අකුරු වල හැඩයටදැයි ඔහුට සිතුණි.
හදිසියේ ආ දඟකාර සිතුවිල්ලකින් මේරිගේ මේසය මත වූ කැඳවීමේ සීනු බොත්තම ඔහු වරක් නාදකළේය. පෝලාත් නිලංගාත් උන්නේ මුලුතැන් ගෙය තුළය.
“අම්මෝ අන්න මේරි මැඩම් බෙල් එක ගහනවා…යන්න යන්න නෙලී…”
පෝලා තමා කරමින් උන් වැඩට යළි යොමු වූවාය.නිලංගා හට එම සීනු නාදය සමග ස්ටීව් අමතකව ගියේය.ඇය වහ වහා මේරි මර්ෆි ගේ කාමරයට දිව ආවාය.
නිලංගා දුවගෙන ආ වේගයටම කාමරය මැද ඉද්ද ගැසුවා සේ නැවතුනාය.තමා අසල මුණුපුරා ඉන්නවාදැයි වගේ වගක් නොමැතිව මේරි මර්ෆී සිය ගෙත්තම පටන්ගෙන ඇත.ඇය අසලට වී ඉඳගෙන සිටිනා ස්ටීව් ක්ලිෆර්ඩ් ගේ අතේ ඇති තමාගේ කුඩා සටහන් පොත දුටු විට නිලංගාහට ආපසු හැරී දුව යන්නට තරම් පසුබෑමක් ඇති විය.එහෙත් දැන් කරන්නට කිසිවක් නැත.ඇය උන් තැනම නිරුත්තරව බලා උන්නාය.
නෙලී…එසේත් නැතිනම් කියවා ගන්නට අමාරු තරමේ අමුතුම නමක් දරනා මෙලාගේ උපන් රටෙන් පැමිණි ආසියානු මිතුරිය කාමරය මැද ඔහේ සිටිනා ආකාරය දැක දැකත් ස්ටීව් නිසොල්මනේ උන්නේය.ඇය වැන්නියක් කාමරයේ සිටිනවාද නැද්ද පවා නොදන්නා ආකාරයට ඔහු එම කුඩා සටහන් පොත දෙසම බලාගෙන උන්නේය.
විනාඩි ගණනාවක නිහඬතාවය නිලංගා බිඳ හැරියේ ආයාසයෙන් මතු කර ගත් හඬිනි.
“මේරි මැඩම් මට කතා කළාද සර්…?”
කිහිප වතාවක් හොඳින් සිතා බලා ඔහු ඇමතිය යුත්තේ කුමන ආකාරයටදැයි නිලංගා සිතුවාය.ඔහුගේ නම තමා දන්නා බව අමුත්තක් නොවුනද මේ අවස්ථාවේදී ඔහුගේ නම භාවිතා කොට ඔහු ඇමතීමට ඇය පැකිලුණි.
” මට නයිට් පදවියක් තාම ලැබිලා නෑ….”
ගත වූ කාලයේ මුල්ම වතාවට ස්ටීව් ක්ලිෆර්ඩ් නිලංගා දෙස සෘජුවම නෙත් යොමු කළේය.නිලංගා බිමටම හැරවුණ නෙතින් යුතුව උන්නාය.
“මොකක්ද නම කීවේ නෙලී නේද?”
නිලංගා යාන්ත්‍රිකව මෙන් හිස සැලුවාය.
“මේ…නෙලී…එදා වුණ දේට ඇත්තෙන්ම සොරි….මම ග්‍රැනී සම්බන්ධ දේවල් වලදී හරිම කලබලයි.ඒ වෙලාවට මට එච්චර දුර දිග පේන්නේ නැහැ. ඒ උනාට එදා උන දේ එච්චර නෙවෙයි කොහොමවත්ම හොඳ නැහැ. ඔයාට මොනවා හරි ඉන්ජරි එකක් උනාද කියලා මම පෝලාගෙනුත් ඇහුවා…”
ස්ටීව් තමා ඉදිරිපස සිටිනා තරුණිය දෙසටම හැරවුණ නෙතින් යුතුව පැවසීය. නිලංගා බිම බලාගෙනම ඔහු පවසන සියල්ල අසා උන්නාය. අවසන හිස ඔසවා මඳ සිනහවක් පෑවාය.
“ඒක මම අමතක කරලා ඉවරයි. එහෙම වැරදි වැටහීම් වගෙ දේවල් ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන් …”
නිලංගා සෙමින් පැවසුවාය.
“අමතක කරලා ඉවරයි කියල කිව්වට මට හිතෙන්නේ නෙළී ඉන්නෙ මාත් එක්ක තරහින්.ඒක නිසා වෙන්ඩ ඕනේ දැන් මං ආව වෙලාවෙත් ඉක්මනටම කාමරයෙන් ගියේ..”
ස්ටීව් පැවසුවේ සිනාවක් නොමැති වතිනි.සාමාන්‍යයෙන් තමා පිටස්තර පුද්ගලයන් සමග කතාබහට නොයනා කෙනෙක් මුත් මේ යුවතිය හමුවේ ඒ ප්‍රතිපත්තිය බිඳීයන්නේ ඇයිදැයි ඔහුද නොදත්තේය.
“නැහැ…එහෙම කාරණයක් නෙවෙයි..මම ගියේ මැඩම්ගෙ ඩිනර් එක හදන්න පෝලාට කියන්න ඕනෙ නිසා…මේ..මේ…ඔය මගේ නෝට් බුක් එක මට දෙනවද..?”
නිලංගා පෙරට අතක් දිගු කළාය.සිය මුණුපුරාගේත් මේ ගැහැණුළමයාගේත් කතාබහ මේරි හට වගක් නැතුවා සේ ඇය සිය ගෙත්තම නොනවත්වා කරගෙන ගියාය.
“මේක මොකක්ද ..මං අහන්නේ මොකක්ද ඔයා මේ කරන්න යන්නෙ..?”
ස්ටීව් සටහන් පොත අතැතිවම විමසුවේය.
“මේරි මැඩම්… කෑම කනවා අඩුයි කියලා..පෝලා නිතරම කියනවා..කොච්චර රසට කෑම තිබුණත්..ඒක එයාගේ ප්‍රෙෆරන්ස් එක නොවෙන්න පුළුවන්නේ..සමහරක් වෙලාවට අපි අපේ ලේසියට..අපිම තීරණය කරලා කෙනෙකුට කෑම දුන්නට..එයා කැමති අකමැති දේවල් ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි කියලා මට හිතුණා මේක experiment එකක් වෙන්න පුළුවන්..මට හිතුනා..මේරි මැඩම් එක්ක චුට්ටක් කෑම ගැන කතා කරන්න.එයාගේ චොයිසස් මොනවද කියලා පොඩ්ඩක් අහන්න..ඉතින් අද මම ඒක කතා කළාම එයා කිව්වා රෑට එයා කන්න කැමති දේ ගැන…අපි ඒ විදිහට කරලා බැලුවොත්..හරි වෙනසක් තියේවිද කියලා මට හිතුණා…මම දන්නෙ නැහැ මේක හරියටම හරියයිද කියලා…”
නිලංගා තම සැලසුම ස්ටීව් හමුවේ දිග හැරියේය.
ස්ටීව් ක්ලිෆර්ඩ් මොහොතක් ඇය දෙස නෙත් අයාම බලා උන්නේය…මෙතුවක් කලකට තමාවත් එසේ සිතා නැත.
“ඒක මට තේරුනේ නැහැ…අපි ආච්චිට හැමදේම දෙනවා..කිසිම දෙයකින් අඩුවක් කරන්නේ නෑ.. ඉතින්…එයාට අපි දෙන්නේ හොඳම කෑම නම් එයාගෙන් අහන්නම ඕනද..මම හිතන්නෙ නැහැ ඒක වැඩකට ඇති දෙයක් කියල…”
සුපුරුදු අහංකාරකම ඉස්මතු වූයේ තමාටත්ද නොදැනීමය.