ප්‍රේමයේ අභිමන් -42

අනන්‍යා ට නිදෙස් ගත වීමට පෙර යන්නට අවශ්‍ය වූයේ කඳුකරයට ය. ඒ අනුව එක් රාත්‍රියක් මහනුවර නතර වී දෙදිනක සංචාරයක යෙදෙන්නට අපරාජිතා තීරණය කළා ය. අනන්‍යා ඊට එකඟ නොවූ අතර දෙදිනක් නුවර හෝටලයක නතර වෙමු යයි කියමින් ඇවිටිලි කරන්නට වූවා ය.

“අම්ම හිතේ හයියට මෙහෙම හිටියට එයා තාම හොඳටම සනීප වෙලා නෑ පුතා. හෙමිහිට තමයි ඉතිං රිකවර් වෙන්නෙ. දවස් තුනක් ඇවිදිනව කියන එක එයාට ටයර්ඩ් වැඩි වෙයි නේද…”

සසංක මැදිහත් නො වන්නට අනන්‍යා සිය මතය තහවුරු කර ගන්නා තෙක් ම අපරාජිතා ට කරදර කරන්නට තිබිණ. 

දේශිකා ට ද ගමන සඳහා අපරාජිතා ඇරයුම් කොට සිටි මුත් ඇගේ මව අසනීප තත්වයෙන් පෙළීම නිසා දේශිකා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා ය. 

“ඔයා ගිහිං එන්න. කොච්චර වුණත් ට්‍රිප් එකක් ගිහිං එන්ජෝයි කරන්න තරං මට මානසික තත්වයක් නෑ කියල ඔයාට තේරෙනවනෙ. අනික සසංක ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ. මං ඉන්නව වගේ තමයි. සමහර විට ඊටත් වඩා සේෆ්”

අපරාජිතා සිය සිත මුහුණෙන් ප්‍රකාශ නො කරන්නට වග බලා ගත්තා ය. නමුත් ඇය හිම තලාවක් සේ මිදී යත්දී කැඩපතකින් සේ ආත්මය විනිවිද දකින්නට මිතුරිය සමත් වූවා ය.

සසංක හැසිරුණේ බාල බොළඳ ප්‍රේමවන්තයෙකු සේ නොව පරිනත පිරිමියෙකු වාගේ ය. අපරාජිතා කෙරේ බැඳුණු හිත නිසා ඇතැම් වෙලාවක ළා බලෙ තුරුණුවෙකු සේ ඔහු කැළඹුණ ද, අපරාජිතා වාගේ ඇතුළු හද වෙත නැඹුරු වූ ගැහැනියකට සමීප විය යුත්තේ ප්‍රවේසමෙන් බව ඔහු විශ්වාස කළේ ය. එදා බීමතින් වූ හැසිරීම ගැන තවමත් ඔහු ට ලැජ්ජාවක් දැනේ. ආයේ කිසි දා ක එවැන්නක් නො සිදු විය යුතු ය.  අපරාජිතා වන් ස්ත්‍රියක ගේ සිතක් වනාහි පළිඟු බඳුණක් වන් දෙයකි. වරක් බිඳුණොත් බිඳුණා ම බව ඔහු ට සිතා ගත හැකි ය. අරවින්ද ට ඇගේ ලෝකයෙන් පිටමන් වන්නට වූයේ එබැවිනි. නමුත් ඔහු අදට ද ඇගේ අගය හඳුනන බව එදා ඔහු ගේ මුහුණෙන් සසංක ට කියවා ගත හැකි විය. 

වැඩ බහුල අතරේ හා වෛරස් උණ නිසා නිවාඩු ලබා ගෙන තිබී ද ඔහු අවදානම නො තකා නිවාඩු ඉල්ලා සිටියේ ය. නිර්මාණ අධ්‍යක්ෂවරයා වශයෙන් ඔහු ආයතනයට අත්‍යවශ්‍ය වී ද සසංක මීට පෙර මේ වාගේ නිවාඩු ඉල්ලා නැත්තෙන් ආයතනය පැත්තෙන් ඒ අනුමත නොකර බැරි විය. සසංක නිවාඩු ඉල්ලා සිටියේ ද ප්‍රතික්ෂේප වූවත් නොයා සිටිනා අදහසිනි. ඔහු වන් දක්ෂයෙකු පිළිගන්නට ප්‍රචාරක ක්ෂේත්‍රය බලා සිටිනා බව දන්නා නිසා ම නොව අන් සියල්ලට වඩා සිය පෞද්ගලික ජීවිතය ට මුල් තැන දිය යුතු බව ජීවිතයේ ප්‍රථම වතාවට සිතී තිබුණ බැවිනි.

“දික්කසාද දරු පවුලක් නිසා ජොබ් එකත් නැති කර ගන්නද බූරුවො හදන්නෙ…ඒ ගමන උඹ අම්මගෙයි දුවගෙයි ඩ්‍රයිවර් වුණාද…”

අසේල සසංක ගේ නිවාඩු ඉල්ලා සිටීම ගැන බලවත් සේ විරුද්ධ වූයේ ය. නමුත් සසංක මිතුරා සමග තර්ක කොට ඔහු ගේ මතය බිඳ දැමීමේ උත්සාහයක් නො ගත්තේ ය.

ඔවුන් පිටත් වන්නට තීරණය කර ගත්තේ අඟහරුවාදා උදේ ය. අනන්‍යා ගේ ගුවන් යානය වෙන් වී තිබුණේ ඉරිදා ට ය. අඟහරුවාදා උදේ ගොස් බදාදා රාත්‍රියේ යළි නිවසට පැමිණෙන්නට සැලසුම් කොට තිබුණි. එවිට අනන්‍යා ගේ රටින් පිට වීම වෙනුවෙන් සූදානම් වන්නට දින තුනක් තිබේ.

“අම්මි ඉස්සරහින් නගින්න”

මුලින් ම රියට ගොඩ වෙමින් අනන්‍යා අපරාජිතා ගෙන් ඉල්ලා සිටියා ය. ඒ යෝජනාව අනන්‍යා ගෙන් නිසා අපරාජිතා හිතේ දෙගිඩියාවකින් තොර ව රියදුරු අසුනට යාබද අසුනේ හිඳ ගත්තා ය. 

“දේශිකා හිටියනං කම්මැළි නෑ නේ”

සසංක මුලින් ම සිහි කළේ ඇය ව ය. අපරාජිතා ගේ මුවට සිනහවක් ආවේ ය.

“ඒ කියන්නෙ අපි බෝරින්ද…නේ අම්මි…”

අනන්‍යා නෝක්කාඩු කීවා ය. 

“අපි බලමුකො එහෙම නැද්ද කියල..”

සසංක සිනහ වෙවී කීවේ ය. ඒ අභියෝගය පරිදි ම අනන්‍යා කිසිදු අලස බවකට ඉඩක් නොතබා කතා කරන්නට මාතෘකා සොයා ගත්තා ය. ඇය සතුටින් බව අපරාජිතා ට පෙනිණ. අනන්‍යා සතුටින් සිටීම ඇගේ ද සතුට වූයේ ය. ඒ කාලේ ගිය ගමන් ගැන ද නතර වූ හෝටල ගැන ද අනන්‍යා කතා කළේ සතුටෙනි. ඈ කතා කළ වචන දහයක් අතරින් එකක හෝ අපේ තාත්ති යන්න වූවා ට ඒ බොහෝ ගමන් සඳහා අරවින්ද සහභාගී නොවූ බව අපරාජිතා ට සිහි කර ගත හැක. අනන්‍යා වෙනුවෙන් ද ඇගේ හිත සුව පිණිස ද අපරාජිතා ගමන් ගියේ දේශිකා එක්ක ය. 

අපරාජිතා වෙනුවෙන් අරවින්ද මෝටර් රථයක් ලබා දෙන්නට හේතුව ද ඇගේ ගමන් බිමන් වලින් ඔහු නිදහස් වීමයි.

“දැන් කාලෙ ගෑනු මාකට් එකට යන්නයි ළහයගෙ ඉස්කෝලෙට යන්නයි හැම එකටම මනුස්සයට වදයක් වෙන්නෑ. තමන්ගෙ වැඩ ටික තමන් කර ගන්නව මිසක්”

ඔහු මීට පෙර අපරාජිතා පැද්ද එලයිට් රිය ඇය වෙත ලබා දෙමින් කියා සිටියේ ය. 

“මං නිසා සින්න වෙච්ච රත්තරං බඩු වලට හිලව් කරන්න පුළුවන්නෙ මේක”

ඔහු ගේ සමච්චල් ස්වරය මේ දැනුත් අපරාජිතා ට පැහැදිලි ලෙස ශ්‍රවණය කළ හැකි තරමි. ඉන් වසර කිහිපයකට පසු අපරාජිතා එම මෝටර් රථය විකුණා දැන් පදිනා ජපන් ඇල්ටෝ රිය මිල දී ගත්තේ ඇය ඉපයූ මුදල්  මදි පාඩුවට යොදා ගනිමිනි. එද අරවින්ද විසින් ගෙන්වන ලද මෝටර් රථ අතරින් ම ය. 

අනන්‍යා ව කොහේ හෝ ගෙන යා යුතු යයි කී විට අරවින්ද කීවේ ඔහු ගේ ව්‍යාපාර නිසා නිවාඩුවක් නැති බවයි. තනි නොතනියට දේශිකා කතා කර ගන්න ය යන්න ඔහු ට පහසුවෙන් කිව හැකි දේ විය. අරවින්ද ඇති තරම් මුදල් දුන්නේ ය. ඔහුත් එක්ක හිතේ නොසතුටෙන් ගමන් යනවාට වඩා ඒ ක්‍රමය හොඳ යයි සිතන්නට අපරාජිතා ද පුරුදු වූවා ය.

ජීවිතය කියන්නේ පුරුදු හා ඇබ්බැහි ලෙස ද අරුත් ගැන්විය හැකි ය. අනන්‍යා පෙර පාසල් යන වයසේ සිට ඇය පුරුදු වූයේ ඇගේ හා දියණිය ගේ කටයුතු තනි ව කර ගන්නට ය. ඒ අතරේ කුඩා සේ ම විශාල කටයුතු ද තිබිණ. දිනක් අනන්‍යා උදරාබාධයක් වැළඳී හඬන්නට ගෙන අපරාජිතා අරවින්ද ට දුරකතන ඇමතුමක් දුන් විට පවා ඔහු ඇසුවේ “තනියම ඕක මැනේජ් කර ගන්නවත් බැරිද අප්ප” කියා ය. එදා සිට එවැන්නක් හෝ වෙනුවෙන් ඇය ඔහු වෙතින් උදව් නො පතා සිටියා ය. කෙනෙකු නැතිව ජීවත් වන්නට පුරුදු වූ පසු ඔහු අත්‍යවශ්‍ය නොව අවශ්‍ය ද නොවන පුද්ගලයෙකු බවට පත් විය හැක. මේ සියල්ල සිදු වූයේ වසර දහ අටක් තිස්සේ හෙමිහිට ය. අපරාජිතා අරවින්ද වෙතින් ගව් ගණනක් දුරස් වී සිටියා ය. එක වහළක් යට දිවි ගෙවී ද හදවත් වලින් පෑහිය නො හැකි දුරකට ඈත් වී සිටියහ. 

එදා ඔවුන් නවාතැන් ගත්තේ මහනුවර නගරයෙන් කිලෝ මීටර තුන හතරක් එපිටින් පිහිටි තානායමක ය. මුළු මහනුවර නගරය ම, කඳු මුහුණතක පිහිටි ඒ තානායම ට පැහැදිලි ව දර්ශනය විය. ඔවුන් එහි ළඟා වූයේ යාබද ව පිහිටි කාමර දෙකක් කල් තබා වෙන් කරවා ගෙන, පිටත බොජුන් හලකින් කෑම ගෙන ය. ඉතා කදිම නැරඹුම් මැදිරියක් වන් වූ තානායමේ පිටත වැරැන්ඩාවේ හිඳ ගෙන බොහෝ රැ බෝ වන තුරු ම ඔවුහු කතා කරමින් සිටියහ.ඒ ආ ගිය කතා අතරේ අපරාජිතා ගේ සිත වඩාත් පැහැර ගත්තේ අනන්‍යා වෙනුවෙන් සසංක කළ කතාව ය.

“අපිත් ඉන්නෙ මේ සමාජෙම නිසා මිනිස්සු ගැන හොඳට දන්නව අනන්‍යා. ගෑනු ළමයෙක් තමන්ව බලා ගන්න ඕනෙ මලක් වගේ කියලයි මටනං හිතෙන්නෙ. මලක පෙති වගේම තමයි ගෑනු ළමයෙක්ගෙ හිත. හරි සියුම්. ලේසියෙන් තැලෙන්න පුළුවන්. එහෙම තැළිල ගියාට පස්සෙ ලේසි නෑ ආයෙ පරණ තත්වෙට එන්න. මං මේ හරි සම්ප්‍රදායික මිනිහෙක් වගේ නෙවෙයි කතා කරන්නෙ. හරිම ඕපන් මයින්ඩඩ් මිනිහෙක් විදිහට. ගෑනු ළමයෙක්ට සම්පූර්ණ අයිතිය තියෙනව තමන්ගෙ ජීවිතේ තමන්ට ඕන විදිහට විඳින්න. හැබැයි ඒ වගේ ම තමයි එයාලට ලොකු වගකීමක් තියනව තමන්ව වටේ ඉන්න පිරිමින්ට ඕන හැටියට පාවිච්චි කරන්න නොදී ඉන්න. එහෙම යූස් කළාට ගාණක් නෑ වගේ දේවල් ගැන කවුරුවත් වොරි වෙන්නෙ නෑ. ඒ කියන්නෙ තමන් ගැන වටිනාකමක් මුලින් ම වටේ ඉන්න අයට දෙන්න ඕන තමන්මයි. එහෙම වටින දේවල් වලට කවුරුත් ලේසියෙන් අත තියන්න එන්නෑ. කොච්චර වුණත් බයයි. ඒ නිසා ගෑනු ළමයෙක් අන්න ඒ ඕරා එක හදාගන්න ඕනෙ. බලහත්කාරකමකින් මිසක් එතකොට කාටවත් පුළුවන් වෙන්නෑ තමන්ගෙ ජීවිතේ එක්ක සෙල්ලං කරන්න.තමන්ගෙ ජීවිතේ සෙල්ලමකට ගන්න..ඔයාට තේරුණා නේද අනන්‍යා…අම්මගෙන් කොච්චර ඈතක හිටියත් එතකොට ඔයාට දැනෙනව අම්මගෙ තාත්තගෙ ආරක්ෂාව ඇතුව ඉන්නව වගේ. කාටත් කලින් ඔයාව විශ්වාස කරන්න. ඔයාගෙ හිත පරිස්සං කරන්න. ආදරේ කරන්න.හැබැයි ආදරේ කියල රැවටිලි වලට අහු නොවී ඉන්න”

අනන්‍යා අතරමැදින් බාධා නොකොට අසා සිටි එක ගැන අපරාජිතා ට පුදුම සිතිණ. ලා කහ පැහැති විදුලි බුබුළේ කහ කිරණ කදම්බයක් අනන්‍යා ගේ මුහුණ මත වැටී තියේ. ඇය සසංක දෙස ම බලා සිටියා ය. අනන්‍යා ගේ ඇස් දිළිසෙන සැටි අපරාජිතා දුටුවා ය. 

“අපි අතිනුත් ගෑනු ළමයින්ට වැරදි වෙලා ඇති. හැබැයි ඒ අයගෙන් අනුබලයක් නොලැබුණානං කවදාවත් අපි එතනට යන්න පෙළඹෙන එකක් නෑ. ඒකයි මං පුතාට කියන්නෙ. පිරිමි හොඳ නෑ. හැබැයි නරක මිනිහෙක් වුණත් හොඳ ගෑනියෙක් ළඟ වරදක් කරන්න පෙළඹෙනව අඩුයි. එහෙම හොඳ ගෑනියෙක්ට පුළුවන් පිරිමියෙක්ගෙ බැල්මකින්වත් වරදක් නොවී ලෝකෙ වටේම රවුමක් ගිහින් වුණත් එන්න. ඔයත් එහෙම කෙනෙක් වෙන්න. අම්ම වගේ කෙනෙක්”

ඒ අන්තිම වචන තුන අපරාජිතා ගේ පපුව පත්ලේ හැපී නින්නාද වන්නට විය. ඇය යටි තොල් පට සපා ගත්තා ය. සට සට ගා කඳුළු හැලෙනා එක නතර කර ගත නො හැකි විය. හැඟුම කෝටි ගණනක් ඒ තත්පරය තුළ මුහු වී, කැළතී, දිය වී තිබිණ. මේ ලෝකයේ කිසිදු පිරිමියෙකු ගෙන් ඇය එහෙව් විවරණයක් ලබා තිබණේ නැත. අනන්‍යා ගේ ජීව විද්‍යාත්මක පියා වූ අරවින්ද ට වුව එහෙම වචන ටිකක් ඇය වෙනුවෙන් කියන්නට මතක් වී නැත. ඇය කෙතරම් වටිනා ගැහැනියක ද යන්න අරවින්ද දැන සිටියේ ය. ඒ ගෞරවය හැමදාමත් ඔහු ගේ හදෙහි ඇය වෙනුවෙන් තිබුණේ ය. නමුත් ඒ ගෞරවය වචන වලට හරවන්නට කිසි දා ක ඔහු ට අවස්ථාවක් ලැබුණේ නැත. නැතහොත් ලැබුණ කිසිදු අවස්ථාවකින් ඔහු ඵල ලැබුවේ නැත.

අනන්‍යා අම්මා ගේ ගෙල වටා දෑත ම යවා ගෙන ඇගේ පපුවට බර වූවා ය. ඇයට අම්මා සිප ගන්නට ඕන වුණේ ය. ඒ වාගේ අම්මා කෙනෙකු ලැබීම හැමදාමත් අනන්‍යා ට වාසියක් වූයේ ය. පාසලේ දෙමාපිය දින වල දී සම වයස් බාලිකාවන් ගේ ඇස් අම්මා දෙසට දැල්වී තිබි හැටි ඇය ට මතක ය. ‘හව් ස්වීට ෂී ඉස්…’ කියමින් ඔවුහු ඈ ගැන පුදුම වූහ. ‘අම්මද ඔයාගෙ අක්කද’ කියමින් අනන්‍යා ට විහිළු කළහ. පාසල් දැරියන් වැඩි දෙනෙකු ට සිටියේ තරුණ මව් වරුන් ය. ඔවුන් ගෙන් වැඩි දෙනෙකු නූතන විලාසිතා වලට බර වූ අය ද වූහ. නමුත් අපරාජිතා පන්තිය තුළට එන විට දැරියන් ගේ ඇස් පත් වසඟය වෙනම ම එකකි. තාත්තා සමග ඇයට ගෙවන්නට සිදු වූ අරබුධකාරී දිවිය ද අනන්‍යා ට අමතක කළ නො හැකි ය. සතුට සේ ම ඇය දුක ද විඳ ගත්තේ ද උහුලා ගත්තේ ද විශ්මිත වූ සංයමයකිනි. තාත්තා රොෂෙල් සමග ඇසුරක් ඇති බව දැන සිටියදී පවා ඇය කිසිදු පිරිමියෙකු ළඟින් ඇසුරු නො කළ බව අනන්‍යා දැන සිටියා ය. සසංක ඇය ගැන දැවැන්ත හැඟීමකින් පසු වෙන බව පෙනෙන්නට තිබියදී ද ඇගේ ප්‍රතිචාරය පොළඹවාලන සුළු වූයේ නැත.

“ලව් යූ අම්මි”

කියන්නට තිබූ දහසක් සහසක් කාරණා ඒ වචන තුන තුළ ලඝු කරමින් අනන්‍යා අපරාජිතා ගේ කොපුලක් සිප ගත්තා ය. 

“මට නිදිමතයි. අපි නිදියමු”

අපරාජිතා සසංක ගේ ඇස් මගහරිමින් වැරැන්ඩා පුටුවෙන් නැගී සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles