මුතු බෙලි හදවත – 20 වන කොටස

උදේ ම රෙදි හෝදන්නට වෙනදා නො තිබි උනන්දුවක් ආදිත්‍යා ට දැනුණේ ය. පෙර දා ඇය ත් මින්දුලත් ආමන්තා ත් හැඳි ඇඳුම් රෙදි සෝදන යන්ත්‍රයට දැමූ ඕ, සේදුණු පසු ඒවා ගෙන දකුණු පැත්තේ විසල් සඳළුතලාවට ගියා ය. දිවා කාලයේ දී හොඳින් අව්ව වැටෙන තැනක තබා ඇති රෙදි වේලන රාක්කයෙහි ඇඳුම් වනමින් ඇගේ ඇස් දිව්වේ යාබද සඳැල්ල දිගේ ය. රැකියාවට යාම සඳහා සූදානම් ව දුමාල් පිටතට ආවේ ය. කළු කලිසමක් හා සුදු අත් දිග කමිසයක් හැඳ, දිලිසෙන කළු සපත්තු දමා, ජෙල් ගා ඉතා ක්‍රමාණුකූල ව  සකසන ලද දීප්තිමත් කළු කොණ්ඩකින් යුුතු වූ යෞවනයා ව ආදිත්‍යා එක බැල්මකට නතු කර ගත්තා ය. ඔහු අඩ සිනහවක් පෑවේ ය. ඒ සිනහව හරියට පිපෙන්නටත් පෙර ම ආදිත්‍යා බිම බැලුවා ය.

දැන් වෙනදා සේ ඔහු දෙස බලා සිනා සෙන්නට වුව නුපුළුවන!

ආදිත්‍යා යළි හිස ඔසවත්දී ආමන්තා සඳැල්ලට පිවිසෙමින් සිටියා ය. දුමාල් ව දුටු ඕ අත වනා, ගුඩ් මෝනිං කීවා ය. ඒ අතරේ ම ආදිත්‍යා දෙස බැලූ ඇගේ බැලුමේ වූයේ හොරයක් අල්ලා ගත්තා කියනාකාරයේ සිනහවකි.

ආමන්තා සහ දුමාල් හස්ත මුද්‍රා යොදා ගනිමින් යම් කිසිවක් කතා කරත්දී ම විකුම් එහි පැමිණියේ ය. ඔහු ඒ දර්ශනය ඉතා හොඳින් දුටුවේ ය. අසල්වැසියා ගේ නෙතු පැහැර ගන්නා පෞරුෂය ඔහු තුළ ක්ෂණික ඊර්ෂ්‍යාවක් ඇති නො කළා ම නොවේ. නමුත් ඔහු සමග දොඩමළුවේ සිටියෙු ආදිත්‍යා නොව ආමන්තා වන නිසාවෙන් විකුම් ට කිසිත් පැවසිය හැකි වූයේ නැත.

“ආදි”

ඔහු අල්ලපු ගෙදර තරුණයාට ද පෙන්විය යුතු යයි සිතුණ බල අධිකාරියකින් කතා කළේ ය. ඒ හරියට මේ මට අයිති වස්තුවක් ය කියා දුමාල් ට හැඟවෙන්නට හරිනු වස් කළ රංගනයක් සේ ය. සිය ජීවිතයෙන් පැත්තකට ම කර දමා ඇති ගැහැනියක වුව වෙන කෙනෙකු ගේ නෙත ගැටෙනවා ට බොහෝ පිරිමි අකමැති ය.

ආදිත්‍යා කාමරයට ගියා ය. දුමාල් පිය ගැට පෙළ බැස යන්නේ නැතිව තවත් මොහොතක් සඳැල්ලෙහි පමා වූයේ ය. ආමන්තා ගේ හිතේ ද ගැස්මක් නොවූවා ම නොවේ.

“මොකද්ද අර ආමන්තා කරන්නෙ…”

විකුම් ආදිත්‍යා ගේ ඇඟට කඩාගෙන පැන්නේ ය. නමුත් ඇය කිසිදු කලබලයක් හෝ ගැස්මක් පෙන්වූයේ නැත.

“මොකද්ද..”

“අර එහා ගෙදර කොල්ලෙකුත් එක්ක කතා කර කර ඉන්නෙ…”

“ආ…ඒ ගැන ඉතිං ඔයා කලබල වෙන්න ඕන නෑනෙ. ඒගොල්ලො අඳුරනව”

“ඔය විකාර වලටනං මං කැමති නෑ හරිද…”

ආදිත්‍යා සිනහවක් නගා ගත්තා ය.

“ඔයාමද විකුම් මේ කතා කරන්නෙ…හරියට නිකං ගෑනු පිරිමි ආශ්‍රය ගැන කෝඩුනාරයෙක් ලැජ්ජකාරයෙක් වගේ නෙ ඔයා ඒක කිව්වෙ”

ආදිත්‍යා ගේ සමච්චලයෙන් විකුම් ගේ බල බිඳී ගියා සේ ය. ඔහු යහන මත නිදන සිය පුතු දෙස නො බලා ම කාමරයේ ඒ මේ අත සක්මන් කරන්නට වූයේ ය.

“අනේ ඇත්තට ඔයාට මේ අහිංසකය දිහා බලන්නෙවත් නැතුව ඔහොම ඉන්න පුළුවන් ද විකුම්…”

ආදිත්‍යා අහිංසක ලෙස ඇසුවා ය. විකුම් ගේ සිත්හි උපන්නේ කෝපයකි. ‘තමුන්ට කතා කරන්න තියෙන්නෙ ඔය කෙහෙල්මල ගැන විතරද’ කියා ඇය ට බැණ වදින්නට තරම් ඒ කෝපය ප්‍රබල වූව ද, මේ එවැන්නකට සුදුසු මොහොත නොවේ යයි ඔහු වහා සිතා ගත්තේ ය.

“හෙට අර වෙඩින් එක. ඕන කරන දෙයක් තියනවනං ගිහිං බලල අර ගන්න. හොඳට ලෑස්ති එන්න ඕන හරිද…මට ලැජ්ජ කරන්නෙ නැතුව”

හිතේ නො රිස්සුමක් උපනත් කියන්නට යමක් ආදිත්‍යා ගේ මුවට ආවේ නැත. විකුම් මුදල් නෝට්ටු මිටියක් ඇද කුඩා මේසය මතින් දැම්මේ ය.

“ආමන්තා ඉන්නවනෙ. අම්මත් එක්ක ළමයව බලා ගනීනෙ”

කියමින් ඔහු කාමරයෙන් නික්ම ගියේ ය.. ආදිත්‍යා මුව අයා බලා සිටින්නට වූවා ය. ඔහු තීන්දු තීරණ ගන්නේ මොන තරම් අත්තනෝමතික ආකාරයකට ද? ආදිත්‍යා වේගවත් කෙටි හුස්ම ගනිමින් යහන මත හිඳ ගත්තා ය.

“මමනං කියන්නෙ එපා යන්න ඔය වෙඩින් එකට. ඔයා තවත් මොනා බලන් ඉන්නවද කියල මට තේරෙන්නෑ. මං එහෙමනං මෙලහකට ඔය මිනිහව අත්ඇරල මේ කසාදෙත් දමල ගහල ගිහිං”

ආමන්තා කේන්තියෙන් පුපුරා හැළුණා ය. ඇගේ වයසට ඈ හිතන ආකාරයේ එවන් රැඩිකල් බවක් රැඳී තිබීම සාමාන්‍ය දෙයක් වුණත් ඇය සිටින්නේ එසේ කළ හැකි තත්වයක නො වන බව ආදිත්‍යා හොඳින් දැන සිටියා ය.

“මටත් ඔය විදිහට හිතන්න පුළුවන් නංගි. ඒත් මං එහෙම හිතන්න පුළුවන් තත්වෙක නෑ. ජොබ් එකක් කරන නිදහස් ගෑනියෙක් වුණානං ඕන මගුලක් කර ගන්න එකයි කියල විකුම් වගේ කෙනෙක්ගෙං අයින් වෙලා යන්න පුළුවන්. ළමයෙක් ඉන්න ගෑනියෙකුට වුණත්…ඇයි මට බැරිද ජොබ් එක කරගෙන තනියම දරුව හදා ගන්න කියල හිත හයිය කර ගන්න පුළුවන්. මට ඉන්නෙ අසනීප දරුවෙක් නංගි. නිකං සාමාන්‍ය ලෙඩක් නෙවෙයි. එයා ඔටිසම් බබෙක්. ඔයාට පේනවනෙ මං එයත් එක්ක මොන යුද්දයක් කරනවද මොන දුකක් විඳිනවද කියල. මේ ගෙදරිං දොට්ට බැහැල මට යන්න තියෙන්නෙ අම්ම තාත්තා ළඟට. අපේ තාත්ත දැනටමත් හාට් පේෂන්ට් කෙනෙක්. මල්ලිට ජොබ් එකක් ලැබුණ නිසා අම්මල ඔහොම හරි දේවල් කර ගන්නව. ඒත් මාත් ගිහිං මේ දරුවත් එක්ක එතනට වැටිල කොහොමද නංගි. එහෙනං මං ජොබ් එකක් කරන්න ඕනෙ. එතකොට පුතාව අම්ම ළඟ දාල යන්න ඕනෙ. අම්මට ලේසි නෑ පුතාව බලා ගන්න එක. හරි..කොහොම හරි ටිකක් පුරුදු කර ගෙන තියා ගත්තයි කියමු. ඒත් අම්මට පුළුවන් ද සතියට දවස් තුන හතරක් පුතාව තෙරපි වලට එක්කං යන්න. ට්‍රේනිං සෙන්ටර් වලට එක්කං යන්න. ගෙදර තියං බලා ගන්න එක වුණත් ටික දවසකදි අම්මට එපා වෙයි. තෙරපි වලට ගෙනියල විතරක් මදිනෙ. එයාල කියන්නෙ ගෙදරදිත් නිතරම ඒ දේවල් ප්‍රැක්ටිස් කරන්න ඕන කියල..අම්මට පුළුවන්ද ඕව මත්තෙ නැහෙන්න…ඔය වගේ ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් තියෙනව නංගි”

ආදිත්‍යා දිගට ම කතා කර ගෙන ගොස් සුසුමක් හෙළා ගෙන නිහඬ වූවා ය. ආමන්තා සොයුරිය දෙස බලා සිටියේ ඇය මොන තරම් දේවල් ගැන හිතා තිබෙනවාද යන සිතිවිල්ලෙනි. මේ සියල්ල මේ මොහොතේ පහළ වූ සිතිවිලි නොවේ. ආදිත්‍යා ටික කලක සිට හෝ මේ ගැන හැම පැත්තෙන් ම සිතා ඇති බවට සැල වෙන කාරණා ය. ඈ කියන්නේ ඇත්තක් බව ද වහා ආමන්තා ට වැටහිණ. ගාල කඩා ගෙන මහ ගෙදර දිව ගියා ට ඊළඟට මතු වන ප්‍රශ්න වලට ඇය කෙසේ මුහුණ දෙන්න ද?

“දුමාල් අයියනං…”

“නංගි”

ආමන්තා කියන්නට ගිය දේ කියා ගන්නට ඉඩ කොදී ආදිත්‍යා මැදින් පැන්නේ හිතා මතා ම ය.

“නිකං බොරු හීන ලෝක වලින් ඇති වැඩක් නෑ. එයා වගේ කෙනෙක්ට මොකටද නංගි මේ මං වගේ දරුවෙක් ඉන්න ගෑනියෙක්…”

“ඒත් එයානං…”

“එයා හොඳ වෙන්න පුළුවන්. එයාගෙ අරමුණ පිරිසිඳු වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ කොල්ලෙක්ගෙ ජීවිතේ උඩ මහ මෙරක බරක් එක්ක කඩං වැටෙන්න හිත හදා ගන්න ගෑනියෙක්ට පුළුවන් ද කියල මං දන්නෑ. මන්ද මටනං බෑ. මට එහෙම ඕනත් නෑ”

ආමන්තා ට තව දුරටත් කට හොල්ලන්නට ලැබුණේ නැත. ඇය නිහඬ වූවා ය.

නංගී ට ආදිත්‍යා මේ කීවේ ටිකකි. සේනක විජයවික්‍රම ඇය ව දඩයම් කර ගන්නට අරාඳිමින් හිඳිනා බව කීවොත් ආමන්තා මොන වගේ තීරණයක් ගනු ඇත්දැයි ආදිත්‍යා නො දනී. සේනක කියන්නේ හොඳ මිනිහෙකු නොවන බව රට ම දන්නා කරුණකි. ඔහු හුඟක් වෙලාවට අන්තිම තීරණය ගන්නේ නරකින් බව ද නො දන්නා කෙනෙකු නැත. නයිට් ක්ලබ් වල ජෝගි නටමින් ද රණ්ඩු වෙමින් ද රටට පුවත් මැවූ ඔහු ගේ පුත්‍ර රත්නය සමග විවාහ වෙත්දී සිය ජීවිතය මේ විදිහේ දඬු කඳක ගසන්නට වන බවක් ආදිත්‍යා දැන සිටියේ ම නැත. මේ විදිහට බේරෙමින් සිටියාට කොයි මොහොතක කවරාකාරයෙන් ඈ සේනක ගේ අතට හසු වනු ඇත්දැයි ආදිත්‍යා ට සිතා ගැනීමට හෝ නො හැකි ය.

ඔහු ට එරෙහි වීම ද, චෝදනා කිරීම ද, ඔහු ගැන සඳසීලී සමගින් පැවසීම ද ආදිත්‍යා ගේ ඉරණම මොන විදිහට විසඳන්නට හේතු වේ දැයි සිතිය නො හැකි කාරණා ය.

“එහෙනං හවස ශොපින් කරමු. චේන්ජ් එකටත් එක්ක ඒකත් ලොකු දෙයක්නෙ”

ආමන්තා අන්තිමට යහන මතින් නැගිට ගත්තේ එසේ කියා ගෙන ය. හැන්දෑවට පෙර යළි එන පොරොන්දුව මත ආමන්තා ගෙදර ගියා ය.

“එහෙ ගියා ආව වගෙ නෙවෙයි ඔය ඕන නැති දේවල් වලට එහෙම කට දානව නෙවෙයි”

පොඩි දුවගේ හැටි දන්නා ලලිතා කල් ඇති ව ම උපදෙස් දුන්නා ය. ආමන්තා කට කොනකට සිනහවක් නගා ගත්තා ය.

“හොඳ වෙලාවට අක්කව විකුම් පායට දුන්නා. මං එහෙම වුණානං ඒ ගේ ඇතුළෙ මිණී මැරුමක් වෙලා”

“ඇයි පොඩී…අක්ක සතුටෙන් නෙවෙයිද ඉන්නෙ…”

“තමුංගෙ මිනිහට වෙන ගෑනියෙක් ඉන්නවයි කියල රටම කතා වෙද්දි…අසනීප දරුවෙක් සනීප කර ගන්න චැලේන්ජ් එකට තනියම මූණ දීල ඉද්දි…අම්ම අහනව අක්ක සතුටෙන් නෙවෙයිද ඉන්නෙ කියල. අපිට පේන්න හිනා වෙලා ඉන්නව තමයි. කන්න අඳින්න අඩුවකුත් නෑනෙ. ඒත් ජීවිතේ සතුටෙන් සැනසීමෙන් ගත කරනව කියන්නෙ ඒකට නෙවෙයිනෙ අම්මෙ”

ලලිතා ඇස් ලොකු කර ගෙන බලා සිටියා ය. ආමන්තා එක්ක කතා කොට දිනිය නො හැකි බව ඕ දනී. ලලිතා හිතා ගෙන සිටියේ වෙන විදිහකට ය. උතුරන්නට සල්ලි ඇති ගෙදරක ලේලි වීම නිසා ආදිත්‍යා ට මොන අඩුවක් ද කියා ය. දරුවා ගේ අසනීපය වෙනුවෙන් විය පැහැදම් කරන්න ට වුව ඕනෑ තරම් මිල මුදල් ඒ මිනිසුන් ට තිබේ. සල්ලිකාර පිරිමි එක ගෑනු ශරීරයකින් සෑහීමට පත් නො වන බව ද ලලිතා දැන සිටියා ය. ඇය ට ප්‍රශ්නයක් වී තිබුණේ විකුම් ගැන ඕපාදූප රටේ ලෝකේ හැම මිනිහෙක් ම දැන ගෙන ඉන්නා එක ය.

ආමන්තා සියල්ල සැලසුම් කළා ය. දුමාල් කෙටි නිවාඩුවක් දමා බම්බලපිට්යට ආවේ ය. එතැනට කුළී රියකින් පැමිණි අක්ක නගෝ මින්දුල ද සමගින් ඔහු ගේ රියට නැගුණහ. නංගිගේ ගේ මේ හිතුවක්කාර වැඩ ගැන ආදිත්‍යා තුළ කැමැත්තක් නො තිබුණත්, ඇය ලොකු විරෝධයක් පාන්නට ගියේ ත් නැත. ආමන්තා ට රියෙහි ඉදිරි අසුනට ගොඩ වන්නට සිදු වූයේ ආදිත්‍යා ඉක්මනින් පසු පසට ගොඩ වූ නිසා ය. දුමාල් දඩබ්බර සිනහවක් දෙතොල් මත තවරා ගෙන ඉදිරි කැඩපතින් කොළ පාට ඇස් ඇත්තී දෙස බැලුවේ ය. ඇය මොහොට ඒ බැල්මෙහි පැටළුණත්, ඊළඟ නිමේශයේ නො දුටුවා සේ ඉවත බැලුවා ය. තරුණයා තව දුරටත් සිය සිනහවට ඉඩ දුන්නේ ය.

“චූටි පුතා…මින්දුල…”

දුමාල් රිය පදවන ගමන් ම ආදිත්‍යා ගේ උකුලේ හිඳිනා දරුවා ට කතා කළේ ය. ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත.

“පුතා එනවද මගෙ ළඟට…ආ…බූම් එක පදිනවද…ම්…පුතා එනවද මගෙ ළඟට…”

ඒ හඬෙහි කෙතරම් නම් සෙනෙහසක් තැවරී තිබිණි දැයි ආදිත්‍යා ට හොඳට ම දැනිණ. ඇය ගිලිහෙන්නට ආ සෝ සුසුම ඉතා අමාරුවෙන් පපුවේ ම හිර කර ගත්තා ය.

“පුතා එනවද…”

හදිසියේ ම මින්දුල එසේ කීවේ හැම හිතක් ම නිමේෂයකට කීරි ගස්වමිනි. දුමාල් ගේ හා ආදි ගේ ඇස් එක මොහොතක ට අවකාශයේ හමු විය.

මින්දුල පිළිතුරක් දෙන්නට දන්නේ නැත. ඔහු ගේ පිළිතුර වූ කලී ප්‍රශ්නයේ ම කොටසකි. එද ඉතා කලාතුරකිනි.

“පුතා එනවද…”

මින්දුල ආදිත්‍යා වෙතින් දුමාල් වෙත යන්නට කලබලයක් කළේ ය. දුමාල් මග අයිනකට කොට රිය නවතා දරුවා දෙසට දෑත පෑවේ ය. ආදිත්‍යා ගේ ඇස් වල කඳුළු නංවමින් මින්දුල දුමාල් අතට පැන්නේ ය. ඔහු දරුවා ව උකුල මත තබා සුක්කානම අල්ලා ගන්නට සැලැස්වී ය. මින්දුල නිතර සිනහ නො වුණත් මේ වෙලාවේ ඔහු ගේ සිඟිති මුහුණේ සිනහවක් දුටු ආදිත්‍යා ට හැඬුම් ආවේ ය..ඇය දෙතොල් සපා ගනිමින් ඒ ඉකිළුම හරි කර ගත්තා ය. දුමාල් සේ ම ආමන්තා ද හැරී ඇදෙස බැලූහ.

“අක්ක”

ආමන්තා පිටුපසට අත දිගු කර අක්කා ගේ අතක් අල්ලා ගත්තා ය.

“මෙතන්ට එනවද…”

“ඕන්නෑ. නංගි බලන්න පුතාව”

ඇගේ සිත බර වී තිබිණි. ඉහළ පාන්තිකයන් වැඩිපුර ගැවසෙන සුඛෝපභෝගී සාප්පු සංකීර්ණය ඉදිරියේ රථ ගාලේ නැවතුණ රිය දෙස දැල්වී ගත් දෙනෙතක් තිබිණි. ඒ විකුම් ගේ ය. ඔහු සිටියේ සිය රිය වෙත එමිනි. ශිරෝෂි ඔහු ගේ අතක එල්ලී ගෙන සිටියා ය. ඇගේ අනිත් අතේ බෑග් කිහිපයක බර විය.

මින්දුල ව වඩා ගෙන දුමාල් රියෙන් බහිනවා විකුම් පැහැදිලිව ම දුටුවේ ය. ඉදිරි අසුනේ සිට බැස්සේ ආමන්තා ය. පසු පසින් ආදිත්‍යා බැස ගත්තා ය. රිය දොර වසත්දී ඈ සිය සැමියා ව දුටුවා ය. ඔහු ව පමණකුදු නොව ඔහු ගේ අතක එල්ලී සිටි සුරූපී නිරූපිකාව පවා දුටුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles