දොර ඇරපු තත්පරේම මට හුස්ම ගන්න එකත් අමතක වුණා.
එතන හිටියේ එයා.
මතින්ද්‍ර.
මං හිතුවේ නැහැ එයා ඇත්තටම එයි කියලා. හිත ඇතුළේ තිබුණේ හරිම වැරදි බලාපොරොත්තුවක්, එයා එන්න ඕන කියන එක. ඒත් ඒ බලාපොරොත්තුව ඇත්ත වෙලා මගේ ඉස්සරහ එයා හිටගෙන ඉද්දි මගේ ඇතුළේ මොනවා හරි බිඳිලා වැටෙන සද්දෙ මටම ඇහුණා වගේ දැනුණා.
“මේඝා…” එයාගේ කට හඬ මට ඇහුණෙ හරිම හෙමින්. එයා හරියට කතා කරේ මට බය වෙලා වගේ. මං කතා කළේ නෑ. කතා කරන්න වචන තිබුණේ නෑ. මගේ ඇස් තිබ්බෙ එයාගෙ ඇස් උඩ ඇලිලා. ඒ ඇස් ඒවා තවමත් එහෙමයි. මාව කියවන්න දන්න, මාව හොයාගෙන එන්න දන්න, ඒත් අන්තිමේ මාව අතහැරලා යන්නත් බය නැති ඒ ඇස්මයි.
“මං ඇතුළට එන්නද?” ඒ ප්‍රශ්නෙට මට දෙන්න තිබුණ උත්තරය උනේ නෑ කියන එක. ඒක තමයි හරි දේ. ඒක තමයි මට කරන්න ඕන වෙලා තිබුණේ. ඒත් මං ඒක කළේ නැහැ. මං නිහඬවම එයාට ඉඩ දීලා පැත්තකට වුණා.
එයා ඇතුළට ඇවිත් හිටගත්තේ හරිම අමුතු සයිලන්ස් එකක් එක්ක. ඒ සයිලන්ස් එක අපහසු එකක් නෙවෙයි. ඒක හරිම භයානක එකක්. හරියට තත්පරයකින් වැස්ස පටන් ගන්න කලින් තියෙන සයිලන්ස් එකක් වගේ. මං දොර වහලා හෙමින් එයා දිහාවට හැරුණා. එයා තවමත් එතනම හිටගෙන මං දිහා බලාගෙන හිටියා.
“ඇයි ආවේ?” අන්තිමේ මං ඇහුවා. මගේ හඬ හරිම දුර්වලයි කියන එක මටම නොතේරුණා නෙවෙයි. මටම ඒක අහද්දී අමුතුයි වගේ දැනුණා. මතින්ද්‍ර හෙමින් හුස්මක් ගත්තා.
“මැසේජ් එකට උත්තරයක් දුන්නේ නැහැනේ ඔයා…”
මං හිනා වෙන්න හැදුවා. ඒත් ඒක හිනාවක් වුණේ නැහැ.
“ඒකට මෙහෙම එන්න ඕනද?” මං අහද්දී, එයා එක තත්පරයක්වත් හිතන්නෙ නැතු. “ඔව්.” කියලා කිව්වා
ඒ එක වචනය ඇත්තටම මට ලොකු තරහක් අරගෙන ආවෙ. ඒත් ඒ තරහ ඒ ඇසිල්ලෙන්ම දිය වෙලා ගියා. මටම තේරුණා මං ඒ තරහ බලෙන් තියාගන්න උත්සාහ කරනවා කියලා.
“ඔයාට ලැජ්ජ නැද්ද මතින්ද්‍ර?” මං කෙළින්ම ඇහුවා.
එයාගේ මුහුණේ ඉරියව් ටිකක් වෙනස් වුණේ ඒ වචන එක්ක. ඒත් එයා මගෙන් ඇස් අහකට ගත්තේ නැහැ.
“ඔයා කසාද බැඳපු මනුස්සයෙක්. අදත්, අදත් එයා එක්ක හිනා වෙවී හිටියා. හරිම සැනසිල්ලෙන්. ඒත් දැන්” මගේ වචන ටිකකට නතර වුණා. “ ඒත් දැන් ඔයා එහෙම දෙයක් උනේ නෑ වගේ මේ වෙලාවේ මං එක්ක මගේ ගෙදර ඉන්නවා.”
එයා මොහොතක් ඒකට උත්තර දෙන්න කලින් නිහඬව හිටියා. ඒ නිහඬතාවය මට මහා බරක්. මං එයාගෙන් උත්තරයක් බලාපොරොත්තු වුණා. හරි හෝ වැරදි නිදහසට කරුණක්… මොනවා හරි. ඒත් එයා කිව්වේ වෙනම දෙයක්.
“ඔයා මං දිහා බලපු විදිහ…”
“මට ඒක නොදැක්කා වගේ ඉන්න බැරි වුණා මේඝා.”
“ඒක ඔයාගේ ප්‍රශ්නයක්.” මං කියද්දී මගේ හඬ ටිකක් තද වුණා. එයා මට තවත් ටිකක් ලං වුණා.
“නැහැ… ඒක අපි දෙන්නගෙම ප්‍රශ්නයක්.”
“අපි දෙන්නෙක් කියලා දෙයක් නැහැ!” මං ඒක කෑගහලා වගේ කිව්වෙ.
එයා තවමත් මට ගොඩක් ලඟයි. මං පස්සට ගියේ නැහැ. හැබැයි ඉස්සරහට ගියෙත් නැහැ. අපි අතර තිබුණේ කතා කරන්න බැරි තරම් අඩු දුරක්. ඒත් ඒ හිස්තැන පිරිලා තිබුණේ කියාගන්න බැරිව ඉතිරි වුණු වචන දහස් ගණනකින්.
“ඇත්තටම නැද්ද මේඝා?”
එයා හරිම හෙමින් ඒක ඇහුවේ. ඒ ප්‍රශ්නයට මගේ ළඟ හරිම සරල උත්තරයක් තිබුණා. ඒ තමයි “ඔව්, නැහැ” කියන එක. ඒත්… ඒ වෙලාවේ මට කතා කරගන්න වචන තිබුණේ නැහැ.
“ඔයා අද මං දිහා බලපු විදිය” එයා ආයෙත් කියන්න පටන් ගත්තා.
“අනේ ප්ලීස් ඕක නවත්තන්න…” මං එකපාරටම එයාගේ වචන නතර කළා. මට ඒක තවදුරටත් අහගෙන ඉන්න බැහැ. “මං මොන විදියට බැලුවත්… ඒකෙන් කිසිම තේරුමක් ඔයා හිතාගන්න එපා. මං” මගේ වචන අස්සේම මං අසරණ වුණා. “මං… මං එහෙම කිසිම දෙයක් අඟවලා නැහැනෙ.”
බොරු. තනිකර බොරු.
මටම තේරුණා ඒක මහා ලොකු බොරුවක් කියලා. මතින්ද්‍ර තවත් ටිකක් මට ලං වුණා.
“ඔයාටම විශ්වාසද ඒක?” එයා අහද්දී මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තේ එතකොටයි.
“ඔයා කොහොමද එහෙම විශ්වාසයෙන් කියන්න පුළුවන් මේඝා… ඔයාගේ ඇස් මට වෙනස්ම දෙයක් කියද්දී?”
“ප්ලීස් මතින්ද්‍ර” මං ඇත්තටම කෑගැහුවා. “ඔයාට අයිතියක් නැහැ. ඔයාට කිසිම අයිතියක් නැහැ මං ගැන මේ විදියට කතා කරන්න!” මගේ ඇස් දෙකට කඳුළු පිරුණා. “ඔයා මාව දාලා ගියා!” මං කියද්දීම මගේ හඬ කැඩිලා බිඳිලා ගියා. “ඔයා මාව… ඒ විදියට… දාලා ගියා. කොහොමද…කොහොමද ඉන්ද්‍ර ඔයා එදා මට එහෙම දෙයක් කරලා අන්තිමේ කිසිම දෙයක් නොවිච්ච තාලෙට අද ආයෙ මං ඉස්සරහට මේ විදියට ඇවිත් අතීතෙ වෙච්ච හැමදේම අමතකයි වගේ කතාකරන්නෙ?
“මං හිතපු හැමදේම කඩලා බිඳලා දාලා ඔයා ගියේ. මං ඔයා වෙනුවෙන්” මං එකපාරටම නතර වුණා. මට ඒවා කියන්න බැහැ. ඒ දේවල් මතක් වෙද්දී මට මං ගැනම ලැජ්ජයි. “මං ඔයා වෙනුවෙන් කොච්චර… කොච්චර දේවල් අත්හැරියද කියලා ඔයා දන්නවද?”
කඳුළු දැන් නතර වෙන්නේ නැතිව කම්මුල් දිගේ ගලාගෙන යනවා. මං ඒවා නවත්තන්න උත්සාහ කළා. ඒත් ඒක මගේ පාලනයෙන් තොර වෙලා තිබුණේ. “ඔයා කියපු එක වචනෙකට මං මගේ මුළු ජීවිතේම වෙනස් කළා මතින්ද්‍ර…” මං අඬන ගමන්ම කිව්වා. “ඒත් ඔයා”
මගේ හඬින් තවත් වචන පිටවුණේ නැහැ. මං මගේ අත් දෙකෙන් මුහුණ වහගෙන අඬන්න පටන් ගත්තේ පාලනයක් නැතුවමයි. ඒක හෙමින් ඇඬීමක් නෙවෙයි, ඇතුළෙන් මහා ලොකුවට බිඳිලා ගිය කෙනෙක්ගේ විලාපයක් වගේ. මට මුළු ලෝකයම අමතක වුණා. එයා මගේ ඉස්සරහ ඉන්නවද, මං මොනවද කියන්නේ, මේ හැමදේම කොහේ ගිහින් නතර වෙයිද කියලා මට කිසිම වැදගත්කමක් තිබුණේ නැහැ. මට දැනුණේ එකම එක දෙයක් විතරයි. ඒ මගෙ පපුව මාරම විදියට මගේ පපුව රිදෙනවා කියන එක විතරයි.
තත්පර කිහිපයක් යනකල් මතින්ද්‍ර කිසිම දෙයක් කළේ නැහැ. ඒ නිශ්ශබ්දතාවය මට තවත් රිද්දුවා. ඒත් ඊළඟ මොහොතේ එයා හෙමින් මට ලං වුණා. මට ඒක දැනුණා. එයාගේ අත හෙමින් මගේ උරිස් වටේ ගිහින් නතර වුණා.
“මේඝා…”
ඒ හඬ
ඒක ඇහෙද්දීම මං තවත් හයියෙන් අඬන්න පටන් ගත්තා. මං මගේ අත් එයාගෙන් අහකට ගත්තේ නැහැ. මට ඒකට කිසිම ශක්තියක් තිබුණේ නැහැ. එයා මගේ අත් මුහුණෙන් අහකට කරලා, මගේ ඇස් දිහා බලන්න උත්සාහ කළා. මං ඒකට විරුද්ධ වුණෙත් නැහැ. ඒක තමයි මං කරපු ලොකුම වැරැද්ද. මං එයාගේ ඇස් දිහා බලද්දී ඒ ඇස් ඇතුළේ තිබුණේ මට තවමත් ගැලවෙන්න බැරි වුණු මොකක්දෝ මහා බලවේගයක්.
“මං බොරුවක් කිව්වේ නැහැ…” එයා හෙමින් මිමුණුවා.
මං ඔලුව දෙපසට හෙලෙව්වා. “ඒත් ඔයා මාව රැවට්ටුවා…” මං හිරවෙන හුස්ම අස්සෙන් යන්තම් කියාගත්තා. එයා ඒකට උත්තරයක් දුන්නේ නැහැ. ඒ නිසාම වඩා හයියෙන් මට ඇහුණා.
“ඇයි ආවේ…” මං ආයෙමත් ඇහුවා. මේ වතාවේ හරිම සරලව. “ඇයි මතින්ද්‍ර…”
එයා මගේ මූණ දිහාම බලන් හිටියා. එයාගේ ඇස් මගේ ඇස් අස්සේම හිරවෙලා වගේ. ඒ තත්පරේ… මට හිතුණා මං ආයෙමත් වතාවක් මහා අගාධයකට වැටෙනවා කියලා.
මං “ඇයි මතින්ද්‍ර…” කියලා ඇහුවට පස්සේ, එයා උත්තර දෙන්න ඉක්මන් වුණේ නැහැ. එයාගේ ඇස් තවමත් තිබුණේ මගේ ඇස් අස්සේම හිරවෙලා. හරියට මගේ හිත ඇතුළටම ඇවිත් හැමදේම බලනවා වගේ. මට ඒ බැල්මෙන් මිදිලා එතනින් අහකට යන්න ඕන වුණා. ඒත් මට ඒකට කිසිම ශක්තියක් තිබුණේ නැහැ.
“මොකද, මොකද මට ඔයාව අතහැරලා දාන්න බැරි නිසා…”
“ඒකට දැන් පරක්කු වැඩියි මතින්ද්‍ර…”
“නැහැ…ඒකට පරක්කු නැහැ… ඔයාටත් නැහැ, මටත් නැහැ…”
“ඔය කතාව නතර කරන්න” මං අහක බලාගෙන කියද්දී, එයා හෙමින් එයාගේ අතින් මගේ කම්මුල අල්ලගත්තා. මං එකපාරටම ගැස්සුණා. ඒ ස්පර්ශය මට මාරම බයක් ගෙනාවා. ඒක මට හුරුයි, මට ඒක කවදාවත් අමතක වෙලා තිබුණේ නැහැ. මං මගේ ඇස් පියාගත්තේ මටම ඒක දරාගන්න අමාරු නිසා.
“එපා” මං හෙමින් මිමුණුවා. ඒත් මං එයාගේ අත මගේ මුහුණෙන් අයින් කළේ නැහැ. එයා තවත් මට ලං වුණා. අපේ හුස්ම එකිනෙකාට වදින තරම් අපි ලං වෙලා හිටියේ. මගේ ඇස් තවමත් තිබුණේ පියවිලා.
“ඔයාට තාමත් මාව දැනෙනවා” එයා හෙමින් කියද්දී, මගේ හදවතේ ගැස්ම එක තත්පරයකට නතර වුණා වගේ දැනුණා. “කියන්න” එයා තවමත් මගේ මුහුණට ලං වෙලා. “කියන්න ඔයාට මාව දැනෙන්නේ නැහැ කියලා”
මං කතා කරන්න උත්සාහ කළා. “මං..” ඒත් වචන පිටවුණේ නැහැ. මගේ හුස්ම අවුල් වෙලා, මුළු ඇඟම වෙවුලන්න ගත්තා. මං හෙමින් ඇස් ඇරලා එයා දිහා බැලුවා. ඒ තත්පරේ අපි අතර තිබුණු පරතරය සම්පූර්ණයෙන්ම නැති වෙලා වගේ මට දැනුනෙ. මට එයාගේ ඇස්වල තියෙන ඒ මහා පිපාසය පේනවා. ඒක මට බයක් ගෙනාවා, ඒත් මං උන්නෙ ඒ පිපාසෙ අස්සට ඇදිලා ඇදිලා යන ගමන්
“මේක වැරදියි” මං හෙමින් කිව්වා. “ඔව්” එයාත් හෙමින් කිව්වා.
“අපි මේක නතර කරන්න ඕනේ” මං හෙමින් කිව්වා.
“ඔව්” එයත් හෙමින් කිව්වා.
ඒත් කවුරුවත් එතනින් හෙල්ලුණේ නැහැ. කවුරුවත් පස්සට ගියේ නැහැ. මගේ ඇඟිලි මටත් නොදැනිම හෙමින් එයාගේ ෂර්ට් එක අල්ලගත්තා. ඒක තමයි මගේ උත්තරේ වුණේ. මට වචනවලින් කියන්න බැරි වෙච්ච උත්තරේ වුණේ.
එයාගේ හුස්ම ටිකක් බර වුණා.
“මේඝා” ඒ හඬ ඇතුළේ ඉල්ලීමක්, අවසරයක් වගේම ලොකු අනතුරු ඇඟවීමක් එක්කහු වෙලා තිබුණා. මං මටම, මගෙ හැඟීම් වලට යටත් වෙලා ඇස් පියාගත්තා.
ඒ තත්පරේම එයාගේ තොල් මගේ තොල් මත නතර වුණා.
ඒක හරිම මෘදුයි, හරිම හෙමින් සිද්ධ වෙච්ච දෙයක්. හරියට බිඳිලා යන්න යන දෙයක් පරිස්සමින් අල්ලගෙන ඉන්නවා වගේ. මට අඬන එක නතර කරගන්න බැරි වුණා. ඒ හාදුව අස්සේම මගේ කඳුළු කම්මුල් දිගේ ගලාගෙන ගියා. ඒක සතුටක් නෙවෙයි. ඒක මහා ලොකු වේදනාවක්, අවුරුදු ගාණක බලාපොරොත්තුවක් වගේම ලොකු අහිමි වීමක්.
මං එයාව තවත් තදින් අල්ලගත්තා. එයා මාව එයාගේ තුරුලට තවත් තද කරගත්තා. අපි දෙන්නා එකිනෙකා අල්ලගෙන හිටියේ හරියට වැටෙන එකෙන් බේරෙන්න හදනවා වගේ. ඒත් ඇත්තටම, අපි දෙන්නම වැටෙමින් හිටියේ එකම අගාධයකට.
“මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කඳුලැලි දරා
මං මග බලා සිටියා
නෙතු ගනදුරට තරුවක් වෙලා
ඔබ එතැයි සිතා
සිල් බිඳලන්න නොහැකි නිසා මම
මග බලා සිටියා”


