සුහදිනී – 34

“අපේ කොල්ල අතින් ළකුණු හතලිහක් විතර දුන්නු හින්දා ඔසී උන් හිතන්න ඇති හරි තමා වැඩේ කියල.”

නිම්නා සකීගේ අතකින් ඇද මහත් සන්තෝසයකින් ඇයට දුරකථන තිරය පෙන්වූවා ය.පෙනෙන්නේ ප්‍රේක්ෂකාගාරය ය. ඕස්ට්‍රේලියානුවන් මහත් විස්සෝපයෙනි.සකී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දෙස බැලුවා ය.තවත් හඹා යා යුතු ළකුණු තිස් ගණනක් පමණි.

“අහස් නෙළනවා නෙළිල්ලක්.ෆින්ච්ට ඇඬිලා ඉන්නේ අන්න.”

නිම්නා කියන්නේ අත් පොඩි සලමිනි.අහස් ප්‍රවේගකාරී වී ඇති අන්දමත් ජයග්‍රහණය හඹා යන අන්දමත් සකී බලා සිටියේ කදුළු අතරිනි.ඇයට ඉකි ගසා හඬන්නට ඕනෑ ය.නමුත් එය පහසු නොවේ.රන්මිණි වහා හේතුව විමසන වග ඇය දනියි.එය කළමණාකරණය කර ගන්නා අන්දම සිතමින් සකී නිරුත්තරව බලා සිටියා ය.

“අපි පොඩි කාලේ යාලුවන්ගෙන් දීපුව උදුරගන්නෙ තරහ වුණාම.මේක එහෙම වැඩක්.”

නිම්නා හිනැහෙන්නේ එසේ කියමිනි.

“දැන් පැයකට කලින් අහස්ව නැති භංගස්ථාන කරලා සෝෂල් මීඩියා වනසපු පේජ් ටික බලන්නකො.උන්ට ඊටවඩා වීරයෙක් නෑ දැන්.මුන් මොන වගේ මිනිස්සුද කියලා මං මේ හිතන්නේ.”

සියුම් වට්ස් ඇප් පණිවිඩයක් එවා තිබුණේ එසේ කියමිනි.එය මොනතරමට සත්‍යයක්දැයි සකී සිතුවා ය.කණ්ඩායමේ සිටි හොඳම පන්දු යවන්නෙකු හදිසියේ ආබාධයකට ලක් වීම නිසා එතැන ආදේශකය අහස් ඉලංගසිංහ වෙද්දී සමාජ මාධ්‍ය ක්‍රිකට් තේරීම් මණ්ඩලවලට කියන්නට බොහෝ කතාන්දර තිබිණ.

“කෙල්ලො මාරු කර කර රවුම් ගහන රස්තියාදුකාරයෙක් කියලනෙ අහස්ට කියන්නෙ.අහස්ව එහෙමනෙ දකින්නෙ.බෝල් කරොත් ලකුණු පූජා කරනවා.ෆීල්ඩින් වලදි කැච් මිස් කරනවා.බැට් කරන්න ආවම බිංදුවට අවුට් වෙනව.ටීම් එකේ තියා ගන්නම ඕන නැති මනුස්සයා කියලනෙ අහස්ට පහුගිය කාලෙම කිව්වේ.”

නිම්නා එසේ කියන්නේ අහස් ජයග්‍රහණය වෙත නැවතිල්ලේ යන ආකාරය දෙස ප්‍රීතියෙන් නරඹමිනි.කියන්නට වචන සොයා ගන්නට නොහැකිව සකී හිස වැනුවා ය.

“අර නිළි සමයම තමා අනෙ ඕවට වග කියන්න ඕන ඇත්තෙ.හිතන්නකො ටොක්සික් ලව් එකක් තියන කාලෙට අපි වුණත් විභාග එහෙම ෆේල් වෙන්නෙ ආයේ ආයේ රිපීට් කරන්නෙ ඇඩ්‍රස් නැතුවනෙ.කොච්චර මනස නිදහසේ තියා ගන්න ඕන ගේම් එකක්ද මේ.අරකි ඔලුව කනකොට අහස්ට පිස්සු හැදිලා තියෙන්න ඇති.”

නිම්නා මෙතෙක් වෙලා පැවසූ සෑම දෙයකටම වඩා සකීට පුදුමය ගෙනාවේ රන්මිණිගේ කතාව ය.වෙස් පෙරළෙන මිනිස්සු යැයි කතාවට කියන්නේ මෙවැනි අවස්ථා ගැන විය යුතු වේ.

“මං දැක්කා සාරණ්‍යා අර මලිත්ගේ කර උඩ නැගගෙන යූ ටියුබ් ව්ලොග්ස් කරනව.එයාට හරියන්නේ එහෙම මල බූත ඇක්ටර් කෙනෙක් තමා.”

රන්මිණි කතාව අවසන් කළේ අහස් නම් රටක් වටින ක්‍රීඩකයා විනාශ කළ නිළියට තවත් බොහෝ දෝෂාරෝපණ කිරීමෙන් පසුව ය.

“ලංකාවෙ ඉන්න ටිපිකල් ක්‍රිකට් ෆෑන්ස්ලට හොඳම නිදර්ශනේ මෙන්න මෙයා.”

දැන් තරගය උණුසුම් ය.නමුත් රන්මිණිට හොඳ දෙකක් පැවසීම නිම්නාට ඊට වඩා වැදගත් ය.

“දිනන හැම වෙලාවකම සිංහ පැටව්.පැරදුණාම බූරු පැටව්.අනේ ඉතිං කාවද ඔය රවට්ටන්නෙ”

නිම්නා එසේ කියද්දී රන්මිණි ඇයට එරෙහි වූවා ය.තරගයක් නරඹන්නේ ජයග්‍රාහී අවස්ථා නරඹන්නට ය.

“මං නම් චූටි ළමයෙක් කාලෙ සනත් ජයසූරියලගෙ ඉඳලා මහේලලා සංගලා දිනෝපු මැචුත් බැලුව.මේ මෑත කාලේ හොඳටම ෆේල් වෙන අපේ ටීම් එක දිහාත් බලන් හිටිය.මං ඔයා වගේ හුරේ දාන්න විතරක් මැච් බලන මනුස්සයෙක් නෙවේ.”

අවසන් පන්දු වාරයට පෙර වෙළඳ දැන්වීම් ක්‍රියාත්මක වෙමින් තිබියදී නිම්නා නෝක්කාඩු කීවා ය.එහෙත් රන්මිණිට ඒවා වගක් නැත.ඇය දැන් සිටින්නේ තරගය ජයගත් මානසිකත්වයක ය.මෙතරම් කාලයක් අහස්ට නැඟූ දෝෂාරෝපණය “ඔහු හදා ගන්නට නැඟූ ඒවා”බව කියද්දී සකීට සිනාවක් පවා නැඟිණ.

“සකී බලන්නැති මැච් පරදිනව කියල අපි දන්නවනෙ.අදත් පැරදිලා කප් එක සහයෝගෙන් බෙදා ගන්න වෙයි කියල හිතුවෙ.අහස්ට ආච්චි වැහුණනෙ ඒත්.”

රන්මිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඔල්වරසන් නඟන්නිය බවට පත් වී සිටියා ය.

අහස් ඉලංගසිංහ හයේ පහරක් සහිතව තරගය අවසන් කළේ ය.ඔහු නිසා තරගාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට නැතිව යන බවට දැඩි ලෙස දුර්මත පැතිරෙමින් තිබිය දී ඔහු තමන්ගේ පිත්ත ජයග්‍රහණය වෙනුවෙන් ම හැසිරවූයේ ය.ජයග්‍රාහී පහර අවසානයේ ඔහු පිත්ත මත හාදුවක් තබා එය පියාඹන හාදුවක් බවට පත් කළේ ය.ඒ ඔහු එසේ කළ පළමු වතාව බවට විස්තර විචාරකයන් විස්මයෙන් පවසන හඬ සකීට ඇසේ.ඇය ඒ හාදුව දෝතින්ම අල්ලා ගත්තා ය.

“උඹ මැතිරුවද කෙල්ලෙ.අන්න අර යකා කිස් එකකුත් පා කරලා එව්වා.”

සිනා මුහුණු සමඟ සියුම් තවත් පණිවිඩයක් එවා තිබිණ.නිම්නා තරම් කෑගසා සන්තෝස වන්නට ඉඩ නොවුණ ද සකී ගල් ගැසුණු හැඟීමකින් සතුටු වූවා ය.සැබෑවටම ඔහු ජයග්‍රහණය කර තිබේ.ක්‍රීඩාංගනය පුරා හිනැහෙමින් දඟලමින් සගයන් සමඟ ප්‍රීති වන අහස්ගේ සෑම දඟකාර ඉරියව්වක්ම සකී විඳ ගත්තේ ආදරයෙනි.බොහෝ කාලයකට පසු දිනාගත් සාර්ථකත්වය හන්දා ඔහු ප්‍රීතියෙනි.ඔහු ප්‍රීතිය නිසා ඇය සොම්නසිනි.

ඒ තරගයේ වීරයා වන්නේ අහස් ඉලංගසිංහ වගට කිසිම සැකයක් නොතිබිණ.තරගාවලියටම සහභාගී නොවූ නිසා තරගාවලියේ වීරයා වන්නට නොහැකි වුව ද ඔහු තරගය ශ්‍රී ලංකාව වෙතට නතු කරගත් වීරයා වී තිබිණ.තරගයට අහම්බයකින් එක් වීම ගැන ද පසුගිය කාලයේ අසාර්ථක වීමෙන් පසු නැවත ගොඩ නැඟුණු අන්දම ගැන ද තරගයේ දී මුහුණ පාන්නට වූ අභියෝග ගැන ද එල්ල වූ සෑම ප්‍රශ්නයට ම ඔහු පිළිතුරු ලබා දුන්නේ ය.එහෙත් ඔහු කතා කර අවසන් වූයේ නැත.තමන් බොහෝ විශ්වාස කිරීම ගැන නායකයාටත් කණ්ඩායම් සගයන්ටත් ස්තූතිවන්ත වූ අහස් තමන් තවදුරටත් විශ්වාස කළ ශ්‍රී ලාංකිය ජනතාවට ද ස්තූතිවන්ත විය.

“සෑහෙන අමාරු කාලයක් පහු කරන මාව හදිසියේ ම අල්ලාගෙන දරා ගන්න පටන් ගත්තු සූරියකාන්ත මලට වැඩියෙන් ස්තූතියි.ඔයා මං ළඟ ඉන්නකම් මං පරාද වෙන එකක් නෑ.මං ඔයාට හරිම ආදරෙයි.”

අහස් එසේ කියද්දී මහත් ප්‍රීති ඝෝෂාවක් ඇසෙන්නට විය.තාරුණ්‍යය උතුරා යමින් සිටින කණ්ඩායම් සගයන් පමණක් නොව ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු සගයන් පවා ඒ කතාවට ආදරණීය සරදමක් සහිතව උණුසුම් ප්‍රතිචාර ලබා දෙන අන්දම සකී බලා සිටියේ බොඳව ගිය දෑසකිනි.අහස් ලෝකයටම ඇසෙන සේ ඇයට ආදරය බව කියා තිබේ.දැන් ඇයට ඕනෑ නිදහසේ හඬන්නට ය.

“එයාට කෝල් කරන්න ගොඩක් වෙලා බලන් ඉන්නෝනද?”

නිම්නාගේ හඬ අඳුර මැදින් මතු වූයේ සකී සඳැල්ලට විත් ඇගේම ලෝකයක තනිව සිටි මොහොතේ ය.”මං ඔයාට හරිම ආදරෙයි” ඔහු එසේ පැවසූ අන්දම නැවත නැවත අසන්නට සකීට උවමනා ය.ඔහු ආදරය ප්‍රකාශ කරන්නට එතැන තෝරා ගන්නා වග ඇය සිතා තිබුණේ ම නැත.නමුත් එය සිදු වී අවසන් ය.

“පණ යනකම් මැච් බැලුවට ඇත්තටම එයාලගෙ ලයිෆ් එක ගැන මට තේරුමක් නෑ.ඔයාට එයාට කතා කරන්න තව ගොඩක් වෙලා යනවද?”

නිම්නාගේ අතැඟිලි  සකීගේ වැලමිටෙන් අල්ලා ගනිද්දී නිම්නා අසන දේ තෝරා ගන්නට නොහැකිව සකී ගල් ගැසුණා ය.

(දින තුනක් තිස්සේ සකී එනතුරු මඟ බැලුවාට ස්තුතියි.අසනීප තත්ත්වයක් නිසා කතාව මඟ හැරුණාට සමා වෙන්න.අද දවස “අහස්” ට ජයග්‍රාහී දිනයක් වේවා!😁)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles