මල්සර හී සර – 8

0
3756

“කට්” කියලා වසන්ත කලුආරච්චි සීන් එක කට් කරද්දි වේලිච්ච වැවේ මැද හරියක බිම වාඩිවෙලා නෙලුම් අල හාර හාර උන්නු සප්තමී මෙච්චර වෙලා ඇඟට ආවේශ කරගෙන උන්න “සංසාර පාරමිතා” ටෙලිඩ්‍රාමා එකේ බන්දුලාගෙ කැරැක්ටර් එකෙන් ආයෙම වතාවක් සප්තමී වුණා.

වසන්ත කලුආරච්චි ඊලඟ සීන් එක රෙඩි වෙනකම් මාලවී එක්ක කතා කර කර හිටියෙ මාලවි තමන් කිව්ව විදියටම සප්තමී එක්ක ශුටින් වලට එන්න වැඩේ සෙට් කරගත්ත සන්තෝසෙත් හිතේ තිබිච්ච හන්දා.

“මීට කළින් රඟපාලා නෑ කිව්වට ඔයාට හොඳට රඟපාන්න පුලුවන් නෙ” කියලා කිව්වෙ සංසාර පාරමිතා කතාවේ බන්දුලාගෙ පිටිපස්සෙන් එන ගමේ කොල්ලගෙ චරිතෙ රඟපාන මලින්ද වාසලතන්ත්‍රි. මලින්ද වාසලතන්ත්‍රි කියන්නෙ ඇත්තටම ක්ශේත්‍රයේ හැම නිළියෙක්ම නලුවෙක්ම වගේ රෙස්පෙක්ට් කරන, ඒ විදියටම අනිත් පැත්තටම ඒ මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන, තනිකඩ කොල්ලෙක් උනත් කිසිම නිලියක් එක්ක කේස් එකක් දාගත්තෙ නැති හැමෝම ගරු කරන විදියෙ වැදගත් ජිවිතයක් ගෙවන මනුස්සයෙක් වෙච්ච හන්දා සප්තමීට බයක් සැකක් තිබ්බෙ නෑ මලින්ද එක්කල කතාකරන්න. සප්තමීගේ හිතට වද දුන්න එක්කෙනෙක් විතරයි මේ සෙට් එකේ හිටියේ. ඒ සමුද්‍ර. සාමාන්‍යයෙන් ප්‍රඩියුසර්ස්ල ටෙලි ඩ්‍රාමා වලට සල්ලි දුන්නයින් පස්සෙ ශූටින් තියෙන තියෙන ලොකේශන් එකට යන්නෙ නෑ කියල දන්නවා උනාට මොකෝ වෙනසකටත් එක්ක තමන් මේ සංසාර පාරමිතා එකේ ශූටින් වලට ආවෙ ඇයි කියන එක සමුද්‍රටත් ප්‍රශ්නයක් උනා. හැබැයි ඉතින් ඒක වෙන කෙනෙක් තමන්ගෙන් ඇහුවොත් නම් “මං ඉතින් ප්‍රඩියුසර් විතරක් නෙවෙයිනෙ, ස්ක්‍රිප්ට් එක ලිව්වෙත් මමනෙ” කියල කියන්න පුලුවන්කමක් තියෙන හන්දා යාන්තම් ජාමේ බේරගන්න පුලුවන් වෙච්ච එක වෙනම කතාවක්.

“කියල දුන්නනෙ ඉතින් කරන්න ඕන විදිය. ඉතින් කරගන්න පුලුවන් උනා” කියල සප්තමී හිනාවෙවී මලින්ද අහපු මොකද්ද එකකට උත්තර දෙනවා සමුද්‍ර ඈත ඉඳන් බලාගෙන තමයි හිටියෙ. 

“එහෙම ඉතින් එකපාරක් කියල දුන්නා කියල මෙච්චර හොඳටම රඟපාන්න පුලුවන් වෙනවා කියන එකත් ලොකු දක්ශ කමක්නෙ නංගි” කියල හිනාවෙවී තමයි මලින්ද ඉස්සර වෙච්චි සප්තමීත් ඒ පිටිපස්සෙ වැව ඉස්මත්තෙ කට්ටියට කන්න මඤ්ඤොක්කා එහෙම තම්බල තිබ්බ තැනට කිට්ටු කලේ. මේ විදියට රඟපාන්න එන්න හිතෙන් එච්චර ලොකු කැමැත්තක් නොතිබ්බට මොකෝ සමුද්‍ර ගෙ කීම අහක දාන්නබැරි හන්දා ආවට මේ වැඩේ හරි විනෝද විත්තිය සප්තමීට තේරුනේ පස්සෙන්දා නතරවෙන්න තිබ්බ තැන නතරවෙලා කට්ටිය එක්ක රෑ ගිනි මැල ගහලා සින්දු කියලා විනෝද වෙද්දි. අනික අම්මා වෙනුවට මාලවී ආව හන්දා තමන්ගෙ වයසෙ යාලුවො කීප දෙනෙක්ම කෲ එකේ උන්නු හන්දා විනෝද වෙන්න පුලුවන්කමක් සප්තමීටත් තිබ්බා.

“මං මේ ඒත් කිය කිය හිටියෙ සමුද්‍ර මොක උනත් සමුද්‍ර තමන් ලියපු ස්ක්‍රිප්ට් එකට ඇත්තටම ගන්න පුලුවන් හොඳම ෆීමේල් ලීඩ්ව තමයි අරගෙන තියෙන්නෙ” කියල මලින්ද වාසලතන්ත්‍රි මඤ්කොක්කා පිඟානක් බෙදාගන්න ගමන් පැත්තක උන්න සමුද්‍ර මාකලන්දට ඇහෙන්නත් කියද්දි ඔය වචන ටික ගිහින් මාලවීගේයි වසන්තගෙයි කණේ වැදුනෙ නැත්තෙ නෑ. මාලවී ඒ වෙලාවෙ ඇස් දෙක කරකවලා කට නියවලා වසන්ත දිහා බලද්දි වසන්ත නම් ඇස් දෙකෙන් කිව්වෙ “ගණන් ගන්න එපා” කියලා තමයි.

“මලින්දට මොකෝ එකපාර එහෙම හිතුනෙ?” කියලා සමුද්‍ර මුකුත් ඒකට උත්තර දෙන්නෙ නැති තැන අහන්න තීරණේ කලේ සුමල්. කවදාවත් නැතුව සමුද්‍ර තමන්වත් එක්කරගෙන ගෙන මෙහෙම ශූටින් වලට එන එකේ මොකක් හරි සැඟවිච්ච කතාවක් තියෙන්න ඕන විත්තිය දැනගෙන හිටියත් කොච්චර හොඳ ෆිට් එකක් උනත් සුමල් ඕක අහන්න හිතුවෙ නෑ. “මිනිහටම හිතිච්ච වෙලාවක කියන්නෙ නැතෑ” කියන එක තමයි සුමල් නම් හිතුවෙ.

“නෑ මං කිව්වෙ ඇත්තටම, සාමාන්‍යයෙන් මේ වගේ අවෝඩ් විනින් ස්ක්‍රිප්ට් එකකින් හදන ෆිල්ම් එකකට හරි ටෙලි ඩ්‍රාමා එකකට හරි අරගන්නවනම් මිනිස්සු අරගන්නෙ ෆීල්ඩ් එකේ නමක් දිනාගත්ත වෙල් රෙපියුටඩ් නලු නිලියොනො. ස්පෙශලි ලීඩ් රෝල්ස් වලට” කියන ගමන් මලින්ද මඤ්ඤෝක්කා කෑල්ලක් හපන්න ගත්ත වෙලාවෙ තමයි කතාව මැද්දට වසන්ත පනින්න තීරණේ කලේ.

“ඕන්න ඕකම තමයි මලින්ද මමත් සමුද්‍රට කිව්වෙ. අලුත් නිලියන්ගෙ ප්‍රශ්නයක් කියන එක නෙවෙයි මම කියන්නෙ. ඒ උනාට මේ වගේ සුපිරි ස්ක්‍රිප්ට් එකකට මම කියන්නෙ අර අලුත්ම කෝඩුකාරයෙක් ගන්නවට වඩා ලේසියි වැඩේ කරගන්න පොඩ්ඩක් හරි පුරුදු එක්කෙනෙක්ව අරගන්න එක කියලා. ඒ උනාට ඉතින් සමුද්‍රට ඕනම උනානෙ අලුත් ෆේස් එකක් මේකේ ෆීමේල් ලීඩ් එක කරන්න” කියලා කියද්දිත් සමුද්‍ර නම් උන්නේ මේ කිසිම දේකට් උත්තර දෙන්නෙ නැතුව වේලිච්ච වැවෙන් එහා පේන ගස් කොලන් වලින් වැහිච්ච පැත්ත දිහා බලාගෙන. සමුද්‍ර මේ එහෙකටවත් උත්තර නොදී ඉන්න එක මෙතන මේ වෙලාවෙ ඉන්න හැමෝටම ප්‍රශ්නයක් විත්තිය දන්න හන්දමයි සුමල් ඕන්න ඒකටත් බෙල්ල තියන්න හිතුවෙ.

“නෑ මං හිතන්නෙ සමුද්‍ර..” කියල කතාව පටන් ගත්තට මොකෝ සුමල්ට කතාව දිගටම කරගෙන යන්න හම්බුනේ නෑ. මෙච්චර වෙලා තමන් දිහාවට විසික්වෙච්ච ප්‍රශ්න කිසිම එකක් ඇහිච්ච නැති තාලෙට උන්නු සමුද්‍ර එකපාරම මේ කතාවට උත්තර දෙන්න පටන් ගනී කියන එක හැමෝටම ප්‍රශ්නයක් උනේ සමුද්‍ර කියන්නෙ කොහොමත් වැඩි කතාවක් බහක් නැති මනුස්සයෙක් වෙච්ච හන්දා.

“රඟපාන්න දන්නවනම්, කතාවට හරියටම හරියන්නෙ මෙන්න මේ මනුස්සය කියලා ඉතින් ස්ක්‍රිප්ට් එක ලිව්ව කෙනාට තේරෙනවනම් මං කියන්නෙ නිලිය පරණ ද අලුත් ද කියන එක එච්චර වැදගත් නෑනෙ. අනික අපි ඉතින් මූණ විතරක් බලලා නෙවෙයිනෙ මේකෙ ලීඩ් ඇක්ට්‍රස්ව තෝරගත්තෙ ඔඩිශන් එකකුත් තියලානේ. එහෙම එකේ මම හිතන්නෙ නෑ දිගින් දිගටම ඕක ගැන කියව කියව යන්න හේතුවක් අපිට තියෙනවා කියලා” කියලා සමුද්‍ර කියද්දි මලින්ද හිනාවෙවී සප්තමී දිහා බලන ගමන් යාලුකමට සප්තමී දිහා ඇහැක් ගහන ගමන් ඇඟෙව්වෙ “මෙයාට තියෙන තැන බලන්නකො” කියන එක. සප්තමී නම් කරේ ඔය හැම එකටම හිනාවෙවී ඉන්න එක තමයි. කොහොමත් මේ ශූටින් වලට එන්න කලින් අම්මා කිව්ව දේ තමයි “මිනිස්සු කොච්චර මතුපිටින් හොඳයි කියලා පේන්න තිබ්බත් අපි දන්නෙ නෑනෙ ඇතුලෙන් ඒ මිනිස්සු මොන වගේ අයද කියන එක. ඒ හන්දා ඕනවට වඩා කා එක්කවත් හිනා කතා යාලුකම් තියාගන්න යන්න එපා පුතේ. අන්තිමේ ඕව ගැලවෙන්න බැරි විදියෙ තොණ්ඩුවක් වගේ වෙයි බෙල්ලට දාගත්ත” කියලා.

කතාව එතනින් ඉවරයි කියල හිතුවට ඒක එහෙමම නෑ කියන එක කට්ටියටම තේරුණේ සමුද්‍ර ආයෙම වතාවක් දෙයක් කියන්න කට ඇරියයින් පස්සෙ.

“ඒ උනාට ඉතින් අපි රඟපාන්න පුලුවන් කියල අරගන්න සමහර අයට නම් රඟපානවට වඩාත් දේවල් පුලුවන් කියලා අපිට තේරෙන්න පටන් ගන්නෙ එකට වැඩ කරන්න පටන් ගත්තමනෙ. කොයි කාට උනත් ඉතින් මේ වගේ ෆීල්ඩ් එකකට ආවට පස්සෙ අමතක වෙන වනේ තමන් කවුද කියන එක, ඉන්පස්සෙ ඉතින් කොච්චර දක්ශ උනත් වැඩක් නෑ නම කැතකරගෙන නම්” කියලා සමුද්‍ර කියද්දි සප්තමී උන්නු තැනම විනාඩියකට විතර ගල් ගැහුනා. සමුද්‍ර මේ කතාකරන්නෙ තමන් ගැනද කියන සැකේ හිතට ආව එක ඇත්තක් උනත් ඒක එහෙම නම් ඒ මනුස්සයා තමන් ගැන එහෙම කියන්නෙ ඇයිද කියන සප්තමීට ඇත්තටම හිතාගන්න පුලුවන් උනේ නෑ.

“ඇයි සමුද්‍ර එකපාර එහෙම කතාවක් කිව්වෙ?” කියලා වසන්ත ඇහුවෙ තමන් නොදන්න මොකක් හරි සප්තමී ගැන දෙයක් සමුද්‍ර දන්න හන්දා වෙන්නැති කියන සැකේ හිතේ තිබිච්ච හන්හා. නොකිව්වට මොකෝ මෙච්චර වෙලා මේ වෙච්ච කතන්දර ඔක්කොම අහගෙන උන්න මාලවීගේ හිතෙත් සමුද්‍ර මෙහෙම දෙයක් කිව්වෙ ඇයි කියන ප්‍රශ්නෙ ලොකුවටම තිබ්බා වගේම ඒකට හේතුව මොකද්ද කියල දැනගන්නත් ලොකුවටම උවමනාවක් තිබ්බාඅ.

“නෑ ඉතින් ගොඩක් අයට අමතකයිනෙ මේ ඉන්ඩස්ට්‍රි එකට ආවම තමන් ආව කාරණාව එහෙම. මං ඒකයි එහෙම කිව්වේ. නැතිව විශේශ දේකට නෙවෙයි.

අන්තිමේ නැත්තම් ඔය වගේ කේස් නලු නිලියො දාගත්තම ඒ අයව ෆීල්ඩ් එකට අරගෙන ආව මිනිස්සුන්ටත් කතා අහන්න වෙන විදියෙ වැඩනෙ සමහරු කරන්නෙ” කියාගෙන එතනින් මාරුවෙලා තමන්ගෙ ජිප් එක දිහාවට යන ගමන් සමුද්‍ර සප්තමී දිහාවට දාගෙන ගියේ මහ අමුතුම අමුතු නපුරුම නපුරු ලුක් එකක් කියන එක සප්තමී ඇරෙන්න අනිත් හැමෝම දැක්කා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here