විහඟ පියාපත් 9

ශයිනි දඩිබිඩියේ ඇඳෙන් පැන්නාය. ඒ ගමන්ම තිළිණි ට ඇමතුමක් ගත්තාය. තිළිණි ඇමතුම ට පිළිතුරු දුන්නේම බැණ වදිමින් වුවද ශයිනිට අමුතු උද්‍යෝගයක් දැනෙමින් තිබුණි.

තිළිණි ඇමතුම විසන්ධි කලේ අකලංක ගේ ෆේස්බුක් ගිණුම සහ මොණරවිල හොටෙල්ස් හී ගිණුමද බලන මෙන් පවසමිනි. සියල්ල යහපත් අතට හැරෙන්නට නම් සියල්ලෝම නිවැරදි බව ඔප්පු වන තෙක් සටන් වදිමුයැයි ඇය ඇමතුම පුරාම අවධාරණය කල නිසාම, ශයිනිද ඇමතුමෙන් පසු මුහුණු පොතට රිංගා ගත්තේ බිඳුණු කැබලි එක් කර යළි නැගිටුවාගැනීමට හැකි වේය යන විශ්වාසය සමඟිනි. 

අකලංක ගේ මුහුණු පොත් ගිණුම සොයාගැනීම අපහසු වූයේ නැත. “මොණරවිල රස ගඟුල” එලෙස කැප්ශන් යොදා තිබුණි. ඉඳිආප්ප බෙදූ පිඟානක් සහ කහට කෝප්පයක් අතැතිව සිනාසෙමින් උන් අකලංක ගේ රුව ශයිනිව තිගැස්සූවේ නැති යැයි කිවහොත් මුලාවකි. 

සියල්ලෝම තමා පාගා දමන්නට උත්සාහ කරද්දී, තමා වටා සිටින අල්පයක් වූ දෙනා අතරට පැමිණි මහා ශක්තිමත් පෞරුෂයක් ලෙසින් ඕ ඔහුව දැක්කාය. ඒ සිනහව; ඇය ඔහු හා හිනැහුණාය.

අකලංක ගේ පෝස්ටුව මොණරවිල හොටෙල්ස් හී ගිණුමේ බෙදාගෙන තිබුණි. කිසිඳු අයහපත් කොමෙන්ටු ඒ පෝස්ටු දෙකේම නොවූ නිසා ශයිනි උන්නේ සැහැල්ලුවෙනි. සියල්ල එක්වරම විසඳෙන්නේ නැත. එහෙත් ,  සියල්ල විසඳීම කොහෙන් හෝ ඇරඹීම අත්‍යාවශ්‍යය. මේ ඒ ඇරඹුම යැයි ඇය සිතුවාය. 

ශයිනි නාන කාමරයට වැදී නාගත්තාය. සැහැල්ලු ගවුමක් ගත ලාගෙන පහලට ගියේ වෙහෙස සඟවාගනිමිනි. අම්මා සහ තාත්තා සියල්ල දන්නා වග තිළිණි එවා තිබු වට්සැප් පණිවිඩ වල තිබු බව ශයිනිට මතකය. ඒ නිසා යළිත් ඒ ගැන විස්සෝපවෙමින් පැහැදිලි කල යුතු නැත. කල යුතු වන්නේ, මින් ඉදිරියට කුමක් කල යුතුදැයි ඔවුන් සමඟද සාකච්ඡා කිරීමය. 

අම්මලාට සියල්ල පැවසූ වග කීවද, තමා අමයුරු ට ගෙවීම් කර ඇති බව තිළිණි අම්මාට පවසා නැති බව ශයිනිට තේරුම් ගියේ කතා බහ අතර වාරයේය. ඇයද ඒ වගක් නැතිවම මෙන් හැසිරුණාය. තාත්තා කීවේ පුවත්පත වෙත ලිඛිතව දන්වමින් එය නිවැරදි කරන මෙන් පවසන ලෙසය.  ඒ සඳහා අවශ්‍ය කාලය සහ, ඒ සඳහා ඔවුන් ගන්නා පියවර හැකි ඉක්මනින් තමන්ට දැනුම් දෙන්නට කටයුතු කරන ලෙසද ඒ ලිපියෙහි සඳහන් කරන මෙන් තාත්තා ශයිනි ට කීවේය. 

 එවෙලෙහි එය එලෙස සිදු කිරීම හොඳම විසඳුම ලෙස තමාද සිතන වග පවසමින් සාකච්ඡාවට එක් වූවා වුවද,එය එසේ ගලපාගන්නේ කෙලෙසදැයි ශයිනිට අදහසක් තිබුණේ නැත. මුදල් බැර කලේ පුවත්පතෙහි ගිණුමට වුවද, අමයුරු ට දැන්වූවා මිසෙක ඒ පිළිබඳව පුවත්පතෙහි සංස්කාරක මණ්ඩලය වෙතින් හෝ ගිණුම් අංශයෙන් කිසිඳු පිළිතුරක් ලැබුනේ නැත. ඒ තියා මුදල් බාර ගත් බවට සහ ඊට අදාල ගිවිසුමක් හෝ නැත

තමා ක්‍රියා කර ඇත්තේ කෙතරම් අමනෝඥ ලෙසදැයි ශයිනිට වැටහෙන්නේ දැන් ය. කල වරද වැටහෙන නිසාත්, නෙළා ගන්නා අස්වනු තමා ඒ වැපිරූ වරදේ තරමට අනුව බවත් වටහා ගන්නට හැකි නිසා ඇය දැන් කඩා බිඳ වැටුණ තැන් වලින් නැගිටගෙනය. හෙමි හෙමින් රිදුණ තැන් සනහා ගන්නට හැක. ශයිනි තිළිණි හා ඇමතුම අවසන් කලේ හෙට උදෑසන හමුවන බලාපොරොත්තුව සහ සැලසුම් සමඟය.

චරිත්ගේ අදහස වූයේද පුවත්පතට එරෙහිව නඩු පවරන්නට තරම් ප්‍රබල සාක්ශි නොමැතිව එවැනි ක්‍රියාමාර්ගයකට යෑම සුදුසු නොවන වගය. ඒ අතරේ අමයුරු දිසානායක යනු නිර්නාමික ලියන්නෙකු බවද , ඔහු කාර්‍යාලයට වාර්තා කරන්නෙකු නොවන බවද, ඇතැම්විට ඔහුගේ අනන්‍යතාවය සංස්කාරකවරයා පමණක්ම දන්නවා විය හැකි වගද චරිත් පැවසූයේ ශයිනි යළි අසීරුවෙන් ගොඩ නගා ගත් මානසිකත්වය බිඳ හෙලන තරමේ කුළු ගෙඩි පහර හෙලමිනි.

“එතකොට .. ඇත්තටම එහෙම කෙනෙක් නැද්ද?”

“අමයුරු කියලා කෙනෙක් නැහැ.. ඒත් ඇත්තටම ඉන්නවා ඉතින් කවුරු හරි කෙනෙක්.. බෑන්ක් ඩීටේල්ස් වලින් ඒ අයිඩෙන්ටි එක අහුවෙන නිසානේ පත්තරේ  චැරිටි  අකවුන්ට් එකට සල්ලි දන්න කීවේ .”

“හ්ම්…. මං කොහොමද අප්පා එච්චර මෝඩ වුණේ…?”

මිතුරන් දෙදෙනා ඉදිරියේ ශයිනි හදවතින්ම පසුතැවුණාය. එහෙත් ගිය නුවණ කිසිවෙකු හෝ ලවා ඇද්දවීම කල නොහැකි වග  ද ඕ දැන  උන්නාය. 

මොණරවිල හොටෙල්ස් හී සිදු කරනවායැයි පවසන පරිසර හායනයට එරෙහිව ප්‍රදේශ වාසින් එක් වී පසුදිනද හෝටලය ඉදිරියේ කෙටි නිහඬ උද්ඝෝෂණයක් පැවැත්වූයේ ශයිනිට ඒ පිළිබඳව යළි යළි සිතන්නට ඉඩ ඉතුරු කරමිනි.  මිනිසුන් නිරපරාදේ මෙලෙස කුපිත වේයැයි සිතීමද උකටලීය. සියල්ල පැටලෙන්නේ ලෙහීම සඳහා අල්ලා ගන්නට කොනක්වත් ඉතිරි නොකරමිනි. 

ඒ අතරේ ග්‍රාමීය පාසැල් වල දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා වන අරමුදකට මුදල් පරිත්‍යාග කරන්නට කටයුතු කිරීම වෙනුවෙන් ස්තූතිය පල කරමින් පත්‍රිකාවක් සමඟ මුද්‍රණය කරන ලද ලිපියක් තම මේසයමත ඇති බව දැක ශයිනි තවත් කලබල වූවාය. මෙතරම් මුදලක් එවැනි ව්‍යාපෘතියක් වෙනුවෙන් වැය කර වගක් මතකයේ නැත.

 පසුගිය අවුරුදු කිහිපයක් තිස්සේ අපේක්ෂා රෝහලේ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම් සිදු කෙරුවද මේ නමින් වන ව්‍යාපෘතියකට කිසිඳු බැර කිරීමක් නොකල බව ශයිනිට විශ්වාසය. 

ඇය තිළිණි ගෙන්වා ගත්තේ ඒ කුතුහලය තනිව දරාගන්නට නොහැකිම වූ නිසාය.

“ඇයි ?”

“මේක බලන්නකෝ …”

ඇය තිළිණි වෙත ලියුම සහ කාඩ්පත පෑවාය. තිළිණි එය අතට ගත්තේ විමසුම් බැල්මක් මුහුණේ මවාගෙනමය.

“අඩේ… මේක මොකක්ද මේ.. කවද්ද උඹ මෙච්චර ඩොනේශන් එකක් කලේ ?”

“මං කලේ නෑ.. මං දන්නේ නෑ මොකක්ද කියලා ඔය…පැටලීමක් වෙන්නත් බෑ…”

“පැටලීමක් වෙන්න බෑනේ. මේ තියෙන්නේ නම එහෙමම හරියට.. අනෙක අපේ ඇඩ්‍රෙස් එකටම ආවනේ…”

තිළිණි ලියුම යළි යළි කියවමින් කීවාය. 

“ඒකනේ .. මොකක්ද මේ වෙන්නේ කියලා මට තේරෙන්නේ නෑ අප්පා…”

තිලිණි එක්වරම යමක් සිහිවූවාක් මෙන් ශයිනි ඉදිරියේ සිට ගත්තාය. ඉන් පසුව එතැන වූ අසුන පිටුපසට ගෙන හිඳගත්තාය.

“කීයක්ද අමයුරු ට දුන්නෙ ?”

“එක හමාරක්…”

තිළිණි ඇය අතේ වූ පරිත්‍යාග කරන ලද මුදල් ප්‍රමාණය සහිත පත්‍රිකාව ශයිනිට පෙනෙන සේ ඔසවා ගත්තාය. එය ශයිනිගේ ඇස්  ඉදිරියට වනසේ සැකසුවාය. 

“එක හමාරක්.. මෙතනත් එක හමාරක්…”

ශයිනි වහා කාර්ඩ්  පත මේසය මතට ඇද දැමුවාය. තිළිණි දෙස බැලුවාය. දෙදෙනාම උන්නේ යමක් වටහා ගනිමිනි. 

ශයිනි වහා ලැප්ටොප් පරිඝනකයෙන් යමක්  සෙව්වාය. තිළිණි කිසිත් නොපවසාම ඇය දෙසබලා උන්නාය. අවසානයේ ශයිනි පරිත්‍යාගය ට සහ අමයුරුගේ  මුදල්  ඉල්ලීමට අදාල කාරණා ගලපාගෙන ලැප්ටොප් පරිඝනකය තිළිණි වෙත හැරෙව්වාය. 

මුහුණු පොතේ අදාල ව්‍යාපෘතිය ට අදාල ගිණුමෙහි වුයේ එහි ප්‍රධාන පාර්ශකරුවන් වන  අමයුරු ගේ  පුවත්පත ඇතුළු තවත්  කිහිපදෙනෙකුගේ ආයතන වල ලාංචන සහිත රුවකි. එහි පහලට පුවත්පතෙහි සංස්කාරකවරයා එම ව්‍යාපෘතිය දියත් කිරීමේ උත්සවයට සහභාගි වූ සේයාරූද විය. 

දෙදෙනා ම එකිනෙකා කෙරෙහි හෙලුවේ ඉස්පාසුවක් දැනුනාය යන බැල්මකි. එසේනම්, අමයුරු ; ඔහුට වෛර කිරීමද පහසු නැත. ඔහු කිනම් ඉලක්කයක් පසු පස යන්නෙක්ද ? 

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles