Deep clean එකකින් මුළුතැන්ගෙට අලුත්ම පෙනුමක් ගමුද?

මුලුතැන්ගෙය කියන්නෙ නිවසක වැදගත්ම කොටසක්.ඒක පිරිසිදුව තියාගන්න ඔබ අනිවාර්යයෙන්ම උනන්දු වෙන්න ඕන.ඔබේ මුලුතැන්ගෙය සම්පූර්ණයෙන්ම සහ හොඳින් පිරිසිදු කරන්නේ කොහොමද කියලයි අපි ඔබ මේ ලිපියෙන් කියන්න හදන්නේ

පවුලේ අයට ආහාර පිසෙන්නෙ මුලුතැන්ගෙයි නිසා එතන පිරිසිදු සහ සෞඛාරක්ෂිත වෙන්න ඕන.ගෘහණියක් උනාම මුලුතැන්ගෙය දිනපතා පිරිසිදු කරනවා වගේම එය සතිපතා සහ මාස්පතාත් සම්පූර්ණ පිරිසිදු කිරීමකට ලක්කරන්න ඕන. කොහොමද ඔබේ මුලුතැන්ගෙය deep clean කරන්නේ ? ඒ ගැන දැන් කතා කරමු

පෙර සූදානම

මුලින්ම ඔබේ මුලුතැන්ගෙයි ඇති ජනේල සහ කවුලු සියල්ල අරින්න

ඉන්පසුව බුරුසු , ස්පොන්ජ් ,දූවිලි පිස්න , පිරිසිදු රෙදි , සබන් දියර වැනි පිරිසිදු කිරීමට අවශ්‍ය දේවල් සූදානම් කරගන්න

කබඩ් පිරිසිදු කිරීම

ඔබේ මුලුතැන්ගෙයි ඇති කබඩ් වල ,ලාච්චු වල ඇති දේවල්, ඔබ ගබඩා කර ඇති ආහාර ද්‍රව්‍ය ඇතුලු සියලු දෑ ඉවතට ගන්න

කල් ඉකුත් වූ , භාවිතයට ගත නොහැකි තත්වයේ ආහාර , තුනපහ වර්ග ,නූඩ්ල්ස් ,පැස්ටා ආදිය ඇත්නම් ලේබල් පරික්ශා කර සියල්ල ඉවත් කරන්න

අනවශ්‍ය ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් පෙට්ටි , පලුදු වූ බඩු ඇත්නම් ඒවාද ඉවත් කරන්න

දූවිලි පිසින රෙදි කඩක් මඟින් කබඩ් සහ ලාච්චු හොඳින් පිසදමන්න

විශබීජ නාශක හෝ සබන් දියර ස්වල්පයක් ඉස කබඩ් ඇතුලත ,පිටත ,කොන් , දාර සහ දොරවල් සියල්ල ස්පොන්ජ් එකක් මගින් හොඳින් පිස දමන්න

ඉන්පසු පිරිසිදු රෙදි කැබැල්ලකිනුත් තෙත පිසදමන්න

කබඩ් වල දොරවල් හැර පැය බාගයක් පමණ තිබෙන්නට හරින්න

දැන් වියළි ආහාර ද්‍රව්‍ය පැකට්, බෝතල් වල අසුරා ඇති ද්‍රව්‍ය ඇතුලු සියලු දෑ වෙන වෙනම පිලිවෙලට අසුරන්න

පිඟන් රාක්කයේ ඇති සියලු පිඟන් හා කෝප්පද , හැඳි ,ගෑරප්පු ,පිහි සහ අනෙක් උපකරණද එකින් එක සබන් දමා හොඳින් සෝදන්න. මෙහිදි පිඟන් වල දාර ,කෝප්ප වල අඬු ,කට වටා හොඳින් සෝදන්න

පිඟන් රාක්කය

සියලු දේ සෝදා වේලෙන්නට තබන්න

දැන් තෙත රෙදි කැබැල්ලකින් හෝ ස්පොන්ජ් එකක් ආධාරයෙන් පිඟන් රාක්කයද පිරිසිදු කරන්න

එහි කොන් කුඩා බ්‍රශ් එකක් ආධාරයෙන් පිරිසිදු කරන්න.කොකු ඇත්නම් ඒවාද පිරිසිදු කරන්න

ශීතකරණය

ශීතකරණය පිරිසිදු කිරීමට ඔබ මාසයේ අවසන් දිනයක් හෝ ඔබ අලුතින් බඩු ගෙන ගබඩා කිරීමට පෙර දිනයක් තෝරාගන්නවා නම් වඩාත් සුදුසුයි

මුලින්ම ශීතකරණයේ ගබඩා කර ඇති සියල්ල එලියට ගන්න

ඒවා වලින් පරණ වූ ආහාර , කල් ඉකුත් වීමට ඉතා ආසන්න ආහාර නරක් වීමට ආසන්න ආහාර ,එළවලු ආදිය සියල්ල ඉවත් කරන්න

ඉන්පසු එහි තට්ටු එකින් එක ගෙන සබන් දියර යොදා හොඳින් පිරිසිදු කරන්න.ඒවායේ දාර ඇතුලත සහ පිටත බ්‍රශ් එකක් උපයෝගී කරගෙන හොඳින් සෝදා පිරිසිදු රෙදි කඩකින් පිසදමන්න

එළවලු දැමීමට ඇති කොටසද එළියට ගෙන පිරිසිදු කරන්න

අධි ශීතකරණ කොටසත් ඒ ආකාරයෙන්ම පිරිසිදු කරන්න

ශීතකරණය ඇතුලත තෙත ස්පොන්ජ් එකක් ආධාරයෙන් හොඳින් පිසදමන්න

බිත්තර සහ බෝතල් ඇසිරීමට ඇති කොටස්ද පිටතට ගෙන සෝදා පිරිසිදු කර පිසදමන්න

දොර සහ හැඬලයත් තෙත ස්පොන්ජ් එකක් ආධාරයෙන් පිසදමන්න

තට්ටු නැවත පිළිවෙලින් සවි කර ඇතුලත තිබු ද්‍රව්‍යද පිලිවෙලින් අසුරන්න

ගෑස් උඳුන

ඔබේ ගෑස් උඳුන පිරිසිදු කිරීම සඳහා අදාල ආයතනයෙන් පිරිසිදු කිරීමේ උපදෙස් දී ඇත්නම් ඒවා පිළිපදින්න.

නැත්නම් ,

ගෑස් උඳුනේ ඇති වළලු ඉවතට ගන්න

ඒවා සබන් දියර යොදා බ්‍රශ් එකක් ආධාරයෙන් සෝදා වේලෙන්නට තබන්න

දැන් ගෑස් උඳුන මත ඇති තෙල් පැල්ලම් මතට බේකිං සෝඩා සහ වතුර, නැත්තම් බේකිං සෝඩා සහ ලෙමන් මිශ්‍ර කර සාදා ගත් පේස්ට් එක ආලේප කරන්න

විනාඩි කීපයක් තිබෙන්නට හැර බ්‍රශ් එකකින් මැද පිරිසිදු කරගන්න

ගෑස් උඳුනේ මතුපිටද ස්පොන්ජ් එකක් ආධාරයෙන් හොඳින් පිසදමන්න

ඉන්පසු වේලෙන්නට තැබූ වළලු නැවත සවි කරන්න

අනෙක් උපකරණ

ටෝස්ටර් ,බ්ලෙන්ඩර් , ග්‍රයින්ඩර් ,මයික්‍රෝවේව් උඳුන ඇතුලු සියලු උපකරණ හොඳින් පිසදා පිරිසිදු කරගන්න

තෙත ස්පොන්ජ් එකක් මගින් පිරිසිදු කල හැකි සෑම උපකරණයක්ම ඒ ආකාරයට ඉතා ප්‍රවේසමින් පිරිසිදු කරගන්න

Kitchen top

ඔබ ඉවතට ගත් සියලු බඩු බාහිරාදිය අදාල තැන් වල ගබඩා කල පසුව Kitchen top එක පිරිසිදු කරගැනීම අවශ්‍ය වෙනවා

සබන් දියර ස්වල්පයක් දමා බ්‍රශ් එකක් මගින් kitchen top එක මත ඇති පැල්ලම් ඉතා හොඳින් ඉවත් කරගන්න

පසුව තෙත ස්පොන්ජ් එකක් මඟින් kitchen top එක පිසදමා වියලි රෙදි කඩකින්ද පිසදා ගන්න

සේදුම් බේසම

මුලුතැන්ගෙයි සේදුම් බේසම ,එහෙමත් නැත්තම් සින්ක් එකත් ඔබ අනිවාර්යයෙන්ම පිරිසිදු කරගන්න ඕන

ජල කරාමය ප්ලාස්ටික් එකක් නම් එය බ්‍රශ් එකක් ආධාරයෙන් සබන් දියර යොදා පිරිසිදු කරගන්න

එය ඇලුමිනියම් වර්ගයේ එකක් නම් දත් බෙහෙත් ස්වල්පයක් ආලේප කර බ්‍රශ් එකකින් පිරිසිදු කරන්න.එවිට එය දීප්තිමත් වනු ඇත

ජල කරාමය මත පැල්ලම් ඇත්නම් බේකිං සෝඩා සහ ලෙමන් යොදා හොඳින් අතුල්ලා පිරිසිදු කරන්න

සින්ක් එකට උණුසුම් වතුර එකක් හලන්න.එවිට එහි ඇති තෙල් සහ ජල නලයේ ඇති තෙල් ද ඉවත් වෙනවා

දැන් සින්ක් එකට සබන් දියර සහ බේකිං සෝඩා ස්වල්පයක් දමා ස්පොන්ජ් එකකින් හොඳින් අතුල්ලා පිරිසිදු කරගන්න

තද පැල්ලම් නැතිනම් බේකිං සෝඩා භාවිතා කිරීම අවශ්‍ය නැත

පොළව

බිම හොඳින් අතුගා ගන්න

එහා මෙහා කල හැකි රාක්ක හෝ කබඩ් ඇත්නම් ඒවා ඉවත් කර හොඳින් අතුගා ගන්න

ටයිල් පොළවක් නම් සුදු විනාකිරි ඉසින්න

පැල්ලම් ඇති තැන් තදින් අතුල්ලා මොප් කරන්න

සාමාන්‍ය පොළවක් ඇත්නම් සබන් දියර, වෙනත් පිරිසිදුකාරකයක් හෝ විශබීජ නාශකයක් ඉස මොප් කරගන්න

ග්‍රැනයිට් හෝ ලී පොළවක් නම් පොළවට හානි නොවන අයුරින් මොප් කරගන්න

මේ ආකාරයෙන් ඔබේ මුලුතැන්ගෙය සම්පූර්ණයෙන් පිරිසිදු කරගැනීමෙන් ඔබට අලුත් හැඟීමක් දැනෙනු ඇත.ඒ වගේම ඔබේ මුලුතැන්ගෙයට නැවුම් පෙනුමක්ද ලැබෙනු ඇත.එයින් ඔබගේ මනසට සැහැල්ලුවක් වගේම සතුටක් ලබා දෙන්නටත් හැකි වේවි

Related Articles

Don't Miss


Latest Articles