ගෙදරට එන අමුත්තන් පිළිගැනීමට නිවැරදිව සූදානම් වෙමු..

මේ අලුත් අවුරුදු කාලය. නෑදෑයන් හිතමිතුරන් ඔබ බලන්න එන කාලය. හිතට සමීප අයගේ ඇසුර ලබන්න අපි කවුරුත් කැමතියි. ඒත් නෑදෑ හිතමිතුරන් ඔබේ නිවසට පැමිණි විට ඔබට අපහසුතාවට පත් වෙන  කාරණා තියෙන්න පුලුවන්… ඉතින් අද smartlady කණ්ඩායම සූදානම් වෙන්නේ මේ කාරණා පිළිබදව අවුරුද්දට කලින්ම ඔබව දැනුවත් කරන්න..

ඉතින් ඔබව අපහසුතාවට පක් කරෙන මේ දේවල් මොනවද ? ඒ දේවල් වලින් මිදෙන්නේ කොහොමද කියලා අපි දැනුවත් වෙමු.

  • ඔබේ මිදුලට ගොඩ වෙන අයට “අපොයි කැලෑවක්නෙ”කියලා හිතෙනවා නම් ඔබ එතනම fail. මේ දවස් කිහිපයේවත් හොඳින් මිදුල අතුගාන්න. තණකොළ උගුල්ලා දමන්න. මිදුල පුරා රෙදි වැල් බඳින්න එපා. මල් පැළයක්, එළවළු පැළයක් හිටවන්න.
  • නිවසේ සාලයේ පුටු උඩ රෙදි ගොඩවල් ගහලා නම්, ගෙදර ඉන්න සුරතල් සතුන් නිදාගන්නේ අමුත්තන්ට වාඩි වෙන්න තියන පුටු වල නම්, ඒ පුටුවල ඔබේ කුඩා දරුවා චූ දාලා ගඳ ගහනවා නම් පැමිණෙන අමුත්තන්ට එන වේගයෙන්ම ආපහු යන්න හිතේවි.
  • සාලය හොඳින් අස්පස් කරලා තබන්න. තිර රෙදි අලුත්ම ඒවා විය යුතු නෑ.පරණ තිර රෙදි හොඳින් සෝදන්න. මල් බඳුන්වල තිබෙන මල් දූවිල්ලෙන් වැසී ඇත්නම් ඒවා සෝදා වේලා යලිත් ස්ථානගත කරන්න. සේයාරූ වල දූවිලි තට්ටු ගණන් බැඳිලා නම් ඒවා හොඳින් පිස දමා ගන්න.
  • අනිත් කාරණය බාත්රූම් එක, ඔබේ බාත් රූම් එක කිසිම පිළිවෙලක්, පිරිසිදුකමක් නැති තැනක් නම් අමුත්තන්ට ඔබේ නිවස එපා වෙනවා නියතයි. බිත්ති වල ඇති පැල්ලම්, කොමඩ් එකේ පැල්ලම් , ටයිල් පොළොව හොඳින් මැද බාත් රූම් එක පිරිසිදු ව තබන්න. පරණ දත් බුරුසු,ෂැම්පු බෝතල් ගොඩ ගහලා තියන්න එපා. ඒවා ඉවත් කරන්න. බාත් රූම් එක පුරා ඔබේ යට ඇඳුම් වනලා නොතබන්නත් සැලකිලිමත් වන්න. අමුත්තන් නිතර යන එන මේ වගේ දිනවලදී නිතරම බාත් රූම් එක සෝදා පිරිසිදු කරන්න. සමහර විට නිවැසි ඔබ අතින් නෙවෙයි, අමුත්තන් අතින් එය අපිරිසුදු වෙන වෙලාවල් ඕනෑ තරම්.
  • මුළුතැන්ගෙයට ඔබේ වැඩි අවධානයක් දිය යුතුමයි. මැස්සන් ඉහිරෙන, ඉඳුල් වතුර තැන තැන ඉහිරුණු, ඉඳුල් කෑම නිසා ගඳ ගසන ඩස්ට්බින් ඇති මුලුතැන්ගෙයක් ඔබට අයත් නම් ඒ මුළුතැන්ගෙයි පිසින ආහාර අනුභව කරන්න ඔබේ අමුත්තන් කැමති වේවි ද..
  • ඉඳුල් භාජන ගොඩ ගසාගෙන ඉන්නත් එපා. ක්‍රමවත්ව සියල්ල අසුරා තබා ගන්න.
  • ඒ වගේම රසට උයන්න අමතක කරන්නත් එපා. බොහෝ කාර්යබහුල රෙසිපි බදාගෙන එන අමුත්තන් සමඟ කතාබහ නොකර කුස්සිය බදාගෙන ඉන්නත් එපා. අමුත්තන් බොහෝ විට පැමිණෙන්නේ ඔවුන් එන බව දැනුවත් කිරීමෙන් පසුවයි. ඒ නිසා ඔවුන්ට සාදන ආහාර ගැන කල් ඇතුව සැලැස්මක් සකසා ගන්න. (බොහෝ ඉක්මනින් සාදා ගත හැකි රසවත් ඉක්මන් රෙසිපි කිහිපයක් ඔබට අපේ වෙබ් අඩවියෙන් දැන ගන්න පුලුවන්.) හැකිනම් ඔවුන් පැමිණෙන්නට පෙර උයමන් අවසන් කර පිරිසිදු ඇඳුමකින් සැරසී ඔවුන්ව පිළි ගන්න.
  • සමහර අමුත්තන් පැමිණෙන්නේ දවසක් නැවතී යාමට විය හැකියි. ඒ අයට කරදරයක් නැතුව විවේක ගත හැකි ලෙස අමුත්තන්ගේ කාමරය සකසා දෙන්න. එහි ඇඳ රෙදි කොට්ට උර පිරිසිදු ඒවා විය යුතුයි. ඊයේ දවසේ නැවතුණු අමුත්තන් පාවිච්චි කළ ඒවා අද එන අමුත්තන්ටත් ලබා දෙන්න එපා. ඒ කාමරයට ඔබ නිතරම යාමෙන් වැලකීමත් සුදුසුයි.

අලුත් අවුරුදු කාලයට නිවස නිතරම හැඩි වීම සාමාන්‍ය දෙයක්. ඔබ අතිශය කාර්යබහුල වුවත් කොතරම් අමුත්තන් පැමිණියත් නිතරම අස්පස් කරගන්නට අමතක කරන්න එපා. හැඩිවූ නිවසක සිට ලැජ්ජාවෙන් අමුත්තන් පිළි ගන්නට එපා. කාර්යක්ෂම වී නිතරම අස් පස් කර, රසවත් කෑම පිස ඔබේ අමුත්තන් ආදරයෙන් පිළි ගන්න.

මේ හිතවත්කම් අලුත් කරගන්නා කාලය මිස තිබෙන හිතවත්කම් පලුදු කරගන්න කාලය නොවේ.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles