මාලිකා සහ බ්‍රයන් උනුන් සමගින් ඉඳහිටක කතාබහේ යෙදුණද වැඩිවේලාවක් උන්නේ ඔවුනොවුන් තුරුලේ දෑස් පියා ගෙන නිහඬවය.නිලංගා අතීතය සිහිකළා නොවේ …ඇයට ඉබේම සිහිවූ දේ තිබිණ.චරිත සමගින් ඉඳහිටක නගරාන්තර බස් රියක නැගී ගිය ගමනක්…පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ගිම්හාන කුටියක උනුන් ඇසුරේ උණුසුමින් ගිලුණු දවසක් ඇයට සිහිවිය.නොදැනීම හීල්ලුමක් සේ සුසුමක් ඇය වෙතින් නික්මෙද්දී ස්ටීව් තිගැස්සී මෙන් ඇය දෙස බැලුවේය. ගමන අරඹා පැය බාගයක් පමණ ගතවී හමාරය. එහෙත් ඔවුන් දෙදෙනා අතර බැල්මකුදු හුවමාරුවී නැත. නන්නාඳුනන දෙදෙනෙකු සේ මෙවන් ගමනක් යෑමද ගමන එපා කරවන සුළුය.
“ඔයාගේ වැඩ කොහොමද ? අපේ මේරි කෙල්ල තාම වද දෙනවද?”
නිහඬතාවය බිඳ හෙළමින් ස්ටීව් නෙත් කොණින් පමණක් ඇය දෙස බලා ඉදිරිපසටම යොමුවූ නෙතැතිව විමසුවේය. නිලංගා එපැණය ඇසුවේ තමාගෙන්ද සිතාගනු නොහැකිව මෙන් “ආ?” ස්වරයක් නැගුවාය.
මොහොතක නිහැඬියාවෙන් පසු ඇය හිස සලා “එසේ නැතැයි” හැඟවූවාය.
ස්ටීව් තමාහට යාබද අසුණේ ඉන්නා යුවතියගේ රුව නෙත් කොණට හසු කොට ගත්තේය. ඇය පීච් පැහැ ටීශර්ටයක් ඇඳ නිලැති ඩෙනිමක් ඇඳ සිටී.ඇය ගේ වයස අනුමානයක් කරන්නට ඔහු වෙහෙස නොගත්තේය.එහෙත් ඇය වයසටත් වඩා ලාබාල පෙනුමකින් යුතුව ඉන්නීය.
“මිස්ටර් ස්ටීව් මේරි මැඩම් බලන්න ඊයේ ආවේ නෑ කියලා මැඩම් අපි ඔක්කොටම කෑගැහුවා ඊයෙ…”
නිලංගා මඳ සිනහවක් මුවග රඳවා ගෙන පැවසුවාය.ස්ටීව්ගේ මුහුණේ ඒ මොහොතේ නැගුණේ ඉතා සුන්දර සිනහවකි.ඉතා කලාතුරකින් නැගෙන එම සිනහව බොහෝවිට ඔහුගේ මුහුණේ මතුවන්නේ මේරි වෙනුවෙන්ම පමණි.
“අදයි හෙටයි මං නැතිවුණාම ඔයිට වඩා පිස්සු නටයි..ඒක නිසාම මම ඊයේ එන්න හිතාගෙන හිටියේ එයාව බලන්න.ඒත් බැරි උනා..දැන් ඉතින් දවස් තුනක්..මොනවා කර ගනීද මන්දා..පෝලාට මැනේජ් කරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ..”
ස්ටීව් තමාටම මෙන් කියා ගත්තේය. ඔහු තමා නිවාඩු ගෙන පැමිණීම ගැන නොරිස්සුමකින් පසු වන්නේ දැයි නිලංගා ට සැක සිතුණි.
“මම ඒත් මේ ගමන නොeන්නයි හිතාගෙන හිටියේ..මට කල් ඇතුව සිල්වියා මැඩම්ට කියලා පර්මිෂන් ගන්නත් බැරි උනා..ඒත් පෝලා කිව්වා දැන් මේරි මැඩම් ටිකක් ෂේප් නිසා එයාලට බලාගන්න පුලුවන් කියලා. සොරි මම මගේ රෙස්පොන්සිබිලිටි එක අමතක කලා නෙවෙයි….”
නිලංගාගේ හඬේ වූ වරදකාරී ස්වභාවය ස්ටීව් වටහා ගත්තේය.
“නැහැ නැහැ මම එහෙම දෙයක් නෙමෙයි කිව්වේ… මට එයාව බලන්න යන්න බැරි වුණ එක ගැනයි මම කිව්වේ.. එයා දැන් සෑහෙන කන්ට්‍රෝල්ඩ්…ලොකු වෙනසක් තියෙනවා.. එයා හොඳට කෑම ගන්නවා..මේ සැරේ GP විසිට් කරලා කළ ටෙස්ට් වලිනුත් එයාගේ ඔක්කොම reports හොඳයි කියලයි කිව්වෙ කලින්ට වඩා…”
ස්ටීව් වහා පැවසුවේය.
“මම මිස්ටර් ස්ටීව් ගෙනුයි සිල්වියා මැඩම් ගෙනුයි අහලා තව පොඩි දෙයක් කරන්නයි හිතාගෙන හිටියේ..”
නිලංගා පැවසුවාය.ස්ටීව් ප්‍රශ්නාර්ථයක් රැඳි බැල්මෙන් ඇය දෙස මොහොතක් බැලුවේය.
“දැන් අවුරුද්දකට වැඩි කාලයක් මේරි මැඩම් ඔය කාමරයෙන් එළියට ඇවිල්ල නැහැනේ.. මම පොඩ්ඩක් ට්‍රයි කරන්නද..එයාව චුට්ටක් එළියට ගන්න..දැන් වෙදර් එකත් හොඳයිනේ…”
ස්ටීව් ක්ලිෆර්ඩ් වහා හිස දෙපසට සලා එය ප්‍රතික්ෂේප කළේය.නිලංගා විමසුමෙන් ඔහු දෙස බැලුවාය.
“ඒක හරි යන දෙයක් නෙමෙයි..එයා එළියට එන්න කැමති නැහැ.ඔය කාමරය ඇතුලේ එයාට කම්ෆටබල්..එයාට එහෙම ඉන්න අරින්න..”
ස්ටීව් පැවසුවේය. ආච්චී අසනීප වූ මුල් කාලයේදීම ඇයට ප්‍රතිකාර සඳහා නිවසට පැමිණි භෞත චිකිත්සකවරයා පවා ඇය කාමරයෙන් පිටතට රැගෙන යන්නට උත්සාහ කළේය. ව්‍යායාම කිරීම පවා ප්‍රතික්ෂේප කළ මේරි මර්ෆි කාමරයෙන් පිටතට රෝද පුටුවේවත් යෑමට අකමැති වූවාය.
“කොච්චර පහසුකම් තිබුණත් කාමරයක් ඇතුලේ බිත්ති හතරක් මැද්දේ මනුස්සයෙකුට දෙන කම්ෆටබිලිටි එක මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ මිස්ටර් ස්ටීව්.හොඳ වාතාශ්‍රයක් ලැබෙන්නෙ නැතුව ගහක් කොලක් මලක් දකින්නෙ නැතුව, කුරුල්ලෙක්ගේ හඬක් අහන්නේ නැතුව..නිල්පාට අහසක් දකින්නෙ නැතුව…මනුස්සයෙක්ගේ ජීවිතය සම්පූර්ණද…මට ඒ ජීවිතය පේන්නේ හරි යාන්ත්‍රික දෙයක් විදියට.. හ්ම්ම්…ඒත් ඔයාලගේ තීරණය ඒක නම්..කමක් නැහැ… මම ඒකට උත්සාහ නොකර ඉන්නම්”
නිලංගා තමාටම මෙන් පවසා ගත්තාය.ස්ටීව් ක්ලිෆර්ඩ් මෝටර් රථය මාවතේ අයිනක වූ අවන්හලක රථ ගාලකට හරවා නවතාලීය.
“බ්‍රයන් i’m tired now..මට මහන්සියි..පොඩි බ්‍රේක් එකක් ඕනෙ..මෙතනින් කොෆි එකක් බීලා රෙස්ට් කරමු…ඉන් පස්සෙ ඔයා ඩ්‍රයිව් කරන්න..”
අඩක් පිටුපස අසුනට හැරී පැවසූ ස්ටීව් මොහොතකට රියෙන් පිටතට බැස්සේය.නගර ප්‍රදේශයෙන් ඈතට රිය ධාවනය කොට තිබූ හෙයින් පරිසරය ඉතා නිස්කලංක එකක් විය.ඔහු මොහොතකට දෑත් ඉහළට ඔසවා අහස දෙස බැලීය.නිල් පැහැති අහස පුරා විසිරී යන සුදු පැහැ පෙන කැටි බඳු වළාකුළු වෙනදා නුදුටු සුන්දරත්වයක් මවමින් තිබුණි. මාවත අද්දර වූ අවන්හලෙහි මිදුලේ මැග්නෝලියා ගස් සෙවන ඇති තැන තැන කුඩා ලී මේස සහ ලී පුටු තිබුණි.මැග්නෝලියා ගස පිරෙන්නට සුදු සහ රෝස පැහැ මුසුව ගත් මල් පිපී ඇත. හිස හරවා බැලූවිට ගස වටා කැරකෙමින් මල් අතු අල්ලන්නට උඩ පනින්නිය දුටුවේය. බ්‍රයන් සහ මෙලා අවන්හලට ගියේ සියල්ලන්ටම ආහාරපාන ඇනවුම් කර රැගෙන එන්නටය.
ස්ටීව් මොහොතකට ඒ දසුනෙහි අතරමං විය.ජීවිතයේ තමා සන්තක වූ සැප සම්පත් වලින් සියයෙන් එකක් හෝ නැති තැනැත්තියක් , ජීවිතයේ බොහෝ අසීරුතා මැද අහම්බෙන් ලැබූ රැකියාවක නිරත වෙමින් ජීවිතය ගෙනියන්නියක් ලෙස තමා දුටු මේ තැනැත්තිය ආච්චි රැකබලා ගන්නට පැමිණි දා පටන් විවිධාකාර අන්දමින් තමා පුදුමයට පත් කරන්නීය. ඇය ජීවත් වන්නේ ඒ පවත්නා මොහොතේ පමණක් යැයි සිතෙන තරමට ඇය ජීවිතය වින්දනය කරන්නීය.සියලු සැප සම්පත් වලින් ආඪ්‍ය වුවද තමාගේ ජීවිතයේ එවන් සතුටක් වින්දනයක් තමා හට නැති බව වැටහෙන මොහොතේදී ස්ටීව් සුසුමකින් ඉවතට හැරුණේය.
“මිස්ටර් ස්ටීව්…”
ඇයගේ හඬ පිටුපසින් ඇසුණි.
“මිස්ටර් ස්ටීව්ට වාහනෙන් බැහැලා එළියට ආවම මොකක් හරි වෙනසක් දැනුනද?”
ස්ටීව් ආපසු හැරුනේ කුතුහලයෙන් මෙන් සිය නළල ද රැලිකර ගනිමිනි.තමා පසුපසින් සිටගෙන සිටිනා යුවතියගේ පිළිතුරු අපේක්ෂිත මුහුණ ඔහු වෙතටම යොමුවී තිබුණි.
ඔහු එක්වරම පිළිතුරක් දෙන්නට සූදානම් නොවුණේය.ඇයි එවන් ප්‍රශ්නයක් අසන්නට හේතුව කිමෙක් දැයි ඔහු යටි සිතින් මඳක් සිතා බැලීය.
“ඇයි?”
ස්ටීව් ඇය වෙතින් විමසුවේ කුතුහලයෙනි.ඇය කිසිවක් නොකියාම පිළිතුරක් බලාපොරොත්තුව බලා උන්නාය.
“සෑහෙන්න දුරක් මම ඩ්‍රයිව් කළානෙ.ඒක ටිකක් අද මට මහන්සි වැඩක්.ඉතින් මට පොඩි බ්‍රේක් එකක් ඕන උනා. ඒ වගේම වාහනේ ඇතුලේ ඒසී එකේ තිබ්බට මේ ෆ්‍රෙශ් එයා එක වගේ නැහැනේ.ඒසී එකේ දිගටම ගමන් කරන්න ගත්තම මට හෙඩේක් එකකුත් එනවා..”
ස්ටීව් පැවසුවේ බ්‍රයන් සහ මෙලා තවමත් නොපැමිණීම ගැන සිතින් වද වෙමිනි. තමාගෙන් මෙලෙස ප්‍රශ්න කරන්නට මේ තරුණියට ඇති අවශ්‍යතාවය කුමක්දැයි ඔහු නොරිස්සුම් සහගතව සිතීය.ස්ටීව් යමෙක් තමාගෙන් තම කරන කියනා දෑ ගැන ප්‍රශ්න කිරීම නොඉවසුවේය.එය තමාගේ බලප්‍රදේශයට යමෙක් බලෙන් කඩා වැදීමක් ලෙස ඔහු සැලකුවේය.
“ඒක තමයි මම කියන්නෙත්..ඉතින් මේ පැය දෙකකට වගේ වාහනේ ඇතුලේ කොටුවෙලා මිස්ටර් ස්ටීව්ට ඔච්චර අමාරු නං.. අර අවුරුද්දක් තිස්සේ කාමරේටම වෙලා ඉන්න මේරි මැඩම්ට කොච්චර අමාරු ඇත්ද..?”
නිලංගා එසේ පවසා ආපසු හැරී මැග්නෝලියා ගස වෙතට ඇවිද ගියාය.
“මෙයාත් එක්ක නම් ලේසි වෙන්නෙ නෑ මේරි ගර්ල් ඔයාට…”
ස්ටීව් සිය මුවගට ආ සිනහව ආයාසයෙන් මැඩගනිමින් සිතුවේය. මේ තරුණිය තමාහට අවැසි දෑ කෙසේ හෝ කරන්නීය.මේ වන විට ආච්චී ඇඳෙන් පිටතට විත් කාමරයේ මේසයට ඉඳගෙන කෑම කන්නීය.ඇය ට වෙනදා සේ කවන්නට කිසිවෙක් අනවශ්‍යය. වදෙන් පොරෙන් මෙන් මුල් දිනවල ඇයව නාන කාමරයට එක්කරගෙන යන්නට නෙලී දැක්වූ වෙහෙස වෙන අයෙක් නම් නොදරන බව පෝලාත් අම්මාත් නිතර පැවසුවාය.ආච්චී නාන කාමරයෙන් පිටතට ආවේ වෙනදා නැති අන්දමේ සිනහවක් සමගිනි.එහෙත් ස්ටීව් පැමිණි මොහොතේම පැමිණිලි රාශියක් විය.
“මම බෑ කියද්දි නාන කාමරේට උස්සන් ගියා.මට නාන්න බෑ කියද්දි මොකක්ද එයාලගේ රටේ කතාවක් කියන්න ගත්තා…මම දන්නෙ නෑ කතාව ඉවර වෙනකොට මෙයා මාව නාවලා…ස්ටීව් මේ කෙල්ලව අස්කරන්න ඕනෙ ඔයා…”
නෙලී ඒ දවසේ සිනහව තද කොට ගෙන කාමරයෙන් පිටව ගිය අන්දම ස්ටීව් සිහිකළේය.
ආච්චී එලියට ගෙන යෑමත් මේ තරුණිය කෙසේ හෝ කරනු ඇත. එහෙත් පෝලාට තරමක් ඒ ගැන අවධානයෙන් සිටින්නට කිව යුතුයැයි ස්ටීව් සිතාගත්තේය.