අකල් වැහි -17

“මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?”

එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන සැබෑව හිරුදිගෙන් ඇසුවා ය.
විශ්ව විද්‍යාලයේ උගන්නා කාලයේ පටන්ම ප්‍රේමයේ විවිධාකාර ගැන ඔහු දනියි. නිසල් වෙනුවෙන් ම අරගලයට එන්නට නම් හිරුදිට මිත්‍රත්වයට එහා හේතුවක් තිබිය යුතු වේ.සිතිජගේ ඒ ප්‍රශ්නය ඇසෙද්දී ඔහුට තවත් බොරුවක් කියන්නට හිරුදිට නොසිතිණ.නිසල්ගේ ආදරය ගැන බොරු කරන්නට නොහැක.මේ තරුණයාට මේ කෙළවරක් නැති බොරු කීමද නැවතිය යුතුම ය.

“ඔව් ඇත්තටම මං එයාට ආදරේ කළා.”

හිරුදි එසේ කියද්දී ඉකියක් හංගා ගන්නා අන්දම සිතිජට දැනිණ.ඔහුට ඇය වෙහෙසන්නට හිත දුන්නේ නැත.මේ නිසල්ගේ මරණයට හේතු වූ භාග්‍යා දේවතිලක බව ඔහු අනුමාන කළේ ද නැත.එහෙත් හිරුදිට සිතිජගේ පැනය ගැන සිතුණේ සැකයකි.භාග්‍යාට තවදුරටත් හිරුදි වී හිඳින්නට ඉඩ නැතිදැයි සිතමින් ම ඇය දුරකථන ඇමතුම නිමා කළා ය.

බොහෝ ප්‍රභූ පවුල්වල විවාහ තරමට මාධ්‍යයන්ගේ දැඩි අවධානයක් භාග්‍යා- චේතන විවාහයට දෙන්නට නොහැකි වූයේම නිසල් හෙට්ටිආරච්චි නම් ජනප්‍රිය තරුණ ටියුෂන් ගුරුවරයාගේ මරණය ඒ විවාහයට ඈඳුණු නිසා ය.භාග්‍යා සමරවික්‍රම හෙවත් චේතන දේවතිලකගේ විවාහ ඡායාරූප බවට සමාජ ජාලා වල සංසරණය වු මනාලියන්ගේ ඡායාරූප එකකවත් සැබෑ භාග්‍යා නොසිටියා ය.
බල්ලෝ මරා සල්ලි හෙවූ මිනිසුන් වෙනුවට දැන් හිඳින්නේ බොරුව පෙන්වා රීච් සොයන ඔන්ලයින් සිඟන්නන් ය.භාග්‍යා යැයි සාප වැදුණු හැම කෙල්ලකම පාහේ ඒ සාපයන් දුටුවේ මධුසමයද අහවර කර පැමිණි පසු ය. යොවුන් නිරූපිකාවකගේ ඡායාරූප භාග්‍යා දේවතිලකගේ නමින් ප්‍රචාරය වීම නැවතුණේ ඇය අදාළ ෆේස්බුක් පිටුවට එරෙහි නඩුවක් ගොනු කිරීමෙන් පසු ය.භාග්‍යා හම ගැසීම නැවතී ගියේ එනිසාම නොවේ.ජනතාවට තලු මරන්නට වෙනත් ඕපාදූප ලැබුණු නිසා ය.

කෙසේ නමුත් භාග්‍යා දේවතිලක සහ හිරූ එක් අයෙකු බව සිතිජ සැබෑවටම නොදැන හුන්නේ ය.

“නිසල්ගෙන් ටියුෂන් ගන්න කාලේ හිරූ එයාට ක්‍රෂ් වෙලා ඉන්නැති.”

සිතිජ එපමණක් සිතී ය.ඔහු මේ ඇසුවේ ද හදිසියේ හිතට ආ පැනයකි.නිසල්ගේ මරණය වෙනුවෙන් සටන් කිරීම මිස මේ රූමත් කෙල්ලට ඔහු හා ඇති බැඳීම ගැන සෙවීම සැබෑවටම ඔහුට ඵල රහිත කාරණාවකි.

“”වේදනාවෙන් ඉන්න ගෑනියෙක්ගේ සාපෙ තරම් කිසිම සාපයක් ලොකු නෑ සිතිජ. ඔයාලා එක්ක කතා කරන්න,එයා ඉන්න සිටුවේෂන් එක කියන්න බැරි වුණාට භාග්‍යා හැම මොහොතකම නිසල්ගෙ මරණෙ ගැන සාප කරනවා.
කසාදෙ බිස්නස් එකක් බව දැන දැනම මැරි මැරි ඉපදෙන ගමන් ජීවත් වෙනවා.ඇත්තටම උහුලා ගන්න බැරි වේදනාවන් එයා උහුලාගෙන ඇති.”

හිරූ එසේ පැවසූ අන්දම නම් සිතිජට අමතකව නොයේ.එය අමතක නොකරන්නට හේතුව ද එය අමතක කර නොදැමිය හැකි අන්දමේ බරපතල කතාවක් නිසා ය.ඔහුට භාග්‍යා දේවතිලක සමඟ කතා කරන්නට තරම් හැඟීමක් ඇති විණ.එහෙත් දැන් ඇය දේවතිලකවරියක වෙමින් හිඳිනවා නම් රට ගැන තබා නිසල් ගැනවත් හැඟීමක් ඇයට ඇති වන්නට ද ඉඩක් නොවේ.

තාරකා පිරි අහස යටට වී සිතන්නට සිතිජට ඕනෑතරමට දේ තිබිණ.මෙවැනි තරු ඉහිරුණු රාත්‍රියක තරුණයෙකුට සාමාන්‍යයෙන් පහළ වන අන්දමේ අදහස් වලට ඉඩ දෙන්නට දැන් මේ දූපතේ තරුණයන්ට හැකියාවක් නැත.ප්‍රේමය සහ සුන්දර යුවතියක ගැන සිතීම පසුවට කල් තබා පණ අදිමින් හිඳින මාතෲ භූමිය වෙනුවෙන් කැප වන්නට අවශ්‍ය බව සිතිජ දනියි.මානව ප්‍රේමයෙන් සපිරි තරුණයා නින්ද අමතක කර දමා මුහුදු සුළඟට ඔහු වැලඳ ගන්නට ඉඩ හරිමින් ගාලු මුවදොර පිටිය පුරා සක්මන් කරන්නට පටන් ගත්තේ ය.ප්‍රේමයෙන් පිරී ගිය යුවතියගේ දෙතොල් වෙනුවට සුළඟේ සීතල ඔහුගේ දෙකම්මුලෙහි හැපේ. ඔහු පපුව පිරෙන්නට හුස්මක් ගත්තේ ඒ සීතල සුළඟ කෙරෙහි අප්‍රමාණ ප්‍රේමයකිනි.

“අපේ රටේ අනාගතේ තරුණ අපි තමයි
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි..”

පැරණි වෙළඳ දැන්වීමක් වෙනස් කර ගයන තරුණයන් පිරිසක් සමඟ හිනැහුණු සිතිජ ඒ දෙස මොහොතක් බලා හුන්නේ ය.නිසල්ගේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් ඔහුගේ හිත මිත්‍රාදීන් සැරසෙන වග ද අරගල සගයන්ට පැවසිය යුතු ය.කරන්නට අප්‍රමාණ වැඩ තිබේ.

එහෙත් දේශානුරාගය ද සියල්ලන්ම කෙරෙහි වූ මානව ප්‍රේමය ද අතරමැද හදවතට මහා විශාල තනිකමක් දැනෙන වග ඔහුට දැනේ.ඒ අංජලී ඉතිරි කර තබා ගිය හිස්කම ය.

වෙන්වීමක හිස්කම තරමට වේදනාකාරී කිසිවක් ලොව ඇතිදැයි ඔහු සිතුවේ එනිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles