මල් පිපුණිද හිම කැළයේ – 23

0
5149

“මෙලා ඔයාට හිතෙන්නෙ නැද්ද වෙන වෙනම හරි හිතලා අපි මේ දෙන්නම ට්‍රිප් එක එක්කන් ආව එක හොඳයි කියලා..”
අවන්හල තුළ සිට පිටතට පැමිණෙමින් උන් බ්‍රයන් මාලිකා හට පැවසුවේ ස්ටීව් සහ නිලංගා එක ආසන්නයේ සිටිනා අයුරු පෙන්වමිනි.

“මං හිතාගෙන හිටියේ අපේ එකාට ගෑනු ඇලජික් කියල…ඔය තරම්වත්  මනුස්සයෙක් එක්ක..මං කියන්නේ ගෑනු කෙනෙක් එක්ක කිට්ටුවෙන් විනාඩි දහයක් වත් ඉන්න කැමතියි එකෙක් නෙමෙයිනේ..අන්තිමට ඒක නිසා මටයි කතන්දරයක් හැදුනෙත්..මූව සම්බන්ධ කරලා..ඔයාට මතකද..?”
බ්‍රයන් අතීත සිදුවීමක් සිහිකොට සිනාසුනේය.

“අම්මෝ මට හොඳට මතකයි..  ඒ කාලේ ඔයා මගෙන් ආස්ක් අවුට් කරපු කාලෙනේ… මට කවුරු හරි කිව්වත් එක්ක..බ්‍රයන්ට නම් කැමති වෙන්න එපා.. එයා ස්ටීව්ගේ පාර්ට්නර් කියලා…”
මාලිකාද සිනාවට එක්වූවාය.

“ස්ටීව් වගේ මනුස්සයෙක් එක්ක ගෑණියෙකුට ඉන්න එක ලේසි නැහැ. මොකද එයා තාමත් පුරුදු වෙලා තියෙන්නේ.. සිල්වියා ආන්ටි පොඩි කාලේ එයාව රිජෙක්ට් කල එක.. ඔලුවෙ තියාගෙනම ගෑණු අය දිහා බලන්න…එයා ඔය හුඟක් අයව රිජෙක්ට් කරන්නෙ ඒ කලකිරීම එක්ක…”
බ්‍රයන් පැවසුවේ තරමක දුකක් ඇතිවය.

“බ්‍රයන්… හැබැයි ඔයා නෙලීව නම් ස්ටීව්ට ක්ලෝස් කරවන්න යන්න එපා ඒ අරමුණ හිතේ තියාගෙන.එයාලා නෝමල් ෆ්‍රෙන්ඩ්ස්ලා විදියට උන්නට කමක් නැහැ.. නෙලී කියන්නේ ගොඩක් ප්‍රශ්න තියෙන ගෑනු ළමයෙක්.. එයාව තවත් ප්‍රශ්න ගොඩකට ඇදලා දාන්න බැහැ.ඒ නිසා ඔයා ස්ටීව්ව..මේ නෙලී පැත්තට එහෙම හරවන්න සූදානම් වෙන්න එපා…ඔන්න මම කලින්ම කීවා…”
මාලිකා තරවටු ස්වරයෙන් පැවසුවාය.

“නෑ නෑ..මම එහෙම දෙයක් අදහස් කලේ නෑ.. මම කියන්නේ ෆ්‍රෙන්ඩ්ශිප් එකක් විදියට හරි ස්ටීව් කෙනෙක් එක්ක ඔහොම මූව් වෙන එක හොදයි කියල…මොකද මිනිහගෙ ලෝකෙ හරිම ලිමිටඩ්…”
බ්‍රයන් පැවසීය.

නිලංගා අවන්හලේ මිදුලේ ඒ මේ අත ඇවිදිමින් උන්නාය.මාලිකා සහ බ්‍රයන් එනු දැක ඇය ඔවුන් වෙත ඇවිද ආවේ සිනාවෙමිනි.
“කොහොමද නෙලී …ලස්සනයි නේද මෙතන..”
මාලිකා ඇගේ අතකින් අල්ලාගෙන කුඩා මේසයක් අසළට ගොස් ඉඳගත්තාය. බ්‍රයන් ස්ටීව් සමගින් එතැනට පැමිණියේ  අවන්හල් සේවිකාවක විසින් ඔවුන්ගේ ඇණවුම රැගෙන ආපසුය.කෙටි කෑමකින් සහ කෝපි සහ තේ පානයන්ගෙන් සමන්විත ආහාරවේලට පසු ඔවුහු යළි ගමන ඇරඹුවෝය.

බ්‍රයන් රියදුරු අසුනටද මාලිකා මගී අසුනටද අනෙක් දෙදෙනා පසුපස අසුනටද වන සේ සැලසුම වෙනස් විය. නිලංගා රිය කවුලුවෙන් ඈත බලාගෙනම ගමන් කළාය.ස්ටීව් සිය ජංගම දුරකතනයෙන් විද්‍යුත් මේලයන් පිරික්සමින් උන්නේය.ගමන පුරාවටම සිය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගන්නා නිලංගා දෙස ස්ටීව් ඉඳහිට නෙත් කොණින් බලා උන්නේ කුඩා දැරියක සේ ඇයගේ ඈවතුම් පැවතුම් සැකසී ඇති ආකාරයේ වෙනස හේතුවෙනි.

එක් අතකටම හැරී සිටීමෙන් ගතට දැනුණ අපහසුව හේතුවෙන් නිලංගා හරිබරි ගැසී අසුනේ යළි ඉඳගත්තාය.ඇයගේ නෙත් කොණට හසුවූයේ ජංගම දුරකතනයෙන් දෑස් මොහොතකටවත් මුදා නොගෙන ඉන්නා ස්ටීව් ක්ලිෆර්ඩ් ය. ඔහු උපැස් යුවලක් පැළඳ සිටී. කියවන්නා වූ යම්කිසි දේ හේතුවෙන් ඔහුගේ මුව තදින්  පියවී ඇත. ඉඳහිටක නොරිස්සුමෙන් මෙන් හඬක් ද පිටවේ. මෙවන් ගමනක් යද්දී වත් මොහුට සිය ව්‍යාපාරික කටයුතු වලින් මිදී නිදහස් ව ගමන විඳින්නට නොහැකි මන්දැයි නිලංගා සිතුවාය. එක අතකට එය තමාහට අදාළ  කාරණයක් නොවේ.නිලංගා යළිත් රිය කවුලුවෙන් පෙනෙනා පිටත දසුන් දුරකතනයේ කැමරාවට හසුකොට ගත්තාය.

තවත් වේලාවකට පසු සිය දුරකතනයේ සේයාරූ සහිත ගොනුව විවෘත කරගත් නිලංගා අවන්හලේ දී ගත් සේයාරූ එකින් එක නැරඹුවාය.

” ප්‍රොපර් කැමරා එකක් නැද්ද?”
සවන් අසළින් ඇසුණේ එවැන්නකි.නිලංගා තිගැස්සී මෙන් ස්ටීව් දෙස බැලුවේය. ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු නොවීම ඔහු යළි දුරකතනයේය.

නිලංගා මොහොතකට අතීතය සිහිකළාය.විනෝදාංශයක් ලෙස ඡායාරූප කළාවේ යෙදෙන්නට තිබු ආශාව නිසාම රැකියාවේ මාස කීපයකට පසු ගෙවීමේ ක්‍රමයට ගත් කැමරාව ඇයට සිහිවිය. එය ගන්නට ඇය උනන්දු කළේ චරිතය.ඉඳහිට ඇවිදයන ගමනක දී ගහක,මලක,කුඩා පක්ෂියෙකු දුටුවිට වඩා සුන්දර පැහැදිළි සේයාරූ ගන්නට ඉන්පසු ඇයට හැකිවිය.

නංගීගේ පෙම්වතා ගේ යහළුවෙකුගේ විවාහ ලියාපදිංචි කිරීමේ දිනයක සේයාරූ ගන්නට යැයි කියා නිලංගා නිවසේ නොවූ දිනෙක එම කැමරාව නංගී ඔහුට දී තිබුණි. දින සති ගණන් ගෙවී යද්දීත් එය ආපසු නොලැබෙන තැන නිලංගා එය විමසූ විට නංගී ගණනකට නොගෙන පැවසුවේ “මොකද ඔච්චර හදිසි..එයාට තව පොඩි ගමන් දෙක තුනක් යන්න තියේ කීවා..ඉන් පස්සේ ඒක ගෙනල්ලා දේවි…පුදුම තණ්හාවක්නෙ තමුසෙට තියෙන්නෙ…”යැයි නොරිස්සුමෙනි.අවසානයේ කැමරාව හමුවූයේ පොලීසියේ නඩුභාණ්ඩයක් වීය.නංගීගේ පෙම්වතාගෙන් එය වෙනත් මිතුරෙක් අතට ගොස් ඔහු එයින් ගත් කාන්තාවන්ගේ නිරුවත් සේයාරූ අන්තර්ජාලයට එක්වීමේ කාරණයක් හේතුවෙන් අවසානයේ නිලංගාටද කැමරාවේ අයිතිකාරිය ලෙස කට උත්තර දීමට  පොලීසියට යන්නට සිදුවිය. එදායින් පසු කැමරාවක් අතට ගන්නටවත් නිලංගා අකමැති වූවාය.අතීතය එතරම්ම කටුකය. මෙවැනි අප්‍රසන්න සිදුවීම් අඩුමතරමේ මාලිකා සමගින් ජීවිත කතාව සාරාංශ කොට කියූ දා නිලංගා ඇය හා නොපැවසුවාය.

“නැහැ…”
යළිත් තමා දෙස බැලූ ස්ටීව් හට නිලංගා සුසුමක් ද හෙළා පැවසුවාය.

“මේක හිතේ සතුටට මෙමරීස් විදියට ගන්න ඒවානෙ…ෆෝන් එක ඇති ඒකට…”
ඇය යළිත් පැවසුවාය.

හිතේ සතුටට…මෙමරීස්….ස්ටීව් එවදන් ඔස්සේ යළි කල්පනා කළේය. ඉඳහිට යන ව්‍යාපාරික හමුවලදී භාවිතය වෙනුවෙන් තමා සතුව ඉස්තරම් ම වර්ගයේ මිළ අධික කැමරාවක් ඇත. එමෙන්ම බ්‍රයන් හෝ සමීපතම යහළුවන් සමග යන ගමනකදී ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් රැගෙන යන්නට වෙනම කැමරාවක්ද ඇත. එහෙත් මතකයන්…හිතේ සතුට යන කාරණා වෙනුවෙන් තමා කිසි දිනක ඒවා භාවිතා කර නැත.

මාලිකා බ්‍රයන් සමග ලොකු කතාබහකය.නිලංගා හිස හරවා කල්පනාවක ගැලී ඉන්නා ස්ටීව් දෙස බැලුවාය. ඔහු සිය දකුණත රිය කවුලුවේ දාරය මත තබා අනෙක් අත හිස පිටුපසින් නවා තබා සිටී. මේ පුද්ගලයා කෙතරම්ම කඩවසම් අයෙක්ද? එහෙත් ඔහු සිටින්නේම ලෝකයක බර හිස මත තබා ගෙනය.

“මිස්ටර් ස්ටීව්ට හොබීස් මොනවද තියෙන්නෙ?”

නිලංගා විමසුවාය. ඔහු මුවග කොණක් ඇද කොට මෙන් සිනහවක් ම නොවන ඉරියව්වක් පෑවේය.ප්‍රශ්නය ඇසූ මෝඩකම යැයි නිලංගාට සිතුණි.

“හොබීස් වලට නාස්ති කරන්න තරම් මට වෙලාවක් නෑ…”

නිලංගා ඒ පිළිතුරෙන් පුදුමයට පත් වූයේ නැත.මෙවන් පිළිතුරක් ඔහු දෙනු ඇතැයි ඇය අනුමාන කළාය.මුදල් මතම රැඳෙන ස්ටීව් වැන්නවුන්ගේ ජීවිත වල විනෝදාංශයක් වැනි දෙයකට ඉඩකඩක් තිබීම උගහටය.

“මනුස්සයෙක්ට විනෝදාංශයක් ජීවිතේ ට තියෙන්නෙ කාලය නාස්ති කරන්න නෙවෙයි කියලයි මම නම් හිතන්නෙ.අපිට අපේ බිසි ලයිෆ් ස්ටයිල් වලට හොඳ ඩිටොක්ස් එකක් ඒක.මනුස්සයෙක්ගෙ ජීවිතේ තියන ස්ට්‍රෙස් ගතිය, තරහා යන ගතිය, ඉවසීම නැතිකම වගේ දේවල් රිප්ලේස් කරන්න පුළුවන් හොඳ විනෝදාංශයක් ජීවිතේ කාලසටහන අතරට දාගත්තාම…”

නිලංගා ගැලපෙනම නිලය තෝරා පහර එල්ලකළාය.හොඳම යහලුවෙක් තබා විනෝදාංශයක් වත් නැති මේ තැනැත්තා මෙතරම් ම කේන්තිගන්නට හේතු කාරණා තමා පැහැදිලි ව නොදත්තද පෝලා ඉඳහිට කියනා කාරණා වලින් ඔහු වැඩම වවාගෙන ජීවිතේ ගෙවන්නෙක් ලෙස නිලංගාට අවබෝධ වී තිබුණි.

ස්ටීව් කටකොණකින් සිනහවක් පෑවේ ඇයගේ නොනවත්වා කියවීම අසා සිටය.මේ අන්දමින් තමා හමුවේ කියවන කෙල්ලක් ජීවිතේ පාසල් සමයේ යොවුන් සමයේ වත් සිට නැත.

“මට වෙන්න ඇති ඒක ඇප්ලයි කලේ එහෙනම්..මිස් නෙලී…
මට මගේ හැම තත්පරේම වටිනවා..මිස් වෙන හැම තත්පරේම වේස්ට් වෙන්නෙ සල්ලි…ඒ වගේම ඔපචුනිටීස්…ඔයාලාගෙ වගේ ලිමිටඩ් ජොබ්ස් කරන අයට මේවා තේරෙන්නෙ නෑ…”
ස්ටීව් නොසැලකිලිමත් ස්වරයෙන් පැවසීය.මේ කියවන්නියගේ ආත්ම අභිමානය බිමටම හෙළා දමන්නට ඔහුට අවැසි විය.

“වෙන්න පුළුවන් මිස්ටර් ස්ටීව්…හැබැයි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකො එහෙනම් ..අපි මොන විදියෙ හරි ජොබ් එකක් කරන්නෙ අපිට ආර්ථිකව හොඳ තත්වයකට එන්න…ඒක අවශ්‍ය වෙන්නෙ සතුටින් ජීවිතේ ගෙවන්න…හොඳයි.. මිස්ටර් ස්ටීව් ඉන්නෙ සතුටින්ද? “
නිලංගා එක එල්ලේම ස්ටීව් දෙස බලා සිටිමින් විමසුවාය.ඒ ස්වරයට මෙන්ම බැල්මටද ස්ටීව් මොහොතක් ගොලුවී ගියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here