මල්සර හී සර – 12

0
3301

“මං හිතුවා අනේ ඒත් තව පරක්කු වෙයි” කියලා කියාගෙනම දොරකඩෙන් ඇහිච්ච බෙල් සද්දෙට මාලවී කාමරේ කණ්ණාඩිය ඉස්සරහට වෙලා ඉඳලා පියඹගෙන ආවෙ කිරිල්ලියක් වගේ. ඇත්තටම සමුද්ර එනකම්ම, තමන්ගෙ ගෙදර දොරකඩ ඉස්සරහා සමුද්රව දකිනකම්ම මාලවී විශ්වාස කලේ නෑ ඒ විදියට සමුද්ර තමාට කතා කරා කියන එකවත් සමුද්ර තමන්ගෙ ගෙදර එනවා කියල කිව්ව එකවත්.

“ඇයිද දන්නෙ නෑ නේද අම්මෙ ඒ මනුස්සය එකපාර මෙහෙම එනවා කිව්වේ?” කියල සමුද්ර එක්ක චැට් කරනගමන්ම ඔය කතාව කාන්තිලතා එක්කත් කියලා මාලවී කල්පනා කලා.

“ඒ මනුස්සයා මාව එහෙම දන්නවා කියන එකවත් ඒ මනුස්සයට මාව එහෙම නෝට් උනා කියලවත් මට නිකන් විශ්වාස කරන්න බැ වගේ” කියලා මාලවී කියද්දි නම් රෑට කාලා අහවර වෙලා වලං පිඟන් හෝද හෝද උන්න කාන්තිලතා නම් කිව්වෙම “ඔයා නොහිතුවට ඒ මනුස්සයට ඔයාව නෝට් වෙන්න ඇති. ඔයාගෙ පෙනුම එහෙමත් වෙනස් අනික ඔයා හොඳ්අට බය නැතුව ඕන තැනකදි ඉස්සරහට එනවා, ඒ නිසා කැපිලා පේනවනෙ. ඔය වගේ ටෙලි ඩ්‍රාමා කරන මිනිස්සු ඒව හොඳට නෝට් කරනවනෙ” කියලා.

“ඉතින් අනේ එහෙම නම් එයා මාව නෝට් කරගන්න ඕන ඔඩිශන් එකේදිනෙ. එතනදි මේ මං කියල එකියක් උන්නද කියලවත් ගාණක් නැතුව ඉඳලා එකපාර මෙහෙම දෙයක් කලේ ඇයි කියල මට හිතාගන්න බෑ. හැබැයි එදා අර මම ශූටින් ගිය දවසෙ එයා ඇවිල්ල බලාගෙන උන්න මම දැක්ක. අනික මං අම්මට කිව්වෙ අර අපි ආණමඩුවෙ ඉන්න දවස්වල ඒ මනුස්සය නිකන් සප්තමීට එක එක නක්කල් කතත් කිව්ව කියලා”

“ඒකතමයි සමහරවිට ඔඩිශන් එක දවසෙ දැකල අහිංසක පෙනුමට රැවටිල තෝරගත්තට ඔයාව ඒ ශූටින් අතරවාරෙදි දැක්කම ඒ මනුස්සයට හිතුනද දන්නෙ නෑනෙ අපරාදෙ කියලා. අනික ඔයා කිව්ව නේද එයා ඔයා ලංකාවෙ ගොඩක් කොම්පැනි වලට වෙලඳ්අ දැන්වීම් එහෙම හදනවා කියලා. එහෙම එහෙකට ඔයාව අරගන්න කතා කරගන්නත් එක්කද දන්නෙ නෑ ඒ මනුස්සය එන්නෙ”

“අනේ මන්දා, මං කිව්වා හැබැයි රෑට කන්නත් එක්කම එන්න කියලා. කමක් නැනෙ නේද? මොනවද දෙන්නෙ? අපි බුරියානි එකක් වගේ හදමුද?”

“රෑට ඕව කාලා ඇඟ උස්සගන්න අමාරු වෙයිද දන්නෙ නෑ? ඉඳ්ඉආප්ප වගේ දෙයක් දුන්නා නම් හොඳ නැද්ද? හොඳ පොල් සම්බෝලයක් හදලා…” කියලා කාන්තිලතා කියාගෙන ආවට මොකෝ ඒ කතාව කාන්තිලතාට අහවර කරන්න නම් ඉඩ දුන්නෙ මාලවී නෙවෙයි. මාලවීගේ මූණෙ තිබිච්ච චිකේයියා ලුක් එක දැක්කම කීයවටත් ඔය තමන් කිව්ව විදියට පොල් සම්බල් ඒව මේව නම් හදන්න වෙන්නෙ නැති විත්තිය කාන්තිලතා තේරුම් ගත්තා.

“පිස්සුද අනේ? කවුද අනේ ඒ වගේ මනුස්සයෙක්ට රෑට කන්න එන්න කියල පොල් සම්බලුයි අරවයි මේවයි දෙන්නෙ? අපි බුරියානි එකක් හරි අර එලවලු දාලා හරිස්චන්ද්ර නූඩ්ල්ස් එකක් දෙමු, චිකන්, පරිප්පු, ඉස්සො වගේ තව මොනවහරි හදමු? ඩෙසර්ට් එකකුත් දෙන්න වෙයි නේද? වටලප්පන් හොඳද?” කියල ඔය ඔක්කොම ප්ලෑන් කරගෙන ඉද්දි තමයි සමුද්ර ආව බව කියන වට්ස් ඇප් මැසේජ් එකත් එක්කම ගෙදර බෙල් එක කෑගහන සද්දෙ මාලවිට ඇහුවෙ. කිරිල්ලි වගේ කාමරෙන් එළියට පියඹගෙන යන්න කලියෙන් මාලවී තප්පරයක් ආයෙම පාරක් කණ්ණාඩියෙන් තමන්ගෙ ලුක් එක දිහා බැලුවා. ඉන්ටර්නෙට් එකෙන් බලලා දාගත්ත නලලට කොණ්ඩ කැරලි වැටෙන හෙයා ස්ටයිල් එක තමන්ට මාර ලස්සනයි කියල හිතන ගමන් තමයි බොරු හුරතලයක් මවාගෙන මාලවී හායි කියාගෙනම ඉස්සරහට ගියේ.

ආන් ඒක දැක්කම තමයි සමුද්රට උන් හිටි තැන් අමතක උනේ වගේම ආයෙම පාරක් අඩියක් පිටිපස්සට තියල තමන් රින්ග් කරල තියෙන්නෙ හරි ගෙදර බෙල් එකද කියන එකත් කල්පනා කරේ. හරි වැරදි නෑ. අනික ඉතින් වරදින්න කොහෙත්ම විදියක් නෑනෙ. මේකි කියන විදියට ආව විත්තිය කියලා තමන් මැසේජ් එක දාලා තියෙන්නෙ මේ සක්කරවට්ටමට වෙච්චි කොට සමුද්රට ආයෙ හැරිලා ගිහින් සුමල් කාරයව උල තියන්න හිතුවා. “දැන් මොකද්ද කරන්නෙ?” කියල හිතන ගමන් තේ කොල පිටි සීනි පිරිච්ච කීල්ස් මල්ලයි, අනික් අතෙන් ජෙරාඩ් මෙන්ඩිස් එකෙන් බරගාණක් දීලා ගත්ත චොකලට් පෙට්ටියක් උස්සගෙන බොරු හිනාවක් මූණෙ දාගෙන සමුද්ර ගෙට අඩිය තියන්නෙත් නැතුව ඉස්සරහට වෙලා හිටියා.

“අනේ එන්න සර්, ඒත් අපි මේ බලන් හිටියා මොකෝ තාම පරක්කු” කියාගෙන දූ තරම්ම විකාර විදියට ඇඳ්අ පැලඳගත්ත අම්මා කෙනෙක් ගේ අස්සෙන් හිනාවෙවි  එලියට එද්දි තවදුරටත් මෙහෙම ගේ දොරකඩ හිටගෙන ඉන්න එකෙන් සමාජෙට විහිලුවක් වෙන්නෙ තමන් බව දන්න හන්දමයි සමුද්ර ගෙට අඩිය තිබ්බෙ.

“ට්‍රැෆික්නෙ” කියලා අමාරුවෙන් වගේ වචනයක් එලියට දාගත්තට මොකෝ සමුද්රට තිබිච්ච ලොකුම ප්‍රශ්නෙ තමයි “දැන් මං මොකද්ද කරන්නෙ, ඉන්නවද මොකක් හරි බොරුවක් කියලා මගෑරගන්නවද?”කියලා. එනවා කියල වගේම රෑට කන්න ඉන්නම් කිව්ව එකේ මේ මිනිස්සු දැන් ඒව ලෑස්ති කරලා තියෙද්දි තමන් එහෙම යන එක වැරදි විත්තිය දන්නවා උනත් හම්බුවෙන්න ආව එක දෙයියෙක් හම්බෙන්න හිතන් දේවාලෙට ආවම වෙන දෙයියෙක් දේවාලෙ ඉන්නව දැක්කම කරන්න හිතන් ආව ඒව වෙනස් කරන එක ලේසියෙන් කරන්න දෙයක් නෙවෙයි නේද කියන එකත් ඔය අස්සෙම සමුද්ර කල්පනා කලා. 

“ඒකතමයි, ඉතින් අයියා මොනවද බොන්නෙ?” කියලා මාලවී හුරතල් වෙවී අහද්දි බොන්න ඕන මොනවද කියන්න ගිහින් සමුද්රට වචනත් පැටලුනා.

“අනේ කරදර වෙන්න එපා” කියල කිව්වට මාලවී නම් හිටියෙ සමුද්ර අමුර්තෙ ඉල්ලුවත් ගෙනත් දෙන සයිස් එකකින් විත්තිය සමුද්ර දැනගෙන හිටියෙ නෑ.

“අනේ කිසිම කරදරයක් නෑ අයියා, මම අයිය ආවම දෙන්න ඩ්‍රින්ක්ස් ඕල්‍රෙඩි හදලා තියෙන්නෙ” කියලා මාලවී ආයෙම හුරතල් වෙවී කියද්දිත් සමුද්ර නම් හිතෙන් හිතුවෙ “හදලා නම් තිබ්බෙ අහවල් රෙද්දකට මොනවද බොන්නෙ කියලා ඇහුවෙ?” කියලා.

මාලවී නම් හිටියෙ සමුද්ර එහෙ උන්නු මුලුවෙලාවෙම සමුද්ර දන් දැන් මොන මොනවහරි ස්පෙශල් දෙයක් තමන්ට කියාවි කරාවි කියල බලාපොරොත්තුවෙන් උන්නට නොදැන ගිහින් අතරමං වෙච්ච සීන් එකකට අහුවෙල උන්න සමුද්ර නම් බල බල හිටියෙ කොයි වෙලේද මම මෙතනින් ගැලවිලා යන්නෙ කියලා. ඒ උනාට මාරුවෙන් මාරුවට අම්මයි දුවයි අහන ඒවට උත්තර දිදි, තමන්ට සර්ව් කරන එක එක කෑම වර්ග ගිලින ගමන් සමුද්ර අනිත් අතට කල්පනා කලේ තමන් දැන් මෙහෙ ඉන්න විත්තිය සුමල් දන්නවා නම් ඌ අර කිව්ව වගේ පස්ස පැත්තෙනුයි කටෙනුයි දෙකෙන්ම හිනාවේවි කියලා.

“ඉතින් ඔයාට දැන් මෙහේ එන්න කිව්වට ඔන්න මගේ හිතේ තියෙන තරහා ඒ උනාට සම්පූර්ණයෙන්ම නම් තාම නැතිවෙලා නැ” කියන ගමන් තමන් වාඩිවෙලා ඉන්න තැනට ඉස්සරහින් වාඩිවෙලා මාලවී හුරතල් වෙවී බොරු ඇක්ශන් දදා කියද්දි සමුද්රට හිතාගන්න පුලුවන් උනේ නෑ මේකි මේ මොකක් ගැනද කියන්නෙ කියලා.

“ඒ කිව්වේ? මට තේරුනේ නෑ?”

“ඇයි අනේ ඔයා දැන් මේ මාත් එක්ක මෙහෙම කතාකරාට ඔයා නිසා තමයි මට ඔයාගෙ ටෙලි ඩ්‍රාමා එකේ මේන් ඇක්ට්‍රස් වෙන්න තිබ්බ චාන්ස් එක නැති උනේ. ඇයි අනේ ඇත්තටම ඔයා මාව සිලෙක්ට් කරගන්නෙ නැතුව සප්තමීව තෝරගත්තේ? එයාට එහෙම ඇක්ටින් ගැන කිසිම නොලේජ් එකක්වත් ස්කිල් එකක්වත් නෑනේ”

“ආහ්..මේ…ඔව්ව්. අන්න ඒකම තමයි මම ඔයාව තෝරගත්තෙ නැත්තෙ”

“ඒ කිව්වෙ?”

“ඔයාට ස්කිල් එක තියෙන හන්දා”

“ඉතින් අනේ ස්කිල් එක තියෙනවනම් ඔයා මාව තෝරගන්නනෙ ඕන”

“නෑ මෙහෙමනෙ, මං ඔයා වෙනුවෙන් වෙන දෙයක් තමයි ප්ලෑන් කරගෙන ඉන්නෙ” කියල කිව්වට සමුද්ර එහෙම දෙයක් තමන්ගෙ කටෙන් පිටවෙච්ච එක ගැන ඇත්තටම පස්සෙ නම් දුක් උනා. ආයෙ මොකෝ එලියට දාපු වචන කටේ දාගන්නය. කොහහොමහරි අම්මල දුවලගෙ පෙරැත්තෙට නූඩ්ල්ස් මග ගොඩක් බඩට දාගෙන, ඊට උඩින් වටලප්පනුත් කාලා සමුද්ර ඒ ගෙදරින් පිටවෙද්දි රෑ නවයට කිට්ටුයි. බඩ උස්සගන්න බෑ වගේම කාපු එකකට එකක් ගැලපෙන්නෙ නැති කෑම ජාති හන්ද්ද මන්ද යාන්තමට රිදීගෙන එන බඩෙන් පොඩි ගොර ගොර සද්දෙකුත් එනවා සමුද්රට දැන් ඇහෙනවා.

ඒ ඔක්කොම අස්සෙ සමුද්ර තට්ටු නිවාසෙ පල්ලෙහට පල්ලෙහට බැහැන් යද්දි මෙන්න මූණටම හම්බුනානෙ හිතුවෙ නැති විදියට දකින්න හිතාගෙන ආව සප්තමීව. සප්තමීව දකින්න ලැබිච්ච එක කොච්චර සන්තෝසයක් උනාත් රිදීගෙන එන බඩ හන්දයි සප්තමීගේ මූණෙ තිබිච්ච හිනාවක් නැති ලුක් එකයි හන්දා සමුද්ර උන්නෙත් හිනාවෙන්නෙ නැතුව. ඔක්කොම ප්‍රශ්න හිතේ හංගගෙන හායි කියල කතාව පටන් ගන්න සමුද්ර හිතුවට මොකෝ සමුද්රට කලින් සප්තමී එක්ක කතා කරන්න ඉස්සර උනේ සමුද්රගෙ බඩ.

“ගොඩ ගොර ගොර ගොර” ගාලා බඩ කැගහද්දි සමුද්ර සප්තමී දිහා බලන් උන්නේ මූණ නිකන් කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ලක් ගාණට දාගෙන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here