මල් පිපුණිද හිම කැළයේ – 24

0
4484

“නැත්නම් …මම සතුටින් ඉන්නෙ නෑ කියල ඔයාට හිතෙනවද?”
විනාඩි දෙකක පමණ නිහැඬියාවකින් පසු ස්ටීව් හඬ අවදිකොට ගත්තේය.නිලංගා සිනාවක් පා හිස සැළුවාය.

“නෑ..මම එහෙම කීවේ නෑනෙ…හරි ..මිස්ටර් ස්ටීව් සතුටින් නම් ඉන්නෙ…එච්චරයි…”
ඇයගේ ස්වරයේ වූයේ ඔහු කියූ දෙය පිළිනොගත් ආකාරයකි.ස්ටීව් මේ තරුණියගේ එවදන් යළිත් කල්පනා කළේය. ඇත්තෙන්ම තමා සිටින්නේ සතුටින්ද? මිලියන ගණනින් බැංකු ගිණුම් ,ආයෝජන සතු වුවද තමා ඉන්නේ සැබෑ සතුටකින්ද? රාත්‍රී හෝරා කීයක් නම් තමා කිසිදු හේතුවක් නොමැතිව නිදිවරනවාද? පැහැදිලි සාධාරණ හේතු රහිතව සේවකයන් හා අමනාප වදන් හුවමාරු කරගන්නවාද? අම්මා ව කෙතරම් නුරුස්සනවාද ?…මෙයාකාරයෙන් කොතරම් දෑ ප්‍රශ්නාර්ථයක් සහිතව පෙර ඇසූ ප්‍රශ්නය ඉදිරිපස තිබේදැයි ඔහු සිතුවේය.

“හොඳයි මගෙන් එහෙම අහන්නෙ …ආ යූ හැපී විත් යුවර් ලයිෆ්?”
ස්ටීව් අභියෝග කළේය.ලෙහෙසියෙන් පරාජය නොවන්නට ඔහුට අවැසිවිය.කෙසේ වුවද තමන් දරනා මතය ලෙහෙසියෙන් අත් හැර දමන්නට ස්ටීව් සූදානම් ව නොසිටියේය.

“වයි නොට්?
මම මගෙ ලයිෆ් එක ෆුලි එන්ජෝයි කරන කෙනෙක්.වැඩ කරන වෙලාවේ මම කිසිම වෙලාවක ඒ වැඩ කොටස ගැන පසුතැවෙන්නෙ නෑ…මගෙ වැඩටික කරදරයක් නොවෙන්න මම මගෙ වැඩ පරිසරය හදාගන්නවා. අනෙක් වෙලාවට මගෙ ජීවිතේ මම එන්ජෝයි කරනවා…මට හොඳ නින්දක් ලැබෙනවා…මගෙ හොබීස් මාව ලයිව් විදියට තියනවා…ඉතින් මම ඉන්නෙ සතුටින්…”
ගිරවියක සේ කියවන තරුණියගේ වචන හදවතේ කොහේ හෝ ඇමිණෙන බව ස්ටීව්ට දැනුණි.

“දැන් බලන්න මේරි මැඩම් ඇයි ක්නිටින් කරන්නෙ…ඒක එයාගෙ හොබි එක…එයාට අර කාමරේ ඇතුළේ ඇඳටම වෙලා ඉන්න කොට ඒ හොබි එක තමා තියන එකම දේ…ඒකෙන් එයා තාවකාලිකව හරි රිලැක්ස් වෙනවා.හැම හොබි එකක්ම ප්‍රොඩක්ටිව් වැලියු එකක් …ඒක සල්ලි හම්බ කිරීමක් වෙන්න ඕන නෑ ..දැක්කානෙ මේරි මැඩම් ගොතපුවා බෑග් ගොඩක් ගොඩගහලා කාමරේ පුරවලා…මම එයා එක්ක කතාකළා.. එයා කැමති උනා..එව්වා චැරිටි ශොප් එකකට ඩොනේට් කරන්න…”
ස්ටීව් දෑස පමණක් නොව මුවද අයා නිලංගා දෙස බලා උන්නේය.මේ තරුණිය නම් පෝලා කියන්නාක් මෙන් විශ්ම දෑතක් හිතක් ඇත්තියකි.ආච්චී පසුගිය කාලයේ ඇයගේ ගෙතුම් නූල් පොටක් හෝ කාමරයෙන් ඉවත් කරන්නට නොදුන්නාය. මේ වෙනස හිතාගන්නටද බැරිය.

” මොකක්ද කීවේ…අපේ මේරි කෙල්ල කැමතිඋනා..ඒවා දෙන්න…අම්මෝ බ්‍රයන් ඇහුණද…?”
ස්ටීව් හඬනගා කෑගැසුවේය.බ්‍රයන් මේ වන තුරු සිටියේ මාලිකා සමගින් අන් කාරණයක් ගැන කතාබහේ යෙදෙමින් රිය පදවමිනි.අනපේක්ෂිත ලෙස ස්ටීව් කෑගැසීම නිසා ඔහු වික්ෂිප්ත වූ තරමට රියේ තිරිංගද පෑගුණේය.

“වට් ද හෙල් මෑන්…මේ පාරවල් වල වාහන නැති නිසා බේරුණා..නැත්නම් හැප්පිලයි නවතින්නෙ…”
බ්‍රයන් සිදුවීම අසා සිනාසෙමින් පැවසුවේය.

“ආච්චි විතරක් නෙවේ මෙලා …මට පේන විදියට බොසුත් ටිකක් වෙනස් වෙන්න අරන් වගේ…තේරුණේ නැද්ද කටහඬේ තිබ්බ සතුට…”
තරමක් හඬ පහත් කර බ්‍රයන් මාලිකා හට පැවසීය.

කතාබහ එතැනින් නැවතුණේ රථ ගාලක් වෙත රිය පැමිණීමත් සමගය.අතරමග රිය ගාලක රථය නවතා එතැන් පටන් ගමන යායුතුවිය.නිලංගා සිය සුදු පැහැ තොප්පිය පැළඳ ගත්තාය.පිටේ එල්ලාගෙන යන බෑගය පමණක් වූ හෙයින් දෑතම නිදහස් විය.මාලිකා ,බ්‍රයන් සහ ස්ටීව් සිය බෑගයන් ගන්නා තුරු නිලංගා හාත්පස විඳිමින් උන්නාය.දවස හොඳම කාලගුණයකින් යුතුව ඇත. මනා හිරු එළියද සුවදායීව ගතට දැනේ.

“අපි මගදි මොනව හරි ආයෙ කමු…බ්‍රයන් ස්නැක්ස් බෑග් එකත් මම ගන්නම් නේද..මග පොඩි කැෆේ දෙක තුනක් නම් තියෙනවා…ඒත් ගම්මු මේකත්…”
මාලිකා තවත් බෑගයක් කරට දමා ගත්තාය.ස්ටීව් අව්කණ්ණාඩිය පැළඳ  බෑගය කරට දමා ගෙන නිලංගා වෙත ඇවිද ආවේය.ඇය මාවත අයිනේ කුඩා මල් පඳුරකට එබීගෙන ඒවා දුරකතනයෙන් රූගත කරගන්නීය.

“මේක ගන්න…”
නිලංගා හැරී බැලුවාය.ස්ටීව් ක්ලිෆර්ඩ් සිය අත වූ කැමරාව ඇය වෙත පා සිටියි.නිලංගා දෑස සිහින් කොට ඔහු දෙස බැලුවාය.

“DSLR එකකින් ගන්න දන්නවනෙ නේද? මේක යූස් කරන්න…එහෙනම්…”
ඔහු කිසිවක්ම නොකියා ඇය අත කැමරාව තබා හැරී ඇවිද ගියේය.නිලංගා විවර කරගත් මුව වසා නොගෙනම බලා උන්නේ මේ අරුමය වටහා නොගෙනමය.

” මොකද නෙලී ඔතන කරන්නෙ…යමු යමු…”
මාලිකා ඇය වෙත ආවේ බ්‍රයන් සහ ස්ටීව් ඉදිරියට ඇවිදයනවාත් සමගමය.

“මේ බලන්නකො මෙලා…ස්ටීව් ඇවිත් කැමරා එක මට දීල ගියානෙ ..”
නිලංගා අතවූ කැමරාව මාලිකාහට පෙන්වමින් කීවාය.මාලිකාද විමතියෙන් මෙන් බලා උන්නාය.ස්ටීව් මේ ආකාරයෙන් හැසිරෙනු මේ ගතවූ කාලයටම ඇය දැක නැත.

“හරි හරි අපිත් යමු දැන්……අර දෙන්නා දැන් සෑහෙන දුරක් ගිහින්…”
මාලිකා නිලංගා අත අල්ලාගෙනම ඇවිදගියාය.ස්ටීව්ගේ මේ වෙනස ඇයටද හිතාගන්නට නොහැකිය.

ගමන සුන්දර තරමටම තරමක් අසීරු කඳුනැග්මවල් බැස්මවල් වලින් සමන්විත විය.දේශගුණය ඉතාම යහපත් දිනක් හෙයින් දේශීය විදේශික සංචාරකයන් බහුල විය.එහෙත් විශාල වපසරියක ප්‍රදේශයක් හෙයින් සෙනග තදබදයක් නොවූ තරම් ය.

“කොහොමද නෙලී…ගමන හොඳයි නේද?”
අතරමග තැනින් තැන විවේක ගන්නා මොහොතක මාලිකා නිලංගා ගෙන් විමසුවාය.නිලංගා සතුට පිරි සිනාවක් පෑවාය.  බ්‍රයන් හා ස්ටීව් ගමන අතරේ විවේක ගන්නා යෙහෙළියන් වෙතින් තරමක දුරින් උන්හ.ස්ටීව් ඉඳගෙන උන් තැනින් නැගිට ඔවුන් වෙත විත් නිලංගා අත වූ කැමරාව ඉල්ලාසිටියේය. නිලංගා විව්ධ ස්ථාන වල නැවතී මුහුද සහ කඳු පන්ති සේයාරුවට ගනු ඔහු දුටුවේය.ඇය ගත් සේයාරූ සියල්ල ඉතා ඉහළ කලාත්මක බවක් ඇති ඒවා විය.සාමාන්‍ය කෝණවලට පරිබාහිරව ගත් බොහෝ සේයාරූ ස්ටීව් විශ්මයට පත්කළේය. යෙහෙළියන් දෙදෙනාගේත් බ්‍රයන් සහ මෙලාගේත් සේයාරූ කිහිපයක් ඔහු ගත්තේ මෙලාගේ ඉල්ලීම මතය.එහෙත් ඔහු සිය සේයාරු ගැනීම ප්‍රතික්ෂේප කළේය.ගමන නැවත අරඹද්දී කැමරාව යළිත් නිලංගා අතට මාරුවිය.මාලිකා සහ බ්‍රයන් එක පෙළට වැටෙද්දී නිලංගා වෙනමත් ස්ටීව් වෙනමත් ගමනට එක්වූහ.රියෙන් බැස්ස මොහොතේ පටන් ස්ටීව් කතාබහ කළේ බ්‍රයන් සමග පමණි.ඔහු නිහඬවම ගමනේ යෙදුණේය.

වෙනදා ගමනක යෙදෙනවාට වඩා ඔහු පරිසරය අවට ස්වභාවය දෙස විමසිල්ලෙන් බැලුවේය.වෙනදා විනෝද ගමනක් පැමිණියද සිය අත රැඳී ජංගම දුරකථනයට කිසිදු විවේකයක් නැත.විවිධාකාර දුරකථන ඇමතුම් සහ විද්‍යුත් මේලයන්ගෙන් ඔහු ගමන පුරාම කාර්යබහුල ද වේ.විශේෂයෙන් විනෝද ගමනක් කියා ඔහු වින්දනය කළ දෙයක් නොමැත.එය ඔහුට අඩුවක් සේ දැනුනේ ද නැත.

නමුත් අද දවස වෙනස්ය.ඔහු වඩා විමසිල්ලෙන් හාත්පස නැරඹීය.seven sisters වෙත මින් පෙර වතාවක පැමිණ තිබුණද..ඔහු සම්පූර්ණ ගමනට එදා එක් වූයේ නැත.අතරමැද්දෙන් අනෙක් අයගෙන් වෙන් වී නවාතැන්පලට ගිය ඔහු සිය සුපුරුදු ව්‍යාපාරික කටයුතුවල යෙදුනේය. එක්වරම පිළිගන්නට නොහැකි කමක් තිබුනද නෙළී පවසන දෑ තුළ යම්කිසි සත්‍යයක් පවතින බව ඔහුටද වැටහී තිබුණි.විශේෂයෙන්ම ආච්චීගේ වෙනස හිතා ගන්නට බැරිතරම් ඔහුට බලපෑම් කොට තිබුණි.

” මම මුහුදට හරිම ආසයි..”
වරක් නිලංගා  මාලිකා සමගින් පැවසුවාය.

“ලංකාව වටේම මුහුද තිබුණත්..ඒ හැම තැනක්ම එකිනෙකට වෙනස්…මාතර පැත්තෙන් දකින මුහුදට වඩා පොතුවිල් පැත්තෙන් මුහුද වෙනස්..ඒත් ඒ හැම මුහුදක්ම ලස්සනයි..මෙතන ඊටත් වඩා වෙනස්…”
ඇය තමාටම මෙන් පවසා ගන්නා ආකාරය ස්ටීව් අසා උන්නේය.නිල් පැහැති මුහුදේ සුදු පැහැ පෙණ කැටි මතු ව එන ආකාරය ඔහු ජීවිතයේ පළමු වතාවට දුටුවාක් මෙන් බලා උන්නේය.ඈත ක්ෂිතිජය දෙසින් හුදෙකලාව යාත්‍රා කරන නැවක් දෙස බොහෝ වේලා බලා උන්නේය.

නිලංගා ගමන අතරේ කඳු හිස් අයිනට නොදැනීම ගියේ පහළ වෙරලේ වූ ප්‍රදීපාගාරය  කැමරාවට හසුකර ගනිමිනි.

“අයිනට යන්න එපා….”
ස්ටීව් ඇයගේ මග හරස් කළේය.නිලංගා ප්‍රශ්නාර්ථයක් මුසුව ඔහු දෙස බැලුවාය.

“මේ අයින් වල පස් බුරුල් …අයිනට ගියොත් පහළට කඩන් වැටෙන්න පුලුවන් …”
ඔහු අත දිගු කොට ඉන් ඔබ්බෙන් වූ කඳු ශිඛරයෙන් කැඩී වැටී තිබූ පස් හා ගල් සමූහය පෙන්වීය.ඇතැම් ස්ථාන වල සීමාව ලණු ඇද වෙන් කර තිබුණද ඇතම් ස්ථාන එසේ නොවීය.එහෙයින් අනතුරක් වන්නට ඉඩ ඇත.

“තැන්ක් යූ…” නිලංගා ස්තුති පූර්වක සිනාවක් හා සමගින් පැවසුවද ඔහු එය නෑසුණාසේ ඉවතට හැරුණේය.පුදුම ආඩම්බරයක් තමයි….නිලංගා තමාටම පවසාගත්තාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here