මේ ඒ වසන්තයයි – 12

0
3090

ඉසිනි මෝටර් රියෙන් බැස්සාය. නුරාන් මෝටර් රියට ගොඩ වූයේය. ඇගේ සුවඳ තවමත් වෙනස් නැතැයි නුරාන්ට සිතෙන්නේය. එහෙත් මේ අන් සතු ස්ත්‍රියකි. නුරාන් සැනින් සිහියට ගත්තේය.

සිදුව ඇත්තේ කුමක්දැයි වටහාගන්නට හැකි වුවද එය නිවැරදි කරගන්නට තරම් උපකරණ නුරාන් සතු වූයේ නැත. ඒ නිසා කර්මාන්තශාලාවේ වාහන සැකසුම් පිළිබඳව වන  කපිල පැමිණෙන තෙක් සිටීමට සිදුවේ. නුරාන් මෝටර් රියෙන් බැස්සේය.

” අපේ එකෙක්ට එන්න කිව්වා මම .. එන්න විනාඩි දහයක් පහලවක් යාවි .. ඒ ආවම යං  .. මං ගෙදරින් දාලා එන්නම් … වාහනේ හදාගත්තම මම ගෙනල්ලා දාන්නම් …”

නුරාන් ඉසිනිගෙන් ඉවතක් බලාගෙන කීවේය. ඉසිනි එය අසා උන්නා පමණි. නුරාන් ඇය වෙත හැරුනේය.

” ඉසිනි ..”

” ම්ම් …”

” කොහේ යන්නද ආවේ ?…”

“ලොකු පුංචිලාගේ ගෙදර …”

ඉසිනි පහත් හඬින් කීවාය. අවට වූයේ සුළඟේ හඬ පමණි. ඒ අතරින් නුරාන්ට ඉසිනිගේ හඬ ඇසුණි. නුරාන් ඕ දෙස විමසිලිමත් බැල්මක් හෙලුවේය. මතකය නිවැරදි නම් ඇගේ ලොකු පුංචී යැයි පවසන කෙනා ඉන්නේ මාතරය. මේ රෑ මැදියමේ මාතර බලා යන්නට තරම් ඇයට සිදුව ඇත්තේ කුමක්දැයි නුරාන්ට වැටහුණේ නැත.

” මාතර ?…”

නිරායාසයෙන්ම නුරාන්ගේ මුවින් එලෙස පිට වූයේය. ඉසිනි තිගැස්සුණාය. එය ඔහු කෙලෙසක විමසුවාදැයි වැටහුනේ නැත. මාතර කවුරුන් හෝ නෑදෑයෙකු සිටිනවායැයි වන මතකයක් අදහා ගන්නට  හැක, එහෙත් ලොකු පුංචීම මාතර සිටින වගද ඔහුට සිහියේ තිබීම.

” මාතර යන්න ?….”

නුරාන් යළි විමසුවේය.

” ඔව් …”

” ඔලුව නරක් වෙලාද ඉසිනි ?…. මේ එහෙම එලියට බැහැලා යන්න ගැලපෙන වෙලාවක්ද ?… අනෙක තමන්ට යන වාහනේ  ගැන ශුවර් එකක්වත් නැතුව ….”

නුරාන් කඩා පැන්නේ අයිතිවාසිකම් ගැන කතන්දර සියල්ලම පසෙකට ලමිනි. කැබ් රියේ ආලෝකය දෙදෙනා මතට වැටී තිබුණි.

” වාහනෙන් නැගලා ඉන්නවා පොඩ්ඩක් …”

නුරාන් ඔහුගේ ජංගම දුරකතනයට පිළිතුරු දී අවසානයේ පැවසූයේ අණ දීමක් ලෙසිනි. ඉසිනි කැබ් රියට ගොඩ වූවාය. තවත් ත්‍රී රෝද රියක් විත් නැවතෙනු ඕ දුටුවාය. ඉන් පසුව ඕ කැබ් රිය පුරා දෑස් ගෙන ගියාය. එහි විශේෂයැයි ඇඟවෙන කිසිවක් වූයේ නැත.

” කොහොමද නුරාන් මම මෙතන බව දන්නේ ?…”

එක්වරම ඇය ඇගෙන්ම විමසුවාය.

” සමහරවිට සෝමා නැන්දා පණිවිඩේ කිව්වාද ?..”

යටි හිත ඇගෙන් විමසුවේය. ඕ ඔහේ කල්පනා කරමින් උන් කාලය ගැන ඇයට අදහසක් වූයේ නැත. නුරාන්ගේ හඬ ඇසෙනතුරුම ඕ උන්නේ උන් කල්පනාවේමය.

” මේක දැන් ගොඩ දාන්න බෑ .. අපි වාහනේ අයින් කලා .. එහෙම තියෙන්න දෙමු…. උදේට ඇවිල්ලා බලන්නම් ..”

ඉසිනි දෑස් විසල් කරගෙන බලා උන්නාය. මේ සිදුවන්නට යන්නේ කුමක්දැයි වැටහෙන්නේ නැත.

” මම එහෙනම් ඉන්නම් …”

ඕ සිහි එලවා ගනිමින් එලෙස කීවාය. එහි අර්තය කුමක්දැයි ඇයට එතරම් අදහසක් වූයේද නැත.

නුරාන් අසුනේ හිඳගෙන අතෙහි වූ යමක් ඉසිනි වෙත පෑවේය. ඒ ඇගේ මෝටර් රියේ යතුරය. අසිනි එය අතට ගත්තාය. නුරාන් දෙස හොඳින් බැලුවාය.

” කොහෙද ගෙදර තියෙන්නේ ….?”

නුරාන් විමසුවේ ත්‍රී රෝද රියෙහි හඬට ප්‍රතිචාරයක් දක්වමිනි. ඉසිනි එයට පිළිතුරු දෙන්නට උත්සාහ නොකලාය. නුරාන් කුමක් සිදු කරන්නට යන්නේදැයි  ඇයට වැටහුනේ නැත.

සැනින් ධනුකගේ චෝදනාත්මක ස්වරය ඇයට සිහිපත් වූයේ එතක් වෙලා වූ නිසොල්මන ඇය කෙරෙන් ඉවතට කරමිනි. ඕ වහා කැබ් රියේ දොර විවෘත කරගන්නට උත්සාහ කලාය. එහෙත් ඇයට එක කරගන්නට හැකි වූයේ නැත. නුරාන් ඇය කරන්නට සූදානම් වනුයේ කුමකටදැයි සිතා ගන්නට නොහැකිව මෙන් බලා උන්නේය.

” දොර අරිනවාද ?.. මම කාර් එකෙන් ඉන්නම් …”

” මොකක් ?…”

” මං කාර් එකෙන් ඉන්නම් උදේ වෙනකල් … මට බෑ ඕගොල්ලන්ගේ ගෙදර යන්න …”

නුරාන් සිනාසී කැබ් රිය පණ ගන්වා ගත්තේය.ඉසිනි ඇගේ විරෝධය පෑවේ යළි හැරී දොර විවෘත කරගන්නට උත්සාහ කරමිනි.

” උදේ වෙනකල් කාර් එකේ ඉන්න පුලුවන් නම් ඉඳලා බලනවා….  ඩොක්ටර් බැඳගත්තට මොකද මොලේ අමාරුව නම් සනීප කරලා නෑ වගේ …”

නුරාන්  කැබ් රිය මදක් පසෙකට ගෙන යලි ඉසිනි පැමිණි දෙසට ධාවනය කලේය. ඉසිනි ඒ වෙද්දී උන්නේ නුරාන්ගේ ඇණුම්පදය නිසා ගල් ගැසීගෙනය.

” ඇත්තටම තමුසේට මොකක් හරි මොලේ අමාරුවක් තියෙනවාද ඉසිනි ?.. අපේ අක්කා කිව්වාම දරුවෙක් ගැන හිතන්න කියලා මොකක්ද ඒ කියලා තියෙන කතාව ?….”

අරුණෝදගේ කෝපය මුසුවූ හඬ ඒ සැනින් ඇයට ඇසුණි. ඉසිනි අසුනේ කොනටම වී දෑස් පියාගත්තාය.

” වඳ ගෑනියෙක් කියන්නේ වඳ ගෑණියෙක් කියනෙක ඉසිනි … තමුසේ  ඒක අමතක කරන්න එපා … කරන්න තියෙන තරමේ ඔක්කොම ට්‍රීට්මන්ට්  කලානේ වියදම් කර කර සබ්බ සකලමනාවම … කෝ .. තවම හරි ගියාද ?.. එහෙම එකේ, වරදයි, අඩුපාඩුවයි ඔක්කොම තමන්ගේ අතේ තියාගෙන අක්කා එක්ක එකට එක කියවන්න තරම් මොලේ අමාරුවක් හැදුනේ කවදා ඉඳන්ද ?… අක්කා අන්තිමේ මාත් එක්කත් හිත හොඳ නැති වුනා…”

ඉසිනි නලල පිරිමැදගත්තාය. අතීතයේ කටුක ඇණුම් පද මතුව රිදවන්නේ වෙලාවක් අවේලාවක් නැතිවය. නුරාන්ද ඒ දෙස බැලුවේ වාහනය ගෙන යන අතරේමය.

” ඇයි ?…”

” මට ඔලුවේ අමාරුවක් තමයි .. ඒ හින්දා තමයි හැම කෙනාම මට මෙහෙම කරන්නේ …”

ඉසිනි උස් හඬින් අරබා පහලම ස්වරයකින් අවසන් කලාය. නුරාන්ට එය වැටහුනේ නැත.

” මේ යන පාරේ නවතින තැන මට කියන්න …”

” තුං මං හන්දියෙන් වමට ..”

“වමටද දකුණටද … හරියට හිතලා කියන්න….”

සරසවි කාලයේ නුරාන් ඉසිනිට යතුරු පැදිය පදින්නට කියා දුන් කාලයට දෙදෙනාම සැනින් විසිව ගියෝය. ඉසිනි උන්නේ නුරාන් එක දිගට ඇයට දෙන පුදුමකිරීම් දරාගන්නට නොහැකිවය. නුරාන් උන්නේ තමා සඟවාගෙන සිටින සියල්ල ඇය ඉදිරියේ එකින් එක විසිව දිග හැරීම පාලනය  කර ගන්නට  නොහැකිවය.

” වමට නුරාන් .. මං අන්තිමේදී ඒක ඉගෙනගත්තා…”

ඉසිනි අසීරුවෙන් කීවාය.

නුරාන් ඉසිනි දෙස නොබලාම වාහනය ගෙන ගියේය.

” අක්කේ .. මං එන්නම් .. ටිකක් රෑ වේවි … නිදාගන්න ..”

පැමිණි ඇමතුමකට පිළිතුරු දුන් නුරාන් ඉන් පසුව ඉසිනි දෙස බැලුවේය. ඇය ඉන්නේ කලබලයෙන් බවට සැක නැත. තමා සමඟ මේ රාත්‍රියේ ගමන් කිරීම ගැන ඇගේ වෛද්‍ය සැමියා කෙලෙසින් ප්‍රතිචාර දක්වාවිදයි යන බිය ඈ තුළ ඇතිදැයි ඔහුට සිතුණි.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here