පෙමාතුර -32

ජීවිත වල ස්වභාවය වෙනස් වන්නට එක තත්පරයක් ප්‍රමාණවත් ය. සුළු වෙලාවක දී ජන ජීවිතය ද බිහිසුණු ලෙස වෙනස් විය. ගැහැනු ගෙදර ගැහැනුන් රූපවාහිනිය ඉදිරියට වී බලා සිටියේ වේදනාවට පත් හදවතිනි. ඔවුන් ගේ සමීපතමයන් කිසිවෙකුත් අරගල භූමියෙහි නොවුණා ට හැම හිතක ම වූයේ කම්පාවකි. කිසිවෙකු ට අවැඩක් නොවේවා යි පැතුමකි. කොන්දේසි විරහිත දයා අනුකම්පාවකි. 

“අපේ රට මෙහෙම තැනකට ඇදල දැම්මෙ සුද්දංගෙං රට නිදහස් කර ගත්ත දවසෙ ඉඳන් තමන්ගෙ පවුල් වල බලය රඳවගන්න වලිකාපු පොලිටීශියන්ස්ල. තැනින් තැනින් ඉඳ හිට රටට ආදරේ කරපු රට ගැන හිතපු දේශපාලකයො බිහි නොවුණා නෙවෙයි. ඒත් ඒ මිනිස්සුන්ට පවතින්න දුන්නෑ. ඒ මිනිස්සුන්ට එක්කො මතු වෙන්න දුන්නෑ නැත්තං මරල දැම්ම. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කියල නමක් අටෝගෙන හිටියට..ඒ නමට මුවා වෙලා දේශපාලකයො කළේ තමන් ගෙ පවුල් පරම්පරා තර කර ගන්න එක විතරයි. අද ඒ හැම දේකටම දඬුවම් විඳින්න වෙලා තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට. ඒව වෙනස් කරන්න ජීවිත පරදුවට තියන්න වෙලා තියෙන්නෙ තරුණ ළමයින්ට. මේක හරිම අවාසනාවක්”

අම්මා සන්තාපයෙන් කියවූවා ය.

“අපි මේ වගේ රට ගිනි ගන්නව කී සැරයක් දැකපු මිනිස්සුද…ඇත්තටම අපේ ඇස් හරි පව්කාරයි. පුළුවන් කම තියාගෙනත් ඇයි අපි සාමකාමී රටකට ගිහින් ජීවත් වෙන්නෙ කැත්තෙ කියල වෙලාවකට හිතෙනව”

“කොහේ ගියත් අපේ රට කියන්න පුළුවන් වෙන තැනක් ලෝකෙ වෙන කොතනකවත් අපිට නෑනෙ නංගි”

“ඒක ඇත්ත. මං අවුරුදු කීපයක් වෙන රටක ජීවත් වුණ නිසා ඒක හොඳට දැනෙනව. ඒකයි අපි අපිට රටක් ඉතුරු කර ගන්න ඕන”

“ඉතුරු කරයිද මේ දේශපාළුවො..”

මහ රැයක් වන තුරු නින්ද අප වෙත ආවේ නැත. අපි කතා කරමින් සිටියෙමු. පුටුව මත නිදි කිරමින් අප සමගින් ම  සිටියා මිස ඉෂිනි වුව කාමරයට ගොස් නිදා ගත්තේ නැත.

රට ගැන පැවති කතාව ටික ටික අපේ පෞද්ගලික ජීවිත දෙසට හැරිණ. කොහොමටත් ඉඩක් ලැබුණ විට පරණ තුවාල පිරිමදිමින් අතීතයේ සැරිසැරීම ගැහැනු ගතිය වේ.

“ඉෂිනි කිව්ව ශොපින් මෝල් එකේදි විරංග මීට් වුණා කියල”

කතාව මදෙසට හැරුණේ ඒ ආකාරයට ය. 

“විරංග කිව්වලුනෙ එයා කිසාට කැමතියි ඒත් කිසා කැමති නෑ කියල”

නදීරා කියන්නේ අනුන් ගේ කිළිටි හෝදන විදිහේ තැනැත්තියක නොවේ. මට පුද්ගලික ව කතා නොකොට ඇය අප සියලු දෙනා ඉදිරියේ ඒ කතාව කියන්නට ඇත්තේ යම් හේතුවක් හිතේ ඇතිව ය.

අම්මා සේ ම පුංචි ද මදෙස හොඳින් බලන්නට ඇත. ඒ කතාව කවර දෙසකට ගෙන යා යුතු දැයි නිවැරදි අදහසක් මට නොවී ය.

“හරි ඉතිං…අපිට කැමති හැමෝටම අපි කැමති වෙන්න ඕන නෑනෙ”

තත්පර කිහිපයක නිහඬතාවයකින් පසු මම මිමිණුවෙමි. මේ වෙලාවේ මගේ කොපුල් වල පුපුරු ගැසීමක් විය. අප කෙතරම් විවෘත ව ප්‍රේමය හා පිරිමින් ගැන කතා කළ ද අසා සිටිනවා මිස නිතර ම මම අදහස් දැක්වීම් වලින් තොර ව සිටියෙමි. නමුත් මේ මොහොතේ එසේ කළ නොහැකි තරමට අනිත් අය ගේ ඇස් මට බල කර සිටියේ ය. නිදි කිරමින් සිටි ඉෂිනි ද අවදි ව අසුනේ හරි බරි ගැහුණා ය.

“මෙහෙම දෙයක් තියනව කිසා. දෙවියො හරි සොබා දහම හරි ..වට් එවර්.. හැමදාම අපිට චාන්සස් දෙන්නෙ නෑ කෙල්ලෙ. එකක් දෙකක් දීල බලනව. බාර ගන්නෙ නෑ වගේ නං වෙන කෙනෙක් ගැන බලන එක තමයි වෙන්නෙ. මං ඒක දන්නෙ අපිත් එහෙම චාන්සස් මිස් කර ගත්තු ගෑනු නිසා”

“ඒකනෙ මං මිස් කර ගන්නැත්තෙ. කොහොමහරි විසල් ව බැඳල කසාද සහතිකේ අතට අරං තමයි නවතින්නෙ”

“එහෙම හිතල කසාද බැන්ද අයට කසාද සහතිකේ විතරයි ඉතුරු වුණේ කියලත් අපි දැකල තියනව”

පුංචා මඳහසින් ම සිය සමච්චලය පෙන්වූවා ය. ඉෂිනි ගේ මූණ ඇද වුණත් ඇය එකට එක කියන්නට ආවේ නැත.

“හොඳ කොල්ලෙක්ට යන්න අරිනව කියන එක අපරාදයක් කියල දැනෙන්නෙ…ආයෙ එහෙම හොඳ කියල කියන්න පුළුවන් කොල්ලෙක් ජීවිත කාලෙම හෙව්වත් හම්බ නොවෙද්දි තමයි. කිසා..මේ රටේ වැඩිපුර ඉන්නෙ රැවටිලිකාරයො. එහෙම එවුන්ට අහු වුණ මං වගේ ගෑනු තමයි චෝදනා කරන්නෙ..හොඳ කොල්ලො ඉන්නෙ නවකතා පොත් වලයි කොරියන් ඩ්‍රාමා වලයි විතරයි කියල. එහෙම නෙවෙයි. හම්බ වෙන්නෙ කලාතුරකින්…”

පුංචි ගේ හඬ කරුණා බර ය. ඉවසිලිවන්ත ය. ඇය ආදරය නිසා හදවත තුවාල කර ගත් හා කිසි දාක ඒ තුවාල සුව කර ගන්නට අපොහොසත් වු තැනැත්තියකි. 

“හම්බ වුණානං රැක ගන්න තමයි තියෙන්නෙ”

“සනෝජා අක්කට මොකද වුණේ..ඇයි රැවටිලිකාරයෙක්ට අහු වුණා කියන්නෙ…”

ඉෂිනි ඈ නො දන්නා කතාවක් ගැන දැන ගන්නට නො ඉවසිලිමත් වූවා ය. පුංචි ගේ මුවග ඕනෑ ම මොහොතක වන සිහින් සිනහවට යටින් මේ මොහොතේ මම විශාල දුකක් දුටිමි.

“ආදරේ කියන්නෙ ගෑනුන්ට මුළු ලෝකෙම වුණාට පිරිමින්ට ඒක ජීවිතේ එක අංශුවක් විතරයි ඉෂිනි. හුඟක් පිරිමි ආදරේට ලොකු වටිනාකමක් දෙන්න යන්නෙ නෑ. පරමාදර්ශ පෙන්නන්න ඕන නෑ. එයාලට ඕන ඒ මොහොත විතරයි. ඒ මොහොත අපි ආදරේ කියල මහ ඉහළින් රැවටෙනව. සමහර පිරිමි ගෑනුන්ගෙ ඒ දුර්වල තැන දන්න නිසා හිතා මතාම රවට්ටනව. හැබැයි ආදරේ කියන්නෙ රැවැට්ටීමවත් රැවටීමවත් නෙවෙයි”

“මං අහල තියෙනව පිරිමියෙක් ගෑනු කෙනෙක්ව අත් ඇරල යනවනං එතන ඒ ගෑනු කෙනාගෙම වරදක් අඩුපාඩුවක් දුර්වල කමක් තියනව කියල”

ඉෂිනි ගේ කතාව තුළ ඇය ට ඇය ගැන ම විශ්වාසයක් නොවන බවක් දැනිණ. 

“මෝඩ කෙල්ල”

නදීරා හරි බරි ගැහී හිඳ ගත්තා ය. 

“බියුටි ක්වීන්ල වගේ ලස්සන ගෑනුන්වත් පුස්තකාල වගේ උගත් ගෑනුන්වත් පිරිමි දාල ගිහින් තියෙනව. දරුවො නැති ගෑනුන්වත් දරුවො ඉන්න ගෑනුන්වත් දාල ගිහින් තියෙනව. ගෙදර ලස්සන වයිෆ් කෙනෙක් ඉද්දි පිට ඉන්න අවලස්සන පෙනුමක් තියෙන ගෑනු එක්ක සම්බන්දකං තියන ඒ ගෑනු ළඟට යන පිරිමි ඉන්නව. ඒ හැම තැනම තියෙන්නෙ ගෑනියෙක්ගෙ වරදක්ද..ඒක එච්චර පටු සීමාවක ඉඳන් ඇනලයිස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඉෂී”

ඉෂිනි තිගැස්සී ගිය බවක් පෙනිණ. නමුත් ඇය සිය අභ්‍යන්තර භීතිය යටපත් කර ගන්නට උත්සාහ කළ බවක් මට දැනිණ.

අප කාමර වලට ගියේ තේ බීමෙන් අනතුරුව මැදියම් රැය ද ඉක්ම ගියාට පස්සේ ය. මඳ වෙලාවකින් අම්මා මගේ කාමරයේ දොරට තට්ටු කළා ය..

“අම්ම…”

මම ප්‍රශ්නාර්ථයෙන් බැලුවෙමි. අම්මා කාමරය තුළට විත් යහනෙහි හිඳ ගත්තා ය.

“කිසා…ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද පුතේ…”

ඒ වගේ වචන කිහිපයක් ඇතුළේ ඒ තරම් මව්වත් හැඟීම් ප්‍රකෝටියක් තිබුණාය කියා මා ඔබට කෙහොම පැහැදිලි කරන්නද? කාලයක් තිස්සේ හිත් පත්ලේ නිධානයක් සේ හිර කර ගෙන උන් මහා දුක් කන්දක් ඉකිළුමක් සේ ඉහළ එන්නට හැදුවේ ය. මම එක වරක් හෝ හිතන්නේ නැති ව අම්මා ගේ පපුවෙහි හිස හොවා ගතිමි. සංසාර කාලයක් ඈ මගේ අම්මා වී සිටියා වන් හුරු පුරුදු බවක් මට දැනී නො දැනී ගියේ ය. කඳුළත් ඉකිළුමත් දෙක ම හදවත ඇතුළේ ම මිදී යන්නට ඇත. අම්මා ගේ අතැඟිලි වල පහස මගේ හිසට පමණකුදු නොව ආත්මයට ම දැනුණේ ඒ තරම් සුවදායක ව ය. 

“ඕන ම දෙයක් ඔයාට අම්මත් එක්ක කතා කරන්න පුළුවන් පුතේ. ඔයා ආදරේ කරන්නෙ කාටද….ඔයාට ආදරේ දැනෙන්නෙ කාටද…ඒ කවුරු වුණත් මට කමක් නෑ. මට වැදගත් වෙන්නෙ ඔයාගෙ ආදරේ විතරයි. ඔයාගෙ සතුට විතරයි”

ඒ තරම් අපමණ මෘදු බවින් මා විමසන අම්මා ඉදිරියේ සත්‍ය කතා කර ගත නො හැකි වීම ම කෙබඳු අවාසනාවක් ද? නමුත් මම තව දුරටත් ඉවසා ගතිමි. 

“අම්මා…තව කෙනෙකුගෙ හීන චප්ප කරල මට ඒ උඩ මගෙ හීන මාලිගාව හදන්න බෑ. මට මේක දැනට මැනේජ් කර ගන්න පුළුවන් අම්ම. බැරි වුණොත්…මං පොරොන්දු වෙනව අම්මට කියන්න. මං හොඳින් අම්ම. වද වෙන්න එපා මං ගැන”

අම්මා ගේ උණුහුමට තව තවත් ගුලි වෙමින් මම ඇස් පියා ගෙන සිටියෙමි. හිතේ වන බොහෝ ළතැවුල් අකා මකා දමන්නට අම්මා ගේ උණුහුමට පුළුවන. 

“මට ඔයාව විශ්වාසයි. මං ඔයාව දන්නව. මොන තත්වෙකදි වුණත් ඔයත් එක්ක අම්ම ඉන්නවයි කියන එක මතක තියා ගන්න ඕන. හොඳද..”

ඈ නික්ම ගියේ පොඩි කාලේදී වගේ මා පොරෝනයෙන් පොරවා නළල ද සිප ගෙන ය. බෝ සැනසිල්ලේ මම ඇස් පියවා ගතිමි. 

“දැන් ද නිදියන්න ආවෙ…”

ජංගම දුරකතනයට විසල් ගෙන් කෙටි පණිවිඩයක් ආවේ ඒ වෙලාවේ ම ය. ඔහු සඳැල්ලේ සිට මගේ කාමරයේ විදුලි පහන් දැල්වෙනවා ක් දැන් නිවී යනවා ත් බලා ඉන්නට ඇත. මම වීදුරු දොර හැර ගෙන බැල්කනියට ආවෙමි. විදුලි පහන් නොදැල්වූවාට සඳලුතලා දෙක ම ලා සඳ එළියකින් අඳුරින් දුරු ව තිබිණි. විසල් ගේ මුහුණේ එක පැත්තක් මත කහ පාට සඳ එළිය ගෑවී තිබිණි. බැල්කනි වැටට දෙවැළමිට තියා ගෙන මඳක් ඉදිරියට නැඹුරු වී ඔහු බලා සිටියේ ගැහැනු හදවතක ආදරය වාන් දමනා බැල්මකිනි. ඒ ඇස් වල වූ තාරකා දීප්තියත්, නළලෙහි වූ ඉතා සියුම් පෞරෂයක් තවරනා රැලිත්, නුරාවක් තැවරි දෙතොලත් මම පැහැදිලි ව දුටිමි. 

“නිදියන්න”

මඳ වෙලාවක් ඒ ඇස් දෙකෙහි අත් අඩංගුවට පත් ව හිඳීමෙන් පසු ඔහු හෙමිහිට තොල් මතුරා කීවේ ය. සත්තකට මගේ යටි හිත ඉල්ලා සිටියේ නිදන්නට නොව ඒ සඳ රැය පුරා නිදි වරන්නට ය. නමුත් මම කාමරයට විත් දොර වසා ගතිමි. 

“කිසා, මට මහ අමුත්තක් දැනෙනවා. ඔයත් එක්ක කතා කරන්න හුඟක් දේවල් තියෙනව වගේ දැනෙනව”

දුරකතනයෙහි සනිටුහන් ව තිබි ඉෂිනි ගේ ඒ පණිවිඩය මගේ මගේ සිරුර ම සීතල කරවී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -226

හත් දවසේ දානය නිමවූ පසු මගේ කල්පනාවේ තිබුණේ එක දෙයයි. ඒ තුන්මාසේ දානය මීටත් වඩා හොඳින් කළ යුතු බව සහ ඒ සඳහා...

නිබ්බුත ගීත -21

ඒ මින් පෙර කිසි දාක නො සිදු වූ දෙයකි. අපේ ගෙදර එහෙම රණ්ඩුවක් තබා උස් හඬින් කතා කිරීමක් හෝ සිදු වන්නේ නොවේ....

යෝනි මාර්ග දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිත එව්ලින්ගේ කතාව

Adult content creator කෙනෙකු වන Evelyn Miller වයස අවුරුදු 20 වන තෙක් ඇය යෝනි දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිතව උපත ලබා ඇති...

සුහදිනී -71

"මමයි අම්මයි ඔයාට බෝධි පූජා තියන්න යන්නේ" සකී එක්තරා උදෑසනක අහස්ව අවදි කළේ එසේ කියමිනි.තරගාවලිය ඇරඹෙන්නට වැඩි දවස් නොවේ.අහස්ගේ...

නිබ්බුත ගීත -20

ප්‍රේමයේ වියෝගය පිළිබඳ කල්පනා මා ආතුර කොට තිබිණ. මධාරා අක්කා ගේ විවාහ මංගල්ලයෙන් පස්සේ දෙතුන් දිනක් ගෙවී ගියේ ඒ ඔත්පල වීම තුළ...