මල්සර හී සර – 14

0
1072

සමුද්‍රට ඉන්පස්සෙ තිබිච්ච ලොකුම ප්‍රශ්නෙ වුණේ ආයෙම ශුටින් දවසක සප්තමීව හම්බ උනාම මූණ දෙන්නෙ කොහොමද කියන. බඩ ගොර ගොර ගාන සද්දෙට එක්කහු වෙච්ච “අර පිස්සු හටන ඒ කෙල්ලට මං ආ එක ගැන මොනවා කිව්වද දන්නෙ නෑ” කියන සිතුවිල්ල සමුද්‍රට දරාගන්න එච්චර පුලුවන් වෙච්ච එකක් නෙවෙයි.

“මට නම් ශූටින් වලට ගිහින් ඒ කෙල්ලගෙ මූණ බලන්නත් මොකද්ද වගේ බං” කියල කිව්වට සුමල්වත් ඇදගෙන ආයෙම වතාවක් ආණමඩුවෙ ශූටින් යන්න සමුද්‍ර අමතක කරේ නෑ. අනික ඉතින් නොගිහින් හිටියොත් සප්තමීව දකින්න වෙන්නෙ නෑ කියන එක දන්න හන්දම සමුද්‍ර “ඕන එකක් වෙච්චදෙන්” කියල ලැජ්ජාව බල්ලට දාලා ඒ ගමන යන්න තීරණේ කරා. එදා ගෙදර ගිහින් ආවදාට පස්සෙ ඉඳල ආයෙම ආණමඩුවෙ ශූටින් යන දවස වෙනකම්ම මාලවී එක එක මල විකාර අහ අහ මැසේජ් දැම්මට සමුද්‍ර ඒ එක මැසේජ් එකකටවත් රිප්ලයි කරන්න හිතුවෙ නෑ. දිගටම තමන් මාලවී එක්ක මැසේජ් කරන එකෙන් වෙන්නෙ මාලවීව ලංවෙලා සප්තමීව ඈත්වෙනවා කියන එක සමුද්‍ර දැනගෙන හිටියා.

ඒ උනාට සප්තමී ශූටින් කරන අතරවාරෙ තමන් ලඟට ලං වෙච්ච මාලවී “ඔයා හරි නරකයි අප්පා, එදා ගෙදර ඇවිත් ගියයින් පස්සෙ මං දාපු එක මැසේජ් එකකටවත් රිප්ලයි කරේ නෑ” කියල හුරතල් වෙද්දි සමුද්‍ර උන්නෙ දැන්  මොකද්ද ඒකට දෙන උත්තරේ කියල.

“හරිනම මට අද මුකුත්ම ශූටින් නැති හන්ද මම නෑවිත් ඉන්නයි ඕන. ඒත් ඔයා ඇවිල්ල මං ආවෙ නැත්තෙ ඇයි කියල බලයි කියලමයි මං අද ආවෙ. ඒ උනාට කෝ අනේ ඔයා මාත් එක්ක කතාකරන්නෙවත් නෑ”

“ඉතින් මහන්සි නම් ගෙදර ඉන්න තිබ්බනෙ” කියන ගමන් සමුද්‍ර බැලුවෙ සප්තමී තමන් මාලවී එක්ක මෙහෙම කතා කර කර ඉන්න විත්තිය දකීවිද කියන එක. සමුද්‍ර බලද්දිත් සප්තමී උන්නෙ සමුද්‍රයි මාලවී කතා කරන දිහා බල බල. ඊලඟ ශොට් එකේ තමන්ට තියෙන්නෙ දුවගෙන ගිහිල්ලා තමන්ගෙ පෙම්වතාගෙ ඇඟේ එල්ලිලා අඬන දර්ශනයක් උනාට සප්තමී උන්නේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කියන කිසිම දෙයක් ගැන ඇටෙන්ශන් එක දීගෙන නෙවෙයි.  

“මට තමයි එයාගෙ ඔක්කොම සද්ද. ඇත්ත ජීවිතේ රඟපානව කියල මට බැන්නට ඇත්තටම ඔක්කොම ඇක්ටින් තියෙන්නෙ එයාගෙ. අපරාදෙ මේක රඟපාන්න එන්න තිබ්බෙ එයාට” කිය කිය හිතෙන් සමුද්‍රට බැණ බැණ ඉද්දි සප්තමීට ඇත්තටම ඇහුනෙ නෑ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් තමන්ගෙ නම කියල කීප සැරයක්ම කතා කරලා තියෙනවා කියන එක.

“ගෙදර ඉන්නෙ කොහොමද අනේ? සප්තමීව තනියෙන් එවන්නෙ නෑනෙ ගෙදරින්” කියල මාලවී කියද්දි මාලවීගෙන් සප්තමී ගැන තව දේවල් ටිකක් දැන ගන්න පුලුවන් කියල හිතුනට මොකෝ තමන් මාලවී එක්ක කතා කර කර ඉන්නව දැකලා සප්තමීගේ මූණ නරක් වෙච්ච එක දැක දැක තව ඉස්සරහට ඒ කතාව කරගෙන යන්න සමුද්‍රට උවමනා නැති උනත් මාලවී නම් උන්නෙ සමුද්‍ර එක්ක කරන කතාව ඉවර කරන්න හිතාගෙන නෙවෙයි.

“ආහ් ඇයි ඒ?නැතිවෙයි කියල බයේද?” කියල සමුද්‍ර අහද්දි මාලවි නම් කිව්වෙ “අපෝ දන්නෙ නැද්ද අපි වගේ නෙවෙයිනෙ එයාව ගෙදරින් හදලා තියෙන්නෙ. සීනි බෝලෙ වගේ. තනියෙන් කොහෙවත් යන්න දෙන්නෙ නෑ අරකයි මේකයි. එයා නිසා තමයි මට එන්න උනේ අද. ඒ උනාට ඉතින් මම නම් ඇත්තටම ආවෙ ඔයා එක්ක තව ටිකක් කතාකරන්න. එදත් අපිට ලොකු දෙයක් කතා කරගන්න උනේ නෑනෙ නිදහසේ. මම නම් ඉතින් ආසයි ටිකක් නිදහසේ කතා කරන්න”

“ඉතින් මේ කතා කරන්නෙ? මීට වඩා තව නිදහසක් ඕනද කතා කරන්න?” කියල සමුද්‍ර කියද්දි උනත් සමුද්‍රගෙ ඇස් රැඳිල තිබ්බෙ සප්තමීගේ රඟපෑම දිහාව. වෙනද තරම් ජවයක් අද ඒ රඟපෑමෙ නැත්තෙ තමන් මාලවී එක්ක කතා බස් කරන්න පටන් ගත්ත හින්දද කියන සිතුවිල්ලක් ලාවට එහෙට මෙහෙට හුවමාරු වෙද්දි තමයි වසන්ත කලුආරච්චි මුලු සෙට් එකටම ඇහෙන්න සප්තමීට කෑගැහුවෙ. වෙනද තමන්ගෙ ඩිරෙක්ටර් පුටුවට එහා පැත්තෙ හිටගෙන එක එක විකාර කර කර ඉන්න, තප්පරේට වචන දාහක් විතර කතා කරන මාලවී අද උදේ ආව වෙලාවෙ ඉඳන් සමුද්‍රයා එක්ක කතා කරන දැක්ක එකම මුලු දවසෙම දුම්මල වරම අතට අරගෙන ඉන්න වසන්තට ඕනවටත් වඩා හේතු සපයලා දුන්න. තමන් කසාද බැන්ද මනුස්සයෙක් කියන එක ඉන්ඩස්ට්‍රි එකේ නොදන්න එකෙක් නැතුවට මොකෝ එහෙම දැන දැනත් තමන් එක්ක ඉන්න ආව නිලියො ඕන තරම් ඉන්න එකේ “මාලවී අල්ලගන්න එක මහ කජ්ජක් නෙවෙයි” කියල හිතුවට සමුද්‍රයා ආයෙම වතාවක් තමන්ගෙ ප්ලෑන් එකකට පිටින් වැඩ කරනව කියල දැක්කම වසන්තට හොඳටම කේන්ති ගියා.

“මොන මගුලක්ද සප්තමී කරන්නෙ? උදේ ඉඳල කී පාරක් නම් දැන් මේ ශොට් එක ගන්න ඔයාට කියලා දුන්නද? මොන ලෝකෙද ඔයාගෙ සිහිය තියෙන්නෙ? මහ ලොකුවට උඩ පැනගෙන ආව රඟපාන්න පුලුවන් කියාගෙන. කෝ කෝ ඒව? දැන් මොනවද මේ කරන්නෙ? නිකන් මෙතන අපේ කාලෙයි සල්ලියි කන එක තමයි වෙන්නෙ. අද දවසෙ ශෙඩුල් එකේ තව කොච්චර ශොට්ස් ඉතුරුවෙලා තියෙනවද අපිට කරන්න. එහෙම එකේ ඔහොම නලව නලව හිටියම හරි යාවි කියලද හිතන්නෙ?” කියන ගමන් සප්තමීගේ පැත්තටයි තමන්ගෙ පැත්තටයි මාරුවෙන් මාරුවට ඇස් කරකවද්දි වසන්ත ඔය පිටකරන්නෙ සප්තමී ගැන තියෙන තරහක් විතරක් නෙවෙයි කියන එක මාලවීට නොතේරුනා නෙවෙයි. ඒ වුනාට සමුද්‍ර එක්ක තමන් කතාකරන එක නතර කරන්න පුලුවන්ද නාකි වසන්තයට? අනික තමන් නෙවෙයිනෙ සමුද්‍රගෙ පස්සෙ ගියේ. සමුද්‍රනෙ තමන් එක්කල කතා කරන්න ආවෙ. එහෙම එකේ තමන් වරදක් කරන්නෙ නෑ කියල හිත හිත තමයි මාලවී “මම චුට්ටක් එහාට ගිහින් එන්නම්” කියල කට්ටියව අරගෙන ආව වාහනේ දිහාවට ඇවිදගෙන ගියේ. 

“ශෝට් බ්‍රේක් එකකට යන් කට්ටියම. සප්තමී ඔයා පොඩ්ඩක් ෆ්‍රෙශ් වෙලා එන්න” කියලා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කට්ටියම විසුරුවා හරිද්දි ගුරු පාර දිගේ ඉස්සරහට ඇවිදන් ආව සප්තමී තමන් ලඟින් වාහන තියෙන එහා පැත්තට ඇවිදගෙන යන්න හදද්දිම තමයි සමුද්‍ර කට ඇරියෙ.

“ඇයි අද හරියට ඇක්ට් කරන්නෙ නැත්තෙ?” කියල අහද්දි ඒ කටහඬේ තිබුනෙ වෙනදා කතාකරමු සමුද්‍ර වයිබ් එක නෙවෙයි කියන එක තේරුම්ගන්න බැරිකමක් සප්තමීට තිබ්බෙ නෑ. ඊට වඩා එහාට ගියා ගැඹුරු හැබැයි හරිම හෙමින් කියපු ඒ වචන ඇවිල්ල තමන්ගෙ කන් දෙකේ වැදෙද්දි කියන්න තේරෙන්නෙ නැති මොකක් හරි හේතුවකට තමන්ගෙ මුලු ඇඟ පුරාම සීතලක් එක්ක කිති කැවෙන හැඟිමක් ගියා කියන එක සප්තමීටත් තේරුණේ අත්වල එහෙම රෝම කූප මේ මෙච්චර දවාලක පවා උඩට මතුවෙලා තියෙද්දි.

“ඔලුව ටිකක් බරයි වගේ” කියාගෙන එතනින් එහාට වෙලා වාහනේට ගිහිල පොඩ්ඩක් ඇස් දෙක පියන් ඉන්න සප්තමි හිතුවට සමුද්‍ර ඊලඟට කිව්ව වචන පේළිය සප්තමීට අවසර දුන්නෙ නෑ ඒ ගමන යන්න.

“මම අරයා එක්ක කතා කරනවා දැක්ක හන්දද?” කියලා ආයෙම වතාවක් තමන් දිහාවට එබිලා අර ලස්සන කලු පාට ඇස් දෙකෙන් තමන්ව සම්පූර්ණයෙන්ම එයාට යටත් කරගන්න ගමන්, හීනි ගැඹුරු කටහඬකින් සමුද්‍ර අහද්දි සප්තමීට හිතුනේ ඒ වෙලාවෙ මුලු ලෝකෙම තිබ්බ තප්පර ගාණට එක තැන නතර වෙලා කියලා.

“ඒ කිව්වේ?”

“ඔලුව බර වුනෙ මම අරයා එක්ක කතා කරනව දැක්ක හන්දද කියලා ඇහුවෙ?” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here