27 කොටස
“ස්ටීව් කොහෙද ගිහින් හිටියේ ඔයා? මාව බලන්න මාසයක්ම ඔයා ඇවිල්ලා නෑ….”
ගමන ගොස් පැමිණිදාට පසුදා ආච්චී බලන්නට පැමිණි ස්ටීව් ඇය පිළිගත්තේ පැමිණිලි රාශියක්ද සමගිනි.
“මොකක්ද කීවෙ මේරි ගර්ල්..මාසයක්?
මම ආවේ නැත්තේ දවස් හතරයි.ඒකත් මගේ බිස්නස් වැඩකට මම ගමනක් ගියපු නිසා..මාසයක් කවුද නෑවිත් හිටියේ..”
ආච්චීගේ දෑතින්ම අල්ලාගත් ස්ටීව් පැවසීය.
“බොරු කියන්න එපා මාසයක් ආවේ නෑ..ඔයා දන්නවද ස්ටීව්…අර ගර්ල් නෙලී..එයාත් දවස් ගානක් ආවෙ නෑ නේ..කොහෙද ගමනක් ගිහිල්ලා.. මට හරි පාලුයි…මම ඒ වුණාට ආව ගමන්ම හොඳටම බැන්නා..මම කිව්වා ඔයාට කියලා එයාව අස්කරනවා කියලා..ටිකක් බය කරලා තියාගන්නත් ඕනනේ..”
ආච්චී ඇස් ලොකු කරමින් කාමරයේ දොර දෙස ද බලමින් රහසින් මෙන් පවසන්නීය.ස්ටීව් ආයාසයෙන් සිය සිනහව පාලනය කරගත්තේය.
“හරි හරි මම බනින්නම්…අපි එයාට යන්න දෙන්නේ නැතුව තියාගමු නේද..ඔයා එයාට කැමතිද?”
ස්ටීව් කාමරය අසළට එනු ඇසෙන අඩිශබ්දය අසමින්ම විමසීය.නිලංගා ඒ මොහොතේ කාමරයට පැමිණි හෙයින් ආච්චී සිය ඇඟිල්ලක් දෙතොළට තබමින් නිහඬ වන්නැයි ස්ටීව්හට ඉඟිකළේය.
“මේරි මැඩම් අද අපි එළියට යන්න නේ ප්ලෑන් කලේ….ඔන්න මිස්ටර් ස්ටීව් ත් අද ඉන්නවානෙ…අපි එහෙනම් එළියට යමු..මම වීල්චෙයා එක අරන් එන්නම්…”
නිලංගා මේරි අසලට පැමිණ පැවසුවාය.මේරි මර්ෆි මුහුණ ඇදකොට ගත්තේ ස්ටීව්ගේ මුහුණට සිනහවක් ගෙනඑමිනි.
“නොට් ටු ඩේ…අද වහින්න වගේ…හෙට හෙට…ස්ටීව් අද බෑනේද මට සීතලත් වගේ…”
ආච්චී තමාගෙන් පිහිටක් ඉල්ලන ආකාරයට ස්ටීව්ට අනුකම්පාවක් ඇතිවුවද එහෙයින් ඇයට හිස වනනවාත් සමගම..ඒ මොහොතේම ඔහු දෙස රැවුමක් පෑ නිලංගා දැක වහා නිහඬව ඉවත බලා ගත්තේය.මේ යුවතිය නම් හිතුවොත් දෙයක් නොකර ඉන්නේ නැති බව ස්ටීව් මේ වන විට අවබෝධ කරගෙන සිටියේය.
“එලියෙ හොඳ සනීප අව්වක් තියනවා ..වැස්සක් අද දවසටම තියා මේ සතියටවත් නෑ…අද අපි යන්නම ඕනෙ ..”
නිලංගා රෝද පුටුව රැගෙන ඇඳ අසලට ආවාය.ස්ටීව්ගෙන් කිසිදු පිහිටක් නොමැති තැන මේරි මුහුණද ඇදකොට ගත්තාය. ඇවිදින ආධාරකය ඇද අසලට ගෙන ආ නිලංගා ස්ටීව් ගේ ද සහය ඇතිව මේරි ඇඳේ හිඳුවා ගත්තාය.
“අපි මේක අල්ලගෙන හෙමිහිට නැගිටිමු..ඊට පස්සේ වීල් චෙයා එකේ වාඩි වෙමු.”
නිලංගා හිසෙන් ස්ටීව්ට ඉඟි කළේ ඔහු ආච්චී ඔසවාගන්නට සූදානම් වෙනු දැකය.වදෙන් පොරෙන් මෙන් ආධාරකය ට වාරුව සිටගත් මේරි ඉන් පසු රෝද පුටුවට මාරුකරගන්නට අසීරුවක් වූයේ නැත.
“දැක්කනෙ…කොච්චර ලේසි වැඩක්ද?එහෙනම් අපි යමු එළියට”
හොඳින් ඉර පායා ඇති දවසක් වුවද උණුසුම ආරක්ෂිත වන සේ කබායක් ද මේරිගේ ගත වසන්නට අන්දවා ගත් නිලංගා ඇයගේ රෝද පුටුව තල්ලු කොට ගෙන ඉදිරිපස දොර අසළට ආවාය.
“ෂා…අද ලස්සනම දවසක් මේරි මැඩම්…අපි යමු ගාඩ්න් එකට …”
නිලංගාට පිටුපසින් ස්ටීව් මේ දෙබස අසමින්ම පැමිණියේය.පෝලා සහ සිල්වියා මේ අපූරු දසුන බලා උන්නේ ඔවුන්ට නොපෙනෙන අන්දමට සැඟවීගෙන මෙන් ය. ඒ නිලංගාගේ උපදෙස් වලට අනුවය.
“මේරි මැඩම්ට පේන්න ඔයාලා එළියට එන්න එපා.මොකද එයාව මේ අකමැති දේකටනේ අපි කැමති කර ගන්න හදන්නේ.ඔක්කොම කට්ටිය බලන් ඉන්නවට එයා කැමති වෙන එකක් නැහැ.අද මං මේක මිස්ටර් ස්ටීව් විතරක් එකතුකරගෙන කරන්නම්…අපි අනික් අය ටික ටික මේකට ජොයින් වෙමු…”
නිලංගාගේ අදහස් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව බාරගන්නට පෝලාද සිල්වියා ක්ලිපර්ඩ් ද හුරුවී උන්හ.
උද්‍යානයේ තරමක ගස් වැල් පිරී තිබුණද සනීපදායක හිරු එළියකින් බොහෝ ප්‍රදේශයක් නැහැවෙමින් තිබුණි. අකමැත්තෙන් පිටතට ආවද ගතට දැනෙන ඒ සුවය බොහෝ කාලයකට පසු මේරි ද වින්දනය කළාය.ඇයගේ දෑස ප්‍රීතියෙන් දිදුලන්නට විය.ස්ටීව් ආච්චිගේ මුහුණේ ඇතිවන වෙනස්කම් දෙස බලා උන්නේය.අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ කාමරයටම කොටු වී සිටි ඇය කිසිවෙකු හෝ සමඟින් පිටතට ඒමට අකමැති වූවාය.ආච්චි කවදත් තමා ගැන ඉමහත් ගර්වයකින් සිතූ අයෙකි.හදිසියේ රෝද පුටුවට වැටීම ඇයගේ අභිමානය බිඳ හෙළන්නාක් සේ ඇයට දැනෙන්නට ඇත.එහෙයින් ඇය රෝද පුටුවෙන් පිටතට යාම ප්‍රතික්ෂේප කළාය.
නිලංගා ඒ සියලු අභියෝගයන් අතික්‍රමණය කොට ඇත.ඇය කෙනෙකු දිනා ගැනීමේ කලාව මැනවින් ප්‍රගුණ කර තිබුණි.ආච්චී මින් පෙර පැමිණි රැකබලා ගන්නියන්ට දැක්වූ ප්‍රතිචාරයන් නිලංගා හමුවේ දක්වන්නට නොයෑම ඇය ආච්චීගේ සිත දිනාගෙන ඇතිි බවට හොඳම උදාහරණයක් විය.මේ ආකාරයට තව ටික දවසක් ගියහොත් ඇය ආච්චී ඇවිද්දවන්නටද මොකක් හෝ උපක්‍රමයක් යොදනු ඇතැයි ස්ටීව්ට වැටහුණි.ආච්චී යළි දෙපයින් සිට ගන්නේ නම් එය ඇයට මෙන්ම නිවැසියන් සියල්ලට ම මහත් සහනයක් වනු ඇත.
“මේරි මැඩම් බලන්නකෝ මේ පරිසරයේ ලස්සන.දැන් ටික ටික මලුත් පිපෙනවා.පෝලා මට කිව්වා ඉස්සර මැඩම් මල් වවන්න හරි ආසයි කියලා.මේ ගාඩ්න් එක ඉස්සර මල් වලින් පිරිලලු තිබුනේ…”
නිලංගා පෝලාගෙන් දැනගත් කාරණා මේරි හමුවේ දිගහැරියාය. අතීතය සිහිගැන්වීමත් සමගින් මේරි මර්ෆි උද්‍යෝගයෙන් පිරුණාය.ආසන්න මතකයන් විටින් විට අමතක වුවද අතීතය සැමවිටම නිදන් ගලක කෙටුවාක් මෙන් යමෙකුගේ මතකයේ පවතී. නෙලී ගේ වදන් සමගින් මේරි සිය මතක අවදිකරන්නට වූවාය.
“නැත්නම්…මේ මුළු ගාර්ඩ්න් එක පුරාම ඉස්සර මල් පිරිලා තිබුනේ…අවුරුදු තිහකට විතර එහා දි නම් වින්ටර් එකට මෙහෙ හිමත් වැටුනා..එතකොට විතරයි මේ වත්තේ මල් නොතිබුණේ..spring එකට සමර් එකට පිපෙන මල් ජාති ඒ ඒ කාලවල්වලට මම ගාඩ්නර් එක් එකතුවෙලා වැව්වා.එතකොට ස්ටීව් හරි පොඩි කොල්ලෙක්…මගෙ මල් ඔක්කොම එයා කඩනවා..එයාට මල් වල ලස්සන පේන්නෙ නෑ…හරි දඟයිනෙ”
මේරි ස්ටීව් දෙසද බලා හිනැහෙමින් කීවාය.ස්ටීව් නොමනාපයෙන් ආච්චී දෙස බැලුවේ නෙලී හමුවේ කුඩාවියේ දඟකම් කියන්න ආච්චී පටන්ගත් විට නවත්වන්නේ තමාගේ නම්බුවම කා හමාර කොට බව දන්නා හෙයිනි.
නිලංගා සිනහවක් මුව රඳවාගෙනම ස්ටීව් දෙස බැලුවාය.අතීතයේ දවසක ගමේ අත්තම්මා තමා ළඟට කරගෙන කුඩාකළ දඟකම් පවසන් ආකාරය හිතේ මැවුණි.රට කුමක් වුව , ජාතිය – සංස්කෘතිය -ආගම කුමක් වුව අත්තම්මාලා කවුරුත් එකම වන්නට ඇත.මුණුපුරන් මිණිපිරියන් එකසේම ආදරයෙන් හිතේ තබාගෙන ඔවුන් ඉන්නවා ඇත.
නිලංගා අතීත මතකයන්ගේ සැරිසැරූ ඒ නිමේශයේ ස්ටීව් සිටියේ යළි ඉස්මතුව ආ කළකිරීමෙනි.ආච්චී මතක් කරදුන්නේ තමා අමතක කරන අතීතයයි.දෙමවුපියන් වෙතින් නොසලකා හළ කුඩා දරුවෙකු ඔවුන්ගේ අවධානය ගන්නට නොකළ දඟකමක් නැත.ආච්චීගේ මල් උයනේ මල් පොහොට්ටු කඩා බිඳ තලා දැමීමද කුඩා කෘමීන් සමනලුන් හඹා ගොස් ඔවුන් මරාදැමීමද ඔහු අතින් ඉතා කුඩා කළ පටන් සිදුවිය.අද ආච්චී මතක් කළේ කාලයකට පසු තමා අමතක කළ ඒවාය.
ඒ කතා අසා සතුටින් සිනාවුණ නෙලී සමගද ඔහු ඒ මොහොතේ තරහා ගත්තේය.පෙර දින කිහිපයක මිතුරන් තරමටම සමීප වූ බවද අමතක වන අතරමට අතීතයේ මතක ඔහු රිදවා තිබුණි.නෙලී සිනාසුනේ තමා හට උපහාසයටදැයි ඔහු විටෙක සිතීය.තමා බඳු ළමා වියක් ඇයට තිබෙන්නට නැත.ආසියාතික රටවල් වල ළමයින් සහ දෙමව්පියන් අතර මනා බැඳීමක් ඇති බව ඔහු කියවා ඇත.ඉතින් ඇය ආච්චී පැවසූ දේ ඔස්සේ තමා බෙහෙවින් දඟකාරයකු බව සිතා සිනාසෙන්නට ඇත.
“මං යනවා ආච්චි..මට ලොකු වැඩක් තියෙනවා කරන්න.ඔයා පරිස්සමෙන් ඉන්න.”
ස්ටීව් කිසිවක් නොකියාම ආච්චී වෙතට නැමී කොපුළක් සිප යන්නට ගියේය. මේ කුමක් විණිදැයි නිලංගාට වටහා ගන්නටවත් කාලයක් නොවීය. ඔහුගේ මුහුණේ පිරී තිබුණු සිනහව සැණෙකින් අතුරුදහන් විය.කෙනෙකුගේ ළමා වියේ දඟකාරකම් මතක් කිරීමේදී ලැජ්ජාවක් බඳු හැඟීමක් ඇතිවීම සාමාන්‍යය.නමුත් ඒ මොහොතේ ස්ටීව්ගේ මුහුණේ වූයේ දැඩි කෝපයක් සහ කලකිරීමකි.ඔහු තමා දෙසවත් නොබලා යන්නට ගියේය.නිලංගා සුසුමක් හෙලා මේරි මර්ෆි වෙත සිය අවධානය යොමු කළාය.
“ඇඟට හරි සනීපයක් දැනෙනව නෙලී…මං මේ කොච්චර කාලෙකින්ද එලියට ආවේ..හැබැයි ඉස්සර වගේ මේ ගාඩ්න් එක ලස්සන නැහැ.සිල්වියාට කිසිම උවමනාවක් නැහැ ඒවා පිළිවෙලකට තියාගන්න.බිස්නස් වලම ඔලුව තියාගෙන ඉන්නකොට ඔහොම තමයි.අන්තිමට තමන්ගේ දරුව වත් එයාලට ආදරේ නැති උනානේ..”
මේරි තමාටම මෙන් කියවා ගත්තාය.
නිලංගා තමා හට ඇසුණු ඒ වචන කිහිපය නැවත ආවර්ජනය කළාය.මේරි මර්ෆි බොහෝ වේලාවට අගක් මුලක් නැති කාරණා ඔහේ කියවන්නීය. සමහරක් විට එක ආසන්නයේ කියවන සමහරක් කරුණුවල කිසිදු ගැලපීමක් නැත.එහෙත් මේ කාරණය තුළ යම්කිසි අර්ථයක් ඇති බව නිලංගාට වැටහුණි.දෙමව්පියන්ගෙන් ඈත් වී ඇතැයි සිතීම සරල කාරණයක් නොවේ.එහෙත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය තමාට අයිතියක් නැති වපසරියකි.
යමක් පැවසුවහොත් විනා ඒ හාරා ඇවිස්සවීම නොකළ යුතු බව නිලංගා දැන උන්නාය. අඩුම තරමේ යම්කිසි ගැටලුවක් ඇතිනම් ඒ වුවද ස්ටීව් හට තමන්ගේ ආච්චී බෙහෙවින් ආදරය කරන්නට ඇත..අදටත් ඇයගේ ලෝකයේ මුදුන් තැන සිටින්නේ ස්ටීව්ය. තමා සම්බන්ධයෙන් ගත් කළ තමාට මේ ලෝකයේ කිසිම කෙනෙක් නැත. එහෙයින් ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලා සිටීම මිස වෙන කළ හැකි කිසිවක්ම නැත.