මල්සර හී සර – 17

0
3496

“ඇත්තටම මම එහෙම ආවෙ වැරදීමකින්. ඒ වගේම මම ආවෙ ඔයා එක්ක යාලුවෙන්නවත් එහෙම අදහසකින්වත් නෙවෙයි.අයෑම් සොරි මං දන්නවා මගෙන් වරදක් උනා. ඒක ලොකුම ලොකු වරදක්. ඔයා මං ආව එක වැරදියට තේරුම් අරගෙන ඒ උඩ ගොඩක් දුර හිතපු එක හරි කියලවත් වැරදි කියලවත් මං කියන්නෙ නෑ.ඒ උනාට මම එහෙම වැරදි අදහසකින් නෙවෙයි ඔයාට කතාකරේ. ඇත්තටම ඒක වැරදීමකින් වෙච්ච දෙයක්”

“වැරදීමකින්? ඔයා මට කියන්නෙ ඔයා මට මැසේජ් කරලා, හාට් ශේප් චොකලට් එහෙමත් අරගෙන අපේ ගෙදර ඇවිල්ල උයපුව කාලා කතා බහ කරලා ගියේ වැරදීමකින්?”

“ඔව් ඔව් ඔව්” කියල සමුද්‍ර එක දිගට එක එල්ලේම තමන් දිහා බලාගෙන කියද්දි මාලවී උන්නෙ මේ සමුද්‍රගෙ කටෙන් ඇහෙන දේවල් වල ඇත්ත නැත්ත තේරුම්ගන්න බැරිව. සමුද්රව මුල් කරගෙන හිත අස්සෙ ගොඩනගපු හීන මාළිගා, සමුද්රගෙ ස්ක්‍රිප්ට් වලට රඟපාන සුපිරිම විදියෙ චරිත ගැන හිතපු හැම හීනයක්ම ඉතින් මෙතනින් මේ විදියට ඉවර වෙනවද කියන එක තමයි මාලවීගෙ ඔලුවෙ සම්පූර්ණයෙන්ම වගේ ඒ වෙලාවෙ වැඩ කරේ. 

“මං වෙන කෙනෙක් කියල හිතලා තමයි ඇත්තටම එදා ඔයාට කතාකරේ. මම ඒ කෙනාව මීට් වෙන්න යනවා කියලා හිතාගෙන තමයි ඇත්තටම මම එදා ඔයාලගෙ ගෙදර ආවෙ. මං දන්නවා මට එවෙලෙම ඔයාට කියන්න තිබුනා මේක වැරදීමක් කියලා. ඔයාලා අච්චර හොඳ්ඉන් මට සලකද්දි මට ඇත්තටම හිතාගන්න බැරුව හිටියෙ මම කොහොමද ඒක ඔයාට කියන්නෙ කියලා.මං දන්නවා ඒක වැරදි. මං මාර ජරා වැඩේ කරේ. ඒකමයි මම ඇත්තටම ඊට පස්සෙ ඔයා මැසේජස් කොච්චර දැම්මත් ඒ එකකටවත් රිප්ලයි කරන්නෙ නැතිව හිටියෙ.මොකද මම දිගටම එහෙම ඒ කන්වර්සේශන් එක ඉස්සරහට අරගෙන ගියා නම් ඒක මොන විදියකින් ඉවර වෙයිද කියල මට හිතාගන්න බැරිවෙච්ච හන්දා.

මං ඇත්තටම මේක ඔයාට මෙහෙම කියන්න නෙවෙයි හිටියෙ. කියන්න ඕන කොයි වෙලාවෙද කොහොමද කියන එක මට ඇත්තටම හිතාගන්න පුලුවන් උනේ නෑ. ඒත් මේක මේ වෙලාවෙ මෙහෙම කියල ඉවර වෙන එක ඔයාට වගේම මටත් ඔලුව නිදහස් කරගන්න උදව් වෙයි කියල දන්න නිසයි මම මේක කියන්න හිතුවෙ. අනේ අයෑම් සොරි නංගි. ඔයාගෙ අම්මටත් කියන්න මගෙ අතෙන් ලොකු වරදක් උනේ කියලා” කියලා සමුද්ර කතාව ඉවර කරාට මොකෝ මාලවීගේ මූණෙ පෙනුම දැක්කම නම් තමන් ආයෙ පාරක් වැඩේ වරද්දගෙන නේද කියල නොහිත ඉන්න පුලුවන්කමක් සමුද්රට තිබුනෙ නෑ. මාලවී උන්නෙ මූණ නිකන් රතිඤ්ඤා කරල වගේ හදාගෙන. පුපුරන්න නැකත එන්නෙ කොයි වෙලාවෙද කියලා කල්පනා කර කර.

“ඔයා නම් මහ ලැජ්ජ නැති මනුස්සයෙක් සමුද්ර. සමහර විට ඔයා හිතන්න ඇති නේද චොකලට් අරවා මේව උස්සගෙන ගෙදර ආවම මම ඔයා එක්ක ඕන දේකට ඔට්ටු වෙන්න එයි කියලා? මං එහෙම කෙල්ලෙක් නෙවෙයි කියලා දැනගත්තම දැන් නිකන් අහිංසක සපුමල් කුමාරයා වගේ ලිස්සල යන්න නේද ප්ලැන් එක?” කියලා මාලවී අහද්දි සමුද්ර විතරක් නෙවෙයි මේ ඔක්කොම කතන්දර අස්සෙ දෙන්න ලඟට කිට්ටු වෙච්ච සුමල් උන්නෙත් මේ ගැණි මේ ඊලඟට ගොතන්න යන කතාව මොකද්ද කියල හිතාගන්න බැරුව.

“මං කවදාවත් හිතුවෙ නෑ මිනිස්සු මොන දේ කිව්වත් ඔයා වගේ මනුස්සයෙක් එහෙම ස්ක්‍රිප්ට් ලියල ඔඩිශන් තියල නිලියන්ව මේ සිලෙක්ට් කරගෙන තමන්ගෙ ඩ්‍රාමා ප්‍රමෝට් කරගන්න හදන්නෙ ඒ කෙල්ලන්ගෙන් වෙන වෙන ඒව බලාපොරොත්තුවෙන් කියලා. ඔයා නිකන් ඉන්නෙ නම් ඇවිදින බෝ පැලේ වගේනේ. මං අර මට ලැජ්ජ හන්දා කාටවත් මේ විත්තිය කියන්නෙ නැති විත්තිය මතක තියාගත්තොත් හොඳයි. ඔය එක එකාගෙ සල්ලිවලටයි තැගි වලටයි අපි නිකන් ඔයාලා ලඟ හාන්සිවෙලා ගොඩයන්න බලාගෙන ඉන්නවා කියල නම් හිතන්න එපා මහත්තයො” කියලා මාලවී ගස්සගෙන යද්දි සමුද්රයි සුමලුයි කරේ මුණට මූණ බලාගෙන “ඒ මොකද්ද බං ඒ වුනේ?” කියල දෙන්නට දෙන්නගෙන් අහගන්න එක.

“මහ ලොකුවට උඹ කිව්වට උබ ස්ක්‍රිප්ට් රයිටර් කියලා මුන් නෙ යකෝ ස්ක්‍රිප්ට් රයිටර්ස්ලා” කියල සුමල් කියද්දි සමුද්රට හැබැයි සුමල්ගෙන් අහන්න තිබ්බෙ නම් වෙනම කතාවක්.

“උඹ මොකද්ද ඒකිට කිව්වේ?”

“මං මොනවා කියන්නද? කියන්න ඕන උඹනෙ”

“එහෙනම් අහවල් එහෙකටද ඒකි උබ එක්ක කතා කර කර ඉඳලා එකපාරටම කඩං බිඳගෙන මං ගාවට ආවෙ?”

“ආහ් ඒකද? ඔන්න මේකයි උනේ හරිද? මගෙන් ඒකි ඇහුව උඹ ඇයි කාමරේට වෙලා ඉන්නෙ කියලා. මම කිව්වා උඹට පොඩි ඔලුව කැක්කුමක් ඇවිල්ලා කියලා. ඊටපස්සෙ ඒකි මගෙන් ඇහුවා ඒකි ගිහින් උඹට හෙඩ් මසාජ් එකක් දෙන්නද කියල. මම ඉතින් ඇහුවා ඔයා මොකටද සමුද්රට හෙඩ් මසාජ් දෙන්න යන්නෙ කියලා. ඊටපස්සෙ ඒකි කිව්වා උඹල දෙන්න අතරෙ තියෙන සම්බන්ධෙ ගැන උඹ මට කිව්වෙ නැද්ද කියලා. කතාව එහෙම කියාගෙන යද්දි මං ඉතින් ලාවට වගේ කිව්වා ඇත්තටම සමුද්ර එදා ඔයාලගෙ ගෙදර ආවෙ වැරදීමකින් කියලා. ඊට පස්සෙ තමයි ඒකි කඩං බිඳං ඇවිත් ඔය සීන් එක උනේ”

“උඹ ඒකිට කිව්වද මම එදා වැරදිලා සප්තමීලගෙ ගෙදර කියලා හිතලා තමයි එහෙ ආවෙ කියලා”

“පිස්සුද එහෙම කියන්න පුලුවන්ද? ඒක වෙන ප්‍රශ්නයක් වෙනවනෙ ඊට පස්සේ”

“මේකි ගිහින් මේ සෙට් එකේ උන්ට කියාවිද ඔක්කොටම වඩා සප්තමීට කියාවිද දන්නෙ නෑ නේද මම මේ ඒකිට වැරදි දේකට ඇප්‍රෝච් කරා කියලා. රෙදි ඉල්ලේ මචං එහෙම දෙයක් උනොත් මං මොකද්ද කරන්නෙ?”

“වෙන එකක් ඇඳගන්න තමයි වෙන්නෙ එතකොට” කියල සුමල් හිනාවෙවී කියද්දි නම් සමුද්ර සුමල් දිහා බැලුවෙ මොන රෙද්දක් කියනවද මන් දන්නෙ නෑ කියල කල්පනා කරන බලන්.

“ඒ මොකටද?”

“ඇයි උඹ කිව්වෙ රෙදි ඉල්ලේ කියලා. මං ඒකයි කිව්වෙ වෙන එකක් ඇඳගන්න වෙනවා කියලා”

“විහිලු නෙවෙයි යකෝ. මොකද්ද කියපං කරන්නෙ?”

“මුකුත් කරන්න ඕන මොනවහරි උනොත් නෙ? මුකුත් වෙන්නෙ නැතුව මොකටද මුකුත් කරන්න යන්නෙ? මාලවී ඔය කතාව උපරිම කියනවනම් කියන්නෙ සප්තමීට තමයි. හැබැයි ඒකි තාම දන්නෙ නැති හන්ද සප්තමී ගැන තමයි උඹට ඇත්තටම ෆීලින්ග්ස් තියෙන්නෙ කියල මාලවී කියන දේකින් සප්තමී වෙනස් වෙන්න පුලුවන් කියන එක වගේම උඹට රෙද්දක් ඇඳගෙන මූණ ඉස්සරහට දාගෙන සප්තමීලගෙ ගෙදර යන්න පුලුවන්කමක් නෑ කියන ප්‍රශ්නෙ නම් උඹලා දෙනා ටැකල් කරගන්න ඕන. මොකෝ ඒක වෙනකාටවත් විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයිනෙ. ඔය දැන් මාලවී කරෙත් එක විදියක ඇක්ට් එකක්.ඒකි දැනගෙන හිටියා ඇත්තටම උනේ උඹ ඒකිගෙ කරේ නගින්න ආ එකක් නෙවෙයි ඒකෙ අනිත් පැත්ත කියලා. ඒ පොයින්ට් එක කවදහරි උඹ යූස් කරාවි කියන බලාපොරොත්තුවෙන් තමයි ඒකි ඔය ටක් ටක් ගාල ප්ලොට් එක වෙනස් කරලා ස්ක්‍රිප්ට් එක ලියලා කතාව එක්සිකියුට් කරේ. ඒකිගෙ හිතෙයි ඒකි ගිහින් ඔය කතාව කියන උන්ගෙ හිත්වලයි සමුද්ර මාකලන්ද කියන්නෙ ටෙලිඩ්‍රාමා වලට කෙල්ලො ගෙන්නගෙන උන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න ජාතියේ මනුස්සයෙක් කියල ලියවෙන්න ඉඩක් නෑ කියලා මම කියන්නෙ නෑ.මේ අපි වැඩ කරන ඉන්ඩස්ට්‍රි එක කියන්නෙ කොහොමත් මිනිස්සු වැරදියට හිතාගෙන ඉන්න ඉන්ඩස්ට්‍රි එකක්නෙ මචං. එහෙම තැනක ගින්නක් නැතුව දුමක් නගින්න ඕන තරම් ඉඩ තියෙනවා.

හැබැයි උඹ වොරි වෙන්න ඕන මචං ඒ අනිත් උන් හිතන ඒව ගැන නෙවෙයිනෙ. සප්තමී ඇත්තටම මොකද්ද උඹ ගැන හිතන්නෙ කියන එක. අන්න ඒකි කාමරෙන් එලියට ආව. දැන් සප්තමී එක්ක කතා කරන්න යන්න එපා. අර කෙල්ල මල පැනලා ඉන්න වෙලාවෙ උඹ සප්තමී එක්ක කතා කරනවා දැක්කොතින් කොහොමත් ඒකිගෙ තරහ ඩබල් ට්‍රිප්ල වෙයි.

නිකන් ඉන්න වෙලාවක පොඩ්ඩක් අහලා බලපංකො අප්‍රේල් මාසෙ එහෙම මාලවීට වැඩිය වැඩ නැද්ද කියල”

“ඒ මොකටද?”

“නැකත් වෙලාවට රතිඤ්ඤ වෙනුවට පත්තු කරන්න”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here