පෙමාතුර – 31

විරංග අප හමුවට ආ නිමේශයේ මගේ හද ගැස්ම වැඩි වූ බව කිව යුතු ය. සිය ජීවිතයට වඩාත් ම සමීප පිරිමින් දෙදෙනෙකුට එක වර මුහුණ දෙන්නට වීමේ දී ඒ වාගේ ගැස්මක් ඕනෑ ම ගෑනු ළමයෙකුට දැනිය හැකි ද කියා මා දන්නේ නැත. අනිත් අතට හොර හිතක් කිසි සේත් මා කෙරේ බලපෑවේ නැති බව දිවුරා කිව හැක. රහසින් වත් මා විරංග ට පෙම් නොකළ බැවිනි. ඒ නිසා මෙය සමාන හෝ අසමාන ආදරයක් තමන් ගේ හදෙහි දැනවූ පිරිමින් දෙදෙනෙකු එක වර හමු වීමේ දී ඇති විය හැකි ජුගුබ්සාජනක හැඟීමක් නොවේ. නමුත් එය එක්තරා විදිහක ගැස්මකි.

ප්‍රේමය කියනා හැඟීම පසෙකින් තැබුවොත් ඔවුන් දෙදෙනාට ම මා ආදරේ ය. එය ළෙංගතු කමකි. ඉතින් ඉන් කෙනෙකු අනෙකා නිසා හිත රිදවා ගැනීම මට දැකිය නො හැක්කකි. කෙනෙකු අනෙකා ගේ හිත රිදවාවිද යන බිය මගේ යටි හිතේ ඈත මුල්ලක හෝ තිබෙන්නට ඇත. ඒ ගැස්ම ඒ බියට අදාල එකක් වන්නට ඇත. 

විසල් විරංග ව නොසලකා හරින ආඩම්බරයක පවතිත්දී මම විරංග ට බර ව සිටියෙමි. ඔහු වෙනුවෙන් සිටියෙමි. ඔහු ගේ පැත්තේ සිටියෙමි. ඕනෑ ම මොහොතක ඔහු ගේ හිත රිදුණොත් ඔහු ගේ අත අල්ලා සනහන සූදානමක හිටියෙමි. නමුත් මා ආඩම්බරයෙන් බලා සිටියේ විසල් දෙස ය. ඔහු හංගන්නට හැදූ ඊර්ෂ්‍යාව මගේ ගැහැනු හද ස්නේහයෙන් පුරවන්නට සමත් විය. 

පිරිමියෙකු ගේ එවන් ඊර්ෂ්‍යාවක් ගැහැනු හදක සදාකාලික ස්නේහයක් වන්නේ නැති බව, පසුව  ඒ ගැන මා වටින් ගොඩින් ප්‍රශ්න කළ වෙලාවක නදීරා කීවා ය.

“පිරිමියෙක් එයා ආදරේ කරන ගෑනි වටේ ඉන්න අනිත් පිරිමින්ට ඊරිසියා කරන එක…ලව් කරන කාලෙදි අමුතු මෙව්ව එකක් වෙන්න පුළුවන්. හැබැයි කසාද බැඳල ජීවිතේට මූණ දෙනකොට ගෑනියෙක්ගෙ හරි පිරිමියෙක්ගෙ හරි ඒ ඊරිසියාව අනිත් කෙනාට මාර වදයක් වෙන්න තියන ඉඩ වැඩියි කියලයි මන්නං හිතන්නෙ. සැකය කියන තැනට බිල්ඩ්අප් වෙන්නෙත් ඒ ඊරිසියාව ම තමයි. ඊරිසියාව සුන්දරව ඉවසුවත් සැකය කොහොමවත් ඉවසන්න අපිට බෑ. සැකය බැඳීම් විනාස කරනව”

ඒ වගේ තර්කානුකූල කාරණා ගැන වද නොවී, මේ මොහොත මට දැනෙනා ලෙසින් විඳ ගන්නට මට ඕන වුණේ ය. ‘හිරු සඳු එක වර දෙපස නැගේ..කළුවර ඇයි විජිතයම මගේ’ යන මා ආශා කරන ගීතයෙහි පද ද මගේ හිතේ හොල්මන් කරමින් තිබිණ. නමුත් මගේ හදෙහි එවන් අඳුරක් වූයේ ද නැත. අපේ හමු වීම ට ටික ටික කාලය ගත වෙත්දී ත්, විරංග විසල් ව වටහා ගත් සෙයින් සැහැල්ලු ලෙස හැසිරෙත්දී ත් මම ද මඳින් මඳ සැහැල්ලුවකට පත් වීමි.

“බ්‍රෙක්ෆස්ට් අරගෙනත් නෙවෙයි නේද ඔය දෙන්න ආවෙ..අපි මුලිංම මොනා හරි කාල ඉමුද..”

විසල් හදිසියේ ම විමසුවේ ය. ඔහු ගේ ඇරයුම විරංගටත් එක්ක බව මා පසක් කර ගත්තේ විසල් එසේ කියා විරංග දෙස ද බලත්දී ය. 

“බඩට මොනා හරි දාං හිටියොත් හොඳයි වගේ තමයි නේ”

“යං ද එහෙනං කැෆේ එකට”

ඔවුහු දෙදෙන ඉස්සර වූහ. ඉෂිනි මගේ අතක් අල්ලා ගෙන පසු පසට වූවා ය.

“මේ කොල්ල ශෝක්නෙ…ඇයි කැමති නැත්තෙ..”

මම තරමක් තද බැල්මක් ඇය වෙත හෙළුවෙමි.

“ශෝක් හැම කෙනාටම කැමති වෙලා බඳින්න පුළුවන්ද… “

තත්පරයකටත් වඩා අඩු කාලයකදී මදෙස බලා බිම බලා නැවතත් මදෙස බැලූ ඕ ඉතා හෙමිහිට මගේ සවනට මුමුණා දුක්බර ස්වරයකින් ප්‍රශ්නයක් නැගුවා ය.

“විසල් මට බෑ කියන්නෙත් එහෙම ද..”

දෙවියනි! කිසි ම ගැහැනු ළමයෙකු එවන් අවස්ථාවකට පත් නොකළ මැනව! මට දැනුණේ හුම්මාන රළ පහරක් මගේ පපුවෙන් නැගී මා වසා පැතිර යන්නාක් මෙනි. 

“මං කිව්වෙ මං ගැන”

ඉතාමත් අසීරු හා අසරණ හඬකිනි මා කොඳුරා ගත්තේ. කියූ වචනයක් ඇතුන් දහසක් ලවා වත් යළි අද්දා ගත නො හැකි ය. එවන් මොහොතක් හිතක ඇති කරනුයේ මහා ඛේදවාචක හැඟීමකි. 

අපි කැෆේ එකට ඇතුළු වී කුඩා මේසයක සිව් පස අසුන් ගතිමු. මේ වෙත්දී ඔවුන් දෙදෙනා වචන කිහිපයක් හුවමාරු කොට ගෙන තිබිණ. මා ආදරය කරන මිනිසා හා මට ආදරය කරන මිනිසා!

“මෙතනට ඇවිත් මේ අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි හරියට නිදා ගන්න නැතුව හරියට කන්න නැතුව අරගල කරන එවුන්ට ඕන වෙනසක් මචං. සමහර විට උන්ගෙන් සමහරෙකුට ඒ වෙනස මොකද්ද කියලවත් තේරෙන්නෑ. මොකද ඒක අපේ රටේ සිස්ටම් එක වෙලා තිබුණ නිසා. මේ සැරේ මේ තරං මේ පීඩනය එළියට ආවෙ මිඩ්ල් ක්ලාස් එකට මේක දැනුණ නිසා. ගෑස් නැතුව දර ලිපේ උයන්න වුණ එක..පෙට්‍රල් ඩීසල් නැතුව පෝලිං වල ඉන්න වුණ එක..කිරි පිටි නැති වුණ එක වැඩිපුර දැනුණෙ මිඩ්ල් ක්ලාස් එකට. දුප්පත් ම මිනිස්සු හැම දාම දුක් වින්දා. ඒ මිනිස්සු බොහොම අමාරුවෙන් එදා වේල හොයා ගෙන බල පුළුවන් කාරයන්ගෙ පයට පෑගිලා කෙඳිරි ගාන්නෙවත් නැතුව ජීවත් වුණා. මොකද ඒ මිනිස්සු හිතුවෙ ඒක ඒ අයගෙ උරුමෙ කියලයි. හැබැයි මිඩිල් ක්ලාස් එකේ ඉන්නෙ මහන්සි වෙලා ඉගෙන ගෙන ගෙයක් දොරක් හදා ගෙන වාහනයක් තියා ගෙන දරුවන්ට හොඳට උගන්නන්න බලං ඉන්න මිනිස්සු. උං මහන්සි වෙලා තමන්ට ටිකක් පහසු ජීවිතයක් ලබා ගත්ත මිනිස්සු. උන්ට රිද්දුව කියන්නෙ…පොලිටීශියන්ස්ලට ලේසි වෙන්නෑ”

විරංග කියවා ගෙන ගියේ කැෆේ එකට එන අතරේ දී ඔවුන් දෙදෙනා අතරේ සුළුවෙන් ඇති වූ කතා බහක දිගුවක් විය යුතු ය. මම ඇස් පිය නො ගසා ඒ තරුණ පෞරුෂය දෙස බලා සිටියෙමි. ව්‍යාපාරිකයෙකු වන ඔහු ට කිබෙන්නේ, මගේ අත්දැකීම් වල හැටියට වෙනත් ව්‍යාපාරිකයන් බොහොමයක් අතරේ දැකිය නොහැකි මානුෂීය බවකි. දැන්වීම් ප්‍රචාරණයට අදාල පිටපත් රචනය නිසා ව්‍යාපාරික ප්‍රජාව සමග යම් ගනු දෙනුවක් පැවැත්වූ නිසා මට එසේ කිව හැක. අප අතරේ ඇති වෙන හිතවත් කමට මූලික වශයෙන් බලපාන්නේ ද ඔහු ගේ ඒ මානව දයාවෛන්  පිරි හදවතයි. නො එසේ වී නම් ඒ විවාහ යෝජනාවත් සමග ම මා ඔහු ගෙන් මුළුමනින් ඈත් වන්නට තිබිණි.

ඉශිනි කීවා සේ විරංග වාගේ පුද්ගලයෙකු කෙරේ මසිත් හි ප්‍රේමයක් ජනිත නොවන්නට හේතුව කුමක් ද? වැහි දවසක බස් නැවතුමක දී විසල් සිය රියට ගොඩ වෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, මගේ අසල්වැසියා ලෙස ඔහු ව හැඳින ගැනීමෙන් අනතුරුව හදවතෙහි ඔහු කෙරේ ඇති වූ උන්මාදය නොවන්නට මා විරංග ට මනාප වන්නට නො තිබිණි ද? ඇතැම් විට හේතුව එය වන්නට පුළුවන. විසල් කෙරේ පෙමින් ආතුර වන්නට දවසකට හෝ පෙර විරංග ව මුණ ගැසී තිබිණි නම් මේ කතාව මීට වඩා වෙනස් වන්නට නො තිබිණි ද?

විසල් හා විරංග දිගට ම කතා බහ කළහ. සැබවින් දේශපාලනය හා බැඳුණු දෑ කෙරේ මගේ උනන්දුව හා ආශාව ඍණ අගයක පවතී. ඒ නිසා ගැහැනු ගෙදර ගැහැනුන් අතරේ සිදු වන දේශපාලන සංවාද වලදී ද මා වැඩිපුර හිටියේ නිහඬව ය. නමුත් මේ සංවාදය මා ප්‍රබෝධමත් කොට තිබිණ. ඒ ඊට මැදිහත් ව සිටි පිරිමින් දෙදෙනා නිසා ය. ඔවුන් දෙදෙනා ගේ ම මානව වාදී අදහස් වලට මම වඩාත් රිසි වීමි.

ඒ සාප්පු සවාරිය මගේ හිත් ගත්තේ ය. විසල් හා විරංග දැන හැඳින ගෙන කතා බහ කිරීම ඊට ප්‍රමුඛ හේතුවයි. ඉෂිනි ඇඳුම් තේරීම ගැන පූර්ණ අවධානය යොමු කොට සිටි, විරංග දුරකතන ඇමතුමක සිටි එක මොහෙතක විසල් මට වඩාත් සමීප වූයේ ය. ඔහු ගල්වා සිටි විලවුන් වල මුදු පිරිමි සුවඳ පවා මට විඳ ගත හැකි විය. ඇතැම් විට ඔහු ගේ සිරුරේ උණුහුම පවා ස්පර්ශ නොවී ම දැනෙනා තරමට ඒ සමීප වීම සිදු විය. මම නිකට මඳක් ඔසවා මුළු දෑසින් ම ඔහු දෙස බැලුවෙමි. මගේ ඇස් වල තියෙන්නට ඇත්තේ ආදරය විතර ය.

“විරංග ගැන ලෝබ හිතෙන්නෙ නැද්ද…”

විසල් මගේ දෑසින් මගේ ගැහැනු හිත පත්ලට රිංගා එහි අඳුරු අහු මුළු හා රහස් ගුහා ද නිරීක්ෂණය කරන්නට තැත් දරමින් ප්‍රශ්න කළේ ය. 

“නෑ”

මම එක අකුරකින් මුළු කතාව ම කීවෙමි. 

“මං නිසාද එහෙම වුණේ..”

මට ඕනෑ ම දෙයක් කියන්නට තිබිණ. හිතේ එකක් තියා ගෙන ඕනෑ  ම බොරුවක් කියන්නට තිබිණ. නමුත් අවංක වෙන්නට මට ඕනෑ විය.

“මන්දා…සමහර විට වෙන්න ඇති”

ඒ බැල්ම මා විනිවිද යන්නට විය. මින් පෙර කිසිදු පිරිමියෙකු මදෙස එසේ බලා නැති බවක් මට දැනිණ. මා වුව කිසිදු පිරිමියෙකු දෙස එසේ බලා නැතිවා විය යුතු ය. 

“විසල් එන්න”

හදිසියේ ම එතැනට කඩං පාත් වුණ ඉෂිනි විසල් ගේ අතක් අල්ලා අදින්නට වූවා ය. ඒ අත අත් හරින්නට විසල් ට ඕනා විය.

“එන්නකො පොඩ්ඩක්. මට ඇඳුමක් සිලෙක්ට් කර ගන්න ඕන”

අවට කිහිප දෙනෙකු සිටි නිසා හා මිනිසුන් ගේ අවධානයට ලක් විය නො හැකි නිසා විසල් ඇය සමග ඇදී ගියා කියා සිතමි. නමුත් ඔහු ඇගේ අතේ ගහණයෙන් මිදී සිටියේ ය.

“මට ජෙලස්”

දුරකතන ඇමතුමෙන් පසු හෙමිහිට මවෙත සමීප වූ විරංග කීවේ ය. මම සිනහවකින් එ් කතාව සැහැල්ලුවට ගතිමි. නමුත් ඔහු ප්‍රකාශ කළේ සිය ඇත්ත හැඟීම ය කියා තේරුම් ගන්නට බැරි තරම් මා අඳ බාල වූයේ නැත. කෙසේ වෙතත් විසල් විරංග ගැන එසේ කීවා නම් දැනිය හැකි ව තිබූ ගැස්ම මට නො දැනුණ බව කිව යුතු ය. 

“ඒ මොකටද..”

මම බොරු නෝක්කාඩුවක් පෑවෙමි.

“ඌ පට්ට ලව් ඔයාට”

“කොහොමද ඔයා එහෙම කියන්නෙ…”

“මට තේරෙනව. ඊට වඩා තේරෙන දෙයක් තියෙනව”

“මොකද්ද…”

“ඔයා විසල්ට පැලෙන්න ආදරෙයි කියල”

“අනේ වි…රංග…”

“ඔයා බලන එක බැල්මක් ඇති ඌට…මාස ගාණකට මීට් වෙන්න බැරි වුණත්..”

“පිස්සු ඔයාට”

මම ඇස් දෙක ඔහු ගෙන් හංගා ගතිමි. 

ආදරය පුදුම සහගතයි යන්න ට ජීවමාන සාක්ෂි අපේ ඇස් මානයේ ම විය. ඉෂිනි ඇය ගැන ප්‍රේමයක් නැති ඔහු ගෙන් ජීවිතය ඉල්ලමින් සිටියා ය. විරංග, මගේ හිතේ විසල් ට වන ආදරය කියවා ගනිමින් මා ළඟට වී සිටියි. ආදරය ඉදිරියේ අප සියල්ලන් ම කෙතරම් නම් අසරණ ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -16

"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ...

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...

කලගුණ

"පැතුම්,මේ මගේ යාළුවෙක්.රුවිනි.මෙයා මේ එක්සෑම් එකකට උදව් ගන්න කෙනෙක් හොයනවා" දිල්මි පැතුම්ට එහෙම කිව්වේ මිතුරිය හඳුන්වා දෙන ගමන්.මිතුරිය මේ...

හිමගිරි අරණ -15

"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ...