වැරදීම

ධනුක කාර්‍යාලයෙන් පිටතට ආවේ හිස ගිනිගෙන වගේ.ලඟම තිබුන කෝපි හලට ගොඩ වැදුන ඔහු තුසිත එනකන් හිටියා

” උඹ කතා කරද්දි මම මග හිටියේ මචං “

තුසිත හෙල්මට් එක ගලවමින් ධනුක ඉදිරියේ වාඩිවුනා

” මොකද්ද කේස් එක ? “

” කවීශාගේ ගෙදරට මාට්ටු බන් “

” ඉතින් ? “

” මම කවීශාව ගෙවල් ගාවින් බයික් එකට නග්ග ගන්නකොට තාත්තා ආවා බන් කොහෙන්ද මන්දා ඉඳලා . කවීශා කිව්වෙ තාත්තා වැඩට ගියා කියලා එයාට කලින් “

” හප්පටසිරි. පස්සෙ ? “

” දෙන්නටම බැනලා ඒකිව බයික් එකෙන් බස්සගෙන එක්කන් ගියා ආපහු.උඹ දන්නවනෙ බන් කවීශාගේ අම්මලගෙ හැටි. මල් වගෙ ගෙවල් අස්සෙ දාන් නේ හදන්නේ .ඒකිගේ ෆෝන් එකත් වැඩ නෑ ඒ වෙලාවෙ ඉඳන් “

ධනුක ඔහුගෙ පෙම්වතියව මුණ ගැහෙන්න මගක් කල්පනා කලා.කිසිම අදහසක් ඔහුගෙ ඔලුවට ආවෙ නෑ.පාසල් කාලයේ කවීශාගෙ ආදරය බලාපොරොත්තුවෙන් ආ තරුණයෙකුට ඇගේ පියා නිවසටම ගොස් බැණ වැදුනු බව කවීශා කිව් හැටි ධනුකට මතක් උනා.

” මගෙ රස්සාව වත් තාම පර්මනන්ට් නෑ බන්.කවීශාගෙ ගෙදරින් මට කැමති වෙයිද ? “

” ඕවද බන් මිනිස්සුන්ට වෙන්නේ ? “

තුසිත පුරුදු විදියටම ධනුකගෙ හිත හැදුවා.ඔය වෙලාවේම තුසිතගෙ පෙම්වතිය සඳනිත් ආවා

” මට පොඩි ප්ලෑන් එකක් තියනවා.ධනුක ඔෆිස් ගිහින් දැන් වැඩක් කර ගන්නකො “

සඳනි ධනුකට බල කරලා ඔහුව ආපහු කාර්‍යාලයට යැව්වා.තුසිත වගේම සඳනිත් නිවාඩු දාලා ආවේ ධනුක වෙනුවෙන්ම නිසා හවස් වෙනකන් දෙන්නම ගෝල්ෆේස් එකේ ඇවිදිමින් හිටියා

” ධනුකයා හොඳටම අවුලෙන් ඉන්නේ සඳනි “

” හරි හරි මම කිව්ව වැඩෙ හවසට කරලා බලමුකෝ තුසිත. කොහොමත් කවීශාත් රස්සාවක් කරන එකේ එයාව උනත් දිගටම ගේ අස්සෙ දාන් ඉන්න එකක් නෑනේ තාත්තා “

” ඌට ඉන්නෙ අපි විතරයි.කවීශාගේ ගෙදර මේ වෙද්දි මොනවා වෙලාද කියලා හිත හිත ඇති ඌ. “

හවස තුසිතත් සඳනිත් කවීශාගේ ගෙදර ගියා.කවීශාගේ අම්මා වගේම තාත්තාත් ඒ වෙලාවෙ හිටියේ ගෙදර.ගුරුවරයෙක්වුන කවීශාගෙ තාත්තාගෙ තද නීති ගැන ඔහුව දැක්ක ගමන් තුසිතටයි සඳනිටයි හිතා ගන්න පුළුවන් උනා

” අංකල් මම සඳනිගෙ ඔෆිස් එකෙන් “

සඳනි කතා කලෙ බොහොම ගෞරවයෙන්

” එන්න ළමයෝ “

” සඳනි අද ආවේ නැත්තෙ ඇයි බලන්න මම ආවේ.ෆෝන් එකත් වැඩ නෑනේ.මොකුත් කරදරයක්ද…. “

” කරදරේ වෙලා තියෙන්නෙ අපිටයි ළමයෝ “

ඔහු කතා කලේ ඉතාම බැරෑරුම්ව.

” මේ ළමයා දන්නවා ඇතිනේ අපේ කවීශාගේ පටලැවිල්ල ගැන ? “

” ඔ..ඔව් අන්කල් “

” තරුණ වයසට ඉතින් ඕවා සාමාන්‍ය දේවල්.ඒත් ඉතින් අපි ඕවා ගැන දුර දිග හිතලා බලන්න එපැයි දරුවෝ. ඒ ළමයා තාම ඔෆිස් එකේ පර්මනන්ට් වෙලා වත් නෑලු නේද ? “

” ඒක නම් ඇත්ත අන්කල්.ඒත් ධනුක කියන්නෙ නරක කොල්ලෙක් නෙමෙයි “

ඊලගට හඬ අවදි කලේ තුසිත

” හොඳ නරක කෙසේ වෙතත් ළමයෝ , අපිට ඉන්න එකම දරුවාගේ අනාගතය ගැන නෙ අපි හිතන්නෙ ඕනේ.ඒ ළමයට කන්න අඳින්න දෙන්න පුළුවන් සතුටින් තියන්න පුළුවන් කෙනෙක්ට දෙන්නයි අපිට ඕනේ “

” සඳනි මා එක්ක යාලු වෙනකොට මට රස්සාවක් තිබ්බෙ වත් නෑ. හැබැයි මායි සඳනියි එකට දියුණුවුනා. අපි ලබන සතියෙ කාර් එකකුත් ගන්නවා .ලගදිම මැරි කරන්නත් ඉන්නේ “

තුසිතගෙ කතාව කවීශාගේ තාත්තා නිහඬව අහගෙන හිටියා

” කවීශාව එකපාරටම හිර කරන්නෙ නැතිව අඩුම ගානෙ ඒ දෙන්නට කාලයක් දීලා වත් බැලුවා නම් හොඳයි නේද අන්කල්? කවීශා ඉන්නෙත් හිර කරලා හදන වයසක නෙමෙයිනෙ.අනික මේකෙන් වෙන්නේ ධනුක අවුල් වෙලා එයා කරන්න ඉන්න දෙයක් වත් කර ගන්න බැරි වෙන එක “

තුසිතගෙ වචන වලට සඳනි තව ටිකක් එකතු කලා.

” ඇත්ත දරුවනේ “

කවීශාගේ තාත්තා උපැස් යුවළ ගලවලා ලොකු හුස්මක් ගත්තා

” කවීශා “

තාත්තාගේ එක හඬ ගෑමට කවීශා කාමරයෙන් එලියට ආවේ එන්න බලාගෙනම හිටියා වගේ

” අර ළමයට කියන්න ඇවිත් මාව හම්බ වෙන්න කියලා “

හැමෝගෙම මුහුණු වල හිනා මල් පිපුනේ එතකොට.සඳනියි තුසිතයි කවීශාගේ ගෙදරින් පිටත් වුනේ
රෑ කෑමත් ගත්තාට පස්සේ

” උඹලා දෙන්නා නම් මගෙ පිනට හම්බුන යාලුවෝ බන් “

ධනුකගේ හිතේ සතුට දෝරේ ගලමින් තිබ්බා.ඔහුට තිබ්බ ලොකුම අභියෝගය උනේ රැකියාවේ ස්ථාවර වෙලා කවීශාගේ ජීවිතය බාර ගන්න සූදානම් වෙන එක.

රූපලාවණ්‍ය ද්‍රව්‍ය සකස් කරන ආයතනයක සේවය කරපු ධනුක, ඒ මගින් ඇති කර ගත් සම්බන්ධතා මත ඔහුගේම ව්‍යාපාරයක්ද ආරම්භ කලා.මාස කීපයක් ගත වෙන කොට ධනුකගේ නාමය යටතේ විකිණෙන රූපලාවණ්‍ය ද්‍රව්‍ය වලට ඉල්ලුම හිමිවුනා.ඔහුගේ ගමන ගැන කවීශාගේ තාත්තා නිහතමානීව සතුටුවුනා

” එදා මම කවීශාව හිර කලා නම් ඔය දෙන්නගේම අනාගතය සමහරවිට අඳුරු වෙන්න තිබ්බා ධනුක.මගෙ හිත වෙනස් කලේ ඔයාලාගේ යාලුවෝ දෙන්නා “

හවස් වරුවක ධනුක කවීශාගේ ගෙදර ගිය වෙලාවක කවීශාගේ තාත්තා කිව්වා.කවීශාව මුණගැහෙන්න ගෙදරටම එන්නත් තාත්තා අවසර දීලායි තිබුනේ.

” උඹලා දෙන්නා නිසයි අපිට එකතු වෙන්න ලැබුනේ “

කවීශාගෙයි ධනුකගෙයි විවාහයට දින නියමවුන දවසේ ධනුක කතා කලේ අප්‍රමාණ සතුටෙන්.එතකොට තුසිතගෙයි සඳනිගෙයි විවාහය පැවැත් වෙන්න තිබුනෙ දින කීපයක් විතරයි.ඔවුන් දෙන්නගෙ විවාහයෙන් මාස තුනකට පස්සෙයි කවීශාගෙයි ධනුකගෙයි විවාහය සිද්ධවුනෙ

” දැන් ඉතින් අපි ඔක්කොම එකම බෝට්ටුවේ ඈ “

ධනුකගේ ජීවිතය ගැන වඩාත්ම සතුටු උනේ තුසිත.ඒත් හැමදේම හිතපු තරම් සතුටුදායක උනේ නෑ

” ඔයාට ධනුක කතා කලාද තුසිත ? “

සති අන්තයක ගෙදරට වෙලා ඉන්න ගමන් එකපාරටම සඳනි ඇහුවා

” නෑ සඳනි.උන්ටත් වැඩ ඇතිනේ.දවස් දෙහෙකින් විතර කතා කලෙ නෑ.ඉඳහිට ඔය මෙසේජ් එකක් එහෙම දැම්මා “

” කවීශා ප්‍රෙග්නට් ලු. මට කිව්වේ නර්මදා. කවීශාගෙයි මගෙයි යාලුවෙක්”

” මොකක්? අපෙ එකා මට කිව්වෙ නෑනේ ? “

” අපේ කියලා අපි හිතුවට ඇත්තටම එයාලාට අපිව දැන් එහෙම වැදගත් නැතුව ඇති නේද තුසිත ? “

සඳනි කතා කලේ හිතේ අමාරුවෙන්.ජීවිතේ හැමදේම බෙදාගත්ත මිතුරන් යුවළ විවාහයෙන් පස්සෙ ටිකෙන් ටික ඈත්වීම සඳනිට වගේම තුසිතටත් වේදනාවක් ගෙනාවා.

නිතර විනෝද චාරිකා යමින් මිතුරන් මුණගැහෙමින් කවීශා සහ ධනුක ෆේස් බුක් ඡායාරූප පල කරන හැටි තුසිත තමන්ගේ බිරිඳ එක්ක බලාගෙන හිටියේ කලකිරීමෙන් වගේ

” අනේ බන් දන්නැද්ද ඉතින් හදිස්සියේ සෙට් වෙලා ගිය ට්‍රිප් එකක් ඒක “

සුපිරි වෙළඳසැලකදී අහම්බෙන් මුණගැහුනම ධනුක තුසිතට කිව්වෙ එහෙම.

” අපි උන් දෙන්නට කිසිම වරදක් කරලා නෑනේ සඳනි.ඔන්න ඔහේ අපි මීට පස්සෙ පාඩුවේ ඉමු “

” වරද උනේ එයාලාට නෙමෙයි තුසිත.අපිට.කලගුණ නොදන්න මිනිස්සුන්ට උදවු කරලා අපිටයි වැරදුනේ “

ධනුක අලුත්ම රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවිසැලක් විවෘත කරපු බව සඳහන් කරමින් ෆේස්බුක් පල කරපු ඡායාරූප බලන ගමන් සඳනි අන්තිමට කිව්වා.

More Stories

Don't Miss


Latest Articles