මල්සර හී සර – 18

0
3561

 

මාලවී මේ සිද්දිය හැමෝම එක්ක කියාවි කියලා බයක් සමුද්‍රගෙ හිතේ තිබුණට ඒක එහෙම වෙන්නෙ නෑ කියල දැනගත්තම පොඩ්ඩක් වගේ හිත සනසගන්න පුලුවන්කමක් සමුද්‍රට තිබුණා. ඒ උනාට ඒ සතුට සර්ව සම්පූර්ණ උනේ නැත්තෙ සමුද්‍ර සප්තමී එක්ක කතා කරන්න හදන හැම වෙලාවකම වගේ “මාලවී අපි දෙන්න කතාකරනවා දැක්කොතින් හිත රිද්දගනීවි” කියල සප්තමී කිව්ව හන්දා. ඒ නිසාම ආණමඩුවෙ ශූටින් ඉවර වෙනකම්ම සමුද්‍රට සිද්ද උනේ සප්තමී දිහා බලාගෙන හිත සනසගන්න විතරයි. 

සප්තමී උන්නෙත් කරන්න කියන්න ඕන මොකද්ද කියලා හිතාගන්න බැරුව. හිත අස්සෙන් සමුද්‍ර ගැන හීනියට ආදර හැඟීම් මෝදු වෙනවා කියලා තේරුණත් තමන් ඒ හැඟීම් සමුද්‍ර එක්ක බෙදා හදාගන්න එක එකම නිවාස සංකීර්ණෙ ඉන්න මාලවී එක්ක නිකන් ඕන නැති ප්‍රශ්නයක් ඇති කරගන්න හේතුවෙනවනෙ කියන එක සප්තමී හැම තිස්සෙම කල්පනා කරා.  දවස් පහකට පස්සෙ ශූටින් ඉවර වෙලා ආණමඩුවෙ ඉඳලා ආපහු එනකම්ම සප්තමී බයෙන් හිටියෙ කොයි වෙලාවෙ හරි සමුද්‍ර තමන්ට කතා කල විත්තිය දැනගෙන මාලවී තමන්ගෙ ඇඟට කඩාගෙන පණිවී කියල. 

“මං කවදාවත් හිතුවෙ නෑ බං සමුද්‍ර ඒ වගේ ජරා මිනිහෙක් කියලා” මාලවී සමුද්‍ර එක්ක වෙච්ච සිද්දිය කියද්දි උනත් එලියෙන් “ඒක තමයි නේද?” කියල ඔලුව වැනුවට හිත අස්සෙන් “සමුද්‍ර එහෙම මනුස්සයෙක් නෙවෙයි” කියලා කියාගන්න බැරුව සප්තමී ඇත්තටම හිටියෙ හරිම හිතේ වේදනාවෙන්.

“කොහොමද අනේ එහෙම වැරදිලා මැසේජ් කරලා ගෙදරත් එන්නෙ? මිනිහා හිතන්න ඇති මේ මම ඒ වගේ බොරුවක් තේරුම් ගන්න බැරි ගොනෙක් කියල. මට පුදුම තරහක් තියෙන්නෙ. වෙලාවකට මට හිතෙනවා සමුද්‍ර මාකලන්ද කියන්නෙ මෙන්න මේ වගේ මනුස්සයෙක් කියලා ෆේස්බුක් එකෙ පෝස්ට් එකක් දාන්න” කියලා මාලවී කියද්දි සප්තමී හිත හිත උන්නේ ඒක කොහොමද වලක්වන්නෙ කියලා.

“මං ඒක කරන්නෙ නෑ මොකද මිනිහ වගේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න බලපුලුවන්කාරයෙක්ට පාඩමක් උගන්නන්න යන එකෙන් අන්තිමේ වෙන්නෙ මට මේකෙ ඉන්න බැරිවෙන එක. හැබැයි මම මේක කවදාවත් අමතක කරන්නෙ නෑ සප්තමී. මම මිනිහට හොඳ පාඩමක් උගන්නල තමයි පස්ස බලන්නෙ මට පුලුවන් දවසක”

“අනේ මොකටද ඒයි නිකන් ප්‍රශ්න දාගන්නෙ? අනික ඔන්න ඔයාලා දෙන්න අතරෙ මේ ගොඩක් කල ගිය සම්බන්ධයක් තිබිලා ඒක මේ විදියට හිටපු ගමන් කිසි හේතුවක් නැතුව කැඩිලා බිඳිලා ගියා නම් ඔයාට ඔහොම තරහ යන එකයි පලිගන්න හිතෙන එකයි අපිට සාධාරණයි කියලා කියන්න තිබුනා. ඒ උනාට එහෙම දෙයක් නෙවෙයිනෙ මෙතන උනේ. අනික සමහරවිට ඔයාට තරහ ගියාට සමුද්‍රට ඇත්තටම මොකක් හරි වරදක් වෙලාද දන්නෙ නෑනෙ. එහෙම එකේ සන්තෝස වෙයන්කො ඒ යකා උඹෙන් වැරදි ප්‍රයොජනයක් අරගන්නෙ නැතුව ඇත්ත කියල අයින් වෙච්ච එක ගැන”

“උඹට ඉතින් තේරෙන්නෙ නෑනෙ මේ මුකුත්. මේ ඉන්ඩස්ට්‍රි එකෙ උඩට යන්න කාගෙ හරි ඇඟේ එල්ලෙන්නම වෙනවා. කෙල්ලන්ට විතරක් නෙවෙයි බං නලුවො වෙන්න බලාගෙන ඉන්න කොල්ලන්ට උනත් එච්චරම තමයි. කාගෙ හරි ඇඟේ එල්ලෙන්නෙ නැතුව ගොඩයන්න අමාරුයි. මට ලොකුවටම තියෙන අවුල ඒක. සමුද්‍රයා වැරදි ප්‍රයෝජනයක් අරගන්න හරි මාත් එක්ක තව ටික කාලයක් අල්ලගෙන ඉඳලා අතෑරියනම් මං එක්කො ඕක ගණන් ගන්නෙ නැතුව ඉන්න තිබුනා එහෙම නැත්තම් මට වික්ටිම් ප්ලේ කරන්න තිබ්බා. ඒ උනාට මූ නිකන් මහ මජර ටෝක් එකක්නෙ මට දැම්මෙ. බපලංකො ඉතින් දැන් ආයෙ විදියක් හොයාගන්න එපාය මම මේකෙන් ගොඩයන්න” කියල මාලවී කියන ගමන් ඇඳට වැටිලා ෆෝන් එක ඔබද්දිත් සප්තමී කල්පනා කලේ මාලවීට මේ තමන්ගෙ වටේ වෙන හැමදේම මේ ඉන්ඩස්ට්‍රි එකේ ගොඩ යන ප්ලෑන් විතරයි නේද කියන එක. 

පුරුදු විදියටම ශූටින් ඉවරවෙලා ආයෙම කොළඹ යන්න සප්තමීලා මාලවීලා ලෑස්ති වෙන අතරවාරෙ සමුද්‍රට තිබිච්ච ලොකුම ප්‍රශ්නෙ දැන් තමන් කොහොමද ආයෙම ආණමඩුව ශූටින් වලට එන දවස වෙනකම් සප්තමීව නොදැක ඉන්නෙ කියන එක. සප්තමීලාට ගෙදර යන්න සූදානම් කරපු වාහනේ ඇවිල්ලා තියෙන විත්තිය දැන දැනම සප්තමීව තමන්ගෙ වාහනේ දාගෙන යන්න බෑ කියල දන්න හන්ද සමුද්‍ර දහ අතේ කල්පනා කරා යන්න කලින් සප්තමී එක්ක වචනයක් හරි කතාකරන්නෙ කොහොමද කියල. මාලවීගෙ වගේම සෙට් එකේ අනිත් අයගෙ ඇස්වලට වැලි ගහල ඔය වැඩේ කරන්න බෑ කියල දන්න හන්ද වගේම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ගොම හැලියක්ම ඇඟේ හලාගන්න වෙයි කියන බයට මූණට මූණ හම්බෙලා කතාකරන්න බෑ කියල දන්න හන්දම තමයි සමුද්‍ර ආයෙම වතාවක් සප්තමීට කෝල් කරේ.

“හෙලෝ”

“ඔයා යන්න රෙඩි වෙන ගමන් ද?”

“ඔව්”

“ආයෙ ශූටින් තියෙන්නෙ මෙහෙ තව සති දෙකකින් නේද?”

“ඔව්, මේ සති දෙකේ මාලවීලගෙ කොළඹ ශූටින් වැඩ වගයක් තියෙනවා කිව්වා වසන්ත සර්”

“අන්න ඒක තමයි ප්‍රශ්නෙ?”

“ඇයි?”

“ඒ කොළඹ තියෙන ශූටින් වලට ඔයා එන්නෙ නැති එක”

“මං එන්නෙ නැත්තෙ ඉතින් මට ඒවයි කරන්න දෙයක් නැති හන්දනෙ. ඒක කොහොමද ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ?”

“මට ඔයාව දකින්න වෙන්නෙ නැති හන්දා”

“ඇයි මාව දකින්න වෙන්නෙ නැති එක ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ?” කියල අහද්දි සප්තමී ඒ හැමදේම අහන්නෙ උත්තරේ හොඳටම දැනගෙන උනත් ඒ වචන තමන්ගෙ කටෙන් අහන බලාපොරොත්තුවෙන් කියල දැන දැනම තමයි සමුද්‍රට ටිකක් විතර හිනා ගියේ. ඕනම කෙල්ලෙක් තමන්ගෙ පස්සෙන් එන එහෙම නැත්තම් තමන්ට ට්‍රයි කරන කොල්ලෙක්ගෙ කටින් එයා තමන්ට කැමති විත්තිය අහගන්න ආස බව දැනගෙන උන්නත් ඒ කතාව මේ විදියට ෆෝන් එකෙන් කරන්නවත් මෙච්චර ඉක්මනටවත් කරන්න උවමනාවක් සමුද්‍රට තිබ්බෙ නෑ. වයින් උනත් රස වෙන්නෙයි වටිනකම වැඩිවෙන්නෙයි පරණ වෙන්න පරණ වෙන්න කියන එකේ ආදරේ උනත් රස වෙන්නෙයි වටිනකම වැඩිවෙන්නෙයි පරණ වෙන්න පරණ වෙන්න කියන කතාව සමුද්‍ර සෑහෙන කාලයක් තිස්සෙ ඇදහෙව්වා දෙයක්. ඉතින් එහෙම එකේ මේ වගේ වටින කතාවක් මෙච්චර ඉක්මනට ෆෝන් එකෙන් කියල දානව වෙනුවට සමුද්‍රට ඕන වුනේ ඒක සප්තමීගෙ අතෙන් අල්ලගෙන එයාගෙ ඇස් දෙක දිහා බලාගෙන කියලා දාන්න.

“ඔයා නම් මහ කපටි කෙල්ලෙක්”

“ඇයි එහෙම කියන්නෙ?”

“මං කියන්න යන්නෙ මොකද්ද කියල හොඳටම දැන දැන ඒක නිකන් මගෙ කටෙන්ම අරගන්න හදන එක කපටිකමක් නෙවෙයිද?” 

“මං දන්නවනම් ඔයා කියන්න යන්නෙ මොකද්ද කියන එක මං මොකටද ඒක ආයෙ අහන්න යන්නෙ? මම දැන් තියන්නද? මට බයයි මාලවීට ඇහේවි කියල මම ඔයාට කතා කරන එක”

“මාලවී සැරයිද? ඔයාට බණිවීද මාත් එක්ක කතාකරනවා කියල දැනගත්තොත්?”

“මාලවී හොඳයි, ඒ උනාට එයා බණින්න ගත්තම ඒක ඉවර කරන්න ඕන කොතනින්ද කියල මට හිතාගන්න බෑ. අනික ඔයයි එයයි අතරෙ වෙච්ච දේ හන්දා කොහොමත් අපි දෙන්න කතා කරනව කියල දැනගත්තම එයාට හොඳටම තරහා යාවි. මට හිතාගන්න බෑ එයා මට මොනව කරාවිද කියල ඒක දැනගත්තොත්”

“මාලවී ඔයාට මුකුත් කරන්නෙ අපි දෙන්න කතා කරනවා කියල දැනගත්ත දවසට නෙවෙයි”

“එහෙනම්?”

“කතාකරනවට වඩා දේවල් මම ඔයා එක්ක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියල දැනගත්ත දවසට” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here