සිය දුරකතනය සිහින් කම්පනයක් දනවනු දැනෙන විට ස්ටීව් ක්ලිෆර්ඩ් සිටියේ සිය මහල් නිවාසයේ බැල්කනියට වී අහස දෙස බලාගෙනමය.ජීවිතයේ මේ දැනෙන හුදෙකලාව සහ නොසන්සුන් කම වෙනදා මෙන් අතිශය කාර්යබහුල වුවද පාලනය කරගන්නට නොහැක.දිනගණනාවක් තිස්සේ කල්පනා කළද කියාගන්නට සිතාගන්නට නොහැකි හිස් බවක් ජීවිතය පුරා ඉතිර ගොසිනි.අඳුරු නිල් අහස පිරෙන්නට සඳ පායා කහපැහැ එළියක් මුදාහැර ඇත.ස්ටීව්ගේ මතකයට සෙවන් සිස්ටර්ස් ගමනේදී නෙලී ආලින්දයේ හිඳ ගෙන උන් මතකයද අහම්බෙන් මෙන් එබිකම් පාන්නට පටන් ගත්තේය.ඒ මොහොතේම ඇයගේ අංකයෙන් ඇමතුමක් ඒම පුදුමයක් විය.
“හෙලෝ, මම නෙලී…”
ආයාසයෙන් නිහඬතාවය මැද නැගෙන හඬ ඔහු අසා උන්නේ නිහඬවමය.ඇයගේ හඬ ගීතාත්මකව ගලා එන්නකි. ඒ ඇයගේ ආසියාතික උච්ඡාරණය නිසා විය යුතුය.
“හෙලෝ…මිස්ටර් ස්ටීව්..?”
පෙර දවස නිකම්ම ස්ටීව් වූ තමා යළිත් මිස්ටර් ස්ටීව් වී ඇත. ඇය ඒ තත්වයට පත් කළේ තමාම බව ඔහුට සිහිපත් විය
“හෙලෝ…කියන්න..මම අහන් ඉන්නෙ…”
ස්ටීව් පිළිතුරු දුන්නේය.
නිලංගා නිරුත්තර වූවාය.ඇමතුම ගත්තද කියන්නේ කුමක් දැයි සිතට අරමුණක් නොතිබුණ සේය.
“හෙලෝ..?”
යළිත් ප්‍රශ්නාර්ථයකි.නිලංගා සිහි එළවා ගත්තාය.ඇය ඇමතුම ගත්තේ ඔහුට ස්තුති කරන්නට බව සිහිපත් විය.
“මිස්ටර් ස්ටීව්…අර …අර තෑග්ග….අනේ මම මේරි මැඩම්ව හොඳින් බලාගන්නවා කියලා ඒකට ඒ තෑග්ග දුන්නේ කියලා සිල්වියා මැඩම් කීවා…අනේ ඒ වුණාට මට එහෙම තෑග්ගක් එපා…ඒක සෑහෙන වටිනා එකක්නෙ…මම කරන දේවල් වලට මට හොඳ සැලරි එකක් ,ඉන්න තැනක් ,කෑමබීම ඔක්කොමත් දෙනවානෙ…අනේ මිස්ටර් ස්ටීව්…ඒ නිසා…”
ඇයගේ කතාව අසා උන් ස්ටීව් මුලදී ඇයගේ පැටලෙන ස්වරය හා සමගින් මුහුණට සිනහවක් එක්කරගත්තද..පසුව කී දේ අසා කෝප ගත්තේය.ඇය තෑග්ග ප්‍රතිකේෂ්ප කිරීමත්…ඇය කියූ අවසන් දේවල් කිහිපයත් ඔහුගේ සිතේ කෝපය තදින්ම අවුලුවා ලීය.
“ඇයි …ඩැනියෙල්ද කීවේ මගෙන්…නෑ…මේ …අපෙන් තෑගි ගන්න එපා කියලා…ආ…සොරි ..මටනෙ වැරදුනේ…ඔයා මේ කරන්නේ සැලරි ඇන්ඩ් අදර් බෙනිෆිට්ස් වලට ආච්චිව බලාගන්න එකනෙ…සොරි…රියලි සොරි…ආ මිස් නෙලී…ඔය තෑග්ග එපා නම් ඕක අම්මට දෙන්න…නෝ වොරීස්…”
ස්ටීව් කලකිරීමද, කෝපයද එක්ව ගත් ස්වරයෙන් කියා දැම්මේය.නිලංගා තිගැස්සුණාය.මේ කතාව අතරට ඩැනියෙල් ඈඳෙන්නට කිසිම හේතුවක් නැත.එමෙන්ම හැමදාමත් මෙන් ස්ටීව් වචන වලින් අල්ලාගන්නේ වැරදි කොන්වලිනි.
යමක් කියන්නට පෙරම එහා පසින් දුරකතනය විසන්ධිවනු නිලංගාට ඇසුණි.ඇය සුසුමක් හෙලුවාය.ස්ටීව්ගේ මේ අසීමාන්තික කෝපය යටින් කුමක් හෝ බරපතල හේතුවක් තිබිය යුතුය. ඔහු එසේ කෝපගත්තද ඔහු තුළ ඇති සෞම්‍ය ගුණයන් ද නිලංගා දැක තිබුණි.
අතවූ කැමරාව “එපා” යයි කීවේ ඇත්තෙන්ම එය එපා නිසා නොවන බව ඔහු දන්නවා නම් ඔහු එසේ නොපවසනු ඇත. නමුත් ගැටලුව වූයේ එවන් වටිනා ත්‍යාගයක් ලබන්නට තරම් තමා සුදුසුද යන්නය.ස්ටීව් වරදවා වටහා ගත්තේ මේරි මැඩම් බලාගන්නේ වැටුප් හා ලැබෙන පහසුකම් වලට යයි තමා කීවා සේ සිතාගෙනය.එහෙත් තමා අදහස් කළේ එය නොවන බව ඔහු නොදනී.
නිලංගා ත්‍යාගය ලද සතුටින් ඉපිලුණාය.අනෙක් අතට එවන් ත්‍යාගයක් බාර ගන්නට පැකිලුණාය.එහෙයින්ම ස්ටීව්ගේ කෝපයට ලක්වූවාය.සමහරක් විට මේ සන්නිවේදනයේ ගැටලුව විය යුතුය.තමන්ගේ භාෂාවෙන් යමෙකුහට අදහස් ප්‍රකාශ කරන්නා සේ අනෙක් බසකින් කීම පහසු නැත.එහි අදහස එක්ව යන තානය අසන්නාට පැහැදිලි කිරීම උගහටය.
නිලංගා සුසුමකින් ළය සැහැල්ලු කොට ගත්තාය.මේ ඉතාම නවීන කැමරාව ජීවිතයේ තමා ලද වටිනාමම ත්‍යාගයයි. “හොස්ස ලඟින් මැස්සා යන්න බැරිඋනාට…තෑගි නම් තෝරන්න අපූරුවට දන්නවා ..”
නිලංගා මැකී නොයන සිනහවෙන් යුතුව තමාටම පවසා ගත්තාය.
මාලිකාගේ විවාහ උත්සවයේ කටයුතු ළංවෙමින් පැවතුණි.මේරි මර්ෆි සුවය ලබමින් උන් නිසාම නිලංගා මාලිකාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නිදහස් කර හරින්නට සිල්වියා අකමැති නොවුණාය.බ්‍රයන් සහ මාලිකා වෙනුවෙන් එසේ නිලංගා යෑම ගැන ස්ටීව්ගේද විරෝධතාවයක් යොමු නොවීය.ආච්චී ඇවිදින්නට ගත් හෙයින් ඩැනියෙල්ගේ පැමිණෙන වාර ගණන අඩුවෙමින් තිබීම ගැන ද ඔහු සතුටු විය.
“මගෙ වෙඩින් එකෙන් පස්සෙ නෙලීට කෙනෙක් හොයන්න ඕනෙ…”
නිලංගා නොපැමිණි එවන් දිනයක මාලිකා බ්‍රයන් සමගින් පැවසුවාය.ඒ අසා උන් එක් සිතක් තිගැස්සුණේ බාහිර ලෝකයට නොදැනීය.සාප්පු සවාරියකට අනතුරුව විඩාහරින්නට අවන් හලකට ගිය මොහොතේදී අහම්බෙන් ස්ටීව් හමුවූ දෙදෙනා ඔහුද සමගින් කෙටි පිළිසඳරකට එක්වූහ.
“ඇයි එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද මෙලා.අර බ්රේක් අප් එකක් ගැන කීවෙ ඔයා…”
බ්‍රයන් විමසුවේය.ස්ටීව් ජංගම දුරකතනයට යොමුව ගත් ඇසින් යුතුව සවන් ඔවුන්ගේ කතාබහට එක්කොට ගෙන උන්නේය.
“ඒ මෙහෙ එන්නත් අවුරුදු ගානකට කලින්නේ බ්‍රේකප් වෙලා තිබ්බෙ…අඩුමගානේ ඒ මනුස්සයටවත් නෙලීව අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න , එයාව ඒ පවුලෙන් බේර ගන්න තිබුණා.ඒත් මහ අවස්ථාවාදී මනුස්සයෙක්නෙ…නෙලීගෙ ගෙදරින් බැහැ කියන කොටම මාරුවෙලා වෙන කෙනෙක්ව බැන්දා….”
“එතකොට ඇයි එයාගේ ෆැමිලි එක එක්ක එයා කිසිම කනෙක්ෂන් එකක් නැත්තෙ…”
ස්ටීව් ඇසුවා නොව ඉබේම ඇසුණි.මාලිකාද බ්‍රයන්ද එක්වනම ඔහු දෙස විමතිය මුසු බැල්මෙන් බැලුවෝය.
“ඇයි මගේ දිහා ඔහොම බලන්නේ..මං ඇහුවදේ පැහැදිලියිනේ..? මම අහන්නේ එයා එයාගේ ෆැමිලි එකත් එක ඇයි කිසිම කනෙක්ෂන් එකක් නැත්තෙ කියලා..”
ස්ටීව් කිසිදු ගණනකට නොගෙන පැවසුවේය.
“ඒක අපි හිතනවට වඩා හරි complicated කතාවක් ස්ටීව්. මේක මම කිව්වා කියලා කවදාවත් නෙළීට දැනගන්න තියන්න එපා.එයාට අනුකම්පාව කියන දේ අවශ්‍ය වෙන්නේ නැහැ.”
මාලිකා කතාව පටන් ගන්නට පළමුව පැවසුවාය.
“හරියට මං වගේ…අනුකම්පාවක් නම් අවශ්‍යම නැහැ..”ස්ටීව් තමාටම මුමුණා ගත්තේය. මාලිකා හැකි තරම් විස්තර සහිතව නිලංගාගේ ජීවිත කතාව විස්තර කළාය. බ්‍රයන් සහ ස්ටීව් මොහොතකට ගොලුවතින් සවන් දුන්නෝය.ඔවුන් දෙදෙනාගේම හදවත් කියාගත නොහැකි හැඟීමකින් බර වී තිබුණි.
“නෙලි ලංකාවට යන්න අකමැතිත් ඒකයි. එයා බයයි ලංකාවට ගිය වෙලාවක ආපහු අම්මල තාත්තලා මුණගැහේවි කියලා..අමාරුවෙන්ම හදාගත්තු හිත කඩාගන්නේ මොකටද කියලයි එයා අහන්නේ?”
මාලිකා සිය මිතුරිය සම්බන්ධව ශෝකයෙන් පැවසුවාය.
“එපා මිනිස්සු එපාමයි.අත ඇරලා දාන්න කියන්න. පේනවනේ මම ඉන්න හැටි.මාව එක සැරයක් එපා වුණා නම්…මගෙන් ආයේ කිසිම වෙලාවක චාන්ස් එකක් නැහැ..”
ස්ටීව් පැවසුවේ කිසිදා නොදුටු නිලංගාගේ හදා වඩා ගත් මාපියන් ගැන කෝපයෙනි.
“මේ ලෝකේ කිසිම දරුවෙකුට දෙමව්පියන්ගේ ආදරයේ නිසියාකාරව හම්බවෙන්නේ නැත්නම්..මිනිස්සුන්ට දෙමව්පියන් කියන්න වත් වටින්නේ නැහැ..ඒ අයට කිසිම වෙලාවක අවස්ථාවක් දිය යුතුත් නැහැ.”
විටෙක ස්ටීව් ගේ දරදඬු භාවය සාධාරණයයි බ්‍රයන්ට ද සිතේ.ඉතා කුඩා කල පටන් ක්ලිෆර්ඩ් යුවල ස්ටීව් අතහැර දැමුවේ සිය ව්‍යාපාරයන්ගේ කාර්ය බහුල බව පෙරට ගෙනය. එහෙත් ඒ සියල්ලට යටින් වූ හේතුව ස්ටීව් යනු සිල්වියාගේ අහඹු සබඳතාවයකින් උපන් දරුවකු වීමය.
සිල්වියා ක්ලිෆර්ඩ්ගේ වුව තමාගේ නොවන දරුවා පෙලපත් නාමය දී හදාවඩා ගන්නට ඩැරන් ක්ලිෆර්ඩ් අවසර දුන්නද ඔහු ස්ටීව් සිය නිවසේ දකින්නට රිසි නොවීය.සිල්වියා සිය හොඳම මිතුරා සමග එසේ සබඳතාවයක් ඇති කර ගනීයයි ඩැරන් කිසිවිටෙකත් නොසිතුවේය.නමුත් අවසානයේදී එය ඉතා දුර දිග ගිය සම්බන්ධයක්වද තිබිණි.සිල්වියා අවසානයේදී ඩැරන්ගේ අදහසට එකඟ වූයේ තීරණ ගැනීමේ අයිතිය තමා වෙත නොවූ හෙයිනි.
ව්‍යාපාර කටයුතුවල කාර්යබහුලතාවයන් ගැන පවසමින් සිය එකම දරුවා තමාගේ මව වෙත භාරකළේ එහෙයිනි.ඩැරන් සහ සිල්වියාහට අමතරව මේ රහස දැන සිටියේ ස්ටීව්ගේ සත්‍යම පියා වූ නොයෙල් ඩේවිඩ්සන් සහ මිත්තණිය වූ මේරි මර්ෆි පමණි.නොයෙල් ඩේවිඩ්සන් සිය පීතෲ භාවය දැන උන්නද එය වෙනුවෙන් කිසිදු පියවරක් නොගත්තේ ඔහුට වෙනමම නීත්‍යානුකූල පවුලක් සිටි හෙයිනි.ඔහු වසර ගණනාවකට පෙර ගුවන් අනතුරකින් මිය ගියේ ඔහුගේ පවුලේ සියල්ලන්ම සමගිනි.ඉදින් ඩැරන් හදිසියේ හෘදයාබාධයකින් මිය යෑම හේතුවෙන් ස්ටීව් සම්බන්ධ රහස සිල්වියා සහ මේරි අතර ඉතිරිවිය.
ජීවිතය මිනිසුන් හට සිය ඉරණම පවත්වාගෙන යන්නට ඉඩ සලසන්නේ විවිධාකාරයෙනි.දෙමාපිය සෙනෙහස නැති ලෝකයක ස්ටීව් සහ නිලංගා දෙයාකාරයකින් තනිවූ පුද්ගලයන් වීය.ස්ටීව් ක්ලිෆර්ඩ් තමා කිසිදා නොදුටු නෙලීගේ දෙමාපියන් සමගද නැවතත් අමනාප සිත් ඇතිකරගත්තේ එහෙයිනි.
“අපි හිතනවාට වඩා එයාලාගේ ජීවත්වන පරිසර වෙනස් ස්ටීව්.නෙලී ඔය කතාව මා එක්ක කියන කොට මටත් ඇත්තෙන්ම හරියට තරහ ගියා.මට හිතුනෙම ඇයි එයාට තමන්ගේ ජීවිතය ගැන තීරණ ඉන්ඩිපෙන්ඩන්ට්ලි ගන්න බැරි කියලා.ඒත් එයා කොච්චර අනුන් ගැන හිතනවද කියලා තේරුණාම මට එයා ගැන හරිම ආදරයක් ගෞරවයක් ඇතිවුණා ස්ටීව්.එයා තමන්ට වඩා අනුන් ගැන හිතන කෙනෙක්”
මාලිකා සංවේදී හඬින් පැවසුවාය. ඇයගේ දෙනෙතට කඳුලක් ද උනා එමින් තිබුණි.
“එයා අනුන් ගැන තමන්ට වඩා හිතනවා …ඒක ඇත්ත…ආච්චී මේ තත්වයට ගොඩ ගත්තේ එයාගේ ඒ සෙල්ෆ්ලස් ඩෙඩිකේෂන් එක නිසා.ඒක අපි ඔක්කොම දැක්කනෙ…”
ස්ටීව් වෙනදාට වඩා දොඩමලු විය.බ්‍රයන් සහ මාලිකා ඔහුගේ මේ වෙනස සහ අනෙක් අයෙක් ගැන මෙතරම් සංවේදීව කතාකරනු දුටු මුල්ම අවස්ථාව හෙයින් උනුන් දෙස බලමින් විශ්මය පළ කරමින් උන්හ.නමුත් ඊලඟ මොහොතේ ඔහු පැවසූ දෙයින් ඔවුන් දෙදෙනාම ඉහළට ගත් හුස්ම පහළට නොදා බලා උන්නේ අදහාගත නොහැකිවය….