මල් පිපුණිද හිම කැළයේ – 33

0
790

ගමන යන්නට පැමිණෙන මොහොතේ හිතේ තිබූ සතුට හොරු අරන් ගියාක් බඳුය.ස්ටීව් කල්පනාවේ ගැලෙමින්ම රිය පැදවූවේය.ගමන අවලංගු කළ හැකිව තිබුණේ නම් එයද තමා කරන්නට නොපැකිලෙන තරමට ස්ටීව් නොසන්සුන්ව උන්නේය.

“ස්ටීව්, ඔයා හොඳින්ද? ඔයාට අපහසු නම් අපි වෙන දවසක මේ ගමන යමු…”
නිලංගා අසුනේ අඩක් ඔහුවෙත හැරෙමින් විමසුවේ ඒ මොහොතේය.ස්ටීව් ඇය දෙස නොබලාම හිස සැලීය.

“මේවා අලුත් දේවල් නෙවෙයි නෙලී.අවුරුදු තිස්ගාණක් මෙයාලා මට දුන්න ප්‍රෙශර් එක ආයෙ ආයෙ එක එක මෝඩ් වලින් එනවා…ඕවා නිසා මගෙ ප්ලෑන්ස් මම වෙනස් කරන්න ඕනෙ නෑ…”
ස්ටීව්ගේ හඬ දැඩි වුවද එහි ගැබ්ව තිබුණේ කළකිරීමකි.ඔහු සාමාන්‍යයෙන් රිය ධාවනය කරන්නේ ප්‍රවේශමෙන් වුවද මේ මොහොතේ ආවේගය හෙයින් කිහිපවිටක්ම  වේගසීමාව ඉක්මවන්නට ආසන්නව යළි වේගය අඩුකළ බව නිලංගා දුටුවාය.

“ස්ටීව්, පුලුවන් නම් අපි ඉස්සරහා තියන ටෙස්කෝ එකට පොඩ්ඩක් ගිහින් යමුද? මට පොඩි දෙයක් ගන්න තියනවා..”
ඉඳහිටක සම්‍යක්ප්‍රයෝගයක් අත් හදා බැලුවාට කමක් නැත.එය තව අයෙකුගේ යහපත වෙනුවෙන් නිසාය.ස්ටීව් නිලංගා දෙස විමසුමෙන් බලා වම්පස වූ ටෙස්කෝ සුපිරි වෙලඳහලේ රිය ගාල වෙත රිය හැරවීය.රිය ගාලෙහි මැද තීරයක් පුරා චෙරිගස් යායක් මල් දරා තිබුණි.ස්ටීව් එම ගස් පේලිය අයිනට වන්නට රිය නැවතුවේය.වෙලඳසලට යන්නට ඕනෑ යයි කියූ තැනැත්තිය රියෙන් බසින්නට සූදානමක් නැතිසේ මුව අයා චෙරිමල් දෙස බලා ඉන්නා අයුරු දැක සිතේ පෙර වූ නොරිස්සුම අමතකව ඔහුට සිනහවක් මතුව ආවේය.

“නෙලී…දැන් ටෙස්කෝ එකට යන්න ඕන කීවා නේද? වී ආ හියර් නව්..”
ස්ටීව් රිය අසුනේ පසුපසට හිස තබා ගෙන පැවසීය.

“නෑ මට ටෙස්කෝ එකෙන් මොකුත් ගන්න නෑ ස්ටීව්.මට ඕනවුණේ ඔයාට ස්ට්‍රෙස් එකේ ඩ්‍රයිව් කරන්න නොදී පොඩි වෙලාවක් නවත්තගන්න ..සොරි..මම ඒකට පොඩියට බොරුවක් කීවෙ…”
නිලංගා ඔහු දෙසට හැරෙමින් පැවසුවාය.ස්ටීව් දෙබැම රැළි කොට ඇය දෙස බලාඋන්නේය.එම බැල්මේ වූ නොමනාපය ඇය වෙනුවෙන් නොවන මුත් නිලංගා මඳක් පසුබෑවාය. අනෙක් වතාවල්වලදී මෙන්ම මෙවරද තමා පිටින් මේ කේන්තිය පිටව යා දැයි ඇය තරමක් බියගත්තාය.

“ස්ට්‍රෙස් උනාට මම ඩ්‍රයිව් කරන්නෙ වගකීමෙන්….හරි හරි  near misses දෙකතුනක් උනා තමයි…ඒත් මම මැනේජ් කරගත්තානෙ…නෙලී බයවුණානේද මම ගිහින් කොහේ හරි හප්පයි කියලා…”
ස්ටීව් විමසුවේය.

“නෑ ස්ටීව් එහෙම හිතුණාම නෙවේ.නමුත් ඕනම දෙයක් ඕනම වෙලාවක වෙන්න පුලුවන් ..ඉතින් ඇයි අපි දැන දැනම එහෙම වැරදීම් වලට ඉඩ තියන්නෙ…අනෙක මේ ගමන කලබලේට යන්න ඕන එකක් කියලා ඔයා කිව්වෙ නෑනෙ…”
නිලංගා සිත දිරිය ගෙනම පැවසුවාය.

“පණ්ඩිත කම නම් ඉහටත් උඩින්…ආච්චිව අල්ලගත්තේ ඕවායින්  වෙන්න ඇතිනේ…”
ස්ටීව් සිනහවැතිව පැවසීය.

“ස්ටීව් …දෙයක් අහන්නද මම ?”නිලංගා සෙමින් එහෙත් ඔහුට ප්‍රතිකේෂ්ප කළ නොහැකි ස්වරයකින් විමසුවේය.ස්ටීව් කිසිවක් නොකියා ම බලා උන්නේය.

“සිල්වියා මැඩම් කිව්ව දේට ඔච්චර තරහා ගත්තේ ඇයි? එයා ඒ කිව්ව දේ එහෙම කේන්තිගන්න දෙයක් නෙවෙයිනෙ…”
නිලංගා විමසුවාය.ස්ටීව් නිලංගා දෙස දෙබැම රැළිකර බැලුවේය.

“නොදන්න දේවල් නොකියා ඉන්න නෙලී…මමීට ඕන එයාගේ බිස්නස් නොවැටී තියාගන්න එයාගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක්ගෙ දුවෙක් මට ප්‍රපෝස් කරන්න.මම කැමති නෑ කියලා පැහැදිලිව කියලා තියෙද්දිත් මේ ආයෙ ආයෙ කියවනවා…තරහ යන්නැද්ද ඉතින්…”

“මම  එයාගේ බිස්නස් අප්ග්‍රේඩ් කරන ටූල් එකක් වගේ එයාට පේනවා ඇත්තේ ..එයාටයි එයාගේ බිස්නස් පාර්ට්නර් ටයි දෙන්නටම වෙලාවක මම හොඳටම කියාදෙනවා…ඒක වැඩිදුරක නෙවේ…”

තරහා පිරුණු හඬින් ස්ටීව් පැවසීය.නිලංගා නිහඬව අසා උන්නාය.

“ඒ අකමැත්ත ඔයාගේ පැත්තෙන් තිබ්බට සමහර අම්මලා තාත්තලාට ඒක තේරෙන්නෙ නෑ ස්ටීව්.ඔයා කෙන්ති ගන්න එකේ පාඩුව ඔයාට.ඔයායි ටෙන්ශන් වෙන්නෙ.ඔයායි ස්ට්‍රෙස් වෙන්නෙ.අකමැති නම් ඒවා ඉග්නෝ කරලා දාන්න…පැටලෙන්න ගියාම තමන්ටමනෙ අමාරු…”
නිලංගා පැවසුවාය.

“ඔයාට වගේ ලොකු ඉවසීමක් මට නෑ නෙලී.මට එහෙම ඉවසන්න ඕනත් නෑ.කියන්න ඕන ටික කියල දැම්මාම ඉවරයි.මගෙ ක්‍රමය ඒකයි.එහෙනම් අපි යමුද?”
ස්ටීව් ඇයගේ අදහස් වලට එකඟ නොවනා ලෙසින් පැවසුවේය.වාද කර පලක් නොවනා හෙයින් නිලංගා කිසිත් නොකියා හිස සැලුවාය.

“බහින්න…”
රථ ගාලක නැවතුණ රියෙන් බසින්නට සූදානම් වෙමින් ස්ටීව් පැවසුවේය.පෙර කතාබහෙන් පසු දෙදෙනාම ගමනේ ඉතිරිය නිහඬවම රිය තුළ උන්නෝය.එහෙත් දෙදෙනාගේම සිත් තුළ කිසිදු අමනාපයක් නොවීය. වෙනදා ඉතා කුඩා කාරණයකට වුවද කේන්ති ගන්නා ස්ටීව් පවා නිහඬවම ඉවසීමෙන් බලා උන්නේය.

නිලංගා ඔහු අනුගමනය කරමින් රියෙන් බිමට බැස්සාය.තමන්ගේ දෑස් ඉදිරියේ ඇත්තේ තෙරක් නොපෙනෙන තරමේ තැනිතලාවකි.ඒ තැනිතලාවේ කෙළවරකින් පටන් ගන්නා වොල්නට් ගස් යායකි.

“අතනට යනකම් ඇවිදගෙන යන්ඩ ඕන.යන්න පුළුවන්නේ..?”
නිවසේදී සිදුවූ සියලුම කරුණු අමතක කලාක් මෙන් ස්ටීව් නිදහසේ විමසුවේය.

“අපෝ පුළුවන්…මට ඇවිදින්න පුළුවන් හොඳට..උනාට ඔයා තාම කිව්වේ නෑනේ මොකක්ද මේ බලන්න එක්ක ආවේ කියලා”
නිලංගා  නෝක්කාඩුවක  ස්වරයෙන් පැවසුවාය.

“ඒකේ අගයක් නැහැ කිව්වම.ගිහිල්ලම බලමුකෝ..”
ස්ටීව් ඇයට අතින් සන් කොට ගමන ඇරඹුවේය.බොහොමයක් දෙනා ඒ ඉසව්වට ඇවිද යනු මගක් දුරකට යනවිට නිලංගා දුටුවාය.ඇයගේ සිතෙහි කුතුහලය එන්න එන්නම වැඩි වෙමින් තිබුණි.වොල්නට් ගස් යාය අවසන් වූයේ සෙවණ ඇති බිමකිනි.නිලංගා තමා ඉදිරියේ ඇති ඒ අපූර්ව දසුනෙන් උමතුවට පත් වන්නට ආසන්න වූවාය. අක්කර භාගයකට පමණ ආසන්න ප්‍රදේශයක පොළොව නිල් පලසක් සේ දිස් වී තිබුණි.එම නිල් පැහැ පළසට හේතුව බ්ලූබෙල් මල් පිපීමය.එකම යායක බ්ලූබෙල් මේ ආකාරයට පිපී තිබෙනවා ඇය දුටුවාමය.බ්ලූබෙල් යායේ අතර මැද්දෙන් ඇවිද යන්නට පාරවල් තනා තිබුණි.

“අනේ දෙයියනේ…මේක නම් මට ඇස් අදහගන්නවත් බැහැ..”
නිලංගා පැවසුවේ කෑගැසීමකට ආසන්න ස්වරයකිනි.මෙවන් දෙයක්  මුල් වතාවට දුටු විට කෙනෙක් පත්වන විශ්මය සාමාන්‍ය දෙයකි.

“මම කිව්වේ ඒකනෙ…කලින් කියල වැඩක් නෑ දැකලම ඒක මොකක්ද කියලා විඳින්න ඕනේ..හරි…දැන් ඉතින් ඔයාට ඕන තරම් ෆොටෝස් ගන්න පුළුවන්…මම අන්න අතන තියෙන ලී කොටය උඩින් වාඩිවෙලා ඉන්නම්…හරිද?”
ස්ටීව් ඇයට පවසා නුදුරේ වූ ලී කොටය වෙත ඇවිද ගියේය.

නිලංගා ජීවිතයේ බලාපොරොත්තු වූ යම් සිහින අතරේ මෙවැනි දෑ එකතු කොටගෙන උන්නාය.කවදා හෝ බලන්නට යෑමට බලාපොරොත්තු වන එවන් තැනකට තමා රැගෙන ඒමට ස්ටීව්ට සිත් දුන්නේ කුමන හේතුවක් නිසා දැයි ඇයට සිතාගන්නට නොහැකි විය.තමා කිසි දවසක මෙවැනි දෙයක් ගැන කතා නොකළ බව ඇයට විශ්වාසය.

සිත් සේ ඒ පරිසරය දැක බලා බලා ගත්… එම අපූර්වත්වය විඳගත් නිලංගා සිය කැමරාවේ විවිධ කෝණ වලට නිල්දම් පැහැයෙන් බබලන බ්ලූබෙල් මල් හසුකරගත්තාය. බ්ලූබෙල්  යායේ එක් තැනක ඇති ලී කොටයක් උඩ හිඳගෙන ලය හරහා දෑත් බැඳ කොහේදෝ ඈතක් බලා සිටිනා ස්ටීව්ගේ රුවද ඔහුටද නොදැනීම ඇයගේ කැමරාවේ ගබඩා විය.

“සතුටුයිද ? තාමත් ඇතිවුණේ නැද්ද?”
තවමත් ඒ මේ අත හැරෙමින් බ්ලූබෙල් යායේ සුන්දරත්වය බලනා නිලංගා ගෙන් ස්ටීව් විමසුවේය.මේ තරුණිය ජීවිතයේ ඉතා කුඩා දෙයින් පවා සතුට සොයාගනී.මේ ඉසව්ව ඡායාරූප ගැනීම සඳහා සුදුසු හෙයින් ඇය කැඳවාගෙන ආවා විනා මේ සා ඇය එයට ආශක්ත වේයැයි ඔහු සිතුවේ නැති තරම් ය.

“අනේ ඔව් ස්ටීව්.ඔයාට ගොඩක්ම ස්තුතියි.මේ මගේ ඩ්‍රීම් එකක්.කවදාහරි බ්ලූබෙල් බලන්න යන්න ඕනෙ කියලා හිතාගෙනමයි මම හිටියේ..”
නිලංගා සිනාවතින් පැවසුවාය.

“යමු ,අතන පොඩි කැෆේ එකක් තියනවා. අපි ගිහින් කොෆි එකක් බොමු…”
ස්ටීව් ඇය වෙත අත දිගු කළේය.සිතාගන්නට නොහැකි කාල‍යක තත්පර ගණනාවක් ඇතුළත නිලංගාගේ සුරත ඔහුගේ දිගුකළ අතේ වෙලුණි.අනිසි හැඟීමක්,බියක් නොදැනෙන…ආරක්ෂා කාරී උණුසුමක් දෙන ස්පර්ශයක් පමණක්ම නිලංගා විඳිමින් උන්නාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here