සැරිසරන්නී -11

ලොකු මාමා හදවත් රෝගියෙකු වී ඇති බැවින් ආච්චා ගේ වගකීම පොඩි මාමා හෝ වෙනත් කෙනෙකු භාර ගත යුතු යයි නයනා නැන්දා කියා තිබේ. මහ ගේ සහිත ඉඩම් කොටස ලබා දුන්නේ ලොකු හා පොඩි මාමලාට වන නිසාවෙන් ආච්චා ගේ වගකීම ඔවුන් දෙදෙනා අතරේ පැවතිය යුත්තක් කියා අනිත් මාමලා දෙදෙනා ගේ බිරින්දෑවරුන් එක හෙළා කියා ඇති බව මා දැන ගත්තේ ආච්චා ගෙන් ම ය.

“ඔය ගේ ඩෝසර් කරල දාල ඔක්කෝටම හිස් ඉඩං දීපු නැති වැරැද්ද තමයි මේ මගෙ පස්සෙං එන්නෙ”

ආච්චා හඬන්නට ඔන්න මෙන්න හඬකින් කීවා ය.

“ආච්චා..”

මම ඇගේ උරහිසකින් අල්ලා පිට පිරිමැද්දෙමි. ආච්චා කඳුළක් හෙළුවේ නැත. නමුත් ඇගේ හදවත මැද්දේ සුවාසු දහසක් සුසුම් බිඳෙන බව මට දැනිණ.

“ළමයි හය දෙනෙක් හැදුවා. උන්ට උගන්නල ඉන්න හිටින්න තැන් අරන් දාල හැම යුකුකමක් ම ඉෂ්ට කරලයි මහ මනුස්සය ඇස් දෙක පියා ගත්තෙ. මට අන්තිමට මෙහෙම වෙයි කියල ඒ මනුස්සය වුනත් හිතන්න නැතුව ඇති”

“අනේ ආච්චා”

“එකෙක් දෙන්නෙක් හැදුවනං මෙහෙම වෙන්නෙ නෑ මට. එහෙනං උං එකා හරි දෙන්නා හරි බලන්නම ඕනනෙ. දැං ළමයි වැඩි නිසයි මේ තරක්කුව”

“ආච්චා ඇවිත් අපේ ගෙදර නතර වෙන්න”

“මං දන්නව දුනුකේ මාව එලවන්නෑ කියල දරුවො. ඒත් මේ කොල්ලො හතර දෙනෙක් ඉඳලත්”

එවර නම් ආච්චා ගේ හඬ බිඳුණේ ය. අම්මා කෙනෙකු ගේ හදවත විවර කොට බැලිය හැකි නම් එහි මොන තරම් කතා හැංගී තියෙනවා ඇත්ද? ලෝකයට නො පෙන්වා, මඳහසකින් මුවහ කර ගත් කන්දක් තරං දුක් පොදියක් ඇගේ හිත යට නිදන්ගත ව තිබෙනවා ඇත.

“කොල්ලොද කෙල්ලොද කියල ප්‍රශ්නයක් නෑ ආච්චා..අම්මල තාත්තල ළමයි හදද්දි ඒ ළමයි කොල්ලො ද කෙල්ලො ද කියල වෙනස් විදිහට සලකන්නෙ නෑනෙ. එහෙම කළා ඉස්සර කාලෙ. ඒත් මේ කාලෙ…අඩු ගානෙ ආච්චලගෙ කාලෙ එහෙම කළේ නෑනෙ. කාටත් උගන්නල තියෙනව ඉගෙන ගත්ත හැටියට. කාටත් පර්චස් පහ ගානෙ හරි ඉන්න තැනක් දීල තියෙනව. මහ ගෙයි කැඩිල යන වහලෙයි බිත්ති ටිකයි තියෙන තැන ගත්ත අයම ආච්චා ට බලන්න ඕන කියල කියන එක විහිළුවක් මටනං. ඒගොල්ලො හැම දේම හදා ගන්නෙ ඒගොල්ලංගෙ වාසියට. මොකද ආච්චා කිරි දුන්නෙ කොල්ලොද කෙල්ලොද බලල වෙනස් විදිහට නෙවෙයිනෙ”

“මාවත් අර මනුස්සය ඉන්න තැනකට කතා කර ගන්නෑනෙ ඉක්මනට”

ආච්චා දරා උන්නේ විසල් වේදනාවකි. මිණිපිරියක වශයෙන් ඇගේ දුක නිවන්නට මට කළ හැකි වූයේ වචනයකින් හිත පිරිමදිනා එක පමණකි.

ආච්චා ට අපේ ගෙදර නවතින්නයි තාත්තා ද කියා තිබිණි. ඒ අනුව පොඩි මාමාගේ ගෙදර යනු වෙනුවට ඕ තොමෝ සිය ඇඳ හා අල්මාරිය ද ගෙන අපේ ගෙදරට ආවා ය. මා හා නංගී නිදන ඇඳ තබා ඇති බිත්තියට විරුද්ධ බිත්තියේ ආච්චා ගේ කළුවර වියන් ඇඳ තැබිණි. තවත් බඩු වලින් කාමරය ඇහිරිණි ද, අපේ පවුල වඩාත් සර්ව සම්පූර්ණ වූ බවක් මට දැනිණ.

“අපේ අම්මල මහ බලු වැඩක් කළේ ආච්චාට වෙන ගෙදරකට යන්න කියල”

ලොකු අයියා අපේ ගෙදරට ම ඇවිත් සිය මාපියන්ට දොස් කීවේ ය. කොහොමටත් ඔහු ට තියෙන්නේ  මිනිස්කම් වලින් පිරිපුන් හදවතකි. ජීවත් වීමේ අරගලයේ දී යම් යම් මගඩි වැඩ කළ ද ලොකු අයියා පවුලේ සාමාජිකයන් කෙරේ ළෙංගතු හදකින් ක්‍රියා කරන්නෙකි. බොහෝ ළමයින් වාගේ ඔහු මවා ගත් ව්‍යාජ ජීවිතයක් ගත නොකරයි. කියන්නට තිබෙනා දෙයක් මූණට කියයි. බණින්නට ඕනෑ කෙනෙකුට මූණට ම බනී. හොඳ කියන්නට ඇති තැන නිර්ලෝභී ව එසේ කරයි. 

“අනේ මලිත් මන්නං ඕව ගැන වචනයක්වත් කතා කරන්න කැමති නෑ. කාට වුණත් පේනව අපේ ගෙදර අම්මට ඉන්න වෙනම කාමරයක්වත් නෑ කියල. එහෙමයි කියල අම්මට පිටුපාන්න බෑ කියන එකත් අපි දන්නව. මොනා වුණත් මගෙ කෙල්ලො දෙන්න අපේ අම්මව ඒ කාමරේට ගන්න බෑ කිව්වෙ නෑ. පෝසත් හිත් තියෙන කෙල්ලො දෙන්නෙක් හදපු එක ගැන මටනං ආඩම්බරයි”

අම්මා මහන මැෂිම නො නවත්වා ම ලොකු අයියා එක්ක කතා කළා ය.

“අපේ එක්කෙනා කවදාවත් අම්මට උඹ නොදකින් කියන්නෙ නෑ කියලත් මං දන්නව. ඒ නිසා කොහොම හරි උඩ වැඩ ටික කර ගන්නකල් ඔහොම තියා ගන්නව අම්මවත්”

මලිත් අයියා අම්මා ළඟ සිට ගෙන ඇගේ හිස පිරිමැද්දා ය. යාබද පුටුවක හිඳ බොත්තම් කාස කපමින් සිටි ආච්චා ගවොම් උරයෙන් ඇස තෙත මාත්තු කරනු මම දුටිමි. 

“ලොකු නැන්දා ශේප් එකේ ආච්චාව මෙහෙට ගත්තෙ මැහුම් වැඩ වලට ලේසියට නේ…බලන්නකො ඉතිං…ආච්චා කොච්චර මහන්සි වෙනවද…”

ලොකු අයියා එසේ කීවේ ඇති ව තිබූ ශෝබර තත්වය පහ කොට හරිනු පිණිස ය. සිතුවා සේ ම ආච්චා ගේ මුහුණ ට සිනහවක් ආවේ ය.

“හ්ම්. දැං එහෙමත් කියයි කට්ටිය. මං අම්මව තියාගෙන හම්බ කර ගන්නව කියල”

“එතකොට ඔයා කියන්න ඕව් කියල. උඹලටත් ඕනනං අම්මව තියා ගෙන එහෙම කරපල්ල කියන්න”

“හැබැයි රජෝ මං හොඳටම දන්න දෙයක් තියෙනව”

එතෙක් නිහඬ ව උන් ආච්චා හඬ අවදි කළා ය. සියලු දෙනා ගේ ම ඇස් ඇය වෙත යොමු වෙන්නට ඇත.

“මට පෙන්ෂන් එකක් එහෙම තිබුණනං මගෙ පුතණ්ඩියල ටික මාව උං ළඟ තියා ගන්න පොරකයි”

“නොතිබුණ එකමයි හොඳ ආච්චා. මොකටද පෙන්ෂන්. ළමයි හැදුවනෙ. දැං උං ඔයාව බලා ගන්න ඕනෙ. මං කසාද බැඳල වෙනම ගෙයක් අරං යන දාන ආච්චාවත් එක්කං යන්නෙ”

ඒ ලොකු අයියා නිකං මූණිච්චාවට කී කතාවක් නොවේ. හදවතින් ම කී එකකි. ඔහු ට එය කරන්නට හැකි වේදැයි නිශ්චිත ව කිව නො හැක. ඔහු ගේ අනාගත බිරිඳ ආච්චා කෙනෙකුටත් සලකන්නට කැමති වේ යයි බලාපොරොත්තු විය යුතු ද? ආච්චා ගේ ලේලිවරුන් පවා එය නො කර ඉන්නට ම තැත් දරනා එකේ, තවම කවුද කියාවත් නො දන්නා ලොකයියා ගේ බිරිඳ වෙතින් එවැන්නක් කෙසේ බලාපොරොත්තු වන්නද?

“නෑ. නෑ. ආච්චා අපිත් එක්ක හිටපුදෙං”

මම ලොකු අයියා ගේ පිටට ගසමින් කීවෙමි. ඔහු මගේ කොණ්ඩයෙන් ඇද්දේ ය.

“ඇයි උඹ බැඳල යනකොට ආච්චාවත් එක්කං යන්නද…”

“එහෙම කරන්නත් පුළුවන් තමයි. බඳින්න එකෙක් නැතුව මිසක්”

මගේ කතාවට ලොකු අයියා හඬ නගා හිනැහුණේ ය. අම්මා නිකටෙහි අතක් ගසා ගත්තා ය. ඇය තවමත් කියන්නට ලැජ්ජා වන දේවල් මා සේ ම නංගී ද කිසිදු ගාණක් නැතිව පිරිස අතරේ වුව කියනා එක ගැන ගැන අම්මා නිතර ම පුදුම වෙයි.

“සනූටත් හම්බ වෙයි තාත්තා වගේ ම හිත හොඳ කොල්ලෙක්. අඩමානයක් නෑ සනූ කැමති වෙන්නෙ එහෙම කොල්ලෙක්ට තමයි”

ආච්චා මා කෙරෙහි විශ්වාසයෙන් යුතුව කීවා ය. වහා ම මසිත් හි ඇඳී ගියේ රවීන් ගේ රුවයි. 

“ඕන කෙල්ලෙක්ගෙ හිතේ ඇඳිල තියෙන්නෙ තමන්ගෙ තාත්තට සමාන පිරිමි රූපයක්. හැඩහුරුකමින් විතරක් නෙවෙයි ගතිගුණ වලින් පවා. ඉතින් ටිකක් හරි ඒ රූපෙට ලං වෙන්න පුළුවන් කෙනෙක්ට තමයි ගෑනු හිතක කැමැත්තක් ඇති වෙන්නෙ”

රවීන් හා තාත්තා ව මම සසඳා බැලුවෙමි. ඔවුන් දෙදෙනා ගේ ඇස් කන් නාස් වල වන සමානකම් ගැන හිතුවෙමි. ගතිගුණ අතින් නම් රවීන් තාත්තා සේ ම උසස් තැනක තැබිය හැක්කෙක් බව මේ වන විටත් මට පසක් වී තිබේ!

රාත්‍රියට වැඩ නිම කර රූපවාහිනීයේ ටෙලිනාට්‍ය පෙරහැර දමා ගැනීම අම්මා ගේ සිරිත ය. මසා නිම කරන්නට කන්දක් තරම් රෙදි තිබුණත්, ඇය ටෙලි නාට්‍ය ටික නො බලා ඉන්නේ නැත.

“මං ඉතිං විනෝදෙකටයි කියල කරන්නෙ ඔය පැය දෙක තුන ඕක බලන එක විතරනෙ”

ටෙලි නාට්‍ය වල යන ඇතැම් දෙබස් වලට මා හා නංගී සිනහ වෙත්දී අම්මා එසේ කියයි. වැඩ වැඩි නම් ඇය මැෂිම ළඟ හිඳ ඇඳුම් මසමින් ම ඒ බලයි. 

නාට්‍යයේ ඊළඟට වන්නට නියමිත සිදුවීම ගැන අනාවැකි කීම ඇය නාට්‍ය නැරඹීමටත් වඩා සතුටෙන් කරනා දෙයකි. කාලයක් තිස්සේ ටෙලි නාටක නැරඹීම නිසා ම ඇය විශේෂයෙන් ඒ හැකියාව ලබා ඇතැයි මම සිතමි.

“අපරාදෙ…අමමට තියෙන්නෙ ඇඳුම් මහන්නෙ නැතුව ස්ක්‍රිප්ට් එකක් ලියන්න ගන්න. මොන හැකියාවක්ද දෙයියනේ මේ හංගගෙන ඉන්නෙ…කැලේ පිපිල කැලේම පරවෙලා යන්න දෙන්නෙ නෑ. මං අම්මව හොඳ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් කරනව”

එතකොට නංගී විහිළු කරයි. අම්මා නෑසුනා සේ රූපවාහිනිය දෙස ම බලා සිටී. 

රාත්‍රියට අම්මා රූපවාහිනිය දමා ගත් පසු අප එක එක්කෙනා සිටින්නේ තම තමන්ගේ වන ලෝක වල ය. තාත්තා බොහෝ විට ඒ වෙලාවට රාත්‍රී පන්ති නිසා ගෙදර නැත. රැකියාවන් කරන බොහෝ දෙනෙකු තාත්තා ගෙන් ඉංග්‍රීසි උගන්නේ රාත්‍රී කාලයේ ය. කැමති සින්දුවක් යූ ටියුබ් වලින් සොයා ගෙන, ඉයර් ෆෝන් ගසා ගෙන ඒ අසමින් ම නංගී පාඩම් කරයි. ඒ විදිහට පාඩම් කරන්නට මට නම් සිතා ගන්නටවත් නුපුළුවන. නමුත් ඇය එසේ කරයි. 

එවන් රාත්‍රියක ගෙදර ස්ලැබ් එක මත්තට වී රාත්‍රිය දෙස බලා හිඳීම මා මහත් ආශාවකින් කරනා දෙයකි. වත්තේ ගෙවල් හයේ ද, ඊට ඔබ්බෙන් ඈතට ඈතට වන ගෙවල් වල ද විදුලි එළි යායක් එතැනට දිස් වේ. එක එක ගෙවල් වල රූපවාහිනී වල දමා තිබෙන්නේ වෙන වෙන නාලිකා ය. ඒ සියලු හඬවල් මිශ්‍ර වී නැගෙන ඝෝෂාව කනට අමිහිරි වී ද, නෙතට හසු වන දර්ශනය මට ඒ අමිහිර අමතක කරයි. 

ලොකු අයියලා ගේ ගෙදර ඉස්තෝප්පු කාමරයෙන් රවීන් පිටතට පැමිණියේ ය. ඒ ඉස්තෝප්පුවේත්, අපේ කොංක්‍රීට් තලාවේ සවි කරන ලද කණුවකත් දැල්වෙන විදුලි පහන් නිසා මා ඔහු ව දුටුවා සේ ම ඔහු මා ව ද දුටුයේ ය. අපේ සිව් නෙත් එක රේඛාවක සමපාත වී අප අප ව දුටුවා යි දැනුණ ගමන් මම සිනහවකින් විකසිත වී ගෙන ඔහු ට යන්තම් අත වැනුවෙමි. රවීන් ගේ මුහුණේ සිනහවක් පිපෙනවා ඒ ඈතට වුව මට දැක ගත හැකි විය. ඔහු මුහුණේ ඉරියව් වලින් , මා කරන්නේ මොනවා දැයි ඇසුවේ ය. ඊළඟ නිමේශයේ දුරකතනය ගෙන එදෙස බලා සිටියේ ය. වට බැම්ම මත තැබූ මගේ දුරකතනය හැඬවිණි. 

“හෙලෝ…”

“මොකද ඔතන කරන්නෙ…”

ඒ රවීන් බව මට පැහැදිලි වූයේ තත්පර දෙක තුනක් කල්පනා කරමින් සිටියදී ය.

“ඔ…යා..ද…”

“ඇයි කවුරු කියලද හිතුවෙ…”

“කොහොමද මගෙ ෆෝන් නම්බර් එක හම්බ වුණේ…”

ඔහු පිළිතුරක් නොදී සිනහ වුණේ ය. ඉඳහිට තරුවක් කොකම් පානා මේ සව්මිය වූ රාත්‍රියේ ඒ සිනහව මගේ හදවතේ කර්ණිකා කෝෂිකා අතරේ තදින් තෙරපෙනු මට දැනිණ. 

“ඕනකමක් තියෙනවනං ඒක හොයා ගන්න ඒ තරං අමාරුද…”

සංස්ථානික මහා ධමනිය හැකිලී, සිරුර පුරා රුධිර සංසරණය එක මොහොතකට නතර වූවා සේ ය. පපුවේ කොහේ හෝ තැනෙක රිදුමක් ඇති විය. මම පෙනහලු පිරෙන සේ ලොකු හුස්මක් හෙමිහිට ගත්තෙමි.

“මලිත්ගෙ ෆෝන් එකේ තිබිල ගත්තෙ”

ඔහු කී දෙයින් මට යම් අපහසුතාවයක් දැනිණි නම් එය වහා සමනය කරනු වස් ඔහු ඉක්මන් කොට කීවේ ය.

“එතකොට…එදා කිරි දානෙ දවසෙ…ලොකයියගෙ ෆෝන් එකෙන් මට රිං කළේ…”

“ඔයා ඒක මතක තියං හිටිය නේද…”

“සමහර දේවල් එහෙම තමයි. හරි චූටි දේවල් තමයි. ඒත් ඒව අමුතු විදිහකට දැනෙනව. එතකොට මතකේ නතර වෙනව…බලෙං මතක තියා ගත්තෙ නැති වුණත්”

මීට පෙර කවදාවත් පිරිමියෙකු සමගින් එහෙව් සියුම් වූ කතාවක් කියන්නට තරම් මා එඩිතර වී නැත. රවීන් ගේ පැත්ත දිගු නිහඬතාවයකට පිළිපන්නේ ය. මොනවා කියන්න දැයි ඔහු ට හිතා ගන්නට බැරි වෙන්නට ඇත.

“එතකොට එදා…මුළු දවස පුරාම එළියටවත් එන්නෙ නැතුව නිදා ගත්තෙ මොකද කියල මතකද දන්නෑ නේ…”

දිගු වූ තත්පර කිහිපයකට පසු  හෙතෙම නිහැඬියාව බින්දේ ය.

“මතකයි”

ලොකු හුස්මක් ගැනීමෙන් පසු, ඒ හුස්මේ කෙලවර මම ඉතා හෙමිහිට මිමිණුවෙමි. ඒ අකුරු හතර අතරේ, තරුණ ගැහැනු ළමයෙකු ගේ හැඟීම් ප්‍රකෝටි ගණනක් පටලැවී තියෙන්නට ඇත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles