මතක දිගහැරුම 83 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අසූ තුන්වන දිගහැරුම ,

නංගීගේ විවාහ මංගල උත්සවය ඉතා සාර්ථකව , බලාපොරොත්තු වූවාටත් වඩා හොදින් නිමා කර ගැනීමට ලැබීම මගේ දෙමව්පියන්ට විශාල සහනයක් විය.ඔවුන්ගේ සිත තුළ තිබුණු සිහිනයක් එසේ ඉෂ්ට වීම පිළිබඳව ඔවුන් තුළ පැවතියේ විශාල සතුටකි.නංගිගේ මධුසමයෙන් පසුව අපද ඔවුන් සමග විවිධ ප්‍රදේශ වල සංචාරය කළෙමු.විවාහයෙන් පසුව නංගි ඇගේ සැමියා වන චින්තක සමග පදිංචි වූයේ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේය.ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ චින්තක විසින් ඉතා සුන්දර භූ නිවසක් නිර්මාණය කර තිබුණේය .කෙසේ හෝ ඉන්පසුව අම්මාත් තාත්තාත් හෝමාගම පිහිටි ඔවුන්ගේ නිවසේ තනි වූ අතර ඔවුන්ට අප නැති පාලුව බොහෝ සේ දැනෙන්නට ඇතැයි මා සිතමි.නංගි සහ මා පදිංචි වී සිටින නිවෙස් වලට නිතර නිතර ඔවුන් පැමිණියේ ඒ පාළුව මකා ගැනීමට විය යුතුය.කුඩා කල සිටම අප දෙදෙනාව දෑස මෙන් රැක ගත් ඔවුන් දෙදෙනා ජීවිත කාලය පුරාම ඒ ආදරය නොඅඩුව ලබා දුන්හ.

හෂාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසුව ඔහුගේ මනස වෙනතකට යොමු කිරීමට අපට වුවමනා විය.කතරගම පිහිටි ඉඩමේ නවාතැනක් සකස් කිරීමට තීරණය කළ අප එම කාර්යය සඳහා එම ඉඩම වෙත ගියෙමු.එය අප කා හටත් වෙනමම අත්දැකීමක් විය.අප ඉඩමේ එක මායිමක යාල ජාතික වනෝද්‍යානය පිහිටා තිබුණි.අතහැර දමා තිබූ ඉඩම් වූ ඒවායේ බැලූ බැලූ අත දක්නට තිබුණේ විශාල කැලයක් පමණි.කතරගම සිතුල්පව්ව පාරේ කිලෝ මීටරයක් පමණ යන විට දක්නට ලැබෙන එම ඝන වනාන්තරය තුළ පැහැදිලි පාරක් ලෙස දක්නට ලැබුණේ සිතුල්පව්ව වෙත යන පාරය.අපගේ නවාතැන ජීවත්වීමට සුදුසු ලෙස සකස්කර ගැනීමට වුවමනා නිසා අප එහි යන විට අපගේ මිතුරන් කිහිප දෙනෙකුද කැටුව ගියෙමු.පරිසරයට කිසිදු හානියක් හෝ වෙනසක් නොවන පරිදි අපට සුදුසු නවාතැනක් සකස්කර ගැනීම අපගේ අරමුණ විය.ඉඩම තුළ වූ ලදු කැලෑව අප, මිනිසුන් යොදවා සුද්ධ පවිත්‍ර කළේ අනෙක් ගස් කොළන් වලට හානි නොවන පරිදි ය .

එම ප්‍රදේශයේ තුළ අනවසරයෙන් පතල් හෑරීම නිසා ඇති වූ විශාල වලවල් විය.එම වලවල් වැසීම සඳහා වෙනමම පරිශ්‍රමයක් දැරීමට සහ මුදල් වියදම් කිරීමට අපට සිදු වුණි.ඊට අමතරව අනවසරයෙන් ගස් කැපීම නිසා ඉතිරි වූ විශාල ගස් වල මුල් වාහන ගමන් කිරීමට පවා බාධා පැනවීය.එම නිසා අප විසින් ඒවා ද ඉවත් කළ යුතු විය.මා මගේ ජීවිත කාලය තුළදී දුටුව භයානකම සර්පයන් වර්ග දුටුවේ එම කාලය තුළ දී ය.සුදු නයින් , පිඹුරන් , පොළඟුන් සහ නාග මාපිලුන් වැනි සර්ප විශේෂ රාශියක් මා දුටුවෙමි.අපගේ එම ඉඩමට ඇතුළු වන ස්ථානයේ විශාල වලක් තිබුණු අතර එය බොහෝ වෙලාවට ජලයෙන් පිරී තිබුණි.එම නිසා අලි ඇතුන් ස්නානය කිරීම සඳහා ඒ ස්ථානය වෙත පැමිණියහ.විවිධ කුරුලු විශේෂ , මුවන් ,නරින් වැනි විවිධාකාර සතුන් බොහෝමයක් අපගේ ඉඩමට පැමිණීම අපට දිනපතාම පාහේ දක්නට ලැබෙන සුලභ දසුනක් විය.අපගේ නවාතැන ඉදි කිරීම් කටයුතු සිදුකරන කාලයෙ අප ඉඩමේ කූඩාරම් ගසාගෙන , ගිනිමැල දල්වාගෙන සිටියෙමු.එපමණක් නොව ආහාර පිසීම සඳහා අප තාවකාලික මඩුවක මුළුතැන්ගෙයක් ද සකස් කර ගත්තෙමු.එම ප්‍රදේශයේ පවතින අධික සුළං තත්ත්වය නිසා අප දල්වන ලිප නිවී යන බැවින් එම මඩුව වටා අප පැදුරු වලින් ආවරණය කළෙමු.දිනක් අප වෙනුවෙන් ආහාර පිසින පුද්ගලයා ආහාර පිසිමින් සිටින අතරතුරදී මර හඬ දී කෑගැසුවේය.අප වහ වහා එම ස්ථානයට ගොස් බලන විට ඔහු ආහාර පිසිමින් සිටින අතරතුර ඔහුගේ දෙපා මතින් සර්පයෙකු ගමන්කර තිබීම නිසා ඔහු බියට පත්වී තිබුණි.

දිනපතාම උදෑසන අප අවදි වන්නේ විවිධ වූ සතුන්ගේ හඬවල් මධ්‍යයේය.එය ඇත්ත වශයෙන්ම අප සියලු දෙනාටම අතිශය සුන්දර අත්දැකීමක් බවට පත් විය.සමහර දිනවල අප රාත්‍රියේ නිදා සිටින විට අලි ඇතුන් පැමිණ ගස් වල අතු කඩන හඬද අපට ඇසුණි. ඇතැම් විට කෑදැත්තන් රංචු පිටින් පැමිණ ගස් වල වසා සිටිති.වතුර ලබා ගැනීම සඳහා අප ළිඳක් කපා මෝටරයක් සවි කළෙමු.එම මෝටරය සවි කිරීම සඳහා කුඩා කාමරයක් වැන්නක් අප සකස් කළ අතර වැහිලිහිණියන් පැමිණ ඒ තුළ කූඩු තනා තිබුණි.එය වියළි කලාපයක් බැවින් අප කැපූ ළිඳෙන් වතුර ලබා ගැනීම ද මහත් අපහසු කාර්යයක් විය.

අප ඉඩමට ආසන්නයේ අපගේ ළඟම හිතවතෙකු වූ ” ඔස්කා අයියා ” ගේ නිවස පිහිටා තිබුණි.අපගේ නවාතැන සකස් කරන කාලයේදී ඔහු විශාල වශයෙන් අපට උදව් උපකාර කළේය.එම ප්‍රදේශය පුරාවටම නිවසක් ඉදිකර තිබුණේ ඔහු පමණය.අවශ්‍ය වූ විට රාත්‍රිය ගත කිරීම සඳහාත් , වැසිකිළි පහසුකම් සඳහාත් ඔහු විසින් ඔහුගේ නිවසේ අපට පහසුකම් සලසා දුන්නේය.එම ප්‍රදේශයේ ඇත්තේ කිවුල් ජලය නිසා ආහාර පිසීමට සහ පානය කිරීමට අප බෝතල් කළ ජලය රැගෙන ගියෙමු.ඉඩමට ආසන්නයේ පිහිටා තිබූ වෙල් යාය මධ්‍යයේ ළිඳක් තිබුනි.මමත් කාලයේ දී ස්නානය කිරීම සඳහා අප සියලු දෙනාම එම ළිඳ වෙත ගියෙමු.එම ළිඳ අසල පොල් අතු සෙවිලි කළ මඩුවක් වූ අතර හරක් පට්ටි දක්කාගෙන එන විවිධ මිනිසුන් එම ස්ථානයේ වාඩි ගසාගෙන නවාතැන් ගැනීමට පුරුදු වී සිටියහ.එසේ පැමිණි පිරිසකින් එක් අයෙක් අප වෙත පැමිණ අලුත් මුට්ටියක් ඔවුන් වෙත ලබා දීමට හැකි නම් මීකිරි සකස් කර දිය හැකි බව පැවසුවේය.පසුදින නගරය වෙත ගිය අප අලුත් මුට්ටියක් මිලදී ගෙන විත් ඔවුන්ට ලබා දුන්නෙමු.පසුදින උදෑසන ඔවුන් අප වෙත නැවුම් මී කිරි හට්ටියක් ගෙනැවිත් දුන් අතර මගේ ජීවිත කාලය තුළ මා රස විඳි රසවත්ම මීකිරි ඒවා විය.ඉන්පසු දිගින් දිගටම එම පිරිස සිටින විට ඔවුන් අපට මී කිරි සකස් කර දුන්හ.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles