වියෝව.

මා මහගෙදරට ගොඩවූයේ මසකට පමණ පසුවය.විශ්‍රාම ගිය තාත්තා ඉස්තෝප්පුවේ වාඩි වී පොතක් හෝ පත්තරයක් කියවමින් සිටින දර්ශනය දැන් අපට අරුමයක් නොවේ.

” නාලක ආවේ නැද්ද මේධා ? “

තාත්තා අසන්නේ සුපුරුදු කරුණාවෙන් ය

” එයා අදත් වැඩ තාත්තේ. හවස් වෙලා එහෙමම එනවා කිවුවා . කෝ අම්මා ?”

” අන්න කුස්සියේ. දුව එනවා කිව්වම ඉතින් දුව ආස කෑම හදනව ඇරෙන්න එයාට වෙන වැඩක් නැහැනෙ “

සාලය පසු කරන විට පොලොස් ඇඹුල ක සුවඳ මගේ නාසයට දැනෙන්නට විය.අහලක වත් නොතිබුණු බඩගින්නක් දැනෙන්නට වූයේ ඒ සමගම ය.කොළඹට වී දඩිබිඩියේ උයාගන්නා කෑමකට වඩා අම්මාගේ අත් ගුණය මුසු කෑම වටිනා බව දැනෙන්නේ දැන් ය .

” ඔයා එන්න කලින් උයලා ඉවර කරන්න හැදුවට බැරිවුනා නේ මැනිකේ “

” මමත් අම්මට උදව් කරන්නම් “

මා ලිප ළඟ බැම්මට හේත්තු වූයේ පොළොස් ඇඹුලේ සුවඳට ඉව අල්ලමිනි.

” ඔයාට කරන්න දෙයක් නැහැ. ඒක විතරයි ලිපේ තියෙන්නේ, අනිත් ඒවා හදල ඉවරයි “

අම්මා කීවේ කේතලයට වතුර පුරවමිනි

” නාලක හවස් වෙලා එයි අම්මේ “

” අදයි හෙටයි මෙහෙ ඉන්නවා නේද ? “

අම්මගේ ඇස් වෙනදාට වඩා දීප්තිමත් යැයි මට සිතෙන්නෙ මගේ පැමිණීම අම්මා කොහොමටත් බලාපොරොත්තු වන නිසාය.

” එක දිගට වැඩ කරලා මහන්සි නිසා තමයි අපි දවසක් දෙකක් මෙහෙ ඉන්නවා කියලා හිතුවේ.ට්‍රිප් එකක් වත් යන්න බැහැනෙ අම්මේ මේ දවස් වල “

” ඔය තැන් තැන් වල යනවට වඩා මෙහෙ ආපු ඒක නම් හොඳයි. තාත්තයි මායි මග බලාගෙන හිටියේ “

අම්මා සකස් කර දුන් දුන් දමන තේ කෝප්ප දෙක රැගෙන මා ඉස්තෝප්පුවට පැමිණියෙමි.තේ එකක් තාත්තා අතට දුන් මා පඩිය උඩ වාඩි වුයෙමි

” මම අම්මට කොච්චරවත් කියනවා උදව්වට කාවහරි අඬ ගහගන්න කියලා .දැන් එයා මහන්සි උනා ඇති කියලා කිව්වට අහන්නෙම නැහැ “

තාත්තා කීවේ නෝක්කාඩුවක ස්වරයෙනි. ජීවිතයේ කිසිම දවසක රැකියාවක් නොකල අම්මා අප කුඩා කල සිටම අංශුමාත්‍රයක තරම්වත් අඩුවක් නොකර නිවසේ වැඩ සියල්ලක්ම මෙන්ම අපගේ කටයුතුද නොපිරිහෙලා ඉටු කළාය

” අද උදෙත් අම්මා පපුව කැක්කුමයි කිව්වා “

තාත්තා එකවරම කී දෙයින් මා තරමක් බියට පත් වුණෙමි

” අම්මා මට කිව්වේ වත් නැහැනේ “

” එයා කියන්නේ නැහැ මැනිකේ. ලෙඩකට බෙහෙතක් වත් ගන්න යන්න කැමති මනුස්සයෙක් නෙමෙයි නේ එයා”

” එහෙම කියලා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැනේ තාත්තේ. නිකන් පපුව රිදෙන්නේ නැහැනේ “

” ඔයාවත් අහලා බලන්න අම්මගෙන්. කීප දවසක්ම පපුව කැක්කුමයි කියලා කියනවා. කොළඹ හොද දොස්තර කෙනෙක් ඉන්නවනම් අම්මව පෙන්නමු ද අහන්න ඔයා එනකන් හිටියේ මම “

අම්මාත් තාත්තාත් අතර වයස් පරතරය අවුරුදු දහයක් විය.ඒ නිසාම ඇය තාත්තාට බොහෝ ගෞරව කළා මෙන්ම ඔවුන් දෙදෙනා උස් හඬින් කතා කරනවා පවා මා හට කිසිම දිනක ඇසී නැත. ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කිරීමේ ආසාව මා තුළ උපන්නේ ද අම්මා සහ තාත්තා අතර ඇති ආදරය සහ ගෞරවය දැකීමෙනි

” නාලක එනකොට රෑ වෙනවා කිව්වද ? “

අම්මා ඉස්තෝප්පුවට ආවේ එසේ අසන ගමන් ය

” අද කලින් එන්නං කියලා කිව්වා අම්මේ.එතකොට පැයක් හමාරක් යනකොට මෙහාට එන්න පුලුවන්නෙ “

අම්මා මා ළගින් වාඩි වී මගේ හිස පුරා ඇඟිලිතුඩු යැව්වාය

” කොන්ඩෙ ගොරෝසු වෙලා. තෙල් ගාන්නේ නැද්ද ?”

” ඉඳහිට ගානවා.ඉස්සර අම්මා ගානවා වගේ නම් ගාන්න හම්බ වෙන්නේ නැහැ”

අම්මා හදිසියේම හුන් තැනින් නැගිට ගියේ තෙල් බෝතලය රැගෙන එන්නට බව ඉවෙන් මෙන් මට වැටහිනි

” එයා තාමත් හැමතිස්සේම වද වෙන්නේ අපි ගැන “

තාත්තා හීන් හඬින් කීවේය.තෙල් බෝතලය රැගෙන ආ අම්මා මෑත කාලය වන තුරුම කළ ආකාරයට තෙල් ගාමින් මගේ හිස පිරිමැද්දාය.

කාලයකට පසුව අප තිදෙනා එකම කෑම මේසයක වාඩි වී අම්මාගේ ආහාරවල රස බැලුවෙමු. කුඩා කල පටන් අප එක් රැස් කළ මතක අවුස්සමින් සිනාසෙමින් ගතකළ ඒ හෝරා කීපය ඇත්ත වශයෙන් ම රසවත් විය. නාලක මහ ගෙදරට ගොඩ වූයේ අඳුර වැටෙන්න ආසන්නව තිබියදී ය.තමන්ගේ කුසින් වැදූ පුතෙකුට මෙන් අම්මා මෙන්ම තාත්තාත් නාලකට සැලකීම මා හට සැනසීමක් විය

” මම අල්මාරිය අස් කරනකොට දෝණිගේ චූටි කාලේ ඇල්බම් වගයක් හම්බවුණා.යන්කො පුතාට ඒ ටික පෙන්වන්න “

අම්මා නාලකගෙ අතින් අල්ලාගෙන සාලයේ වාඩිවී මගේ කුඩා කල ඡායාරූප පෙන්වමින් මහ හඬින් හිනැහුනාය.ඇය වෙනදාටත් වඩා සන්තෝසෙන් කල් ගෙවන වග මට දැනුණේ ඇගේ ඒ හිනාව ඇසෙද්දීය

රාත්‍රී ආහාරයෙන් පසුව නාලකත් මමත් මගේ කාමරයට වී ආගිය තොරතුරු කතා කරමින් සිටින අතර තාත්තා කාමරයේ දොරට තට්ටු කළේ ” මැනිකේ ” කියමින් ය

” අම්මාව ඉස්පිරිතාලෙට අරගෙන යමුද ?”

තාත්තගේ දෑස්වල තැවරි ඇති බිය මා වඩාත් බියට පත් කරන්නට සමත් වුණි.මා කලබලයෙන් අම්මා සිටින කාමරයට දිව ගියෙමි.ඇඳේ වැතිරී සිටි අම්මා දෑස් පියා ගෙන සිටියේ අපහසුවෙන් හුස්ම ගනිමිනි

” මේ පොඩි පපුවේ කැක්කුමක්. තෙල් ටිකක් ගෑවාම හරි යයි “

අම්මා එවදන් කීවේ ද අපහසුවෙනි.අම්මාගේ කීම නොසලකා හැරි මා ඉක්මනින් ගමන් මල්ලක් ගෙන ඇගේ ඇඳුම් කිහිපයක් සූදානම් කර ගත්තෙමි

පැය බාගයක් වැනි කෙටි කාලයක් තුළ අප අම්මාව රෝහලට රැගෙන ආවෙමු. හදිසි ප්‍රතිකාර අංශයේ සිට දැඩි සත්කාර ඒකකයට අම්මාව මාරු කරන විට මගේ දෙපා පණ නැති වී යනු මට දැනුනි. දැඩි සත්කාර ඒකකයේ දොරටුව අසල සිටින තාත්තා වරින්වර සුසුම් හෙලන හඬ රාත්‍රියේ පැවති නිහඬ පරිසරය අතරින් මට ඇසුණි

දැඩි සත්කාර ඒකකයේ සිට පිටතට පැමිණෙන හෙදියන්ගෙන් හරි හැටි විස්තරයක් දැන ගත නොහැකි වූ තැන මා වඩාත් කලබලයට පත් වුණෙමි.මගේ පැමිණීමෙන් පසුව සතුටට පත්වී සිටි අම්මාගේ සිනහව මගේ සවන් තුළ දෝංකාර දෙන්නට විය.

” ඔයා නාලක එක්ක ගෙදර යන්න මැණිකේ. මම අම්ම ගාව ඉන්නම්.ඔයාලා හෙට උදේ එන්න “

තාත්තා පැමිණ එසේ කී නමුත් අම්මාව නොපෙනෙන මානයකට යෑමට හිත හදා ගැනීමට මට හැකි වූයේ නැත.පැය එකහමාරක පමණ කාලයකට පසුව දැඩි සත්කාර ඒකකයෙන් පිටතට වෛද්‍යවරයකු පැමිණියේය

” අපි කරන්න පුළුවන් හැමදේම කළා.ගොඩක් කණගාටුයි “

ඔහු කීවේ එපමණකි.තාත්තා දැඩි සත්කාර ඒකකය අසල වූ පුටුවක වාඩි වන අයුරුත් මා නාලක වෙත වාරු වන අයුරුත් පමණක් මට මතකය.

අම්මාගේ මළගමට ගමේ බොහෝ දෙනෙක් සහභාගි විය.කාගේත් හිත් වල හොඳ මතක පමණක් ඉතිරි කළ ඇය වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්නට දිවා රෑ නොබලා බොහෝදෙනා පැමිණියහ. ජීවිතයේ අවසාන කාලය දක්වාම ඉතා ආදරයෙන් සහ සහයෝගයෙන් කාලය ගත කළ නිසා අම්මාගේ වියෝව තාත්තා කෙසේ දරා ගනු ඇති දැයි මට සිතාගත නොහැකි විය

එක දිගට නිදි වැරීම නිසා වෙහෙසට පත්වූ මා මදක් විවේක ගැනීම පිණිස කාමරයට පැමිණියේ පාන්දර තුන පමණ වන විටය.අම්මා සමග ගත කිරීමට ඇති අවසාන පැය කිහිපය කාමරයට වී ගත කිරීම අපරාධයක් යැයි සිතුනු බැවින් මා නැවත සාලයට පැමිණියෙමි.

තාත්තා අම්මාගේ දේහය වටා ඇවිදින අයුරු මා දුටුවේ එවිටය.මගේ දෙපා එතැනම නතර විය.අම්මාගේ දේහයෙ දෙපා ළඟ නැවතුනු තාත්තා තමාටත් වඩා වසර දහයකින් බාල වූ අම්මාගේ දෙපා ස්පර්ශ කර වැන්දේය

” ජීවිත කාලෙම මාව බලා ගත්තට ඔයාට පිං හාමිනෙ “

එසේ කියූ තාත්තා දිගු සුසුමක් මුදා හැරියේය. හැඬුම් අලුත් වන බව දැනුනු නිසාවෙන් මා වහාම කාමරයට දිව ගියෙමි.

More Stories

Don't Miss


Latest Articles