මල් පිපුණිද හිම කැළයේ – 36

0
6474

සිල්වියා නිලංගා තනිකොට ගත්තේ මාලිකාගේ විවාහයෙන් සතියකට පමණ පසුය.ස්ටීව් කෙතෙක් බය නොවන්නැයි පැවසුවද මොනයම් මොහොතක හෝ මෙම අවස්ථාව ලඟා වන බව නිලංගා දැනසිටියාය.ස්ටීව් විදෙස් හමුවක් වෙනුවෙන් ග්‍රීසිය බලා ගොස් තිබිණ.ඔහු නිවසට දින ගණනකට නොපැමිණෙන බව සිල්වියා දැන සිටියාය.

“නෙලී..ඉඳගන්න…”
සිල්වියා ආයාසයෙන් මුවට නංවා ගත් සිනහවෙන් යුතුව පැවසුවාය. නිලංගා ඇය ඉදිරිපස අසුනේ ඉඳගත්තාය.තමා ඉදිරිපස ඉඳගෙන සිටිනා රුවැති යුවතිය දෙස සිල්වියා මොහොතක් බලා උන්නාය.මනසින් ස්ටීව් ඇයගේ පසෙකින් තබා සිතූවිට ඔවුන් දෙදෙනා තරම් ගැලපෙන යුවලක් නැතිතරම් ය.අනෙක් අතට  ස්ටීව් ගතවූ සියලු කාලයට වඩා සතුටින් සිටියි.එයට හේතුව නෙලී බව සිල්වියා අනුමාන කළාය.

“නෙලී, මට ඇත්තම කියන්න.ඔයායි ස්ටීව්යි අතරේ එෆයාර් එකක්…අයි මීන් ෆිසිකල් රිලේශන්ශිප් එකක් හරි පොරොන්දු වීමක් හරි..මොකක් හරි…තියද?”
නිලංගා තිගැස්සුණාය.ස්ටීව් තමාහටත් තමා ස්ටීව්හටත් ඇත්තේ නමක් දිය නොහැකි බැඳීමක් බව මේ තැනැත්තියට කෙසේ පවසන්නද? නිලංගා සුසුමක් හෙළා හිස දෙපසට සැලුවාය.අංගචලනයෙන් කෙසේ වුවද ඒ සුසුමේ යමක් ඇති බව නොතේරෙන්නට සිල්වියා නොදරුවකු නොවේ.එහෙත් මේ මොහොතේදී ඇය එවන් සුසුමක් ඔස්සේ සංවේදී වන මනසකින් නොසිටියාය.

“නෙලී දන්නෙ නැතුව ඇති ලෝරාව මම ස්ටීව්ට ප්‍රොපෝස් කළේ  අවුරුදු ගණනකට කලින්..ස්ටීව්ගේ ඩැඩී ඉන්න කාළේ…අපි ලඟම ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා.ස්ටීව් ඇත්තෙන්ම ලෝරාට අකමැත්තක් පෙන්නුවෙ නෑ ඉස්සර.ඒත් ලෝරා ගෙ ගර්භාෂයෙ පොඩි ප්‍රශ්නයක් එක්ක එයාගෙ බොඩි ශේප් එක වෙනස් වුණා.මම දන්නවා ස්ටීව් වගෙ කෙනෙක්ට ඒ වගෙ පෙනුම එක්ක පොඩි ප්‍රශ්නයක් තියනවා.ඒත් මට දැන් දීපු වචනෙ වෙනස් කරන්න බෑ.මේ මෙලාගේ බ්‍රයන්ගේ වෙඩින් එකෙන් පස්සෙ ස්ටීව්ගෙ වෙඩින් එක මම ගන්න ඕනෙ…”
සිල්වියා ක්ලිෆර්ඩ් කියවාගෙන ගියාය.

“මැඩම් මේවා මාත් එක්ක කියන එකේ වැඩක් ඇති කියලා මට හිතෙන්නෙ නෑ…ස්ටීව්යි මායි ක්ලෝස් යාලුවෝ බවට පත්වුණ එක ඇත්ත. ඒත් ස්ටීව්ගේ පර්සනල් ලයිෆ් එකේ තීරණ ගන්න ඕනෙ ස්ටීව් නෙ මැඩම්…”
නිලංගා නොපැකිලවම පැවසුවාය.

“ඔව් ..ඒක ඇත්ත…ඒත් ඒ ක්ලෝස් යාලුකම නිසා මේකට බාධාවක් වෙන බව මට පේනවා. අන්න ඒ නිසයි මට ඔයාගෙන් උදව් ඕනවෙන්නෙ.ඔයා දන්නවා…ඔයාට ගොඩක්ම අමාරු කාළෙක මම මෙලාගේ තනි වචනෙට ඔයාව මෙහෙට අම්මව බලාගන්න ගත්තා.ඒ ඔයාව ට්‍රස්ට් කරලා.ඔයාගෙන් ඒ දේ හිතුවටත් වඩා හොඳට උනා.ඒක ඇත්ත.නමුත් මෙවෙලේ මට ඔයා ඒ උදව්වට ප්‍රතිඋපකාරයක් කරන්න ඕනෙ.”
සිල්වියා අඩක් ඉල්ලිමක්ද අඩක් අණක්ද ලෙසින් පැවසුවාය.
නිලංගා කිසිවක්ම නොකියා හිස ඔසවා සිල්වියා දෙස බැලුවාය.

“මං කැමතියි ඔයා මෙහෙන් යනවා නම්.අම්මා ඔයාව යවන්න කැමති නෑ…ඒත්..දැන් අම්මාට සනීපයි.එයා තනියම වැඩ කරගන්නවා.එලියට යනවා..එයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා මීට් වෙන්න යනවා…ඉතින් ඔයා තවදුරටත් එයාගේ කෙයාරර් වෙන්න ඕනෙ නෑ. නමුත් එයා ඔයා මත ඉමෝශනලි ඩිපෙන්ඩන්ට්. ඔයාම මෙහෙන් යනවා මිසක එයා මට ඔයාව යවන්න දෙන්නෙ නෑ..”

සිල්වියා ක්ලිෆර්ඩ් සිය සැබෑ ස්වරූපය නිලංගා හමුවේ දිගහැර පාමින් උන්නාය.නිලංගා කලකිරීම මුසු හැඟීමකින් ඇයගේ වදන් යළි මෙනෙහි කළාය.තමන්ගේ කටයුතු කෙසේ හෝ සම්පූර්ණ වූ පසු තවදුරටත් අනෙකා ගැන ඔවුන් සිතන්නේ නැත.

“ඔයාට මම මාස තුනක සැලරි එක දෙනවා.මේ වෙලාවේ මෙලායි බ්‍රයනුයි ඉන්නෙ රටෙන් පිට.ස්ටීව්ත් නෑ.ඔයාට මේ ඩිසිෂන් එක ගන්න පහසුම වෙලාව මේක නෙලී.මේක අම්මා කෙනෙක් ඉල්ලන උදව්වක්. ඔයාට ඒක තේරුම් ගන්න පුලුවන්නෙ..ඔයා මෙහෙන් යන්න.මාස තුනක් ඇතුළත ඔයාට අලුත් ස්පොන්සර්ශිප් එකක් හොයාගන්න පුලුවන් වෙන්නත් මම උදව් කරන්නම්…”
සිල්වියා ඇය අතවූ සියළු තුරුම්පු නිලංගා වෙත මුදාහැරියාය.

කිසිත් නොකියාම නිලංගා අසුනෙන් නැගී උන්නාය.සිල්වියා ක්ලිෆර්ඩ් සිය සැලසුම සාර්ථක වීමේ සතුටින් සිනාසුණාය.නිලංගා සිය කාමරයේ ජනේලය අසළට ඇවිද ගියාය.සිතේ ඇතිව තිබෙන්නේ එසේ මෙසේ කම්පනයක් නම් නොවේ.ජනේලයෙන් ඈත පෙනෙනා සිත නිවන්නාවූ ඉසව්ව මින් පසු තමාහට අයිති නොවනු ඇත.එම දසුන බොහෝ හුදෙකලා රාත්‍රීන් වලදී තම සිත නිවූ බව ඇය යළිත් මෙනෙහි කළාය.ඉන් පසු ඇවිදවිත් සයනයේ වැතිරගත්තාය.ජංගම දුරකතනයේ ඇති සේයාරූ එකින් එක නැරඹුවාය.My favorite ලෙසින් නම් කළ ෆෝල්ඩරය විවෘත කොට ගෙන එහි සේයාරූ එකින් එක නැරඹුවාය.බ්ලූබෙල් බලන්නට ගිය දා ස්ටීව්ගේ සේයාරුවෙන් ඇරඹුණ ඒ ෆෝල්ඩරයේ ඔවුන් දෙදෙනාගේ සේයාරූ බොහොමයක් විය.ඇතැම් ඒවා සෙල්ෆී වර්ගයේය.ස්ටීව්ගේ අනුදැනුම ඇතිව ගත් ඒවාය.විකාරරූපී ඉරියව් මුහුණේ මවමින් ගත් ඒවාය.මාලිකාගේ විවාහ මංගල්‍යයේ සිත්ගත් සේයාරූ සමූහයක්ද ඔවුන් දෙදෙනාම නොදැන ගත් ඇතැම් සේයාරු ද එහිවිය.

ගැටලුකාරී තත්වයට තුඩුදුන් සිය පාවහන ස්ටීව් සකසන සේයාරුව මෙන්ම එදා තුරු සෙවනක් යටදී තමා වැටෙන්නට ගිය මොහොතේ ඔහු අල්ලාගත් මොහොතේ සමීප රුවක්ද ස්ටීව්හට ඡායාරූප ශිල්පියා පෞද්ගලීකව එවා තිබුණි.අවසාන සේයාරුව දෙස නිලංගා මොහොතක් බලා උන්නාය.ඒ මොහොතේ ඔහුගේ දෑස්වල තිබුණේ කිසිදා නොකියවූ හැඟීමකි.එවන්ම හැඟීමක් තමා තුළද ඇතිවෙමින් තිබුණා නොවේදැයි නිලංගා සිතුවාය.ඒ ආදරයද එසේත් නොමැති නම් නමක් දිය නොහැකි අන්දමේ බැඳීමක හැඟීමක්දැයි ඇය නොදත්තාය.

චරිත ගලප්පත්ති තමා හැරගිය දා තමා නොහැඬුවා නොවේ.ඒ හැඬීම සිය ජීවිතයේ තවත් එක් අහිමි වීමක් වෙනුවෙන් මෙන්ම සියලුම දෙනා ගැන ඇතිවූ කළකිරීමකිනි.එහෙත් එය ළය කකියවන හැඟීමක්ව එදා දැනුනේ නැත.අද මේ දැනෙන්නේ ළය අභ්‍යන්තරය සීරී යනවාක් මෙන් වේදනාකාරී හැඟීමකි.එම වේදනාව තමන් තුළ ඇතිවන්නේ හුදෙක් තමා අරභයාමද එසේත් නැතහොත් ස්ටීව් වෙනුවෙන් දැයි ඇයට තෝරා බේරා ගන්නට නොහැකිය.

පිළිගන්නට කැමති අකමැති වුවද තමා ස්ටීව්හට ඒක පාර්ශ්වීය ප්‍රේමයක බැඳී ඇති බව අවසානයේ නිලංගා වටහා ගත්තාය. ස්ටීව් සිය ජීවිතයේ කාන්තාවන් ලෙස ආදරය කළේ මේරි මැඩම්හට පමණි.ඔහු ඉන් ඔබ්බට සුහදතාවයකින් මෙලාටද පෝලාටද සැලකුවද බොහෝ සෙයින් සුහදව හැඟීම් විවෘත කළේ තමාහට පමණි.එහෙත් ඒ ඇසුර සමීප මිත්‍රත්වයක සීමාවේ රැඳී තිබුණි.ලෝරා සහ සිල්වියා ඇතිකළ ගැටලුවේදී වත් ඔහු සැලුණේ නැත. සියල්ල තමා බලාගන්නා බව පවසා උන්නා පමණි.

ඔහු ධනයෙන් ආඪ්‍ය පුද්ගලයෙකි.සමාජයේ ඉහළ තලයක සිටිනා සාර්ථක ව්‍යාපාරිකයෙකි.ඒ අතින් බැලුවිට තමා ඔහුගේ මිත්තණිය බලාගන්නට පැමිණි රැකබලා ගන්නියකි.සමාජ තත්වය අතින් අහසට පොළව මෙන් සිටිනා දෙදෙනෙකුගේ නොපෑහීම කෙබඳුදැයි සිල්වියා තමා සමගින් කළ කතාබහේදී මැනවින් පැහැදිළි කළාය.රුව සහ ගුණ යනු මුදල් සහ සමාජ තත්වයට වඩා පහත එකකැයි ඇය දැනුම් මට්ටමින් විග්‍රහ කරමින් උන්නාය.නිලංගා ඒ සියල්ලට පසුව සිය ඒක පාර්ශ්වික ප්‍රේමයේ  අස්ථාවරත්වය බිඳුණු සිතින් දරාගත්තාය.

ඉතින් මේ කිසිවක් මාලිකා සහ බ්‍රයන් සමග පවසන්නට නොහැක.වසර දෙකක කාළයක තමා සැලකිය යුතු අන්දමේ මුදල් ඉතිරියක් දරන්නේ ඔවුන් නිසාය.එකම ගැටලුව මාලිකාගේ  ලංකාවේ දී සිදුවන විවාහයට තමාගේ දායකත්වයක් දෙන්නට නොහැකි වේ දැයි ඇතිවන සැකයයි.මේ සියලු විස්තර මාලිකා හට පවසන්නට ගියහොත් වන්නේ ඇය සිල්වියා මැඩම් සමගින් වාදයක පැටලී නෑදෑ සබඳකම් පවා පළුදුවීමය.තමා සම්බන්ධව මාලිකා අහිතක් සිතුවද මේ අවස්ථාවේ එය තරාදියේ ඇත්තේ අඩුබර පැත්තටය.

ස්ටීව් සම්බන්ධව සිතන්නට සිතන්නට ළයේ රිදුමක් ඇතිවී දෑසට කඳුලු අලුත් වෙයි.ලෝරා ඔහුට පෙනුමෙන් නොගැලපෙන මුත් ඔහුට ගැලපෙන මට්ටමේ රුව ඇති සමාජ මට්ටම ගැලපෙන පවුලකින් කෙනෙකු ඔහුට සොයාදෙන්නට තමාහට හැකියැයි සිල්වියා තව දුරටත් පැවසුවාය.සමාජ මට්ටම යන සාධකය ඇය පුන පුනා ඉස්මතු කළේ තමා ඉන්නා සමාජ තළය පෙන්වන්නට බව නිලංගා වටහා ගත්තාය.

හරිහමන් දෙමවුපියන් නැති, කියන්නට තරම් ධනයක් දේපලක් නැති ,නෑදෑයෙක් පවුලක් නැති තමා වැන්නියක මේ ලෝකයේ අයිති වන්නේ කොතැනකටදැයි ඇය ශෝකයෙන් යුතුව සිතුවාය.

නන්දා මාලිනිය ගයන…
“ඔබහට පෙම්කළ යුගය නිමාකොට
නික්මී යන්නට දවස පැමිණ ඇත…සමාව දෙන් මට සෙනෙහෙ සිතින්….”
ගී රාවය ඇයගේ සිතේ කොණක ඉතා ශෝකී ස්වරයෙන් ගැයෙනු අසා නිලංගා ඉකිබිඳිමින් හැඬුවාය.

නින්දත් නොනින්දත් අතරේ උන් නිලංගා ඇහැරගත්තේ දුරකතනය කම්පනය වන හඬිනි. එහි ඇමතුමේ උන්නේ ස්ටීව්ය.ඇමතුම වීඩියෝ ඇමතුමක් නොවූ හෙයින් නිලංගා එයට සම්බන්ධ වූවාය.

“නෙලී කොහොමද ? ආවත් හරි මෙහෙ මාරම බිසි වුනානෙ..කොහොමද ඉතින් විස්තර?”
ස්ටීව් පසුගිය දින කිහිපයේම ඔහු කාර්‍ය බහුල බව පවසා කෙටි පණිවිඩ කිහිපයක් එවා තිබුණි.

“වරදක් නෑ ස්ටීව් ඔක්කොම හොඳින්…”
නිලංගා ආයාසයෙන් හඬ අවදිකළාය.හැඬුමෙන් කටහඬේ වෙනස ඔහු වටහාගන්නට ඇතිබව ඇය ඊලඟ මොහොතේ අත්වින්දාය.

“නෙලී, ආ යූ ඕකේ…කටහඬ වෙනස් ඇයි..?අසනීපෙන්ද?”
ස්ටීව් කලබලයෙන් විමසුවේය.නිලංගා බිය වූයේ ඊලඟ මොහොතේ වීඩියෝ ඇමතුමක් ඒ දැයි අනුමාන කොටය.

“නෑ නෑ ස්ටීව්…මම හවස නෑවා..නාලා එහෙම්ම ඇඳට වැටුණා..නින්දක් ගියා…නහය දැන් බරවෙලා…ඒකයි..”
නිලංගා සිය දෑසින් යළි අලුත්වන කඳුලක් පිසලමින් පැවසුවාය.

“ඕක තමා කියන දෙයක් අහන්න කියන්නෙ.ඔය පණ්ඩිත කම හැමදාම ඔහොමනෙ…අයෑම් සොරි නෙලී හෙට මීටින් එක ගැන කතාකරගන්න කෝල් එකක් එනවා…කැච් යූ ලේටර්..ටේක් කෙයා ඕකේ …?”
ස්ටීව් සිය ඇමතුම කලබලයෙන් නිමාකළේය.නිමා කරන්නට පෙර බෙහෙත් මොනවා හෝ බීමට තරවටුවක් ද කළේය.නිලංගා දුරකතනය පසෙක ලා ඉකිගසමින් හැඬුවාය.

ඒ මොහොතේම මේරි මර්ෆිගේ කාමරයේ සීනුව නාදවිය.නිදහසේ හඬන්නට වත් සිය ඉරණම ඉඩ නොදෙනාකාරය ගැන සිතමින් නිලංගා වහා සයනයෙන් නැගිටගත්තාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here