මල්සර හී සර – 24

0
1793

“ඒත් මේ අපේ සංගමේ විතරක් පුතාට මදිවෙයි කියල හිතල මම තව යාලුවෙක්ටත් එන්න කිව්වා” කියල තාත්ත කියද්දි තමන්වත් දන්නෙ නැති ඒ යාලුව කවුද කියන එක සප්තමීටත් ලොකුවටම ප්‍රශ්නයක් වුණා. අම්මගෙන් “ඒ කවුද?” කියලා ඇස් දෙකෙන් අහන්න පුලුවන්කම තිබ්බට මේ සුමල් අයියයි සමුද්‍රයි දෙන්නම ඇවිල්ලා ඉන්න වෙලේ ඒ මිනිස්සු දෙන්න තමන්ගෙ ගෙදරට ආව මුල්ම දවසෙ ඒ වගේ නාඩගමක් නටන්න සප්තමී ඉතින් හිතුවෙ නෑ. 

“මං ඒත් කල්පනා කරා මේ අපි වගේ නාකි ඩයල් එක්ක ඉතින් කතා කර කර ඉන්නවට වඩා මේ ළමයි ආස ඇතිනෙ තමන් තව දන්න තරුණ කෙල්ලෙක් එක්ක එහෙම කතාකරන්න” කියල තාත්ත හිනාවෙවී කතාකරද්දි තමයි ගෙදර දොර බෙල් එක වැදෙනවා ඇහුවේ. තාත්තම හිනාවෙවී ගිය හන්ද සප්තමී උන්නු තැනම හිටගෙන උන්න වගේම සප්තමීගෙ ඇස් වල පැටලිච්ච සමුද්‍රගෙ ඇස් ඇහුවෙත් සප්තමීගෙ හිත අස්සෙ වද දුන්න ප්‍රශ්නෙම තමයි. “කවුද ඒ ආවෙ?” කියන එක. 

මාලවීට සප්තමීලගෙ තාත්තව හම්බුනේ එදා දවාලෙ ඒ මනුස්සය අයිස් ක්‍රීම් භාජනයක් දාපු බෑග් එකක් උස්සගෙන ස්කීම් එක පල්ලෙහ කඩේට ගිහින් එනවා දකිද්දි. සප්තමීගෙ තාත්ත කොහොමත් දකින තැන හිනාවෙල කතා බහ කරන මනුස්සය හන්දා මාලවී කට පුරා හිනාවෙලා අංකල් ගෙන් ඇහුවා “ආහ් අංකල් මේ දවාලෙ කොහෙද ගියේ?”

“අද මේ අපේ ගෙදරට අමුත්තො වගයක් එනවනේ. දූට කිව්වෙ නැද්ද අපේ එක්කෙනා?” කියල අංකල් අහද්දි අංකල් මේ අපේ එක්කෙනා කියලා ඇඩ්‍රස් කරන්නෙ සප්තමීවද එහෙමත් නැත්තම් සප්තමීගෙ අම්මවද කියලා හිතාගන්න බැරුව තමයි මාලවී පොඩ්ඩක් විතර කල්පනා කරේ.

“අපේ එක්කෙනා කිව්වෙ අංකල්?”

“අපේ කෙල්ල පුතේ, පුතාලා දෙන්නම දන්න කෙනෙක්නෙ එන්න. අර ඔයාලා රඟපාන ටෙලි නාට්‍ය කරන මනුස්සයා”

“කවුද වසන්තද?” කියල අහන ගමන් මාලවී ඒ තප්පර ගානටම වසන්තට හිතෙන් බැන්න එක තමයි කරේ. වසන්ත තමන් එක්ක කතා කරන විදියටම තමන්ව රවට්ටනගමන් සප්තමී එක්කත් හිත හොඳකම් පවත්වාගෙන යනවා ඇති කියන සැකේ මාලවීගෙ හිත අස්සෙ පත්තු කලේ එසේ මෙසේ ගින්නක් නම් නෙවෙයි.

“නෑ නෑ පුතා, අර සමුද්‍ර කියන මහත්තයා” කියල සප්තමීගෙ තාත්තා කියද්දි මාලවීගෙ හිත අස්සට ප්‍රශ්න දෙකක් ආවා. පලවෙනි එක තමයි “සමුද්‍ර කොහොමද මෙහෙම ගෙදර යන්න එන්න තරම් සප්තමීලගෙ තාත්තලව එහෙම අඳුරන්නෙ කොහොමද?” කියන එක. දෙවනි ප්‍රශ්නෙ වුණේ “සමුද්‍ර අද ගෙදර එන විත්තිය සප්තමී ඇයි තමන්ට නොකිව්වෙ?” කියන එක. ඔය දෙවනි ප්‍රශ්නෙ තමයි ඇත්තටම සප්තමීගේ ඔලුවට ලොකුවටම වද දුන්න එක. සප්තමී සමුද්‍ර අතරෙ මොකක් හරි තමුන් නොදන්න තමුන්  නොදැක්ක, නොතේරෙන දෙයක් එහෙට මෙහෙට වෙනවද කියන එක හිත අස්සෙ වද දුන්නත් ඒ කිසිම දෙයක් එලියට පෙන්නන්නෙ නැතුව නෝමල් එකේ සප්තමීගෙ තාත්තා එක්ක එවෙලෙ කතා කරන එක මාලවීට මහ ලොකු අමාරුවක් උනේ නෑ. පුරුදු වෙන්න රඟපානවය. කොහොමත් නිළියොනෙ.

“ආහ් අංකල් කොහොමද අඳුරන්නෙ සමුද්‍රව? එයානෙ අපේ ටෙලි ඩ්‍රාමා එකට සල්ලි දාන්නෙ”

“අන්න හරි, අර සප්තමී මුලින් රඟපාන්න එන්න බෑ කිව්වම ඒ මනුස්සයනෙ කතා කරල පෙරැත්ත කරලා ඔය වැඩේට කැමති කරවගත්තෙ. අපි මේ දියතට ගිය වෙලේ හම්බුවෙලා ගෙදෙට්ටම ඇරලෙව්වා. මං ඉතින් එවෙලෙ තේකක් බීල යන්න එන්න කිව්වට ආවෙ පස්සෙ දවසක කාලා යන්නම එන්නම් කිව්ව. ඔන්න අද මෙහෙ එනව කියල කිව්වා රෑ කෑමට. පුතත් අඳුරනවනෙ ඒ මහත්තයව. අම්මා එක්ක එන්න අද එහෙ රෑකෑමට මං ඇන්ටිට කියන්නම් ඔයාලටත් එක්කම මොනාහරි හදන්න කියලා” සප්තමීගේ තාත්තම අදහස කියල, ඒ අදහස සම්මත කරයින් පස්සෙ ඉතින් මාලවීට කරන්න තිබ්බෙ ඔලුව වනවා හා කියන එක විතරයි. මාලවීලගෙ ගෙදර මිනිස්සු දෙන්නා රෑ කෑමට සහභාගි වෙනව කියල දැනගෙන උන්නට ඒක ආයෙ අමුතුවෙන් සප්තමීට කියන්න අම්මටවත් තාත්තටවත් මතක් නොවිච්ච හන්දා තමා අන්තිම වෙලාව වෙනකම් සප්තමී දැනගෙන උන්නෙ නැත්තෙ මාලවීත් එන විත්තිය. 

ගෙදර දොරෙන් ඇතුලට ආව මාලවීගෙ ඇස් බැල්ම මුලින්ම සෙටියෙ වාඩිවෙලා උන්නු සමුද්‍ර දිහාවට ගිහින් ඉන් පස්සෙ කෙලින්ම තමන් දිහාවට එල්ලවෙද්දි සප්තමීගෙ ඇස් ඉබේටම වගේ පල්ලෙහට හැරුනෙ වරදක් කරල අම්මට අහුවෙච්ච පොඩි එකෙක්ගෙ ඇස් බිමට බරවෙනවා වගේ. හිතේ එක පැත්තක් “බිම බලාගන්න උඹ මාලවීට වරදක් කරලා නෑනෙ” කියල කිව්වට තමන්ටම තේරෙන්නෙ නැති වැරදිකාර හැඟීමකින් තමන්ව බය කරගෙන ඉන්න විත්තිය තමා සප්තමීට තේරුණේ. 

“කොහොමද සර්? එදා අපෙ ගෙදර ඇවිත් යන වෙලාවෙවත් නිකමට කිව්වෙ නෑනෙ අපේ මේ ජයබාහු අයියලව අඳුරන විත්තිය” කියල වෙච්ච මෙලෝ දෙයක් නොදන්න කාන්තිලතා කතා කරගෙන එද්දි සප්තමීගෙ අම්මයි තාත්තයි වෙච්ච ජයබාහු නෝනයි මහත්තයි දෙන්න මූණට මූණ බලාගත්තෙ මොකද්ද මේ කලින් ඇවිත් ගිය කතාව කියලා. ඔය වචනෙ මාලවීගෙ අම්මගෙ කටෙන් පැන්න ගමන් සමුද්‍ර කලේ සප්තමීගෙ මව් දෙමව්පියො දිහාව බලපු එක. ඒ දෙන්න මූණට මූණ බලාගන්නව දැක්කම තමා සමුද්‍රට හිතුනෙ “කෙලියා තාප්පෙට” කියලා. ඒ හන්දම කට ඉස්සර කරලා වෙච්ච දේ කියන්න ගියාට මොකෝ සමුද්‍රට කලින් ඉස්සර උනේ කාන්තිලතා.

“අයියල දන්නෙ නැතුව ඇති. දැන් සති දෙකකට කලින් මේ මහත්තය අපෙ ගෙදර ආවනෙ අපෙ එක්කෙනා එක්ක කතා බහ කරල යන්න. අනේ මන්දන්නෙ නෑ චොකලටුයි කේකුයි මහ ගොඩක් ජාති උස්සන් ආවෙ. ඒ ඇවිත් ගියාට පස්සෙත් මං ඒත් මාලවී ගෙන් ඇහුව ශූටින් වෙලාවෙදිවත් ඉන්පස්සෙ මහත්තය කතා කරාද කියල. අද මේ මහත්තය මෙහෙ එනව කියල මෙයා මට ඇවිත් කියනකම් මම දැනගෙන හිටියෙ නෑනෙ” කිය කිය මාලවීගෙ අම්මල තමනුයි සුමලුයි වාඩිවෙලා උන්න සෙටිය ඉස්සරහ සෙටියෙන් වාඩිවෙද්දි සමුද්‍රට කරන්න පුලුවන් වෙච්ච එකම දේ බොරු හිනාවක් මූණෙ අලවගෙන “ඔව් තාම මේ ආව විතරනෙ, කතා කරන්න උනේ නෑ” කියලා කියන එක. ඒක ඇහුවම සුමල් නම් ඒත් හීන් සැරේ සමුද්‍රගෙ කනට ලං කරලා කිව්වෙ “දැන් නම් කතා කරලා වැඩක් නැති පාටයි සුද්දා” කියලා. 

කතාව පටන් ගත්තෙම නිකන් අවුල් තැනකින් හන්ද මාලවී, මාලවීගෙ අම්මා, තාත්තා, සමුද්‍ර, සුමල් එක්ක කතා කරන්න පටන් ගත්ත තැන ඉඳන් ඒ සතුටු සාමිචියට එක්කහු වෙන්න පුලුවන්කමක් තිබ්බෙ නැති හන්ද තමයි සප්තමී අම්මා එක්ක කුස්සියට ඇවිල්ලා කට්ටියට බොන්න දෙහි බීම හදන්න හිතුවෙ. 

“ඔයා දැනගෙන හිටියද ඒ ළමයා ඔය කලින් දවසක මාලවීලගෙ ගෙදර ආව කියන එක?” අම්මා ඇහුවෙ දෙහි මිරිකන ගමන්. ඒ වෙලාවෙ සප්තමී උන්නෙ කබඩ් එකෙන් එලියට අරගෙන හෝදලා ට්‍රේක උඩින් තියල තිබුන කෝප්ප වල රැඳිල තිබිච්ච වතුර බින්දු සර්වියට් එකකින් පිහිදාන එක. දෙහි මිරිකන ගමන් ඇඹුල් අතගගා උන්නු හන්දද මන්දා අම්මගෙ මූන තිබ්බෙ ඇඹුල් වෙලා, අන්ධකාර වෙලා විත්තිය දැක්කට ඒ ඇඹුලට, අන්ධකාරෙට හේතුව මොකද්ද කියන එක සප්තමීට තේරුම්ගන්න පුලුවන් උනේ නෑ.

“ඔව් මාලවී මට කිව්ව ඊටපස්සෙන්ද”

“ඔයා මට කිව්වෙවත් නෑනෙ”

“මං ඉතින් ඒක එහෙම කියන්න ඕන කියල හිතුවෙ නෑ” කියල සප්තමී දියාරුවට කියාගෙන ආවට මොකෝ අම්මා නම් උන්නෙ ඒ කතාවට එහෙම ලේසියෙන් දියාරු වෙලා යන්න දෙන්න නෙවෙයි.

“ඔය විත්තිය ඔයා මට නිකමට හරි කලින් කියල තිබ්බ නම් මම කීයටවත් එදා ඒ මනුස්සයගෙ වාහනේ එන්නෙවත්, තාත්තට ඒ මනුස්සයට රෑට කෑමට අඬගහන්න ඉඩ දෙන්නෙත් නෑ. ඔයත් මෙතන දැන් මුකුත් දන්නෙ නෑ වගේ හිටියට එදා දියතෙදි එකපාර ඒ මනුස්සයව හම්බුනේ ඔය දෙන්න කතා කරගෙනද කියන එකත් සැකයි මට” කියල අම්මා තරහෙන් නොඋනත් තදින් කියද්දිත් සප්තමී උන්නෙ ඇස්වල කඳුලු පුරවගෙන. 

“ඔය වැඩේට යන්න කලිනුත් මම කොච්චර නම් කිව්වද ඔය ටෙලි නාට්‍ය කාරයො ලස්සන කෙල්ලෙක් දැක්කම කාමරේට ගෙන්න ගන්නෙ කොහොමද බලාගෙන ඉන්නෙ කියල. ඔයාලා අපි කියන දෙයක් අහන්නෙ නෑනෙ. තාත්තගෙ බුරුල තමයි මේ ඔක්කොටම හේතුව. දැන් නිකන් බොරුවට මෙතන අඬන්න තියාගන්න එපා. හිතන්න එපා මට ඇහුනෙ නෑ කියලා එදා දියතෙ ඉඳන් ඒ මනුස්සයගෙ වාහනේ එද්දි දෙන්න කුටු කුටු ගාපු ඒවා” කියාගෙන අම්මා බීම වීදුරු තිබ්බ ට්‍රේ එක අරගෙන ඉස්සරහ පැත්තට යද්දිත් සප්තමී කලේ කුස්සියට වෙලා තක්බීර් වෙලා වගේ බලාගෙන උන්නු එක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here