සතුටු මන්තර 06

එසඳි ට බත් කැවීමෙන් පස්සේ සයුරංගනා ගේ අස් පස් කරන්නට පටන් ගත්තා ය. අවමංගල කටයුතු නිසා ආලින්දයේ තිබූ ගෘහ භාණ්ඩ බිත්ති අයින් වලට තල්ලු කොට මැද්දේ ඉඩ ලබා ගෙන තිබිණි. අවමංගල කටයුතු අවසාන වී සතියක් ගෙවී තිබිණි ද තවමත් ඒවා එහෙම ම ය. මේ විදිහට දකිත්දී හිතේ ඇති වන්නේ ම මූසල හැඟීමකි. ඒ මළසොහොන් පාළුව පළවා හැරීම මුලින් ම කළ යුතු යයි සයුරංගනා තීරණය කළා ය. බලා ගත් අත බලාගෙන හැඬූ කඳුළින් දවස ගෙව්වා කියා දැන් ගිම්හාන් ආයේ එන්නේ නැත. ඔහු එනවා නම් මුළු ජීවිතය ම වුව හඬමින් ගෙවා දමන්නට පුළුවන. සියල්ලට වඩා එසඳි ගේ ළපටි සිතට ජීවිතයේ මේ දුක්ඛිත බව බලපෑමක් වෙන්නට දිය යුතු නැත.

සයුරංගනා නැවත ද සෝෆා කට්ටලය පෙර සේ තැබුවා ය. කෝපි මේසයේ වීදුරුවට ග්ලාස් ක්ලීනර් ස්ප්‍රේ කොට හොඳින් පිසදැමුවා ය. මෙතෙක් ඒ මත තිබූ ගිම්හාන් ගේ සේයාරුව අතට ගෙන එහි පලන්දා තිබූ පර මල් මාලය ඉවත් කළා ය. පපුව දැවී යන දුකක් ඇතුළාන්තය කළඹවා ගෙන නැගී ආවේ ය. ගිම්හාන් සිනහ වී ගෙන බලා හිඳී. ඔහු මිය ගියා යි කොහොම විශ්වාස කරන්න ද? සයුරංගනා රාමු කළ පින්තූරය පපුවෙහි තුරුලු කොට ගත්තා ය. 

“මගෙ සුදු අම්ම අඬන්න එපා”

කම්මුල් දිගේ කඳුළු වැල් දෙකක් ගලමින් ඇති බව සයුරංගනා ට දැනුණේ එසඳි ළඟට විත් එහෙම කීවාට පස්සේ ය. 

“අපාචි ඉක්මනට එයි. එතකං මං ඔයා බලාගන්නංකො”

සයුරංගනා ගේ නිහඬ කඳුළ ඉකියක් බවට හැරුණේ නිමේශයෙනි. ඇය බිම දණ ගසා එක අතකින් පින්තූර රාමුව ද අනිත් අතින් එසඳි ව ද තුරුලු කොට ගත්තා ය.

“අපි අපිව බලාගමු පුතේ. අපාචි කොහේ හරි ඉඳං අපි දිහා බලං ඇති. එයා අපිට නරකක් වෙන්න දෙන එකක් නෑ”

එසඳි අම්මා ගේ අවුල් වූ හිස කේ එකලාස කළා ය. සයුරංගනා ගවුම් සායෙන් මුහුණ පිස දා ගත්තා ය. ඉඳ හිට කඳුළක් වැටෙනා එක නතර කළ නො හැකි වනු ඇත. නමුත් දැන් හඬා නො වැටී ජීවිතයට මූණ දෙන්නට ඇය හිත හදා ගෙන ඉවර ය. ඉදිරියට පියවර තැබිය යුත්තේ ශක්තිමත් ගැහැනියක ලෙස ය. දිරිය ගැහැනියක ලෙස ය. කිසිවෙකු වෙතින් කිසිවක් අයැද නො සිටින ගැහැනියක ලෙස ය. තමන් ගැන බලා ගත හැකි ගැහැනියක ලෙස ය. සැමියා ගේ අත් වාරුව නැති වුණත් ස්වෝත්සාහයෙන් නැගී සිටිනා ගැහැනියක ලෙස ය.

ඇය ගේ අතු ගා දමා මොප් කළා ය. 

“මළ ගෙදර උණුහුම ගියෙත් නෑ. ගෙවල් හැඩ කරනව මෙහෙ. මිනිස්සු දැක්කොත් ඕවට කතන්දර කියයි”

මෝටර් රථය බලන්නට ආ මිනිසුන් හිස් අතින් යවන්නට වීම ගැන පුපුරමින් සිටි තිලකා කොයි විදිහකින් හෝ ඒ තරහා ලේලිය පිටින් යවන්නට බැලුවා ය. නැන්දම්මා ගේ සිත මේ වෙලාවේ වටහා ගන්නට හැකි වූ නිසා ම සයුරංගනා කිසිත් කියන්නට ගියේ නැත. නමුත් තිලකා ගේ අදහස් මත ඇය කරමින් සිටි දේ වෙනස් කළේ ද නැත.

“මමත් හිත හිත හිටියෙ ගේ ටිකක් මොප් කරල දාන්න”

තිලකා ගේ චෝදනාව ඇසුණු නිසා ම ජයරත්න එසේ කීවේ සයුරංගනා හිත රිදවා ගනීවියි බියට ය. සිය බිරිඳ ට තිබෙන්නේ පිහියක් වාගේ තියුණු දිවක් බව කාලාන්තරයක් තිස්සේ ජයරත්න දනී. ඇයව වෙනස් කරන්නට  කාලයක් තිස්සේ දැරූ උත්සාහය පසුව ඔහු අත්හැර දැමුවේ ය. ගිම්හාන් අකාලයේ මිය යාම නිසා තවමත් යථා තත්වයට පත් නොවී හිඳිනා සයුරංගනා ගේ හිත පෑරෙන වචන නො කියා සිටින ලෙස මීට ටික වෙලාවකට පෙර ද ජයරත්න ඇයට අවවාද කළේ ය. නමුත් ඒ වචන ගඟට කැපු ඉණි සේ අපතේ ම ගොස් තිබේ.

“පහුගිය ටිකේ පෑගිල පෑගිල කිළුටු වෙලානෙ අප්පච්චි තියෙන්නෙ. එසඳිත් බිම ඉඳගන්නවනෙ”

“පොඩි එකී නිසා තමයි මාත් මොප් කරන්න ඕන කියල හිතුවෙ”

“මේ දුව මොන්ටිසෝරියට ගිහිං ආපු වෙලේ ඉඳන් වැඩ. තේ එකක්වත් හදන්නකො තිලකා”

තිලකා සැමියා දෙස රවා බලා ඉවත බලා ගත්තා ය. 

“මං දැං හදනව අප්පච්චි. මට විනාඩියක් දෙන්නකො”

එසැනෙන් සයුරංගනා වෙතින් පිළිතුර ආවේ ය. ආලින්දය මොප් කොට නිමා වෙන්නට තිබුණේ තව ස්වල්පයකි. ඇය මුළුතැන්ගෙට ගොස් විදුලි කේතලයට වතුර ගසා ආවා ය. ඉතිරි ටික මොප් කොට මොප් බකට් එකේ කිළිටි වතුර ගෙන ගොස් පිටුපස පයිප්පය ළඟ කානුවට හැළුවා ය. තේ පිළියෙල කරනා විට ඉස්සරහින් කටහඬ කිහිපයක් ඇසිණ. ඇය ආලින්දයට හිස පොවා බැලුවා ය. යශෝදර එසඳි වඩා ගෙන දොරකඩ සිටගෙන සිටියේ ය. ජයරත්න ද එතැන විය. ආලින්දයේ තැන් තැන් වල තවමත් තෙත ගතියක් තිබූ නිසා ඔහු ගෙට ගොඩ නොවී සිටියේ ය.

“ඇතුළට එන්න යශෝදර. දැන් බිම වේලිල. මං තේ හදාගෙන එන්නං”

එසඳි හිටියේ යශෝදර ගේ බෙල්ල බදා ගෙන ය. දින ගණනාවක් තිස්සේ අහිමි වී ගිය අප්පච්චි ගේ උණුහුම ඇය ඔහු වෙතින් වින්දා විය යුතු ය. ගිම්හාන් ජීවතුන් අතරේ සිටියදීත් යශෝදර දැරියට ආදරය පෑවේ ය. වඩා ගෙන සිටියේ ය. ලුණු ඔප්පු ගෙනිච්චේ ය. ඔහු ගේ ගෙදර තවමත් කිසිවෙකු විවාහ වී නැත. ඒ නිසා කුඩා දරුවන් ද නැත. යශෝදර ගේ හදවතේ දරුවන් ගැන වන ආදරය මුළුමනින් අයිති කර ගෙන සිටියේ එසඳි ය. ඇය ගේ සිනහව විඳින්නට ඔහු බෙහෙවින් ආශා වූයේ ය. ගිම්හාන් සමග හවසට වැඩ ඇරී පැමිණි විට සිය නිවසට යාමට පෙර ඔහු අනිවාර්යයෙන් ම එසඳි සිනහ ගැන්වෙන යමක් කළේ ය.

“ඔයා තාම අපාචිව එක්කං ආවෙ නෑනෙ”

දැරිය දුක්මුසු හුරතලයකින් අඩපාලි කීවා ය. යශෝදර ගේ පපුවට වේදනාත්මක බරක් දැනිණ. පාසල් සමයේ පටන් ඔහු ට වඩාත්ම සමීප ව උන් මිතුරා දැන් නැතැයි ඔහු නො සිතයි. ඔහු ට නො සිතෙයි.

“අපාචි එයි මැණික”

“ඔයා හැමදාම එයි එයි කියනව. ඒ උනාට තාම නෑනෙ”

“කෝ ඉතිං මගෙ පුතා යශෝදර අංකල්ට කරදර කරනවනෙ. අංකල්ට කියන්නකො අද ඉස්කෝලෙදි වෙච්ච දෙයක්. ආ…අද පුතා අම්මත් එක්ක සුපර් මාකට් එකේ ඇවිද්ද විස්තර කියන්නකො”

සයුරංගනා යශෝදරටත් එක්ක ම තේ හදා ගෙන පැමිණියා ය. සිය තේ කෝප්පයෙන් උගුරක් බිව් ගමන්,

“කටේ තියන්න බෑ සීනි. මෙහෙම සීනි බීල දියවැඩියාව හදා ගන්න තමයි වෙන්නෙ”

යනුවෙන් තිලකා චෝදනාවක් කළා ය. යශෝදර ද ජයරත්න ද තේ උගුරක් මුවට ගත්තේ එකට ම වාගේ ය. ඔවුන්ගේ ප්‍රතිචාර ලැබෙන තුරු සයුරංගනා ඇස් පිය නො සලා බලා සිටියා ය.

“මටනං එහෙම සීනි වැඩියක් නෑ. ගාණට තියනව”

ජයරත්න එසේ කී විට සයුරංගනා ගේ පපුවට සැනසිල්ලක් දැනිණ. යශෝදර ඇස් වලින් කීවේ ද සීනි වැඩි කමක් නැති බවට කතාවකි. 

“කහට තියනව අම්මෙ. අම්ම කැමති තරමකට දාගන්න”

සයුරංගනා එසේ කී විට  තිලකා කුස්සියට යනු වෙනුවට වැරැන්ඩාවට ගියා ය.

“මේ ගෙදර සීනි දානව වැඩී..තෙල් දානව වැඩී..මොකද ඉතිං ගෙදරට පහළ වෙන ඒව ඔහේ හලන්න විතරනෙ තියෙන්නෙ. ඊට පස්සෙ ඉතිං මැරෙනව දන්නෙත් නෑ. හනේ ඇත්තට කවද අහපු දේවල්ද මේ”

තිලකා තව දුරටත් කියවූවා ය. ඇගේ කතාව ගණනකට නො ගෙන යශෝදර වෙන කතාවක් පටන් ගත්තේ ය. 

“මට ඩ්‍රයිවිං ඉගෙන ගන්න ඕන යශෝදර. ඔයා දන්න හොඳ තැනක් තියනවද..”

අතර මගක දී සයුරංගනා කතාව වෙනම ම පැත්තකට හැරවූවා ය. යශෝදර ඇදෙස බැලුවේ මඳහසකිනි.

“මං ඔයාට කියන්න හිටියෙ ඕක. හොඳම තීරණයක් සයුරංගනා. මං දන්න ලේඩි කෙනෙක් ඉන්නව. එයා ගෙදරට ඇවිත් තමංගෙ කා එකම පුරුදු කරනව. මං එයාව කතා කරල දෙන්නං”

ගිම්හාන් ඉන්න කාලේ රිය පැදවීම පුරුදු කරවන්නැයි සයුරංගනා කීප වතාවක් ම ඔහු ට කියා තිබේ.

“මොකටද රංගි මං ඉන්නෙ ඩ්‍රයිව් කරන්න”

ඒ වෙලාවට ඔහු කීවේ එහෙම ය. 

“ගෙදර වාහනේකුත් තියන එකේ…ඔයාට හැම අතින් ම ලේසියි ඩ්‍රයිවින් ලයිසන්ස් ගන්න එක. අනික මේක ඔටෝ එකක්නෙ. හරි ලේසියි වැඩේ. ඔයා ඉක්මනටම අල්ලගනී”

යශෝදර ගේ වචන සයුරංගනා ගේ හිතට අමතර ධෛර්යයක් දුන්නේ ය. දැන් ඉතින් කොතැනකින් හෝ ජීවිතය නැවත පටන් ගත යුතුව තිබේ. සයුරංගනා ට තෘප්තිමත් හැඟීමක් දැනිණ. ගිම්හාන් ඉන්නා විට හැම දේ ම කළේ ඔහු ය. ඇගේ හදවතට දැනෙමින් තිබුණා වූ හිස්කම, ඇය නිකං ම නිකං ගැහැනියක යයි හැඟීමෙන් ඇති වූ එකක් බව පැහැදිලි වන්නේ ද දැන් ය. ඕනෑ ම මනුශ්‍යයෙකුට තමන් ගැන වටිනාකමක්, තෘප්තියක් දැනෙන්නේ ජීවත් වීම වෙනුවෙන් තමන්ගේ දායකත්වයක් ලැබෙනා විටදී ය. තමන් කැමති දෙයක් කරන්නට ලැබෙනා විටදී ය. විවාහ ජීවිතය තුළ දී සයුරංගනා ට සියල් පහසුකම් ලැබී අන්න ඒ අයිතිය අහිමි වී ගියේ ය. දැන් නැවතත් ඇයට ඇය ලෙස ජීවත් වීමේ අවස්ථාව අහම්බෙන් හිමි වී තිබේ.

පස දා උදයේ එසඳි ව පෙර පාසල් වෑන් රියට බාර දීමෙන් පස්සේ පාරමී එක්ක සයුරංගනා අසල්වැසි නිවෙස් වලට ගියා ය. ඒ ගිම්හාන් ගේ අවමංගල්‍යයේ දී ඔවුන් දැක්වූ සහයෝගයට ස්තූති කරන්නට ය. මීට පෙර ඇය එහෙම ගෙවල් වලට ගොස් කතා කරමින් ඉන්නේ නැත. පාරේදී දුටු විට සිනහ වී වචනයක් දෙකක් කතා කරනවා පමණකි. නමුත් ඇයට මුහුණ දෙන්නට සිදු වූ දරුණු ම ඛේදවාචකයේ දී හැම දේ ම සොයා බලා කළේ අසල්වැසියන් ය. මළ ගෙදරට පැමිණි සියලු ඥාති හිත මිතුරන්ට, දෙණ මිහිදන් කරන තුරාවට කෑම බීම සැපයූවේ ඔවුන් ය. අසල්‍වැසියන් කියන්නේ එහෙම මිනිසුන් ට ය. මතුවට ඇය ජීවත් විය යුත්තේ ඒ මිනිසුන් ගේ කරුණා දයාව සමගින් ය. ඒ නිසා හත් දවසේ දානයට ලැබුණ තෑගි බෝග වලින් කොටසක් ඔවුන් ට ගෙන යන්නට ඇය සූදානම් වූවා ය. නමුත් ලැබී තිබුණ ඒවායින් කොටසක් හෝ ගෙයි තිබුණේ නැත.

“ඔය තරං සීනි තේකොළ බිස්කට් විකුණන්නයැ. මං අපේ ළමයිංගෙ ගෙවල් වලට ගෙනියන්න කියල දාල දුන්න”

තිලකා නො රිස්සුමෙන් කීවා ය. සයුරංගනා කතා නොකර සිටියේ දුන් දෙයක් ගැන කතා කිරීම මිනිස්කමට  නිගාවක් වන නිසාවෙනි. නමුත් ගෙදර පාලනය මුලුමනින් සියතට ගත යුතු යයි ඒ වෙලාවේ ඇය තදින් සිතා ගත්තා ය.

“මහ ඇණයක් ඔය මනුස්සය. ඒ අතින් අංකල් කොච්චර හොඳද…මෙයාට අපිව දැක්කහමත් ඇහේ කටු ඇනෙනව වගේ. ඒකමයි අපේ අම්ම වැඩිය ඕගොල්ලොංගෙ ගෙවල් පැත්තට එන්නෙත් නැත්තෙ”

පාරමී කීවා ය. 

“ඒ වුණාට මට දැන් ඉන්නෙ ඕගොල්ලො විතරයි පාරි”

“හරි හරි. අපි ඔයාට නැති වෙන්නෑ. ඔයාට ඕන දේකට ඕන වෙලාවක අපි ඉන්නව. ඒ වුණාට අර මූණ බලන්නනං හිතෙන්නෑ අප්ප”

අසල්වැසි නිවෙස් සියල්ලට ගොස් ස්තූති කොට අවසාන වශයෙන් සයුරංගනා ගියේ යශෝදර ලා ගේ ගෙදරට ය. එහි ගෙන යන්නට සයුරංගනා මල්ලකට දමා ගත් පාර්සල දැක තිලකා නො සන්සුන් වූවා ය.

“ඔච්චර දේවල් මොකටද…ගෙදරට සීනි ටිකක්වත් ඉතුරු කර ගන්නැද්ද..”

එවර නම් සයුරංගනා ගේ ඉවසීම සීමාව ඉක්ම ගියේ ය. 

“අම්මෙ. මේ මිනිස්සු තමයි හැම දේටම හිටියෙ. තමන්ගෙ දෙයක් වගේ හැම දේම හොයල බලල කෙරුවෙත් තමන්ගෙ මිනිස්සු නෙවෙයි. ඒ මිනිස්සු. හරිනං මේ ලැබුණ දේවලින් බාගයක් දෙන්න ඕන ඒ ගෙදරට. කොහෙද මට කලින් සිහියක් තිබුන්නෑනෙ කලින් ම ඒව හොයල බලල කරන්න”

සයුරංගනා මල්ල ද ගෙන නැගී සිට ඉක්මන් ගමනින් ඉස්සරහා ට ගියා ය. නැන්දම්මා අත් දෙක ඉනේ ගසා ගෙන ඈ යන දෙස බලා සිටින්නට වූවා ය.

“එයාට ගිය ඩෝං බලාපල්ලකො. මුං ඔක්කොම එකතු වෙලාද කොහෙද මගෙ කොල්ලව නිකං අපරාදෙ මරාගත්තෙ. අනේ දෙයියනේ දෙයියො ඉන්නවනං මේව බලාගන්න ඕනෙ”

ඇගේ කටහඬ හැඬුම්බර වී තිබිණ.

💜️කතාව වෙනුවෙන් වචනයක් ලියා තියා යන, ඇඟිලි සලකුණක් හදවත් සලකුණක් තියා ආදරය ප්‍රකාශ කර යන ඔබට ආදරෙයි කිව යුතු ය. ගලේ කෙටුවා සේ ඔබේ නම් මගේ හදවතේ ලියැවී තිබේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles