හොඳ ආත්ම ශක්තියක් සහ විශ්වාසනීයත්වයක් ඇති කාන්තාවක් වෙන්න 

කාන්තාවක් කියන්නේ බොහොම ශක්තිමත් කෙනෙක්. බිරිඳක් , මවක් , මිතුරියක් සහ සහෝදරියක් ආදී වශයෙන් විවිධ භූමිකාවන් වලට පණ පොවන්නට කාන්තාවට හැකියාව තියෙනවා. ඉතින් තමා පිළිබඳවම විශ්වාසනීයත්වයක් ඇති ශක්තිමත් කාන්තාවක් වෙන්නේ කොහොමද? එවැනි කාන්තාවකගේ ලක්ෂණ මොනවද? ඒ ගැන අද අපි කතා කරමු.

දේවල් දැනගන්න

ඔබ නිරත වෙලා ඉන්න ක්ෂේත්‍රය මොකක් වුණත් , ඔබ නිරත වෙලා ඉන්න රැකියාව මොකක් වුණත් ඔබ ඒ පිළිබඳව හැදෑරීම නතර කළ යුතු නැහැ.ඔබ ඒ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන්නට නම් ඔබ ඒ ක්‍ෂේත්‍රය පිළිබඳව ඉතා හොඳ දැනුමක් ඇති අයෙකු විය යුතුයි. ඒ නිසා ඔබ කිසිවිටෙකත් ඔබේ ක්ෂේත්‍රය පිළිබඳව හැදෑරීම නතර කළ යුතු නැහැ. අධ්‍යාපනය කියන්නේ ඉතා හොඳ අවියක්. විශේෂයෙන්ම කාන්තාවකට සමාජය තුළ කිසිදු බියකින් හෝ අවිශ්වාසයකින් තොරව තමන්ගේ වෘත්තියේ නිරත වන්නට නම් ඒ පිළිබඳව හොඳ අධ්‍යාපනයක් සහ දැනුමක් තිබිය යුතුයි.

කුඩා ඉලක්ක වලින් පටන් ගන්න

ඔබට ඔබේ ජීවිතයේ ජයග්‍රහණ අත්කර ගැනීමට අවශ්‍ය නම් , විශාල ඉලක්ක කරා යාමට අවශ්‍ය නම් ඔබ කළ යුතු වන්නේ ඉතා කුඩා පියවරකින් පටන් ගැනීමයි.ඔබේ විශාල ඉලක්ක කරා යන ගමනට ඔබ එකවරම විශාල පියවරවල් තැබිය යුතු නැහැ. අවශ්‍ය වන්නේ එක් කුඩා ඉලක්කයකින් ආරම්භය ලබා ගැනීම පමණයි. එය ඔබට ජයග්‍රහණය කරා යාමට හොඳ අභිප්‍රේරණයක් සහ ධෛර්යයක් ලබා දෙනවා. 

අලුත් දේවල් උත්සාහ කරන්න 

ආත්ම විශ්වාසයකින් සහ විශ්වාසනීයත්වයකින් යුතු කාන්තාවක් නම් අලුත් දේවල් අත්හදා බැලීමට ඇති බිය ඔබ, ඔබ කෙරෙන් ඉවත් කර ගත යුතුයි. හොඳ ආත්ම විශ්වාසයකින් යුතු කාන්තාවක් අලුත් දේවල් ඉගෙන ගැනීමට, අලුත් දේවල් සොයා බැලීමට සහ නව මාන කරා යාමට ඉතා උද්යෝගයකින් පසුවනවා. මෙය ඔබේ රැකියාව පිළිබඳව අලුත් දෙයක් ඉගෙනීම , අලුත් භාෂාවක් ඉගෙන ගැනීම , අලුත් ආහාරයක් අත්හදා බැලීම වැනි ඕනෑම දෙයක් විය හැකියි.

ධනාත්මක භාෂාවක් හුරු වන්න

තමා පිළිබඳව හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන කාන්තාවක් කිසි විටකත් සෘණාත්මක හැඟීම් සමග ජීවත් වන්නේ නැහැ. අලුත් දේවල් කිරීමට තමාට ශක්තිය ඇති බව සහ ධනාත්මක දේවල් පිළිබඳව හොඳ හැඟීමක් ඇය සතුව තිබෙනවා. ඒ නිසා නිතරම ඔබට දේවල් කළ හැකි බව, ඔබ ශක්තිමත් බව සහ ඔබ ධනාත්මක බව  සිතන්න. එමගින් ඔබ වටා ඇති සෘණාත්මක බොහෝ දේවල් ඔබට මගහැරී යනු ඇත.

ස්වයං රැකවරණය පුහුණු කරන්න

කාන්තාවක් සෑම විටම තමාට ආදරය කළ යුතු වන අතර ස්වයං රැකවරණය පිළිබඳව නිතරම සැලකිලිමත් වනවා. ශාරීරික සහ මානසික වශයෙන් තමාව රැක බලා ගැනීම කාන්තාවකට අතිශයින්ම වැදගත් වන අතර කොතරම් කාර්ය බහුල වුවත් තමා කෙරෙහි වෙලාවක් වෙන් කර ගැනීමට කාන්තාවක් වශයෙන් උනන්දුවක් දැක්විය යුතුයි. තමා වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර වේලක් සකස් කර ගැනීම, ව්‍යායාම කිරීම, විනෝදාංශයක් වෙනුවෙන් වේලාව වෙන් කර ගැනීම , පවුලේ අය සමග හොඳ කාලයක් ගත කිරීම , චිත්‍රපටයක් නැරඹීමට යාම වැනි දේවල් ඔබට ඔබව සතුටින් තබා ගැනීම සඳහා කළ හැකියි.

ඔබේ කවය පිළිබඳව සැලකිලිමත් වන්න 

ඔබ සමීපව ඇසුරු කරන අයගේ මානසිකත්වය ඔබේ මානසිකත්වයට ද සෘජුවම බලපානවා. ඔබේ සමීපතම කවය තුළ සිටින්නන් තුළ ප්‍රිණාත්මක හැඟීම් තිබෙනවා නම් එය ඔබට සහ ඔබේ එදිනෙදා ජීවිතයට  සෘජුවම බලපානවා. ඒ නිසා ඔබේ සමීපතම කවය තුළ සිටින්නන් ජයග්‍රහණ ලබා ගැනීම කෙරෙහි උද්යෝගයෙන් සිටින , ධනාත්මක සිතුවිලි ඇති සහ ඔබව අගය කරන පුද්ගලයන් වන බවට වග බලා ගන්න.

ස්වාධීන වන්න

තමා තුළ හොඳ ආත්ම විශ්වාසයක් සහ තමා පිළිබඳව විශ්වාසයක් කාන්තාවක් කිසි විටක තවත් අයෙක් තමා වෙනුවෙන් දේවල් කරන තුරු බලා සිටින්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම කෙරෙහි , ජීවිතයේ ඉදිරියට යාම කෙරෙහි සහ තමා පිළිබඳව විශ්වාසනීයත්වය වැඩි කර ගැනීම කෙරෙහි සැලකිල්ලක් දක්වනවා. ස්වාධීන කාන්තාවක් සෑම විටම උත්සාහ කරන්නේ හොඳ ආත්ම විශ්වාසයකින් යුතු ජීවිතයක් ගත කිරීමටයි. මේ නිසා ඔවුන් කිසිවිටෙකත් අනෙකා මත යැපෙන්නේ නැහැ.

ඔබ අවට පරිසරය විශ්ලේෂණය කරන්න 

ඔබව පහතට ඇද දමන පරිසරයක් තුළ කිසි විටෙකත් ඔබට ඔබේ ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට හැකි වන්නේ නැහැ. එය ඔබේ රැකියා පරිසරය හෝ පවුල් පරිසරය හෝ මිතුරු කවය විය හැකියි.එහෙත් සෑම විටම එය ඔබව ඔසවා තබන තැනක් මිස ඔබ තවත් පහළට ඇද දමන තැනක් නොවන බවට වග බලා ගන්න. ඔබව පහතට ඇද දමන පරිසරයක් තුළ කිසි විටකත් ඔබට ඉහළට යාමේ අවකාශයක් නැහැ. ඒ නිසා ඔබ කටයුතු කරන පරිසරය කුමන ආකාරයේ එකක් දැයි ඔබ විශ්ලේෂණය කළ යුතුයි.

හොඳ ආත්ම විශ්වාසයකින් යුතු ශක්තිමත් කාන්තාවක් වීම එතරම් පහසු නොවන නමුත් ඉතා කුඩා පියවරවල් මගින් ඔබට එවැනි ශක්තිමත් කාන්තාවක් වීමේ හැකියාව තියෙනවා. අවශ්‍ය වන්නේ ඔබේ තෝරා ගැනීම් සහ ඔබ ජීවත් වන අවකාශය පිළිබඳව තේරුම්ගෙන එය ධනාත්මක සහ ඔබට ඉහළට යා හැකි අවකාශයක් බවට තහවුරු කර ගැනීමයි.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles