මල් පිපුණිද හිම කැළයේ – 38

0
573

නන්නාඳුණන අංකයකින් ආ නිලංගාගේ පොදු වට්ස් ඇප් ඇමතුම මාලිකා, බ්‍රයන් සහ ස්ටීව් තිදෙනාටම සහනයක් ගෙන ආවේය.නිලංගා මුලින්ම තිදෙනාගෙන්ම සමාව ඉල්ලුවාය.මෙවන් තීරණයක් හදිසියේ ගැනීම සම්බන්ධව වරද ඇය මතම පටවා ගත්තාය.ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඇයගෙන් නොඅසන ලෙස ඔවුන් තිදෙනාගෙන්ම ඉල්ලා සිටියාය.එසේම ඇය හොඳින් වෙසෙනා බවද හැකි ඉක්මනින් ඔවුන් දැක ගන්නට පැමිණෙන බවද පවසා උන්නාය.

ඇයගේ  කතාබහ නවතාලු වහාම මාලිකා දිගින් දිගටම ඇයට බැණ වැදුණාය.

“ඔයා මේ විදියට කරයි කියලා මං කවදාවත් බලාපොරොත්තු උනේ නැහැ නෙලී..මට ඔයා මගේ සහෝදරියක් වගේ උන්නේ වුණේ.ඔයාට මාව විශ්වාස නැති වුණාද මෙහෙම නොකියාම යන්න තරම්..ඇත්තෙන්ම මට හරිම දුකයි..”

බ්‍රයන් හෝ ස්ටීව් කිසිවක් නොකියා ඇයට කතා කරන්නට ඉඩ දුන්නෝය.නිලංගා මාලිකාගේ දුක පහව යනතුරුම ඇයට බැන වදින්නට ඉඩ දුන්නාය.

“මං වැරදි ඇති මම ඒක පිළිගන්නවා.ඒත් මේ හැම දේකටම හේතුවක් තිබුණා.මට ඒක මේ වෙලාවේ ඔයාලට කියන්න බැහැ.මට පොඩි කාලයක් දෙන්න මේ හැමදේම හරියාවි කියලා මම හිතනවා.මෙලා,බ්‍රයන් ඒ වගේම ස්ටීව් ඔය තුන්දෙනා තමයි මට මගේ ජීවිතේ ළඟින්ම ඉන්න තුන්දෙනා.මං කවදාවත් ඔයාලගෙන් ඈත් වෙන්නේ නැහැ.මාව විශ්වාස කරන්න.ටික දවසකට මට සමාවෙලා ඉඩ දෙන්න..”
නිලංගා ඇමතුම අවසන් කළේ එසේ පවසමිනි.නැවත වරක් ඇය ඔවුන් තිදෙනා අමතන තුරුම ඇයට ඇමතුම් නොගන්නැයි ඇය ඉල්ලා සිටියාය.එසේම ඇය සිටින්නේ කොහෙද කරන්නේ කුමක්ද යන්නවත් ඇයගෙන් ප්‍රශ්න නොකරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

“මේක මහා ලෝකෙ පැටලෙන කතාවක්නේ.දැන් එයා ඔය ඔක්කොම තියනවයි කියන ප්‍රශ්න විසඳගෙන එනකම් අපි ඔක්කොම කට වහගෙන බලාගෙන ඉන්න ඕනා.මට තේරෙන්නේ නෑ අප්පා.නෙළී මොකක්ද මේ කරන්න යන්නේ කියලා.”
මාලිකා නොරිස්සුමෙන් මෙන් පැවසුවාය.

“මෙතන අපි හිතනවට වඩා මොකක් හරි ලොකු හේතුවක් තියෙනවා.මමී මේක පිටිපස්සේ ඉන්නවා කියලා මම පැහැදිලිවම දන්නවා.හැබැයි ඒක නිසා නෙලිට මෙච්චර තද තීරණයක් ගන්න සිද්ධ වුණේ ඇයි කියන එකයි මට අපහැදිලි”
නිහඬතාවය බිඳිමින් ස්ටීව් පැවසුවේය.ඔහුගේ සිත තුළ වූ බිය සහ වේදනාව යම්තාක් දුරකට පහව ගොස් තිබුණි.ඇය මේ ගත් තීරණය සම්බන්ධයෙන් හිතේ නොරිස්සුමක්  ඇතිවුවද ගත වූ කාලය තුළ ඇය ගැන ඇති වූ අවබෝධය මත ඇය යම් තීරණයක් ගන්නේ පැහැදිලි හේතුවක් ඇතිව බව ඔහු විශ්වාස කළේය.

“හොඳයි.. අපි චුට්ටක් සයිලන්ට් වෙමු..එයාට කාලය දෙමු.මට හිතෙන්නේ එයා මොකක් හරි සැලසුමකට වැඩ කරනවා ඇති.අපි ඔහොම යන්න දෙමු..”
ස්ටීව් මෙන්ම බ්‍රයන්ද අවසානයේ තීරණය කළේ ඒ ආකාරයටය.

“ස්ටීව් මට ඇත්ත කියන්න.ඔයාගෙ හිතේ නෙලී ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද? ඔය දෙන්නා ෆ්‍රෙන්ඩ්ශිප්  එකකින් එහාට දෙයක් කතා කරල තියෙනවද?
මොකද මේ විදිහට ගියොත් සිල්වියා ආන්ටි අර ලෝරව කොහොම හරි ඔයාට සෙට් කරනවා.ලෝර නැති උනත් වෙන කවුරු හරි හරි ඒ තැනට ගේනවා.ඔයා ඒ නිසා ඔයාගේ ජීවිතේ ගැන තීරණය ගන්ඩ ඕන”
මාලිකා නිවසට ඇරලවා දෙසොහොයුරන් අවන්හලකට පැමිණි අතරේ බ්‍රයන් විමසුවේය.

“මම..ඇත්තම කියන්නම්.මේ බිස්නස් ට්‍රිප් එක ගිහින් ඇවිල්ලා මම නෙළීගෙන් කෙලින්ම අහන්නයි උන්නේ.නෙළි නිසා මගේ ජීවිතය ගොඩාක් වෙනස් වුණා.එක පැත්තකින් ගත්තම මගේ ස්ට්‍රෙස් එක අඩු වෙච්ච නිසා මං මගේ පර්සනල් වගේම business life එකෙත් හුඟක් සාර්ථක වුණා.අනෙක් දේ තමයි හුඟාක් දුරට හිතලා බැලුවම නෙළී තරම් මට ගැලපෙන කෙනෙක් මට කවදාවත් හම්බවෙලත් නෑ හම්බ වෙන එකකුත් නෑ..”
ස්ටීව් නිදහසේ සිය සිතැඟි බ්‍රයන් හමුවේ දිග හැරියේය.

“දවසින් දවස අපි දෙන්නගේ අතර තිබිච්ච පරතරය අඩු වුණා.නෙළී මාව සෑහෙන්න තේරුම්ගත්තා. එයා මට ගොඩක් ඇහුම්කන් දුන්නා. මගෙ තරහ පාලනය කරගන්න විදිය මට ෆෝස් කරන්නේ නැතුව කියල දුන්නා.එයා ඇක්ට් කරන විදියෙන් මං ජීවත් වෙන්න ඕන විදිය ඉගෙන ගත්තා.ඉතින් ඒ වගේ කෙනෙක් අතාරින්න මං කොහොමටවත් සූදානම් නැතුව ඉන්න වෙලාවේ තමයි එයා මෙහෙම යන්න ගිහින් තියෙන්නේ.ඒ වුණාට මට එයා ගැන තරහක් ඇති නොවෙන්නේ එයා කවදාවත් මගේ හිතේ තියන දේ  දැනගෙන උන්නේ නැහැනේ.එතන මට සීයට පනහක වගකීමක් තියෙනවා.”
සිය ඥාති සොයුරා කෙතරම් වෙනස් වී ඇත්දැයි යන්නට මීට වඩා උදාහරණ තවත් කුමටදැයි බ්‍රයන් සිතුවේය.

“මං මේ ඉවසීම උනත් පුරුදු වුණේ එයාගෙන්.නෙලී කියනවනං එයා එනකම් බලන් ඉන්න කියලා අපි බලාගෙන ඉමු.මට පුළුවන් එයා එනකන් ඉන්න.බ්‍රයන් ඔයත් මෙලාත් ලංකාවට යන ගමනෙ වැඩ කටයුතු කරන්න පටන්ගන්න. මට සීයට සීයක්ම විශ්වාසයි මේ මාසය ගතවෙලා යනකොට අපිට ඒ වැඩ කටයුතු වලට නෙළිව එක් කරගන්න පුළුවන් වෙයි කියලා.”
ස්ටීව් දැඩි විශ්වාසයෙන් යුතුව පැවසුවේය.

“මෙලා පුදුම විදිහට අප්සෙට් වෙලා ඉන්නේ. එයා ලංකාවේ ගිහිල්ලා අපි හතර දෙනා ඇවිදින්න යන දේවල් පවා ප්ලෑන් කරලායි උන්නේ.අනිත් එක kandy වල වෙඩින් එක,photo shoots ඔක්කොම ප්ලෑන් කලේ නෙලීනේ…ඔයා දන්නවද ස්ටීව් නෙලී යන්න කලින් ඒ ඔක්කොම ලෑස්ති කරලා මෙලාට ඊමේල් කරලායි ගිහින් තියෙන්නේ.කිසිම දේක කිසිම අඩුවක් නැහැ. තියෙන එකම අඩුව නෙළී නැති එක විතරයි”
මේ සියලු කාරණාව ඔස්සේ තව තවත් තමා නෙළී වෙත බැඳෙනා ආකාරය ස්ටීව් අත්වින්දේය.

බ්‍රයන් තමා නිවසට හැරලවා ගිය පසු ස්ටීව් සිය බැල්කනියේ සුපුරුදු අසුනට වී හුදෙකලා විය.තම සිතැඟි ඇයට මේ ගමන යන්නට පෙර පැවසුවා නම් ඇය එසේ නික්ම නොයනු ඇති බව ස්ටීව් පසුතැවිල්ලෙන් මෙන් සිතුවේය.සිය ජංගම දුරකථනයේ ඇයගේ සහ තමාගේ තමා ප්‍රිය කරන සේයාරුව දෙස බලා ඔහු කළ සැලසුම් සියල්ල ක්‍රියාත්මක කරන්නට පෙර ඇය අතුරුදහන් විය.ස්ටීව් බලා උන්නේ ලංකාවට ගොස් ඇයට විවාහ යෝජනාව ඉදිරිපත් කිරීමටය.ගතවන කාලය පවා ඇයට තමා වටහා ගන්නට ඉඩ සලසනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය.

“මම ඔයාට කොච්චර බැඳිලද ඉන්නේ කියලා ඔයා දැනගෙන උන්නානම් නෙළී ඔයා යන එකක් නැහැ.ඒත් මට හිතෙනවා ඔයා ටිකක් හරි මගේ හිත දැනගෙන හිටියා කියලා.ඒ යන්න හේතුව ඔයා මට අකමැත්තෙන් නං නෙමෙයි කියන එක මම දන්නවා.මොන දේ උනත් ඔයා ගියේ මං සම්බන්ධ කාරණයක් නිසා නම්…ඒකට මුල පිරුවේ අපේ මමී නම්..මං කවදාවත් එයාට සමාව දෙන්නේ නැහැ.මේ වෙලාවේ තමයි එයා මගෙන් හොඳම පාඩමක් ඉගෙන ගන්නේ.මගේ ජීවිතයට සම්බන්ධ වෙලා පුංචි කාලෙ ඉඳලම මට දීපු ප්‍රෙශර් එක දුරටත් මම මෙයා වෙනුවෙන් බෙයා කරන්නේ නැහැ…බලමු…”
ස්ටීව් දුරකථනයේ ඇති සේයාරුව දෙස බලා මිමිණුවේය.

තම සිත තුළ ඔහු වෙනුවෙන් ඇති ප්‍රේමය සිතේ තද කරගනිමින් නිලංගා බලා උන්නාය.තමා ඔහුහට ආපසු අමතන්නට එපා යයි කීපසු ඔහු යළි ඇමතුමක් නොගන්නා බව ඇය දැන සිටියාය.මෙසේ හුදෙකලා වීමෙන් ඇය බලාපොරොත්තු වූයේ කුමක්දැයි නිලංගා තමාගෙන්ම විටෙක  ඇසුවාය. සිල්වියා මැඩම්ගේ අවශ්‍යතාවය පරිද්දෙන් ඔහු ලෝරා හෝ වෙනත් යෝජනාවකට කැමති වේදැයි යටිසිත සිතුවා වන්නට ඇත.

වදනකට නොහැරවූවද දෙදෙනා අතර තිබුණේ දැඩි සමීපතාවයකි.එය ප්‍රේමය නොවේයැයි කිව හැකිද? ඉතින් මෙලාගේ විවාහය වෙනුවෙන් ලංකාවට යන්නට ඇති කාලය වන තෙක් තමා ක්ලිෆර්ඩ් මන්දිරයෙන් බැහැරව මෙසේ හුදෙකලා වූයේ එක් මොහොතක සිල්වියා ක්ලිෆර්ඩ් විසින් ගත් ඇමතුමක් සවනත වැකුණු නිසා බව ඇය රහසක්ම කොටගත්තාය.

සිල්වියා ක්ලිෆර්ඩ් නිලංගා අමතා කතාකළ දින රැයෙහි ඇය කාමරයෙන් නික්ම පහළට එන අතරේ මුලුතැන්ගෙයෙහි සිට පෝලා ඇය ඇමතුවාය.පෝලා හදිසි වැඩ කොටසක් ඇති හෙයින් සිල්වියා මැඩම්ගේ ග්‍රීන් ටී බඳුන ඇය වෙත ගෙන යන්නට පෝලා නිලංගා හට පැවරුවාය.
කාමරය අසළට එන මොහොතේදී සිල්වියා මැඩම් එහි නොමැති බවද ඇය ආලින්දයෙන් පිටව ඇති කොටසේ සිටිනා බවද නිලංගා දුටුවාය. සිල්වියා මැඩම්ගේ දුරකතන ඇමතුමක සිය නම කියවෙනු අසා ඇය මොහොතක් දොර අසළ රැඳුණාය.

“ජෝජ්..අපි කරලා තියෙන්නෙ ඔහොම වැඩ ද? නෙලී තමන්ගේ කැමැත්තෙන් එළියට නොගියොත් ස්ටීව් එන්න කලින් එයාව නොඑන්නම ගමනක් යවන්න අපිට බැරිනැහැනෙ.ඔයාටත් මටත් ඒ දේවල් නුපුරුදුත් නෑනෙ.බලමුකො…මෙයා අද හෙටම ගෙදරින් යනවද කියල…”
නිලංගාගේ ගත දහඩියෙන් තෙත්වන්නට පටන් ගත්තේ මේ කාන්තාවගේ සැබෑ තත්වය එළිවීමත් සමගය.ඇය වහා තේ බඳුන රැගෙන මුලුතැන්ගෙයට ගියේ සිල්වියා ඇමතුමක ඉන්න බව පෝලාට පවසමිනි.ඇය ඒ මොහොතේ නික්ම ගියේ තීරණයක් රැගෙනය.

මාලිකා,බ්‍රයන් හෝ ස්ටීව්හට මේ කාරණය පවසා  ඔවුන්ගේ වර්තමාන තත්වයන් අවුල් කරලන්නට තමා හට අනවැසිවූ හෙයින් නිලංගා තීරණය ගත්තේ කිසිවෙක්ට සිතාගන්නට නොහැකි ලෙසටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here