හැමතැනම නැති ආදරේ

“මල්ලිගේ ඔලුව නරක් වෙලා ද අම්මේ?”

සචී මහ ගෙදරට දුවගෙන ආවේ කඩා බිඳගෙන. හිත රිද්දගන්න හේතුවක් හොය හොයා හිටපු සචිගෙ අම්මා ඉකි ගහ ගහ අඬන්න පටන් ගත්තා. ඒ හැඬුම වැඩි වෙන තුරුම මල්ලිට බනින්න සචිට වචන ගලාගෙන ආවා.

“ඔය කියන ගෑනි මටත් වඩා වැඩිමල් අම්මේ. හරි විකාරයක්නේ. කොහොමද කියන්නකො එහෙම වෙන්නේ. මගේ මල්ලිගෙ වයිෆ් මට වඩා වැඩිමල් ගැනියෙක් උනාම මං එයාට නංගි කියලද කියන්න ඕන.”

සචී එහෙම කියනකොට පැත්තක හිටපු ඇගේ සැමියා භාතිය නම් හිනා උනේ අපහාසයට වගේ.

“ඒ මනුස්සයට නමක් තියනවානේ. ඔයා නම කියලා කතා කරන්න. ඔයාලගේ දුර නෑකමට මාමා කෙනෙක් ඉන්නේ  එයා මගේ වයසනේ. මං එයාට මචං කියනවා එයා මට මචං කියල කතා කරනවා. මනුස්සකමින් කතාකරන්න නෑ කමක් අත්‍යවශ්‍යම නෑනෙ සචි. නම කියලා කතා කරන්න. නැත්තං ගෙදර ඇතුලේ එයාගේ නෑකම නංගි නිසා ඔයා එයාට නංගි කියන්න. ඔයාලට අචින්තගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන තියෙන එකම ප්‍රශ්නය ඔය වයස වැඩි කම නම් ඒක හේතුවක් කරගන්න එක නරකයි කියලයි මම හිතන්නේ.”

සචි සහ අචින්ත අතර වයස් පරතරය අවුරුදු දෙකක්. අචින්තගේ පෙම්වතිය ඔහුට වඩා අවුරුදු දෙකමහාරකින් පමණ වයස වැඩි කෙනෙක්. ඒක මහා ලොකු වසංගත තත්වයක් කියලා සචී හිතන්නෙ ඇයි කියන එක ගැන ඇත්තටම භාතියට ප්‍රශ්නයක්.

“විහිළු කතා කියන්න එපා භාතිය. මිනිස්සුන්ට සදාචාරයක් තියෙනවා. අපිටයි කියලා සංස්කෘතියක් තියෙනවා. මගේ මල්ලි මට වඩා වැඩිමල් ගෑනියෙක්ව බැඳ ගත්තහම අපි කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ.”

විවාහයක් ඇතුලේ  සර්ව සම්පූර්ණ විය යුතු ලොකුම කාරණාව වන්නේ එකිනෙකා කෙරෙහි පවතින ආදරය බව භාතිය හොඳින්ම දන්නවා. සමහරවිට අචින්ත ඒක ඊටත් වඩා හොඳට වටහා ගෙන ඇති. නමුත් විවාහයට ආදරය ඇරෙන්න සියලුම කාරණා වැදගත් බව හිතන සචී එක්ක කතා කිරීමේ තේරුමක් නෑ කියලා භාතිය ආයේ වතාවක් හිතුවා.

ආදරය කියන්නේ මොකක්ද කියලා සචී එකම තේරුම් ගන්න දවසක් ඒවි!

භාතියට එහෙම විශ්වාසයක් ඇතිකර ගැනීමට උවමනා වුණා. ඒත් ඒ විශ්වාසය ගැන ඔහුට ම තහවුරු කරගන්න අමාරුයි. ආදරය ගැන භෞතික කාරනා වලින් දකින්න පුරුදු වුණු  වෙනස් කිරීම අපහසු බව භාතිය හොඳින් දන්නවා.

මල්ලිගේ පෙම්වතිය ගැන කෝපයෙන් පුපුරමින් ඉදිද්දි ආදරය කියල මිනිස්සු මොන තරම් විකාර වැඩ කරනවද කියලා ආයෙත් හිතලා බලන්න අවස්ථාවක් සචිට ලැබුණා.

“ඒයි මේ අරලියා කසාද බඳිනවා ලු”

ඔෆිස් එකේදි ඒ ආරංචිය සචිගෙ කනෙන් තිබ්බේ ඇගේ මිතුරිය වුණු ලලනි. සචී ඇස් නළලට අරගෙන මිතුරිය දිහා බැලුවේ හරිම අපහාසාත්මක බැල්මකින් 

“ඊයා නේද?”

තව කෙනෙකුගේ විවාහය අප්‍රසන්න දෙයක් වෙන්නේ කොහොමද කියලා ඒ ලඟම හිටිය චතුරිට අහන්න හිතුණත් ඇය කිසිම දෙයක් ඇහුවෙ නැහැ. ඒත් මේ විදියට අනුන්ගේ ජීවිත විනිශ්චය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය නම් චතුරිගේ හිතට ඇති වුණා.

“අරලිය කසාද බැන්දාම මෙයාගේ ළමයාට මොකද වෙන්නේ?”

සචී අහන්නේ මහ අපුල හඬකින්. අරලියා ටික කාලයකට පෙර දික්කසාද වූ අන්දමත් දික්කසාද වූ සැබෑ හේතුව දැනගන්න සචී ලලනි වගේ අය පුදුමාකාර මහන්සියක් ගත්තු විදියත් චතුරි සිහි කළා. ඒත් අරලියා කිව්වේ වෙනස් කතාවක්.

“මමයි කසුනුයි අයින් වුණු හේතුව අපි දෙන්න විතරක් දැනගත්තාම ඇති.”

අන්න ඒ කතාව සචිට ආයෙමත් මතක් වෙලා. එදා අරලිය එහෙම කියන්න ඇත්තේ අනිවාර්යෙන්ම ඇගේ අනියම් සම්බන්ධතාවයක් හෙළිදරව් වීම නිසා දික්කසාද වෙන්න වෙච්ච හින්දා වෙන්න ඇති කියලා සචි කියන්නේ බොහොම විශ්වාසයකින්. මේ විවාහ වෙන්නෙත් ඒ අනියම් පුරුෂයා එක්ක වෙන්න ඇති.

“අපෝ දෙමව්පිය මඟුල් නැටුවම දරුවන්ට වෙන දේවල් තමයි ඉතින් පව්.”

ඒ අතරේ  එහෙම කියන්නත් සචී අමතක කරන්නෙ නෑ. අරලියා දික්කසාද වෙන්න හේතුව නම් චතුරිත් හරියටම දන්නේ නෑ. නමුත් අම්මලා ඇයට නැවතත් විවාහ යෝජනා හොයන බව අරලියා චතුරිට කියලා ටික කාලයක්. ඒ දිනවල නැවත විවාහයක් සිදු කර ගන්න අරලියාගේ පුංචි  මනාපයක්වත් තිබුණේ නෑ. නමුත් ගැලපෙන ගැලපෙන සහකාරයකු මුනගැහුනු බවත් විවාහ වීම සුදුසු බව දැන් ඇයට හිතෙන බවත් අරලිය චතුරිට කියලා සෑහෙන දවසක්. රහස් රකින්න දන්නා හොඳ මිතුරියක් වන චතුරි ඒ ගැන කාටවත්ම කියන්න හිතුවේ නැහැ. අරලියාගේ විවාහ ගිවිස ගැනීම ගැන ආරංචි වුණු සචී සහ ලලනිගේ කියවිල්ල චතුරිට සිනා උපදවන්නේ ඒ නිසා.

“මිනිස්සු හැසිරෙන්නේ තිරිසන්නු වගේ අනේ.”

තවත් කෙනෙකුගේ ආදරය සම්බන්ධ තෝරාගැනීමක් ඒ තරම්ම පහත් විදිහට හෙළා දැකපු සචී ඇගේ මල්ලිගේ ආදර සම්බන්ධය ගැනත් නොහොම අප්‍රසාදයෙන් කතා කරන්න පටන් ගත්තා. අක්කාටත් වඩා වැඩිමහල් ස්ත්‍රියකට පෙම් කරන්න අචින්ත හිතන්නේ ඔහු රාගයෙන් උමතු වෙලා ඉන්න නිසා කියලා සචී කියන්නේ පුදුමාකාර තරම් අපහාසාත්මක හඬකින්.

“ඔන්න ඔය මඟුල කඩලා දාන්න තියෙන්නෙ. මං දන්න හොඳ දේවාලයක් තියෙනවා. අපි ගුරුකමක් කරල බලමුද?”

උපාධිධාරී ගැහැණු පවා ලෝකය දිහා බලන්න මේ තරම් පටු විදිහට නම් තවත් මොන කතාද කියලා චතුරිට හිතුණා. ඇය එතනින් නැගිට්ටේ තවදුරටත් මේ කතා අසා ගෙන හිඳීම මහා අප්‍රිය හැඟීමක් තමන්ට රැගෙන එන බව තේරුම් ගිය නිසා.

“පෙබරවාරි මාසෙත් ඇවිල්ලා. වැලන්ටයින් එකට මොකද කරන්නේ කියලා හිතුවද?”

පෙම්වතාගෙන් පණිවිඩයක් ඇවිත් තියෙන බව ඇය දුටුවේ මොහොතේදී. මහා විකාර කතා අහගෙන හිටපු වෙලාවක ඔහුගෙන් පණිවිඩයක් එනවා කියන්නේ කාන්තාරයකට මල් වැස්සක් ඇද වැටෙන තරමට මිහිරි හැඟීමක් කියලා ඇය දන්නවා.

ආදරය ගැන තෝරා ගැනීම් ගැන මහ කැත විදිහට විනිශ්චය කරන අය අතරේ ආදරවන්තයන්ගෙ දිනය සමරන්න හිතෙන ජාතියේ පෙම්වතෙක් ලැබීමම ආශිර්වාදයක්. සමහර වෙලාවට ඒ වගේ ආශිර්වාදයක් නොලැබීම ම සචී වගේ අය මේ තත්ත්වයට පත් කරන්න ඇති.

චතුරි හිතුවේ බොහොම කල්පනාකාරීව!

More Stories

Don't Miss


Latest Articles