පාටි එක ඉවර වෙද්දී රෑ බෝ වෙලා තිබුණා.
නෑදෑයෝ හැමෝම විසිරිලා ගියාට පස්සෙත් වලව්ව පුරාම ඉතුරු වෙලා තිබුණේ මහා මූසල පාලුවක්. ආකර්ෂා සාලේ ඉන්න අයට නොදැනෙන්න හීන් සැරේ තමන්ගේ කාමරයට ඇවිත් දොර වහගත්තේ මුළු හිතම පෑරිලා තියෙද්දියි. ඇඟට මාරම බරක් ගෙනාපු ඒ නිල් පාට සාරියයි, තමන්ව ඇදගෙන වැටෙන්න හදපු හීල්ස් සපත්තු දෙකයි ගලවලා දාලා, කෙල්ල සරල ටී-ෂර්ට් එකකුයි කොට්න් ෂෝටකුයි ඇඳගත්තා.
ඇඳ විට්ටමට බර වුණු ආකර්ෂා දණහිස් දෙක පපුවට තද කරගෙන බලාගත්තු අත බලාගෙන උන්නා. බඩගින්නක් තිබුණත්, පහළට ගිහින් අර සෙලීනයි ආච්චි අම්මයි ඉන්න මේසේ ළඟ වාඩිවෙලා කන්න තරම් හිතේ ශක්තියක් කෙල්ලට තිබුණේ නැහැ.
“මං මොකටද මේවා ගැන හිතලා දුක් වෙන්නේ? මේක නිකන්ම නිකන් ඩීල් එකක් විතරයිනේ,” කෙල්ල තමන්ගේ හිතටම රහසින් කියාගත්තෙ දුක ඇත්තටම දරාගන්න බැරිවෙච්ච හන්දා.
හැබැයි හිත මොනවා කිව්වත්, ඇස් දෙක නිරායාසයෙන්ම යොමුවෙලා තිබුණේ කාමරේ වහලා තිබ්බ දොර දිහාවට. හිතේ කොනක පුංචිම පුංචි බලාපොරොත්තුවක් තිබුණා, කවීන් හැමෝටම හොරෙන් තමන්ව හොයාගෙන කාමරේට ඒවි කියලා. දොරට තට්ටු කරලා, තමුසෙ කෑවේ නෑ නේද මෝඩී… මෙන්න මේක කන්න කියලා වෙනදා වගේ රළු, ඒත් ආදරණීය විදිහට තමන්ට කන්න කතා කරාවි කියලා ආකර්ෂා මඟ බලන් උන්නා.
විනාඩි දහයක්…
විනාඩි විස්සක්…
පැයක් විතර ගතවෙලා ගියා. වලව්වම නිශ්ශබ්ද වුණා මිසක්, කවීන් තමන්ගේ කාමරේ පැත්ත පළාතකවත් ආවේ නැහැ. මිනිහා තවමත් සෙලීනා එක්ක නට නට ඇති කියලා හිතෙද්දී ආකර්ෂාගේ පපුව මැදින් මහා ලොකු රිදීමක් මතු වුණා. කවීන් තමන්ව මෙච්චර ඉක්මනට අමතක කරලා දායි කියලා කෙල්ල හීනෙකින්වත් හිතුවේ නැහැ.
කවීන් එන්නේ නැති බව ඇත්තටම තේරුම් ගිය ඒ තත්පරයේදී ආකර්ෂාට ෆ්හැනුණෙ තමන්ගේ මුළු ජීවිතේම එපා වුණා වගේ. මහා ලොකු තනිකමක් හිත වෙලාගනිද්දී, ඇස් කොනෙන් කඳුළු බිංදුවක් කඩාගෙන වැටෙන්න හැදුවා. කෙල්ලට මාරම විදිහට කෑගහලා අඬන්න හිතුණා. හැබැයි ආකර්ෂා ඉක්මනටම තමන්ගේ අත්ලෙන් ඇස් දෙක පිහදාගත්තා.
“නෑ… මං අඬන්නේ නෑ. කවුරු හින්දවත් මං මගේ කඳුළු හලන්නේ නෑ. මොකටද අනික අඬන්නෙ මේක නිකන්ම නිකන් ඩීල් එකක් විතරනෙ” කියල හිතාගෙන කෙල්ල තමන්ගේ තොල් හපාගෙන, හිතේ වේදනාව උපරිමයෙන්ම තද කරගත්තා.
කන්නෙත් නැතුව, හිත ඇතුළෙන් මහා ලොකු යුද්ධයක් කරපු කෙල්ල, හිතේ තිබුණු ඒ බිඳුණු වේදනාවත් එක්කම කොට්ටය බදාගෙන ඇඳේ එක පැත්තකට වුණා. හිත රිදෙන තරමටම ඇඟට දැනුණු මහන්සිය හන්දම, නොදැනීම කෙල්ලගේ ඇස් පියවෙලා ගිහින් ඒ හිතේ අමාරුවෙන්ම ඉබේම නින්දට වැටුණා.
හැබැයි ඒ නින්ද වැඩි වෙලාවක් තියාගන්න මහ රෑ ඒ අන්ධකාර වලව්ව නම් ඉඩ දුන්නෙ නෑ.
ඒ මහ රෑ මුළු වලව්වම මහා සොහොන් පිට්ටනියක් වගේ මළානික නිශ්ශබ්දතාවයක ගිලිලා තිබුණෙ. කාමරේ ජනේලෙන් ගලාගෙන ආපු හඳ එළිය විතරක් ඇඳ උඩට වැටිලා තියෙද්දී, ආකර්ෂා උන්නේ තවමත් අර හිතේ වේදනාවත් එක්කම නින්දේ ගැඹුරුම තැනක අතරමං වෙලා.
හැබැයි එකපාරටම “කස්… පටස්…” ගාලා මාරම අමුතු, හිත කීරිගස්සන සද්දයක් ලඟ පාතින් ඇහෙන විත්තිය කෙල්ලට නොතේරුනා නෙවෙයි.
ඒ සද්දෙට ආකර්ෂා ගැස්සිලා වගේ එකපාරටම ඇඳ උඩ කෙළින් වෙලා වාඩිවුණා. කෙල්ලගේ පපුව ඩග් ඩග් ගාලා ගැහෙන්න ගත්තේ නන්නාදුනන බයකින් මුළු ඇඟම හිරි වැටෙද්දි. ආකර්ෂා කලබලෙන් කාමරේ තිබ්බ වෝල් ක්ලොක් එක දිහා බලද්දී වෙලාව පාන්දර දෙකයි තිහ වෙලා තිබුණා කියලා කෙල්ල දැක්කා.
“මොකක්ද ඒ සද්දේ? කාට හරි කරදරයක්වත්ද?” කෙල්ල බය වුණත් හිත හයිය කරගෙන ඇඳෙන් බැස්සෙ තමන්ටම එහෙම කියාගෙන.
කාමරේ ලයිට් එක දාන්න ගියත් වලව්වේ කරුමෙටද මන්දා ඒ වෙලාවේ කරන්ට් එකත් ගිහින් තිබුණේ. ආකර්ෂා තමන්ගේ ෆෝන් එකේ ටෝච් එක දාගෙන, හෙමින් සැරේ කාමරේ දොර ඇරලා සද්දයක් එන්නෙ නැති වෙන්න අඩි තියලා කොරිඩෝ එකට ආවා. මුළු කොරිඩෝ එකම ඝන අන්ධකාරෙ ගිලිලා තිබුණේ හරියට හොල්මන් ෆිල්ම් එකක වගේ. සද්දය ආවේ පල්ලෙහා තට්ටුවේ තියෙන කවීන්ගේ හෝම් ඔෆිස් කාමරය පැත්තෙන් කියලා කෙල්ලට තේරුණෙ එක දිගටම ඒ සද්දෙ ලාවට ලාවට ඇහෙන්න ගද්දි.
ආකර්ෂා පඩිපෙළ දිගේ මාරම හෙමින්, හුස්ම ගන්න සද්දෙවත් ඇහෙන්න නොදී පල්ලෙහාට බැස්සෙ බය හිත පුරාම වෙලාගෙන ඉද්දි. ඔෆිස් කාමරේ දොර යාන්තමට ඇරිලා තිබුණා. කෙල්ල ෆෝන් එකේ ලයිට් එකත් නිමලා දාලා, බිත්තියට මුවා වෙලා හෙමින් සැරේ කාමරේ ඇතුළට එබුණා.
කාමරේ ඇතුළේ ලොකු මේසය පිටුපස තිබුණු ලී බුක්-ෂෙල්ෆ් එක, ඒ කියන්නේ බිත්තියක් වගේ පෙනුණු ලොකු අල්මාරිය එකපාරටම පැත්තකට වෙලා මාරම අභිරහස් විදිහේ රහස් දොරක් මතු වෙලා තිබුණා කියලා දකිද්දි ආකර්ෂාගේ ඇස් උඩ ඉන්දවුණේ ඒ වගේ රහස් දොරක් මේ වලව්වේ තියෙනවා කියලා කෙල්ල හීනෙකින්වත් හිතලා තිබ්බේ නැති හන්ද.
ඒත් ඒ පුදුමෙ ක්ෂණිකවම මහා තැතිගැන්මකට හැරුණේ ඒ රහස් දොර අස්සෙන් මතු වෙච්ච රූපෙ දැක්කාමයි.
ඒ රහස් දොරෙන් මතු වුණේ කොණ්ඩේ අවුල් වෙච්ච, උසම උස කොන්ද නවාගත්ත නන්නාදුනන පිරිමියෙක්!
මිනිහා හරියට පියවි සිහියක් නැතුව වගේ, අඩ සිහියෙන් බිත්ති බදාගෙන ගැහි ගැහි ඉස්සරහට අඩියක් තියන්න හැදුවා. මිනිහගේ ඇස් දෙක තිබුණේ පියවිලා වගේ කියන එක ආකර්ෂා අන්ධකාරෙ ටෝච් එකේ මන්දාලෝකෙන් දැක්කා.
“ගොර ගොර ගගා” මිනිහා කෙඳිරිගාන සද්දෙ කරුවලේ ඇහෙද්දී ආකර්ෂාට දැනුණේ තමන්ගේ පණ යනවා වගේ.
මහ රෑ මේ වගේ අඩ සිහියෙන් ඉන්න අද්භූත පිරිමියෙක් රහස් දොරකින් මතු වෙද්දී කෙල්ලගේ මුළු ඇඟම ගල් වෙලා, කෑගහගන්නවත් සද්දයක් කටින් ආවේ නැහැ කියන බය ඉතින් සර්ව සාධාරණයි නෙ.
මහා ලොකු බයකින් මුළු සර්වාංගෙම වෙව්ලන්න ගත්ත ආකර්ෂා, තව එක තත්පරයක්වත් එතන ඉන්න බැරි බව තේරුම් අරන් පණ එපා කියලා ආපහු හැරිලා දුවන්න ගත්තා.
ආකර්ෂාට ඒ වෙලාවේ දැනුණේ තමන්ගේ පණ බයට මුළු ඇඟේම ලේ වතුර වෙලා යනවා වගේ. ඒ හොරෙක් වගේ ඔෆිස් කාමරේට ඇතුළුවෙච්ච මිනිහාව දකිද්දී හිතට ආපු මහා බය හන්දා, කෙල්ලට කෑගහගන්නවත් සද්දයක් කටින් ආවේ නැහැ. ෆෝන් එකත් අතේ තියාගෙන, හැරෙන තැපෑලෙන්ම ඔෆිස් කාමරෙන් එළියට පැනගත්තු කෙල්ල ඝන අන්ධකාරෙ ගිලිලා තිබ්බ කොරිඩෝ එක දිගේ පණ එපා කියලා දුවන්න ගත්තා.
කලුම කලුවරයි, ඇස් දෙකට උනපු බය එක්කහු වෙච්ච කඳුළුයි හන්දා කෙල්ලට තමන් දුවගෙන යන්නෙ කොයි පැත්තටද කියන එකත්, කොරිඩෝ එකේ ඉස්සරහාත් පෙනුණේ නිකන් බොඳවෙලා වගේ.
හිතේ තියෙන කලබලයටම කොරිඩෝ එකේ කෙළවරක් ගාවදී ආකර්ෂාගේ කකුලක් එකපාරටම පැටලුණා.
“අම්මෝ!”
කෙල්ල ආයෙමත් වතාවක් බිම ඇදගෙන වැටෙන්න යද්දීම, එකපාරටම ඉස්සරහින් ආපු මහා කළු හෙවනැල්ලක් වගේ රූපයක් කෙල්ලව හයියෙන් බදාගෙන වගේ අල්ලගත්තා!


