මල් පිපුණිද හිම කැළයේ – 39

0
3273

අනපේක්ෂිත සිදුවීම් ජීවිතයන්ට ළඟා වන්නේ සුළිකුණාටු ,අකුණු සැර සේය. අනූපමා සති අන්තයේ නිලංගා ඇමතුවේ එවන් අකුණු සැරයක් බඳු  පුවතක් රැගෙනය.නිලංගා ඉහළට ගත් හුස්ම පහළට නොහෙළා මොහොතක් බලා උන්නාය.අම්මාත් තාත්තාත් නංගීත් හදිසි අනතුරකට ලක්ව තිබුණේ නිවසේදීමය.ආරංචියට අනුව නංගී යළිත් සබඳතාවයක පැටලී ඇත.ඇය මෙවර සම්බන්ධව ඇති තැනැත්තා විවාහකයෙකි.කෙතරම් හොඳින්, තර්ජනයෙන් ,හැකි සෑම ආකරයකින් මේ සබඳතාවය නවතාලන්නට විවාහක පුද්ගයලයාගේ භාර්යාව තැත් දරා තිබුණද නංගිවත් අම්මාවත් එයට සවන් නොදී තිබුණි.තාත්තා මේ අවස්ථාවේදී මුනිවත රැක ඇත්තේ ඔහුට තවදුරටත් නිවසේ කිසිදු බලයක් නැති හෙයිනි.අනූපමා පැවසූ විස්තරයට අනුව තාත්තා ඒ වන විට රෝගාතුරව පසුවෙමින් ද සිටියේය. අවසානයේ එම විවාහක පුද්ගලයාගේ බිරිඳගේ සහෝදරයන් නිවසට පැමිණ ඔවුන් හට තර්ජනයද කොට ඇත.අම්මා සහ නංගිගේ චර්යාව නිලංගා හොඳින් දැන උන්නාය.ඔවුන් එයද කනකට නොගන්නට ඇත.

අවසානයේ රාත්‍රී කාලයක නිවසට කඩා වැදුණු හඳුනා නොගත් දාමරිකයන් පිරිසක් විසින් අම්මාත් තාත්තාත් නංගිත් කපා කොටා දමා පලා ගොස් ඇත.අනූපමා පැවසූ කාරණාවලට අනුව තිදෙනාම රෝහල් ගත කොට ඇත්තේ ද ඒ මොහොතේ පාරේ යමින් තිබූ රාත්‍රී මුර සංචාර පොලිස් රථයක් විසිනි.අම්මාත් නංගිත් කෙතරම් අසල්වැසියන් සමඟ ආරවුල් ඇතිකොට තිබුණේ ද යත් කිසිවෙක් මේ ආරවුල් අතරට මැදිහත් වන්නට ඉදිරිපත් වී නොතිබුණි.
පොලිසියෙන් පවා විමසද්දී ඔවුන් පවසා තිබුණේ නිරන්තරයෙන් නිවසට විවිධාකාර පුද්ගලයන් පැමිණ කෑ ගසා යනහෙයින් ඒ ඔවුන් හට අරුමයක් නොවූූ බවය.එමෙන්ම අසල්වාසී පුද්ගලයන් සමඟ කිසිදු ආශ්‍රයක් නොමැති හෙයින් ඔවුන්ගේ පෞද්ගලික කාරණා වලට මැදිහත් වන්නට කිසිවක් අකමැති බවද ඔවුන් පවසා තිබුණි

“කෙල්ලේ ඔයා මොකුත් හිතන්න එපා..මේ වෙලාවේ මේක නොකියා බැහැ..අම්මයි නංගි නැති වෙලා.ඒත් තාත්තා තවම අයිසීයූ එකේ.එයාගේ තත්වෙත් එච්චර හොඳ නැහැ. ඒත් එයා නර්ස්ලට කියලා තියෙනවා ඔයාව දකින්න ආසයි කියලා.මම හිතන්නෙ නැහැ ඔයා මේ නිසා එන්න ඕනේ කියලා.මොකද ඒ මිනිස්සු ඔයාවත් ඇරලා දාපු මිනිස්සු.මම මෙහෙම කිව්වා කියලා ඔයා කලබල වෙලා තීරණ ගන්න ඕන නැහැ කෙල්ලෙ..”
අනූපමා පැවසුවාය.සිත වේදනාවෙන් බර වූයේ අම්මාත් තාත්තාත් නංගීත් තමා හට කළ සියලුම වෙනස්කම් යටපත් කොට දමමිනි.නංගී මේ තත්ත්වයට පත් වූයේ අම්මා නිසාමය.කුඩා කාලයේදී පටන් ඇයට හරි මග පෙන්වූවා නම් මෙබදු අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවේ. අම්මා නිතරම කලේ නංගී කරන කියනා සියලුම දෑ එක සෙයින්ම පිළිගැනීමය.අන් අයෙකු හෝ ඇයට කරන්නාවූ වරද පෙන්නු විට අම්මා සිදු කළේ ඒ පුද්ගලයන්ට බැණ වැදීමය.අවසානයේ ජීවිත තුනක් මේ ආකාරයකට අවාසනාවන්ත ඉරණමකට පත්වී ඇත.

අනූපමා දුරකථන ඇමතුමෙන් සමුගත් පසු නිලංගා දුරකතන ඇමතුමකට සම්බන්ධ වූවාය.

“මට ලංකාවට යන්න වෙනවා..”
ඇය එහා පසින් වූ තැනැත්තාට සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වය විස්තර කළාය.එහා පසින් ඇයට ලැබෙන සියලුම උපදෙස් නිහඬවම පිළිගත්තාය.

“නෑ මට අවශ්‍ය තරම් සල්ලි තියෙනවා.එහෙ ගිහින් ඒ  අවසන් කටයුතු ඔක්කොම ටික මම කරන්නම්. මොනවා වුනත් එයාල මාව පාරට නොදමා රැක ගත්තු කට්ටියනේ. තාත්තට මාව බලන්න ඕන කියනවලු.සමහර විට මේ අන්තිම වෙලාවෙදි හරි එයාට මට කියන්න මොනව හරි ඇතිනේ..”
නිලංගා පැවසුවාය.

“ලබන සතියේ කොහොමත් ලංකාවට යන්නනෙ උන්නේ…වෙඩින් එකේ වැඩ වලට..මං සතියක් කලින් යනවා.එයාලා ඒවි යොදා ගත්තු දවසටම..මං ගිහිල්ලා මේ වැඩ කටයුතු ඉවරයක් කරන්නම්. මට ඔලුව නිදහසේ වෙඩින් එකේ වැඩ වලට උදව් කරන්න එතකොට පුළුවන්”
නිලංගා පැවසුවාය.

සිත බොහෝසෙයින් සසැළී තිබුණි.දෑසට ආගන්තුක වූ කඳුළක් ඔවුන් වෙනුවෙන් ගලා ආවේය.එවන් වේදනාත්මක මරණයකට අම්මාත් නංගිත්  සසර වසනාතුරු පත්නොවේවායි නිලංගා පැතුවාය.තාත්තා ගේ තත්ත්වය අවදානම් සහගත වුවද ඔහුට යම්තාක් දුරකට හෝ සුවපත් වේවායි පතමින් ම ඇය සිය ගමන් බෑගය සූදානම් කළාය.

අඩමාන නින්දකට පසු නිලංගා උදෑසන අවදි වූවාය.ගුවන් තොටුපලට යන්නට කුලී රියක් වෙන්කොට ගත්තේ පෙරදා රැයේමය.ගුවන් ගමන පස්වරු දෙකට යෙදී තිබෙද්දී පෙරවරු නවයට වත් නිවසින් පිටත් වන්නට ඇය තීරණය කළාය.අත්දිගු සුදු බ්ලවුසයත් නිල් පැහැ ඩෙනිම් කලිසමත් හැඳගත් ඇය කණ්නාඩියෙන් පෙනෙනා තමාගේ ප්‍රතිබිම්බයේ ඇති ශෝකාකූල බව දෙස බලා උන්නාය.අත්‍යවශ්‍ය ඇඳුම් පැළඳුම් පමණක් ඇති බෑගය එතරම් බර නැත.

මිදුලේ ගේට්ටුව අසළ  රියක් නැවතෙන හඬින් ඇය බෑගයද ගෙන ආලින්දයට පැමිණියාය.ඉදිරි දොර විවර කොට මිදුලට බසින්නට ගිය ඇය මොහොතකට නැවතුනේ අදහා ගත නොහැකි දසුනිනි.රියෙන් බැස ගේට්ටුව විවර කරමින් උන්නේ බ්‍රයන්ය. පැමිණ තිබුණේ  ස්ටීව් ගේ රථයයි.නිලංගා  දෙස බලා මඳ සිනහවක් පෑ බ්‍රයන් මිදුලට ඇතුල්කළ රියෙහි පිටුපස අසුනෙන් බිමට බැස තමා වෙත දිව එන මාලිකා දුටුවාය.කෑගසා හඬමින් උනුන් වැළඳගන්නා දෙසොහොයුරියන් දෙස බ්‍රයන් බලා උන්නේය.

“ඇති ඇති ඔය ඇඬුවා…දැන් නෙලීට යන්න තියනවනෙ..ඇඳුම් පොඩි කරන්න එපා මෙලා..”
නොනවතින හැඬුම් හඬනා මාලිකා තමා වෙත ඇද ගනිමින් අවසානයේ බ්‍රයන් පැවසුවේය.මාලිකා වෙතින් මිදී රිය දෙස බැලූ  නිලංගා ස්ටීව් පිටුපස අසුනේ දොර විවර කරනු දැක නෙත් අයා බලා උන්නාය.සැරයටියක ආධාරයෙන් පිටතට බසිමින් සිටියේ මේරි මර්ෆිය.

“දෙයියනේ මැඩම්…”
නිලංගා අඩියට දෙකට ඇය වෙතට දිව ගියාය.මේරි ඉමහත් සෙනෙහසින් ඇය වැළඳ ගත්තාය.ස්ටීව් නිහඬවම පසෙකට වූවේය.ඔහුගේ මුහුණේ අමනාපයක් ඇත්දැයි නිලංගා විටින් විට හොරෙන් මෙන් බැලුවාය.

“හරි ඔය ඉන්නෙ ක්‍රයිම් පාර්ට්නර්ස් ලා ඩබල වැළඳගෙන. අනෙ ඇත්තට මේරි කෙල්ල ඔයා තමා දවසකටවත් කෙනා..”
බ්‍රයන් සිනාසුණේය.ගුවන් තොටුපලට යන්නට වෙන්කළ රිය අවලංගු කොට ස්ටීව්ගේ රියෙන් සියල්ලන්ම ගුවන් තොටුපලට යාමට තීරණය විය.

“දැන් මේ ග්‍රැනී අපිට ගමනක් යං කියලා එක්කන් ආවා මිසක වෙන මොකුත් කීවේ නෑනෙ..කියන්නකො බලන්න සිද්ධිය…”
යන ගමන අතරවාරයේ පිටුපස අසුනට නැඹුරුව බ්‍රයන් විමසුවේය.

පෙරදවසක සිල්වියාගේ ඇමතුම නිලංගා පමණක් නොව ඒ මොහොතේ ආලින්දයේ කෙළවරක ඉඳගෙන උන් මේරි මර්ෆිටද ඇසී තිබුණි.සිල්වියා සිය දියණිය වුවද ඇයගේ ජීවිතයේ ඇති අඳුරු පැති මේරි හොඳින් දැනඋන්නාය.පිටතට පෙන්වන ශාන්ත දාන්ත බවට යටින් ඇයගේ ඇත්තේ දැඩි කෲර මනසක් බව මේරි තරම් දැන උන් අයෙකු තවත් නොවීය.   නිලංගා සම්බන්ධයෙන් සිල්වියා ක්‍රියාත්මක වන්නට පෙර මේරි ක්‍රියාත්මක වූයේ එහෙයිනි.කිසිවෙකුට නොදැනෙන්නට තමා හට අයිති ගම්බද කුඩා නිවහනකට ඇය පිටත් කොට යැව්වේ එහෙයිනි.ඒ ගමන ගැන දැන උන්නේ මේරි සහ නිලංගා පමණි.පෝලාවත් ඒ පිළිබඳව නොදැන උන්නාය.
සිල්වියා නිලංගා ගැන විමසද්දී නොදන්නා සේ රඟපෑමක් රඟපාන්නට මේරි සමත් වූවාය.

“ඔස්කාර් සම්මාන දෙන්න ඕන අපේ ග්‍රැනීට තමා..ගෙදරදි පොඩ්ඩක්වත් වෙනසක් පෙන්නුවේ නැහැනේ.”.
මාලිකා පැවසුවාය.

“මම අද මේ තැන ඉන්නවනං ඒ නෙළී නිසා.නැත්නම් මං ඇඳටම වෙලා ඉක්මනටම මැරිලා යන්න හිටපු වයසක ගෑනියෙක්.නෙලී සනීප කරේ මගේ ඇඟේ තිබුණ අසනීප ආබාධ  විතරක් නෙවෙයි.එයා මගේ මයින්ඩ් එකත් සනිප කළා.මං එයාට ණයයි..මේ ඒ ණය ගෙවන්න මට කරන්න පුළුවන් වෙච්ච පොඩිම දෙයක් විතරයි”
ඉතා ආදරයෙන් නිලංගා වැළඳ ගත් මේරි පැවසුවාය.

“අනේ මැඩම් එහෙම කියන්න එපා..ඔයා නිසයි මං අදටත් මෙහෙම බේරිලා ඉන්නේ.ඒ දේ ඒ වෙලාවේ මට ඇහුණට මට කරන්නේ මොකක්ද කියලවත් හිතාගන්න බැරුවයි උන්නෙ. මැඩම් මට රෑ කතා කරලා මේ ප්ලෑන් එක කිව්වට පස්සේ තමයි මට කරන්න ඕනේ මොනවද කියන එකවත් ඔලුවට ආවෙ.මමයි ඔයාට ණය.”
නිලංගා කඳුළු පිස දාලමින් පැවසුවාය.

“හරි දෙන්න ණය ගෙවා ගන්නකෝ පස්සේ වෙලාවක.අපි ලංකාවට ගිය වෙලාවක ඔය දෙන්නම අල්ලගන්නම්.අපට දීපු මේ බයට.තව ටිකෙන් මට හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලයි නවතින්නේ…”
මාලිකා නිලංගාහට පහරක් ගසමින් පැවසුවාය.

හීත්‍රෝ ගුවන් තොටුපලෙහි රියගාලක නැවතූ රියෙන් බැසීමට පෙර නිලංගා මේරිගේ දෙපා අසළ නැමී වැන්දාය.ආසියාතික සිරිත් අනුව  වැඩිහිටියෙකුගෙන් ආශීර්වාද ලබා ගන්නේ ඒ ආකාරයට බව මේරි දැන උන් හෙයින් ඇය නිලංගාගේ හිස පිරිමැද්දාය.

“පරිස්සමින් ගිහින් අපි එනකන් ඉන්න නෙලී.හැමදේම හොඳින් කරගන්න.වෙච්ච දේවල් ගැන දුක හිතන්න එපා.එයාලා කරපු දේවල් වලට තමයි එයාලට ඒ රිසාල්ට් එක ලැබුණේ.ඔයාට ඒවට කරන්න දෙයක් නැහැ.”
සමුගන්නා මොහොතේදී ඇයගේ හිස සිප ගනිමින් මේරි පැවසුවාය.

මාලිකා යළිත් ඇය වැළඳ ගත්තාය.
“මං ලංකාවට ඇවිල්ලා වෙඩින් එකේ වැඩ ඉවරක වෙච්ච ගමන් උඹට හොඳ පාඩමක් උගන්නනවා…”
ඇය ආදරයෙන් නිලංගා ගේ දෙකොපුල් සිපගත්තාය.බ්‍රයන්ද  ඇය වැළඳගෙන සමුගත්තේය.

ස්ටීව් රියට හේත්තුවී ලය හරහා දෑත් බැඳගෙන  බලාඋන්නේය.
නිලංගා ඔහු වෙත ඇවිද ආවාය. මාලිකා ,බ්‍රයන් සමගින් මේරි ඔවුන් වෙතින් මඳක් ඈතට ඇවිද ගියහ.

“මට සමාවෙන්න ස්ටීව්.මේ දේවල් මෙහෙම උනාට…වෙන කරන්න දෙයක් ඒ වෙලාවෙ මට තිබුණෙ නෑ…”
නිලංගා ගේ හඬ බිඳීගියේය.ස්ටීව් දෑත් දෙපසට විහිදා ඇය වෙත පෑවේය.නිලංගා හඬමින්ම ඔහු දෑත් අතරට මැදිවුණාය.

“අඬන්න එපා නෙලී….මම ඇත්තෙන්ම අප්සෙට් උනා තමයි.මට කිසිම දෙයක් හිතා ගන්න බැරිවුණා.ඒත් මට හැමතිස්සෙම හිතුණා ඔයා මේ වගේ දෙයක් කරන්න ඇත්තේ ලොකු හේතුවක් ඇතුව කියල…හරි අපි පස්සේ හෙමිහිට නිදහසේ මේවා කතා කරමු..දැන් අපි යමු චෙකින් වලටත් කිට්ටුයි..”
ස්ටීව් ඇයගේ හිස පිරිමැද පැවසීය.

“යමු? …ඒ කිව්වෙ…?”
නිලංගා ඔහු වෙතින් මෑත් වූවේ එසේ අසමිනි.

“යමු කියන්නෙ යමු…එච්චරයි…බ්‍රයන් ග්‍රැනීව පරෙස්සමින් ගෙදර ඇරලවන්න.මේරි ගර්ල් අපි නෙක්ස්ට් වීක් හම්බ වෙමු එහෙනම්…”
අතවූ රිය යතුර බ්‍රයන් වෙතට විසිකළ ස්ටීව් සිය ගමන් මල්ල අතට ගත්තේ නිලංගා දෙසට හැරී සිනාවෙමිනි.

“ඔයත් එනවද ඒ කියන්නෙ…ලංකාවට යන්න…මාත් එක්ක…?”
නිලංගා අදහා ගත නොහුණු ස්වරයෙන් පැවසුවාය.

“ඔව් ලංකාවට ගිහිල්ලා ආපහු සැරයක් උඹ අතුරුදහන් වුනොත් මගේ වෙඩින් එකත් ඉවරයි.ඒ නිසා ඊයෙ රෑම අපේ මේරි ග්‍රැනී ස්ටීව් ටත් ටිකට් බුක් කරලා..ඔයා නම් මාරයි මේරි ගර්ල්…”
මාලිකා සිනාසුණාය.

හීත්‍රෝ ගුවන් තොටුපල වෙත ඇවිද යන ගමනේ ආපසු හැරී සිය හිතවතුන් වෙත අතවනා සමුදුන් ස්ටීව් සිය සුරත නිලංගා වෙත පෑවේය.ඔවුනොවුන් දෑත් දෑතේ පැටලී ලංකාව වෙත ගමන යනු වස් ඉදිරියට ඇදුණෝය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here