මල් පිපුණිද හිම කැළයේ – 40 (අවසාන කොටස)

0
3182

නිලංගා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත පැමිණියේ තාත්තා දකින්නටය.සුදු ජාතිකයෙකු සමග පැමිණෙන මේ රුවැති යුවතිය දෙස බොහෝ දෑස් එල්ලවී තිබුණි.

හෙද නිලධාරිනියක වෙතින් තමා පැමිණි කාරණය පැවසූ විට ඇයට නිසි විෂබීජ හරණ ක්‍රියාවලියක සහ අදාළ ඇඳුම් ඇඟලා දැඩි සත්කාර ඒකකය තුළට යන්නට ඉඩ සැලසුණි.
ස්ටීව් ඇයට යන්නට සලසා දැඩි සත්කාර ඒකකය ඉදිරිපස කොටසක වූ අසුන් පේළියක ඉඳගත්තේය.

ජීවිතයත් මරණයත් අතර සටනක යන්ත්‍ර සූත්‍ර බොහොමයක ආධාරයෙන් රැඳී උන් තාත්තා අසලට නිලංගා ඇවිද ආවේ හෙද නිලධාරිනියක සමගය.

“තාත්තේ…මෙන්න ඔයාගේ දුව ඇවිල්ලා…”
හෙද නිලධාරිනියගේ හඬ සමගින් පියවී තිබූ දෑස් විවර විය.නිලංගා තාත්තාගේ අතකින් අල්ලාගත්තාය.

“තාත්තේ මම ඔයාව බලන්න ආවා…”
නිලංගා ඒ වනවිටත් තාත්තාගේ තත්වය හෙද නිලධාරිනියන්ගෙන් දැන උන්නාය.

“එයා අල්ලගෙන ඉන්නේ ඔයා එනකල්.නැත්නම් එයා ගිහින් මේ වෙද්දි…එයාගේ තත්වය එච්චරකටම අමාරුයි…”
ඔවුන් පැවසූ මොහොතේ නිලංගා යුතුකම පමණක්ම සිතට ගත්තාය.ඔහුට සැනසීමෙන් සමුගන්නට ඉඩ දියයුතුව ඇත. නිලංගා තාත්තාගේ දෑතම පිරිමැද්දාය.හිස ආදරයෙන් පිරිමැද සිප ගත්තාය.තාත්තා ආයාසයෙන් දෑත් එක්කලේය.නිලංගා ඔහු දෑත අල්ලාගත් විට ඔහු දෑතම මුවට ගෙන සිප ගත්තේය.අවසාන කඳුල නෙත්කෙවෙනි අතරින් ගලා යන මොහොතේදී තාත්තා දෙනෙත් පියා ගත්තේය.

නිලංගා දෙනෙත් අතරින් බේරීයන කඳුලු වලකා නොගත්තාය.ඒ කාලයක් තිස්සේ ඔවුන් වෙනුවෙන් එකතුවී තිබූ කඳුලුය.ඉතින් ඒවාට ගලා යන්නට ඉඩ දිය යුතුය.නිලංගා සියලු ලියකියවිලි කටයුතු අවසානයේ ස්ටීව්ගේ ලයට වාරුවී හඬා වැටුණාය.අවුරුදු ගණනාවක් තිස්සේ වෙනස්කම් කළ මිනිසුන් වෙනුවෙන් වුව ඇයගේ සිතේ ඇති මුදිතා ගුණය ස්ටීව් දරා උන්නේ ඉතා ආදරයෙනි.

අම්මාත් තාත්තාත් නංගීත් වෙනුවෙන් බොරැල්ලේ පිහිටි මල්ශාලාවක අවසන් කටයුතු සිදුකළ නිලංගා ආගමික  කටයුතු අකුරටම ඉටුකළාය.

“එයාලා තුන්දෙනා වෙනුවෙන් උපන් උපන් ආත්මයකදීවත් මෙහෙම දුක්ඛිත මරණ නොවෙන්න කියලා විතරමයි මම පතන්නේ.එයාලා මගේ වෙන්න මගේ අය වෙලා උපදින්න වගේ ප්‍රාර්ථනා මට නෑ අනූ…”
නිලංගා බොරැල්ල කනත්තේ ඔවුන් තිදෙනා මිහිදන් කරනා ආසන්නයේ සිට අනූපමා හට පැවසුවාය.

“මේ මනුස්සයන්ට අන්තිමට තමන්ගෙ උන්න ගේවත් නැතිඋනානෙ.ඒකත් සින්නවෙලා තිබිලා තියෙන්නෙ…”අවමංගල්‍යයට  පැමිණි අම්මාගේ තාත්තාගෙ පාර්ශ්වයන්හි නෑදෑයෝ පවසනු ඇසිණ.

“ලොකු කෙල්ලට කරපු වෙනස්කම් තමයි ඒ පළ දුන්නෙ.අන්තිමට පැන් වඩන්න හරි උන්නෙ ඒ කෙල්ල..”
අයෙක් එසේ පවසන විට නිලංගා සමග සියලු කටයුතුවලට සහභාගී වූ සුදු ජාතිකයා ගැනද කසුකුසු තැන තැන කියවිණි.කොහොමටත් මියගිය අය ගැන ශෝක පළ කරන්නට වඩා ජීවත් වන අයගේ ජීවිතවල ඇති තතු රස කරමින් කතා කරන්නට මළගෙයක් වුව තෝතැන්නකි.

සත්දවසේ දාන කටයුතු වලින් පසුව නිලංගා අම්මා,තාත්තා සහ නංගී  පිළිබඳ සියලු මතකයනට සමුදුන්නාය.ජිවිතයේ ඒ පරිච්ඡේදය ඉතින් සමාප්තව ගියේය.

“උඹ දැක්කද චරිත මලගෙදරට ඇවිල්ලා උන්නා.”
අනුපමා ඇසු මොහොතේ නිලංගා මඳහසක් පෑවාය.

“දැක්කා විතරක් නෙවේ ඇවිල්ලා කතාකරලත් ගියේ…චරිත එක්ක මගෙ තරහක් නෑ අනූ.ඒ අතීතයට අයිති වෙලා අමතක කළ ආදරයක් විතරයි…”
නිලංගා පැවසුවාය.

“ඒ උනාට ඒ අතීතේ එක්ක උඹ කතාකර කර ඉන්නකොට උඹේ වර්තමානෙයි අනාගතෙයි ආන්න පිපිරි පිපිරි ඉන්නවා මම දැක්කා .”
අනූපමා සිනාසුණේ නිලංගාගේ කණට කර එසේ පවසමිනි. ස්ටීව්ගේ ඒ රැවුම් මුසු ඊර්ශ්‍යාකාර බැල්ම නිලංගා ද ඒ මොහොතේ දුටුවාය.

නුවර වැව අසළ මෙන්ම උඩවත්ත කැළයේදීත් පේරාදෙණිය උද්භිද උද්‍යානයේදීත් විවාපත් යුවලගේ සේයාරූ ගන්නට යළිත් කාළය එළඹියේය. සිල්වියා ලංකාවට ඒම ප්‍රතිකේෂ්ප කළ අතර කිසිවෙක් ඇයට බලකළේද නැත.මේරි මර්ෆි තමා ඇයගේ සියලු කුමන්ත්‍රණ දන්නා බව පවසා ඇයට අනතුරු ඇඟවීමත් සමග සිල්වියා ස්ටීව් සම්බන්ධ  සියලුම  සැලසුම් ඉවත හැරියාය.මේරි මර්ෆි බ්‍රයන් සහ මෙලාගේ දෙමවුපියන් සමග ලංකාවට ආවේ ඇයගේ අතීතයේ සිට තිබූ බලාපොරොත්තු ඉටුකරගනිමිනි.

දළදා මැදුර පෙනෙන සුන්දර ඉසව්වක වැව රවුමේ වූ කහපැහැ මල් වැල් ගලා හැලෙන එක් තැනක මනාල යුවල සේයාරූ ගෙන අවසන් කර තිබුණි.ලාකහ පැහැ ඔසරියක් ගත ලා ගත් නිලංගා වෙත ස්ටීව් ඇවිද ආවේය.ඔහු ක්‍රීම් පැහැයට මුසු යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී උන්නේය.

ඇය ඉදිරිපස දණ නවා ඉඳගත් ස්ටීව් සිය අත්ලේ වූ දියමන්තියක් එබ්බවූ සොඳුරු මුදුවක් ඇය වෙත පා “නෙලී…විල් යූ මැරී මී..”
ලෙසින් විමසුවේය. දෑස් අදහා ගත නොහැකි ස්වරයකින් ඇසුණු ඒ  ආදරණීය ඉල්ලීම නිලංගා පිළිගත්තේ දෑසින් ගලා හැළෙන කඳුලක් කොපුල් හරහා වැටෙන මොහොතේය.
නිලංගා සිය ආදරය ,ප්‍රේමය තමා වෙත ගෙනා ස්ටීව්ගේ ළයට තුරුලු වූවාය.

“මෙච්චර ලස්සන රටක උපන්නට…. මං වෙනුවෙන් මගේ මේ මල පිපුණේ  හිම කැළේක..”
ස්ටීව් එවදන් නිලංගාගේ සවනතට මිමිණුවේ උණුසුම් හාදුවක් සමගිනි.

සමාප්තයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here