පෙමාතුර -4

මම වරින් වර අම්මා දෙස බැලුවෙමි. දෙවියනි ඇගේ මුහුණේ වූ ශාන්තියේ, කරුණාවේ හා ආදරයේ රළ නැගුම! මට ඇය දෙස බලා ගෙන ම ඉන්නට ඕනා විය. නමුත් එසේ කිරීම නො ගැලපේ. ඒවා අප අතර වන අසිරිමත් විනය නීති සමූහය ට නො ගැලපේ. ඒ නිසා මා ඇදෙස බැලුවේ වරින් වර ය.

“හස්බන් නැති වුණා සිදත්..දැන් අවුරුදු දෙකක් පහු වුණා. ඔව්. නෑ…ඔයාට කියල කරදර කරන්න හිතුණෙ නෑ ඉතිං”

ඇය කෙතරම් නිර්ව්‍යාජ ද? ඔවුන් ගේ ප්‍රේමය කෙතරම් පාරිශුද්ධ ද? 

“එයාව බේර ගන්න මං මට කරන්න පුළුවන් හැම දේම කළා. ඒත් එයා ගෙනාපු ආයුෂ එච්චරයි”

ඒ වෙලාවේත් අම්මා ගේ නෙතග කඳුළක තෙත වූ බවට සැක නැත. ඇයට සිය ස්වාමි පුරුෂයා ගැන ඉපැරණි පෙම්වතා සමග කියමින් හඬන්නට පුළුවන් කම තිබේ. ඒ තරමට ඔවුන් ඔවුන් ට පාරදෘශ්‍ය ය. 

“ඒක ඉතිං මගෙ දෛවය වෙන්න ඇති. හුස්ම ටික තියනකල් ජීවත් වෙන්න ඕනනෙ සිදත්. ඉතිං මං ඉන්නව. දැන් මට නිදහසේ ගමන් බිමන් ගිහින් දාන මාන කරගෙන සැනසීමෙං ඉන්න පුළුවන්. ඇත්ත. මට ඒ හැම දේටම මහත්තය හම්බ කරපු සල්ලි තියෙනව. ඒත්…හිතේ මොකක්දෝ අඩුවක් තියෙනව සිදත්. කාටවත් කියා ගන්න තේරෙන්නෙ නැති අඩුවක්…”

අම්මා ගේ හඬ බිඳී යනු මට දැනිණ. ඒ වෙලාවේ ඇය වෙනුවෙන් හඬන්නට පුළුවන්කම මට තිබිණි. ඇයට දැනෙනා අඩුව ද දැන් මට වටහා ගන්නට පුළුවන. ඇය වූ කලී කිසිවකින් අඩුපාඩුවක් නැති ස්ත්‍රියකි. සැමියා මිය ගිය මුත් කිසිවෙකුට අත නොපා අභිමානයෙන් ජීවත් විය හැකි ආර්ථික හා සමාජයීය පසුබිමක් ඇති ගැහැනියකි. නමුත් හදවතේ යම් අඩුවක් තිබෙන බව ඇය ඉතා හෙමිහිට ඔහු ට කීවා ය. ඒ අඩුව අද ඊයේක නොව, තාත්තා මිය ගිය නිසාවෙන් නොව ඔහු සිටියදීත් ඇගේ හදවතට දැනෙමින් තිබි බව දැන් මට දැනේ. මගේ හිතට පමණකුදු නොව ඇට, මස්, ලේ,නහර හා සියුම් ම වූ ස්නායු තන්තු වලට පවා ඒ අඩුව දැනේ. 

ටිකක් දිගු වූ දුරකතන සංවාදයෙන් පසු අප අතරේ ඇවිත් හිඳ ගත් අම්මා ගේ මුහුණේ මා දුටුවේ සරස්වතී දේවතා රූපයක මුහුණෙහි වන විදිහේ ශාන්තිදායක බවකි. නො එසේ නම් මරිය මවු තුමියගේ මුහුණේ බඳු සාමයකි. කිසිවෙකු ඇගෙන් ඒ දුරකතන ඇමතුම ගැන විමසුවේ නැත. නමුත් මඳ විරාමයකින් ඇය ම ඒ ගැන විස්තර කථනයක් කළා ය. 

“සිදත් කතා කළේ…”

ඇස් හයක් ඇය වෙත එක එල්ලේ යොමු විය. අම්මා සන්සුන් බව පුහුණු කරමින් සිටියත් ඇය රතු වූවා ය.

“අවුරුදු මං හිතන්නෙ…හතරකට විතර පස්සෙ. ආයෙ කතා කරන්නෑ කියල එදා ෆෝන් එක තිබ්බත්…එයාට හිතිල මට කෝල් එකක් දෙන්න. රවී නැති වුණ බව එයා දන්නෙ දැන්”

හදවත හෝස් ගා දැවිණි. අම්මා හිතා ඉන්නේ ඒ අහඹු ඇමතුමක් බවයි. නමුත් ඇය කොයි තරම් කාලයක් මේ වගේ මොහොතක් අපේක්ෂාවෙන් සිටියා ද යන්නට ඇගේ මුහුණ සාක්ෂි දරයි. මම හිත ඇතුළෙන් තුනී සතුටක් වින්දෙමි. ආදරය යනු විඳ ගත යුත්තක් බව දැන් මම අදහමි. පෙනි පෙනී ආදරය දුරක රැදීම කෙතරම් ගැඹුරු තුවාල හදවතක ඇති කරනවාද යන්න ද දැන් මම දනිමි. මේ වයසේ දී හෝ අම්මා ට ප්‍රේමයෙන් හුස්ම ගත හැකි නම් එපමණකි.

“එයාටත් අක්ක අමතක වෙන්නෙ නෑ වගේ”

“අමතක වෙන්නෙ නැති අමතක කරන්නත් බැරි දේවල් අපි ඕන කෙනෙක්ගෙ ජීවිත වල තියෙන්න පුළුවන් නදීරා. ඒත් එක එක හේතු නිසා අපිට ඒව අමතක වුණා වගේ ඉන්න සිද්ද වෙන්න පුළුවන්. විශේෂයෙන් ම අපේ දරු පවුල් වලට තියෙන ආදරේ ගෞරවේ නිසා අපිට එහෙම කරන්න වෙන්න පුළුවන්”

ආදරය කියන්නේ ඉවසීමට ය. ආදරය කියන්නේ පරිත්‍යාගයට ය. මම අම්මා ගේ දුව වන්නෙමි. ඉතින් මටත් ඇය සේ වන්නට බැරි ඇයි? උනුන් ගේ දරු පවුල් වෙනුවෙන් ඔවුහු සිය ඉපැරණි ප්‍රේමය හදවත් වල නටඹුන් වෙන්නට හැරියහ. අසල්වැසියා ගේ පෙම්වතිය ගැන සිතා මට මගේ ඒක පාර්ශ්වික ප්‍රේමය මගේ හදවතේ මිහිදන් වන්නට හැරිය නො හැකි ඇයි?

“අනේ ඇති අම්ම…”

කියා ගෙන ගොස් මා අම්මා ගේ පපුව ට තුරුලු වූයේ තවත් ඒ හැඟීම දරා ගනු නො හැකි ව ය. සැබවින්  දැවැන්ත ඉකියක් උගුරේ හිර ව තිබිණ. නමුත් ඒ පිටතට ආවේ නැත. අම්මා ගේ ආදරණීය දෑත් මගේ පිට මත ආදරය තවරනු දැනිණ. මම ඇස් පියා ගෙන සිටියෙමි. අම්මා ගේ හදවත වූයේ මට සෙන්ටි මීටර කිහිපයක් දුරිනි. ඒ හදවත හා ඒකීය වන්නට මට ඕනෑ වන්නට ඇත. හදවත දරා ගනිමින් එහි ප්‍රේමය ජීවත් කරවන්නට මට ඕනෑ වන්නට ඇත.

“මේ කෙල්ලට මේ මොනා වෙලාද…කිසා…ඔයා සෙන්ටිමෙන්ටල් වෙනව වැඩියි කියල මට හිතෙනව. එහෙම වෙන්න එපා කිසා. ඔයාව පරිස්සං කර ගන්න. ඔයාව දුර්වල කරන්න කිසි දේකට ඉඩ දෙන්න එපා. අම්ම මේ වයසෙදිත් සමහර දේවලට ෆේස් කරන විදිහ බලන්න. ඇත්තටම මට ආඩම්බරයි වෙලාවකට මගෙ අක්ක ගැන. අඬන්න ඕන නං අඬන්න කිසා. කෑ ගහල අඬන්න. හිනා වෙන්න ඕනනං හිනා වෙන්න. කඳුළු එනකල් හිනා වෙන්න. ඒත් ඔයා මොනා හරි නොකියා හංගගෙන අඬන්නෙත් නැතුව හිනා වෙන්නෙත් නැතුව ඉන්නකොට…මට හරි බය හිතෙනව කිසා…මොකද…ඔයාගෙ පුංචි වගේ වෙන්න ඕන නෑ ඔයා”

ඒ සනෝජා පුංචි ය. ඇය කී දේ වලින් අන්තිම පේළිය මගේ පපුව කීරි ගැස්වී ය. ඇය වූ කලී කන්දක් වාගේ ගැහැනියක බව මම දනිමි. අම්මා නම් ඇගේ ප්‍රේමය අහිමි වූ වේලේ විවාහය තෝරා ගෙන ඒ තුළ නැති ආදරයක් වගා කර ගන්නට තැත් කළා ය. පුංචී ඈ ප්‍රේමයේ වෙස් මූණ පැළඳ ගත් ප්‍රෝඩා කරුවෙකුට රැවටුණ බව දැන ගත් පසු කළේ ඉනික්බිති ප්‍රේමයට හෝ පිරිමියෙකුට ඇතුළු විය නො හැකි ලෙස හද දොරටු වසා ගැනීම ය. 

එක එක ගැහැනු ආදරය පිළිගන්නේ හා ප්‍රතික්ෂේප කරන්නේ එක එක ආකාරයට ය.

“අඬන්නවත් හිනා වෙන්නවත් විශේෂ හේතුවක් මට නෑ පුංචා”

මම කෙඳිරුවෙමි. එය අසත්‍ය ප්‍රකාශයක් නොවේ. නමුත් සම්පූර්ණ සත්‍යයත් නොවන්නට ඇත.  මගේ පැත්තෙන් මා වෙනුවෙන් ඉදිරිපත් කරන්නට තිබුණ හොඳම හේතු දැක්වීම එය කියා සිතමි.

“මට දුක අම්ම ගැන. අම්මට තිබුණෙ එයා එනකල් ඉන්න. තාත්තව බඳින්නැතුව ඉන්න. එහෙනං අද ඔයා සතුටෙන් ඉන්නව”

“සතුට කියන දේ ගැන එහෙම ප්‍රස්තාර අඳින්න බෑ කිසා. සතුට කියන්නෙ අපි ඇතුළෙ තියෙන දෙයක්. අපිට වවන්න පුළුවන් දෙයක්. බෝ කරන්න පුළුවන් දෙයක්. ඒකට මට සිදත් ව බැන්දෙ නැතත් වෙන මාර්ග තිබුණා. තාත්තට පොඩි ළමයෙක්ට වගේ ආවතේව කරල මං සතුටු වුණා. මල් හිටවල ගහක අලුතෙන් පොහොට්ටුවක් එනව බලං ඉඳල මං සතුටු වුණා. ගෙදර බලා කියා ගෙන මං සතුටු වුණා. කොටිංම මගෙ හිරකාර ජීවිතේ එහෙම එකක් කියල නොහිතෙන තරමට මං ඒ ජීවිතේ සතුටෙන් බාර අරං තිබුණා. ඒක හිර ගෙයක් කියල මට තේරුණේ වුණත් තාත්ත නැති වුණාට පස්සෙ..ඔයා කියන සතුට සාපේක්ෂයි. තාත්තව නොබැඳ එයාව බැන්දනං ලැබෙන්න තිබුණා කියන සතුට. ඒත් මං කියන සතුට නිරපේක්ෂයි. කාව බැන්දත් ඒක මගෙ හිතට අයිති සතුට…කවුරු නිසාවත් නොවෙන සතුට…”

අම්මා දිගට ම කතා කළේ මගේ හිස පිරිමදිමිනි. මා වූ කලී අත්දැකීම් මඳ අඳ බාලයෙකු සේ ඔවුන්ට දැනෙන්නට ඇත. ඔවුන් සිය ජීවිත කාලය තුළ ලබා තිබූ අත්දැකීම් හා අවබෝධය ඒ තරමට උස් ය. 

අසල් වැසියා ට පෙම් නොකරන්නටත් ඔහු අමතක වෙන්න හරින්නටත් මම ඒ වෙලාවේ සිතා ගතිමි. අප අතර වන්නේ වචන දෙක තුනක හා බැලුම් දෙක තුනක ගනු දෙනුවක් පමණකි. ඉන් ඔබ්බට යමක් විණි නම් එය මවිසින් නිර්මාණය කර ගන්නා ලද්දකි. ඒ ගැන අසැල්වැසියා ගේ දොසක් නැත!

පසු දා මා පුවත් පත් කාර්යාලයකට ගොස් පැමිණෙන විට ගෙදර කිසිවෙකු සිටියේ නැත. නදීරා හා සනෝජා පුංචි පිටතට යන්නට ඇත. සාමාන්‍යයෙන් ඔවුන් දෙදෙනාට වන්නේ එක ම ආරක රුචිකත්වයන් ය. පාසල් වියේ සිට මේ දක්වා ම ඔවුන් මිතුරන් වශයෙන් එකට සිටින්නේත් සමාන කුරුල්ලන් නිසා වන්නට පුළුවන. මේ වයසේ දී එක්කෙනෙක් අවිවාහක නිසා නිදහස් ය. අනිත් කෙනා දික්කසාදිත නිසා නිදහස් ය. නදීරා ගේ දියණිය විදේශ ගත ව උසස් අධ්‍යාපනයෙහි නියැළෙයි. ඒ නිදහස් බව තුරුණු මානවිකාවන් සේ ඔවුන් ට ප්‍රීතියෙන් සරන්නට අවස්ථාව උදා කර දී තිබේ. ඔවුහු හොඳ චිත්‍රපට හා වේදිකා නාට්‍ය නරඹන්නට යති. සංගීත ප්‍රසංග සඳහා යති. කානිවල් හෝ වෙනත් විනෝද ජනක අවස්ථාවන් ද අත් නො හරිති. ඊට අමතරව පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මගින් මෙහෙයවනු ලබන විවිධ ක්‍රියාකාරකම් සඳහා සහභාගී වෙති. මේ මොහොතේත් එකී නොකී යම් දේකට ඔවුන් නික්ම ගොස් ඇතිවා විය යුතු ය.

අප සිව් දෙනා ළඟ ම ගෙදර දොරෙහි යතුර බැගින් වේ. ඒ නිසා අප අතරින් කෙනෙකු කිසි සේත් අනෙකා ට හිරිහැරයක් වන්නේ නැත.

මා මතු මහලට නැගෙත්දී අම්මා ගේ කාමරයේ දොර අඩවන් ව තිබෙනවා පෙනිණ. ඇය පිටතට යත්දී එය වසා දමා යන්නී ය. අම්මා ට එය අමතක වී ඇතැයි සිතා මා දොර වසන්නට සැරසෙත්දී ය දුටුවේ ඇය වමනය දමා ගෙන බිම වැටී සිටිනවා. මට කෑ ගැසිණි. කුමක් කරන්න ද කියා සැබවින් ම සිහි වූයේ නැත. අම්මාට කුමක් වී ද කියා තේරුණේ ත් නැත. එවන් හදිසි අවස්ථාවකට මුහුණ දෙන්නට අපට කිසි දා පුහුණුවක් ලබා දී නො තිබීම කෙතරම් වැරදිද?

“අම්මා..අම්මා…අනේ අම්ම ඔයාට මොකද වුණේ…අම්මෙ කතා කරන්නකො…අනේ අම්මෙ”

අම්මා ළඟ බිම හිඳ ඇය ව සොලවමින් ද යළි නැගිටිමින් ද තනිව කෑ ගසමින් හා හඬමින් ද සිට මම මගේ කාමරයට දිව්වෙමි. මේ මොහොතේ මා සම්පූර්ණයෙන් ම අක්‍රිය ය. මොනවා කරන්න ද කියා මට වැටහුණේ නැත. පුංචීට හෝ අයියාට කතා කළ යුතු ය කියා ඊළඟ මොහොතේ මට සිහි විය. දුරකතනය සොයත්දී ම, ඔවුන් පැමිණෙන්නට තව කෙතරම් කාලයක් ගත වේවි ද යන කල්පනාව ද පැමිණියේ ය. මම වහ වහා දොර හැර ගෙන, හඬමින් ම බැල්කනියට ගියෙමි.

“අනේ කවුරුත් නැද්ද…මට උදව් කරන්න…ආන්ටී..ආන්ටී..”

හඬමින් ම මා කතා කළේ අසල්වැසි ගෙහිමි කාන්තාවට ය. නමුත් උඩු මහලේ දොර විවර කර ගෙන පිටතට ආවේ ඔහු ය.

“ආන්ටි නැද්ද පහළ…අනේ අපේ අම්මට අමාරුයි”

වචනයක් හෝ කතා නො කළ ඔහු වහා ම පියගැට පෙළ දිග දිවගෙන වාගේ පහළට බැස්සේ ය. මමත් යන්ත්‍රාණුසාරයෙන් මෙන් පහළට දිව්වෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -75

ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා...

(අ) හිමි සිහින -229

පැමිණිල්ලේ නීතිඥයා කතාකල පසු එයට උත්තර බැඳීමට අපට අවස්ථාව ආවා.එවිට එතෙක් මා රැගෙන ගිය ලිපිගොනු සියල්ල එකින් එක පොලිස් ස්ථානාධිපතිවරයාට පෙන්වමින් මගේ...

නිබ්බුත ගීත -24

ගේට්ටුවෙන් ඇතුලු වත්දී ම අප පිළි ගත්තේ දණක් උසට වැවුණ තණ කොළ හා වල් පැළෑටි වර්ග ය. කාලයකින් මේ බිමට මිනිස් දෙපා...

අවුරුදු 55 දී IVF තාක්ෂණය භාවිතා කර සිහිනය සැබෑ කරගත් අම්මා

කෙලී ක්ලාක් සිය ජීවිතය ගත කළේ මතකයන් ගොඩනඟා ගැනීමට සහ විවිධ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි. ඇය ගුවන් තොටුපළ පර්යන්ත කළමනාකරුවෙකු ලෙස...

සුහදිනි -74

සකී අහස්ගේ නිවසට ගියේ නිම්නා ද සමඟ ය.හිමිදිරි පාන්දර අහස්ගේ නිවසට යද්දී ඔහු අවදිව වූවා පමණකි.සකී රැගෙන යන්නට එන බවට පිළිණ දුන්නාට...