වැරදිකාරි

“ඔයාගේ ජොබ් එකේ වැඩේ මොකද වුණේ?”

නයෝමි ජාලියගෙන් ඇහුවේ අහන්නේ නැතුව බැරිකමට.දැන් අධ්‍යාපන සුදුසුකම්,වෘත්තීය සුදුසුකම් නැතුව රැකියාවකට යාම අසීරු බව නයෝමි දන්නවා.ඒත් ජාලිය ඒ කිසිම දෙයක් ඇති කරගන්න ඒ හැටි කැමැත්තක් නෑ.

“හරියන්නැති පාටයි..”

ජාලියගේ අඳුරුවෙන මුහුණ දිහා බලන් ඉන්නකොට නයෝමිට ඇත්තටම දුක හිතෙනවා.ඒත් නයෝමි දුක හංගා ගෙන ජාලියට ධෛර්යය දෙන්න විවිධාකාර යෝජනා ගේනවා.

“ජාලිය,මං කැම්පස් අවුට් වෙන්න තව ටික දවසක් තියනවනෙ.ඔයා මොනවහරි ඉගෙන ගන්න පටන් ගන්න.ආයේ ඒලෙවල් කරලා කැම්පස් යන්න කියලවත් ලොකු ගණන් දීලා ප්‍රයිවෙට් කැම්පස් යන්න කියලවත් නෙවෙයි මං කියන්නෙ.ටෙක් එකක හරි හොඳ කෝස් එකක් කරමු..මෝටර් මිකැනිකල් කෝස් එකක් හරියට කරත් හොඳට සල්ලි හොයන්න පුලුවන්..”

ජාලිය නයෝමි දිහා බලන්නේ පුලුවන් තරම් තරහ මුහුණට තවරගෙන.

“ආස ඇති නේද?තමුසෙ ඔෆිස් නෝනෙක් වෙනකොට මං ගරාජ් කාරයෙක් වෙනවට..තමුසෙ මේ ඊයේ පෙරේදා මට බේකරි කෝස් එකක් කරන්න කිව්ව මතකද? චූංපාං විකුණනව බලන්නද ඕන..”

අවුරුදු හතරපහකට කලින් පාසල් ප්‍රේමය කියලා නතර වුණු තැන ගැන නයෝමිට දැනෙන්නේ වේදනාවක්.පන්තියේ දක්ෂම ළමයෙක් වුණු තමන් ජාලියත් එක්ක ආදරයක පැටලෙනකොට ගුරුවරු ඒ තරම් විරුද්ධ වෙන්න හේතුව දැන් නයෝමිට පැහැදිලියි.

“ජාලිය..ඔය එක රස්සාවක්වත් පහත් නෑ.ඔයා දන්නවද? හොඳ ප්‍රේස්ට්‍රි චෙෆ් කෙනෙක්,කේක් මේකර් කෙනෙක් මොනතරම් සල්ලියක් හොයනවද කියලා.අනික දැන් ගරාජ් බාස්ලා කියල අය නෑ.ගොවිතැන,සිල්ලර කඩ වුණත් ස්මාර්ට් විදියට කරන්න පුලුවන් පරම්පරාවක් දැන් ඉන්නෙ.ඔයාටත් තියෙන්නෙ තමන්ගෙ පාරක් හොයා ගන්න.නාස්ති කරන්න කාලයක් නෑ..”

ඒත් ජාලිය ඒ හැම යෝජනාවක්ම අහකට දැම්මේ නයෝමිට පුලුවන් තරම් කැත කතා කියලා බැනල.රෑ තිස්සේ ගේම් ගහන ජාලිය දවල් දවස පුරා ෆේස්බුක් එකේ රාජකාරිය.නිළියන්ගෙ ගවුම්වල දිග ප්‍රමාණය,එයාලගේ කලින් ප්‍රේම සම්බන්ධතා,සමාජ ප්‍රශ්න ගැන ලියන සමාජ ක්‍රියාකාරිනියන් ගණිකාවක් වෙන සූත්‍රය වගේ දේවල් හොයන්න ගියාම ජාලියට ඉගෙන ගන්න තියා බත් කටක් කන්නවත් වෙලාවක් නැතුව ඇති කියලා නයෝමිටත් නොහිතෙනවා නෙවෙයි.ඒත් මුලින්ම හිතට ආපු ආදරේට පිටුපාන්න නයෝමිට දුකයි.

“අනේ මොනවද නයෝමි මේ ඔයාගේ ජාලිය දාන කමෙන්ට්ස්..”

දේශනයක් ඉවර වෙලා මිතුරියන් එක්ක සතුටු සාමිචියක ඉන්නකොට එතනට ආව නිත්‍යා නයෝමිගෙන් ඇහුවේ තරහින්.නිත්‍යා සමාජයේ තියන සමහර ගැටලු ගැන සමාජ ජාලා වල ලියන්නියක්.ඒ ගැටලුවක කමෙන්ට්ස් තීරයේ නිත්‍යාට බනින අය අතරේ ජාලියත් ඉහළින්ම ඉන්නවා.

“කිසිම ගෑනුකමක් නැති උන්ව ආස්සරේ කරන්න එපා හලෝ..”

තමන්ගේ යාලුවන්ට කැත විදියට සමාජ ජාලාවල බනින්න එපා කියලා ඉල්ලපු නයෝමිට ජාලිය දුන්නේ එහෙම උත්තරයක්.ජාලිය මනුස්සයෙක් නෙවෙයි ෆේස්බුක් එකවුන්ට් එකක් වීගෙන එනවා කියලා නයෝමිට හිතෙන දවස් ආවේ ඉහේ කෙස් ගාණට.

නයෝමිගේ උපන්දිනයට දෙන්න කිසිම තෑග්ගක් ජාලිය ළඟ තිබුණේ නෑ.ඒත් වසන්තය එනතුරු ඉවසිල්ලෙන් බලන් ඉන්න නයෝමි සූදානම්.රස්සාවක් හොයා ගන්නවනම් ජාලියට දියුණු වෙන්න අපහසු නැති බව නයෝමි දන්නවා.ඒත් වෙලා තියෙන්නේ උනන්දුවක් නැතිකම.

“ජාලිය,අද මගෙ උපන්දිනේ.ෆෝන් එකට ඇස් අලවන් ඉන් නැතුව මාත් එක්ක කතා කරන්නකො..”

නයෝමි ජාලියගෙන් ඉල්ලුවේ දුකින්.තෑගි ඕනෑ නෑ.අඩුම තරමේ නයෝමි මුණ ගැහෙන්න ආවම ෆෝන් එක ඇහේ අලවා ගන්නේ නැතුව ඉන්නවානම්!

“මං මේ ඔයාට දැම්ම බර්ත්ඩේ විෂ් එකට රිප්ලයි කරනව..”

ජාලිය කියන්නේ නොරිස්සුමෙන්.නයෝමි එදා ගෙදර ආවේ හිතේ දුක පුරවාගෙන.

රැකියා අයදුම්පත්‍ර බර ගාණක් ප්‍රතික්ෂේප වෙනකොට නයෝමි ජාලියව අධ්‍යාපනයට පොළඹවන්න පුලුවන් තරම් උත්සාහ කළා.ඒ නැතිනම් තමන්ගේම පාරක ඇවිද යන්න කළ හැකි බොහෝ දේවල් කියලා දුන්නා.ඒත් බීරි අලින්ට වීණා ගැහීම කියන ප්‍රස්තාව පිරුළ හරියටම තේරුම් ගන්න නයෝමිටත් පුලුවන් වුණා.

කෙටි කාලීනව මුදල් හෙවීම්,ක්ෂණික පොහොසත්වීම් වගේ එක එක බිල්ලෝ පස්සේ යන ජාලියට ඇත්ත තේරුම් කරලා දෙනවට වඩා හිත හදා ගෙන වෙන්වීම සැපක් කියලා හිතෙන දවසක් නයෝමිට උදා වුණා.

“ඔයා හැදෙන්න.මොකක්ම හරි පාරක් හොයා ගන්න..”

නයෝමි එහෙම කීවට ජාලිය ඒවා අහන්න කිසිම සූදානමක් තිබුණේ නෑ.

“ඔයා කලබල වෙන්න එපා නයෝමි.ජාලිය ඔයා ගැන මහ ජරා දේවල් ෆේස්බුක් එකේ ලියලා..”

ඊට දවස් කීපයකට පස්සේ මිතුරියක් නයෝමිට කීවේ නයෝමිගේ අතකින් අල්ලා ගන්න ගමන්.

“වෙන් වුණේ මමනෙ. දැන් මට මේවා දරා ගන්න වෙනවා..”

නයෝමි ඒ හැම දෙයක්ම නොකියවන්න හිතා ගත්තා.

“ඉගෙනීමෙන්ම ඉස්සරහට යන්න හැම මනුස්සයෙක්ටම බෑ.ඒත් තමන්ගෙ පාරක් හොයාගෙන ඉස්සරහට ගියෑකි.එයා ඒක නොකර මං එයා එක්ක ඉන්න ඕන කියල හිතන එක අසාධාරණ නැද්ද..”

නයෝමි දුක්බරව එහෙම කියද්දී නිත්‍යා නයෝමිගේ කරවටා අතක් දා ගත්තේ සැහැල්ලුවෙන්.

“ආදරේ කරන්න ඕන මඟදි අතාරින්න නෙවෙයි තමා නයෝමි.ඒත් එහෙම නොකර බැරි මිනිස්සු ඉන්නව.හැදෙන්න කියල මොනතරම් අවස්ථා දුන්නත් නැහැදෙන මිනිස්සු හදන්නම බෑ..ඔයා මේ මඩවලින් වැටෙන්න එපා.මඩට බයේ එයා එක්ක ඉන්න ගියොත් නැති වෙන්නේ ඔයාගෙම අනාගතේ..”

නිත්‍යා මිතුරියට උපදෙස් දුන්නේ ආදරයෙන්.

පාසල් කාලයේ ඉඳලා තිබ්බ ආදර කතාවක් ගහෙන් ගෙඩි එනවා වගේ අහවර කරාට නයෝමි තවමත් නින්දා අපහාස විඳිනවා.ඒත් අනාගතයක් හදා ගන්න උනන්දු නොවන පෙම්වතෙක් යහපතට පොළඹවන්න ඇය ගත්තු උත්සාහය ඒ කොතැනකවත් කියවෙන්නේ නෑ.

“ජීවිතේ ගැන කිසිම තේරුමක් නැති මනුස්සයෙක් කසාද බඳින්න වුණානම් අනාගතයක් ගැන නොහිතා මේ මොහොත විතරක් ගත කරන ජාලිය එක්ක එකට ජීවත් වෙන්න වුණානම්…”

ඒ අපහාස ඇහෙන වෙලාවට නයෝමි කල්පනා කරනවා.

“ජීවත් වෙන්න සල්ලි ඕනෑම නෑ.ඒත් මුදල් උපයන මාර්ගයක් ඕන.මට සල්ලිකාර කොල්ලෙක් නම් ඕන නෑ.ඒත් තමන්ට කියලා රස්සාවක් හරි ආදායම් මාර්ගයක් හරි හොයා නොගන්න කෙනෙක් එක්ක අනාගතයක් තියනවද?”

ජාලියව අත් හැරීම ගැන අහපු කීපදෙනෙකුටම නයෝමි උත්තර දුන්නා.

“ඒ වුණාට ජාලිය ඔයාට කොච්චර ආදරෙයිද? ඔයා ඉහළට ගිහින් එයාව අත් ඇරියා..”

ඒ චෝදනාව නයෝමි හිනාවකින් ඉවසා ගන්නවා.ජාලියවත් ඉහළට අරන් යන්න තමන් මොනතරම් කැපකිරීම් කරාද කියලා ඇය කාටවත්ම කියන්න යන්නේ නෑ.ඒත් ක්ලාස් කට් කරනකොට ජාලියට සටහන් පිටපත් කරලා දුන්නු හැටි,විභාගය අසමත් වුණාම තවත් වාරයක් උත්සාහ කරන්න කියලා බල කරපු හැටි, ගැලපෙන රැකියාවන් හොය හොයා ඉල්ලුම්පත්‍ර දාපු හැටි, විවිධ පාඨමාලා හදාරන්න පොළඹවපු හැටි ඒ චෝදනා කරන අය නොදන්න බව නයෝමි දන්නවා.දන්න අයත් කැමති නොදන්නවා වගේ ඉන්න.

“ගෑනු ඉහළට යන්නේ දුප්පත් ආදරවන්තයො අමතක කරලනෙ..”

ඒක හරි පසුගාමී හින්ට් එකක් කියලා නයෝමිට හිතෙනවා.කවුරුත් දුප්පත්ව ජීවත් විය යුතු නෑ.තමන්ගේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන්න ඕනෑ.ඒත් ඵලකට නැති දේට කාලය යොදවන්න ගියාම ජාලියට තමන්ගෙ අනාගතය අමතකම වෙලා ගිය බව නයෝමි කාටත් වඩා දන්නවා.

තමන් ගත්තේ බොහොම නිවැරදි තීරණයක් කියලා ඇයට විශ්වාසයි.ඇය තමන්ගේ එඩිතර තීරණය ගැන තමන්ටම ප්‍රසංසා කරගනිමින් ඇගේ ගමන ඇවිද යනවා.ජාලිය කුඩා තිතක් තරම් ඈතකින් දකින තුරු පසු නොබලා ඇවිද යන්න පුලුවන් බව නයෝමිට විශ්වාසයි.

නරකම තැනකින් ගැලවෙන්න ගැහැනු ළමයි බය විය යුතු නෑ.බය වෙන්න ඕනෑ එතන රැඳෙමින් දුක් විඳින්න.ජීවිතේ පසුතැවෙමින් දුක් වෙන්න කාලය ඉතුරු දෙයක් නෙවෙයි.

නයෝමි ඒ කතාව හැමදාමත් විශ්වාස කරනවා.

More Stories

Don't Miss


Latest Articles