” දුමී ගෙදරින් ගිහින් තියෙන්නේ පාන්දර 3:20 ට.”
ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කළ අෂ්මිල ගෙමිදුලේ උන් තේජ් හා ශමෙල් වෙත පැමිණ පැවසුවේය.
” අපි එන්න පැයකට වගේ කලින්. අපි එද්දි හතරාමාර විතර උනා. “
අෂ්මිල තේජ් දෙස බලා හිස සෙලවුවේය.
” අෂ්මිල..! මෙහෙම දුක් වෙවී ඉඳලා බෑ. මං කියන්නද අපි පාරට යං. මේන් රෝඩ් එකට ගිහින් එතන තියන ශොප් එකක සීසීටීවී බලමු.”
” යං. ඒ හරියේ තියන ශොප්ස් කීපයක් මං දන්නවා. අපි කතා කරලා බලමු. “
” භරණ..!”
වේගයෙන් අඩි තබා නිවසට පැමිණි ශමෙල් වහා භරණ අසල නතර විය.
” මෙහෙම ඉඳලා බෑ. අපි පාරට යනවා. “
” ඔහොම හිටහන් මාත් එනවා. මේ කෙල්ලව කොහෙන් හරි හොයාගන්න ඕනේ. “
කිසිවෙකු දෙස නොබැලූ භරණ හිඳ උන් සෝපාවෙන් නැඟිට වේගයෙන් නිවසින් පිටතට අඩි තැබුවේය.
” පොඩ්ඩක් බලහන්. “
තේජ් දෙස බලා එසේ පැවසූ අෂ්මිලද වහා ගොස් ශමෙල්ගේ මෝටර් රථයට ගොඩ වුණේය.
” ඉස්සරහා පේස්ට්රි ශොප් එකෙන් නතර කරන්න ශමෙල්. අපි එතනින් බලමු “
අෂ්මිලගේ දැනුම් දීමත් සමඟ ශමෙල් ප්රධාන මාර්ගයට මුහුණලා තිබූ ආපනශාලාවක් අසල මෝටර් රථය නතර කළ අතර අෂ්මිල කලබලයෙන්ම ඉන් පිටතට බැස්සේය.
” දොස්තර මහත්තයා..! දොස්තර මහත්තයා ..!”‘
ආපනශාලාව දෙසට ඉක්මන් අඩි තබමින් සිටි අෂ්මිල එකී හඬට යළි හැරුණේය.
” ආ.. කිත්සිරි අන්කල් ..?”
” දොස්තර මහත්තයා..! ගෙදර මොකක් හරි කරදරයක්ද ? “
” ආ.. ?”
” අද පාන්දර අර එහේ ඉන්න චූටි මිස් කලබලයෙන් පාර්ක් එකේ කොල්ලෙක්ගේ වීල් එකක නැඟලා ගිහින් තිබ්බානේ.”
මුහුණට මුහුණ බලාගත් භරණ හා ශමෙල්ද ඉක්මන් ගමනින් අෂ්මිල වෙත අඩි තැබූහ.
” කා.. කාත් එක්කද ගිහින් තිබ්බේ. ?”
” පාක් එකේ කොල්ලෙක් එක්ක දොස්තර මහත්තයා. ඊයේ රෑ මළ ගෙදරක ගිහිල්ලා පොර පාන්දර ඇවිත් තියෙන්නේ. ගෙදර යමින් ඉන්න අතරේ අර මිස් අත දාලා වීල් එක නතර කරලා ඒකට නැඟලා. කොහෙටද යන්නෝන කියලා ඇහුවම ගොඩක් වෙලා ගිහින් කියලා තියෙන්නේ කොළඹට කියලා. යන ගමන පුරාම අඬ අඬලු ගියේ. අරූ මුකුත් අහලත් නෑ ගෑනු ළමයෙක් නිසා. මාත් එක්ක ඒ මිස් දෙතුන් ගමනක්ම කැම්පස් එකට ගිහින් තියන නිසා කොල්ලා අද උදේ මට ඔය කතාව කිව්වේ. “
” කොහෙන්ද එතකොට බැහැලා තියෙන්නේ ?”
” කොළඹට කිව්ව නිසා කොල්ලා හිතලා තියෙන්නේ කොටුව බස් ස්ටෑන්ඩ් එකට කියලා. එතනට ගිහිල්ලා ආවා කියලා කිව්වමත් මිස් ඇහුවලු මේ කොහෙද කියලා. ඌ කිව්වේ සෑහෙන්න අවුලකින් හිටියා කියලා. මට උදේම ලෙඩෙක් ගෙනියන්න උනා ඉස්පිරිතාලෙට. ඒ නිසයි උදෙන්ම ඒ පැත්තට එන්න බැරි උනේ. දැනුයි මාත් මේ පාර්ක් එකට ආවේ. “
” අපි කොටුවට යං “
භරණ යළිත් ඉක්මන් ගමනින් ගොස් මෝටර් රථයට නැංගේය.
” හරි. අන්කල් බොහොම ස්තූතියි . මං අන්කල්ව පස්සේ මුණ ගැහෙන්න එන්නං “
” හොඳයි දොස්තර මහත්තයා”
අෂ්මිලද වහා ගොස් මෝටර් රථයට නැංගේය.
” දිසා.. !”
………
” ඔව්. කෙල්ල පාර ළඟින් ට්රයි ශෝ එකක නැඟලා. කොටුවට ගිහින් තියෙන්නේ. “
………….
” හා හරි.. හරි “
දුරකතන ඇමතුම විසන්ධි කළ ශමෙල් රථය පදවන අතරම භරණ දෙසට හැරුණේය.
” දිසා කිව්වා කොටුවට ඔෆිසර්ස්ලා දෙන්නෙක් එවන්නම් කියලා. එතනින් බලාගන්න පුලුවන් වෙයි කෙල්ල කොහෙ හරි බස් එකකට නැඟලද කියලා. “
කිසිවක්ම නොපැවසූ භරණ දිගටම මාර්ගයට දෑස යොමු කරමින් සිටියේය.
” දිසා කිව්වේ කවුද ?”
ශමෙල් ඉදිරිපස කණ්නාඩියෙන් පසුපස උන් අෂ්මිල දෙස බැලුවේය.
” ඩීඅයිජී නඳුන් දිසානායක. මිනිහා අපේ පරණ යාලුවෙක්. “
” ආහ්. හරි. “
වේගයෙන් ඉදිරියට ඇදෙන මෝටර් රථය තුළ පැවතියේ දැඩි නිහඬ බවකි. භරණ සිටින්නේ දැඩි අමනාපයකින් බව වැටහුණු නිසාවෙන්ම අස්නක පිළිබඳව කෙටි පණිවිඩ යවමින් තේජ්ගෙන් විමසමින් සිටි අෂ්මිලගේ දැහැන නැවතත් නාද දෙන ශමෙල්ගේ දුරකතන හඬට බිඳී වැටිණි.
“දිසා..! ඔව්. කියහන්. “
මාර්ගය මැදම තිරිංග තද කෙරූ මෝටර් රථය විසල් හඬක් නංවා නතර වූ අතර ශමෙල් වෙව්ලන දෑසින් භරණ දෙස බැලුවේය.
” ඇයි..? ශමෙල් ? කියහන් ඇයි ?”
********************************************
මෝටර් රථයෙන් බැස ගත් භරණ වේගයෙන් රෝහල් කොරිඩෝව හරහා දිව ගිය අතර ශමෙල්ද වහ වහා ඔහු පසුපසින් ලුහු බැන්ඳේය.
” හෙලෝ තේජ් ..!”
ඉක්මන් ගමනින් ඔවුන් දෙදෙනා පසුපසම ඇවිද යමින් සිටි අෂ්මිල වහා තේජ් වෙත දුරකතන ඇමතුමක් ලබා ගත්තේය.
” දුමී ගැන ආරංචියක් තියනවා. “
” කෙල්ල හොඳින් ඉන්නවා නේද ?”
” කෙල්ල ඉන්නවා. හැබැයි හොඳින් නෙමෙයි. පාන්දර දුමී පාක් එකේ ට්රයි ශෝ එකක නැඟලා කොටුවට ඇවිල්ලා. අපි එන්න ආවේ කොටුවට එන්න. මඟදි භරණගේ යාලු ඩීඅයිජී කෙනෙක් කතා කරලා කිව්වා දුමී ඇක්සිඩන්ට් වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා කියලා. “
” ඇක්සිඩන්ට් ?”
” හ්ම්ම්.. කල්පනාව නැතුව පාර පනින්න ගිහිල්ලා. “
” අපි දැන් එනවා. “
” හරි. “
මිනිත්තු කිහිපයක් පුරාවටම අෂ්මිල හා ශමෙල් නොසන්සුන්ව රෝහල් කාමරය පිට සක්මන් කරමින් සිටියේය. රෝහල් කාමරයේ ඇතුළට පිවිසි භරණගෙන් ඒ වනතුරුත් කිසිදු තොරතුරක් නොලැබුණු අතර තම වෛද්ය හැඳුනුම්පත පෙන්වා ඊට ඇතුළු විය හැකි වුවද තව දුරටත් භරණගේ දෝෂ දර්ශනයට ලක් වීමට අකමැති වූ අෂ්මිල නිහඬවම පිටත රැඳී සිටියේය. මිනිත්තු පහළොවක් පමණ ගතව ගිය කළ වේගයෙන් දිව ආ අස්නක හා තේජ් රෝහල් කාමරය ඉදිරිපිට උන් ශමෙල් හා අෂ්මිල අසල නතර වූහ.
” මො.. මොකද්ද වෙලා තියෙන්නේ ?”
එතෙක් වේලා අෂ්මිලගේ සිතෙහි අස්නක කෙරෙහි තිබූ නොරිස්සුමත් , කෝපයත් මිශ්ර වූ හැඟීම ඔහුගේ උවන මත ඒ මොහොතේ ඇති අසරණ භාවයත් , ශෝකයත් , වෙව්ලීමත් දුටු විට අතුරුදහන් වී යෑමට පටන් ගත්තේය.
” කල්පනාව නැතුව පාර ක්රොස් කරන්න ගිහින්. භරණ ඇතුළේ බලනවා. “
“මැරෙනවා.. එහෙනං ගිහින් මැරෙනවා.. මගේ ඇස් දෙකට පේන්නැති වෙන්න කොහෙටහරි ගිහින් මැරෙනවා. “
දෙපා වාරු නොමැති වූ අස්නක වහා කොරිඩෝවේ තිබූ පුටුවකට කඩා වැටුණේය. ඔහු මුවින් ඈ වෙත පිටවූ වදන් යළි යළිත් ඔහුගේ සිත පුරා දෝංකාර දීමට පටන් ගත් අතර දෑසින් ගැලූ කඳුළක් ඔහේ කමිසය මතට වැටිණි.
” ලොකූ..! ලොකු අවුලක් නෑ. බය වෙන්න දෙයක් නෑ. “
තව දුරටත් එකම සොහොයුරාගේ වේදනාබරිත මුහුණ දෙස බලා සිටීමට නොහැකි වූ අෂ්මිල ඔහුගේ උරයක් මතට අතක් තබා පැවසුවේය.
” අස්නක ..! අපි..”
ශමෙල් පැවසීමට ගිය කාරණය එක්වරම නතර විය. විවර වූ ද්වාරයෙන් වේගයෙන් ඇවිද එන භරණ දුටු අස්නක වහා හිඳ උන් අසුනෙන් නැඟිට්ටේය. කඳුළින් පෙඟී ගිය රක්ත වර්ණ දෑසින් වේගයෙන් ඇවිද ආ භරණ කිසිවක් පැවසීමට තබා සිතීමට හෝ පෙර අත දිගු කර අස්නක වෙත දරුණු අතුල් පහරක් එල්ල කළේය.
” භරණ..!”
අෂ්මිල , තේජ් , ශමෙල් තිදෙනාම භරණ වැළැක්වීමට උත්සාහ කළද ඊට පෙරම ඔවුන් වෙත අත දිගු කළ අස්නක වහා ඔවුන් වැළැක්වූවේය. තව දුරටත් කඳුළු බේරෙන උවනින් යළිත් වරක් අස්නකට තවත් අතුල් පහරක් එල්ල කළ භරණ වහා ඔහු වෙත කඩා පැන ඔහුගේ කමිස කොලරයෙන් අල්ලා ගත්තේය. ඒ සැණින් තේජ් හා අෂ්මිල වහා භරණගේ දෙවුරින් අල්ලා ගත්තේය.
” භරණ..! අපි ටිකක් ඉවසමු . භරණ..!”
” මොනවා ඉවසන්නද යකෝ..?”
වහා තේජ් දෙස හැරී ගිගිරූ භරණ නැවතත් අෂ්මිල දෙසට හැරුණේය.
” දරු පැටියෙක් වගේ හදපු කෙල්ල යකෝ..! ජීවිතේට මොනාහරි උනානං තෝ අපිට ආයේ කෙල්ලෙක් ගෙනත් දෙනවද ?”
” භ.. භරණ මං.”
” තොගේ ඔය තිරිසන් කටින් මගේ නම කියන්න එපා. උඹ ගැන මගේ හිතේ තිබ්බ හැමදේම නැති උනා බං. දුමී ආයේ මේ දේවල් දිහා කොහොම බලයිද කියලා මං දන්නෑ. හැබැයි මීට පස්සෙ උඹටයි , මටයි කිසිම සම්බන්ධයක් නෑ. “
” භරණ.. ! ටිකක් අහපන් ..!”
වහා ඔහු වෙත පැමිණි ශමෙල් ඔහුගේ උරහිසට අත තැබුවද හේ ක්ෂණිකව එකී අතද ගසා දැම්මේය.
” යන්තං කකුල විතරයි ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒකත් සති දෙකක් තුනක් යද්දි සනීප වෙයි. ඒත්.. කෙල්ල තාම ඉන්නේ ශොක් එකේ. ඒක එහෙම වෙච්ච නිසා හොඳයි අස්නක. ඊට එහා ගිහින් කෙල්ලට මොනාහරි දෙයක් වෙලා තිබ්බනං එහෙම මං තෝවත් මරාගෙන මැරෙනවා. “
බලාපොරොත්තුවේ අවසාන පහන් සිළුවත් නිවී ගිය පසු සියල්ල අහිමිව වේදනාව පමණක් ඉතිරි වූ හදවතින් උහුළා ගත නොහැකි පශ්චත්තාපයකින් වචන හා හුස්ම අවහිර වූ අස්නක විජේසිංහ නැවත වතාවක් අසල වූ පුටුව මතට කඩා වැටුණේය.
” පේශන්ට්ව බලන්න පුලුවන් “
එකිනෙකා කෙරෙහි පැවති නොරුස්සනා හැඟීම් සමුදායක් මැද නිහඬව ගෙවී ගිය මිනිත්තු කිහිපයකින් පසුව රෝහල් කාමරයෙන් පිටතට පැමිණි හෙදියක් පිටත සිටි අය දෙස බලා පැවසුවාය. ක්ෂණිකව හිඳ උන් අසුනෙන් නැඟී සිටි අස්නක ඉදිරියට තැබූ පාදය යළි නවතා භරණ දෙස බැලුවේය. කිසිවක් නොපැවසූ භරණ නිහඬව ඔහුව පසුකර නැවතත් රෝහල් කාමරයට අඩිය තැබුවේය.


