උදහැනැක්කෙ කුකුලා අතෙන් අරගත්තා ගමන් වගේ තමයි සෙදෝ හාමිනේ මිදුලෙ හීනි සුදු වැල්ල උඩ රටාව අදින්න හිතාගෙන ඉදල අතට අරන් පිලිකන්න දිහාවෙන් ගෙයින් දොට්ට බහින්නේ.
සෙදෝ හාමිනේලගෙ ගෙයි වකාරෙට පාට පාට මල් ජාති පිරිලා. ආය ඉතින් මල් වලින් අඩුවක් වෙන්න හේතුවක් ඇති ගෙයක් ය. සෙදෝ හාම්නේගේ පුරුසයා වෙච්ච ගුණරත්ත සිදාදිය දිහාවෙයි, එක එක ගං පලාත්වලයි වෙල හෙලඳාං කටයුතු වල ගිහිල්ලා එද්දි සෙදෝ හාමිනේට අතක් බර ජාති අරගෙන නෙව ආපස්සට ගෙදර එන්නේ. ඒ අරං එන අතක් බර ජාතිවලින් වැඩි හරියක් තියෙන්නෙ ඔය එක එක දිහාවලින් ගුණරත්න එක්කාසු කරගත්ත මල් පැලයි, මල් අතුයි. සෙදෝ හාමිනේත් ඉහින් මල් පැල හදන්න බැරි එක්කෙනානේ. පොඩි උන් දෙන්නා උස් මහත් කරනවට වඩා ආදරෙන් තමා සෙදෝ හාමිනේ මල් පැල ටික උස් මහත් කොරේ. ඒ හන්දමද මන්දා ඉතින් මිදුල මැද්දෙ සුදු හුණු පිරියං කොරාපු ගේ පොඩ්ඩ පෙනුනෙ නිකං දිව්‍ය ලෝක හතක් ලස්සනට.
අනික් එක මක්කා උනත් සෙදෝ හාමිනේ සිරියාවන්ත ගැනි. ඒකටත් හරියන්න ගුණරත්න. රත්තරං මිනිහා. සෙදෝ හාමිනේට ගුණරත්න හම්බෙච්ච එක ගැනයි, ගුණරත්නට සෙදෝ හාමිනේ හම්බෙච්ච එක ගැනයි මිනිස්සු කතා කරේ “දෙන්නට දෙන්නා පූරුවෙ කර පිනක් හින්දා වෙච්ච කසාදයක් ඕක” කියලා. බොරුවක් වත් කට කියවිල්ලට කිව්ව කතාවක්වත් නෙවි ඉතින් ඒක. සහතික ඇත්ත. ඒ තරං ගැලපෙන ජෝඩුව. අනෙක් අතට සන්තෝස කාරණාවකදි දෙන්නා එක්කහු වෙලා ඒ සන්තෝසෙ බෙදා හදාගන්නෙ කොහොමද කියන එකද, දුක හිතෙන, ප්‍රශ්නයක් ආව තැනකදි දෙන්නා එක්කලා ඒක කතා කරලා විසඳගන්නෙ ද හරි යහපත් විදිහට. ඔය අනිත් මිනිස්සු වගේ රණ්ඩු සරුවල් වෙන ඒවා මේ ජෝඩුවෙ පවුල් සංස්ථාව අස්සෙ තිබ්බෙ නෑ. එක්කෙනෙක්ගෙ හිත නරක් වෙච්ච බව තේරුණොත් අනික් කෙනා දැනගෙන උන්නා නරක් වෙච්ච හිත ආපස්සට හොඳ කරන්නෙ කොහොමද කියලා.
පෝය දාට පන්සලේ බණ කියද්දි එහෙමත්, සිඟාලෝවාද සූත්තරේට අනුව ජීවත්වෙන සැමියගෙයි බිරිඳගෙයි උපහැරණෙට ලොකු හාංදුරුවො ගත්තෙ සෙදෝ හාමිනෙයි ගුණරත්නවයි තමයි.
”ඉත්ථිපි හි ඒකච්ඥඡියා – සෙය්‍යෝ පෝස ජනාධිප
මේධාවිනි සීලවතී – සස්සුදේවා පතිබ්බතා
තස්සා යෝ ජායති පෝසෝ – සූරෝ හෝතිදිසම්පති
තාදිසා සුභගිය පුත්තෝ – රජ්ජම්හි අනුසාසති”
“මිනිස්සු ගෙයක් හදාගන්නෙ බිත්ති හතරක් එකතු කොරලා නෙවෙයි පිංවත්නි. ගෙයක් කියන්නෙ පුරුසයයි ඉස්තිරියාවෛ දෙන්නම එකට එක්කහු වෙලා ඉන්න තැනක් විතරක් නෙවෙයි. ඒක දෙන්නෙක්ගෙ හිත දෙන්නෙක් බලාගන්න තැනක්. එකෙක් වැටුණම අනිකා අත දෙන්න ඕනෑ. එකෙක්ගෙ හිත නරක් වුණාම අනිකා ඒක තවත් නරක් කරන්න නෙවෙයි, හෙමින් හෙමින් හොඳ කරගන්න බලන්නයි ඕනෑ. බුදුහාමුදුරුවො අඹුසැමි දෙන්නා ගැන දේශනා කොරද්දි, බිරිඳ කියන්නෙ සැමියාගේ දාසියක් කියලා කිව්වෙ නෑ. සැමියා කියන්නෙ බිරිඳගේ අයිතිකාරයා කියලා කිව්වෙත් නෑ. දෙන්නා දෙන්නගෙ සහකාරයෝ. යාළුවෝ. එකිනෙකාට ගරු කරගෙන ජීවත් වෙන්න ඕනෑ කියලයි කියලා තියෙන්නෙ.
සැමියා බිරිඳට ගරු කරන්න ඕනෑ. අවමන් කරන්න එපා. වෙන ගෑනු පස්සෙ යන්න එපා. ගෙදර වගකීම් බිරිඳටත් විශ්වාසයෙන් පවරන්න ඕනෑ. ඒ වගේම බිරිඳත් සැමියාට ගරු කරන්න ඕනෑ. ගෙදර කටයුතු හොඳින් බලාගන්න ඕනෑ. දෙන්නා දෙන්නගෙ විශ්වාසෙ ආරස්සා කොරන්න ඕනෑ
මේවා අහද්දි සමහරු හිතනවා ඇති අනේ ඉතින් ඔය කියන හැටියට කොහොමද ඇත්ත ජීවිතේ ජීවත් වෙන්නෙ. මේ ජීවිතේට කසාද බැඳලා උන්නෙ නැති සිවුරක් ඇඳගත්ත මේ ඝණයා කොහොමද කසාද ජීවිතේ ගැන අපිට කියාලා දෙන්නෙ කියලා. නෑ දරුවනේ මිනිස්සු වෙනස් වුණාට, මිනිස්සුන්ගෙ හිතේ තියෙන දේවල් වෙනස් වෙලා නෑ. අදත් ගෑනියෙක්ට ඕනෑ ආදරේ. පිරිමියෙක්ට ඕනෑ ගෞරවේ. දෙන්නටම ඕනෑ තමන්ව විස්වාස කොරන කෙනෙක්. ඒක තමයි ගෙයක් රැකෙන්න තියෙන ලොකුම පදනම වෙන්නෙ
ඒ හින්දා දරුවනේ ගෙදරක සතුට කියන්නෙ සල්ලි තියෙන එක නෙවෙයි. ලොකු ගෙයක් තියෙන එක නෙවෙයි. ගෑනි ලස්සනයි කියන එකවත්, පිරිමියා සල්ලි හම්බකරනවා කියන එකවත් නෙවෙයි. උදේට නැගිට්ටම තමන් ළඟ ඉන්න මනුස්සයා දිහා බලලා මේ මනුස්සයා මට ඉන්නවා කියලා හිතට දැනෙන එක අස්සෙ. ඒක තමයි දරුවනේ යහපත් ගෙදරක ලොකුම සම්පත වෙන්නෙ.
හැබැයි තමන්ගෙ ගෙදර සතුට ගැන සතුටු වෙන්න බැරි මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා. අනුන්ගෙ ගෙදරක සතුටක් දැක්කම තමන්ගෙ ගෙදර හිස්කම තේරෙන මිනිස්සු ඉන්නවා. එතකොට සමහරු කරන්නෙ තමන්ගෙ ගෙදර හදාගන්න එක නෙවෙයි. අනුන්ගෙ ගෙදර තිබුණු සතුට නැති කොරන්න බලන එක.
ඒක තමයි දරුවනේ මනුස්ස හිතේ හැටි. තමන්ට නැති දේකට ලෝබ වෙන එක එක දෙයක්. ඒත් අනුන්ට තියෙන නිසාම ඒ දේ නැති වෙන්න ඕනෑ කියලා හිතන එක ඊටත් වඩා භයානක දෙයක්. මොකද එහෙම හිතන මනුස්සයාට අන්තිමේ තමන්ට සතුටක් ලැබෙන්නෙත් නෑ. අනුන්ගෙ සතුටත් නැති වෙනවා. දෙපැත්තම හිස් වෙනවා. අනුන්ගෙ ගෙදරක තියෙන දෙයක් දැකලා, අනේ මටත් එහෙම දෙයක් තිබුණා නම් කියලා හිතන එක පාපයක් නෙවෙයි දරුවනේ. ඒත් එයාට තියෙන එක නැති වුණා නම් ඒක මට සැනසීමක් කියලා හිතෙන තැන ඉඳලා තමයි මනුස්සයා තමන්ගෙ හිත දිහා බලන්න ඕනෑ.
මොකද අනුන්ගෙ ගෙදර පාන පත්තු වෙන එළිය දැකලා තමන්ගෙ ගෙදර පාන පත්තු කොරගන්න ඉගෙනගන්න එකයි හොඳ. අනුන්ගෙ පාන නිවලා තමන්ගෙ ගෙදර එළිය වැඩි කොරගන්න හදන එක නෙවෙයි.” කියලා ලොකු හාංදුරුවො එදා පෝය දවසෙ බණ අහවර කොරාට මොකෝ සල්මල් ඇතිරිච්ච පාර දිගේ තමන්ගෙ ගෙදෙට්ට යනකම්ම සෙදෝ හාමිනේ නම් ඒත් කල්පනා කොරේ ලොකු හාංදුරුවො අද බණ ටික කිව්වෙ තමන්ගෙ හිතේ තිබිච්ච කිලුටු අදහස් ටික දැනගෙනමද කියලා.
ඔය කිලුටු අදහස් ටික සෙදෝ හාමිනේගේ හිත අස්සට රිංග ගත්තෙ තමන්ගෙ ගෙදරට ඉස්සරහා හිස් වෙලා තිබ්බ කුලී ගෙදරට පබිලිනා හාමිලා පදිංචියට ආ දොහේ ඉඳලා තමයි.පබිලිනා හාමිලා ආවෙ ගාල්ල දිහාවෙ ඉඳලා. පබිලිනා හාමිටත් සෙදෝ හාමිනේට වගේම දරුවො දෙන්නෙක්. දෙන්නම කෙල්ලො. සෙදෝ හාමිනේලාහ ඉන්න කෙල්ලයි කොල්ලයි හන්දා පබිලිනා හාමිගෙ කෙල්ලො දෙන්නා එක්ක හවස් වරුවෙ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා හතරදෙනාම සෙල්ලං කොරන්න එක්කහු උනා. ඕන් ඔය කාරණා හන්දා සෙදෝ හාමිනේයි පබිලිනා හාමීයි දෙන්නත් එක්කහු වෙලා එක එක වල්පල් දොඩවන්නත් වෙලාව හොයාගත්තා. මුලින් මුලින් නම් සෙදෝ හාමිනේට ඔය කයිවාරුවෙ එහෙමකට කියලා ලොකු ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. ප්‍රශ්නෙ පටන් ගත්තෙ සතියක් දෙකක් යද්දි.
ගුණරත්න කියන්නෙ කෝමත් ඇවිදින බෝ පැලේ වගේ මිනිහා වෙච්චි ඒකටත් එක්ක පබිලිනා හාමිගෙ මනුස්ස පරාණෙ වෙච්ච සපරමාදු. දෙයි හාංදුරුවනේ එහෙම කුණු හරුප කන්දරාවක් සෙදෝ හාමිනේ තියා ගුණරත්නවත් ජීවත්වෙච්ච ඒ කාලේට අහල තිබ්බෙ නැති තරං. සපරමාදු හැමදාම පොලීසියෙ රාජකාරි ඉවර කොරලා ගෙදර එන්නෙ කට ගොන්නක් බීගෙන. ඒ ඇවිල්ලා පබිලිනාට අමතන්නෙම හොඳ පදෙන්.
“මෙහෙ වරෙන් පට්ටන්දරී. මං දවල් වරුවෙ ගෙදර නැති වෙලාවෙ තෝ කවුද යකෝ ගේ අස්සට දාගන්නෙ? පට්ට බැල්ලි” කියලා පටන්ගන්න කතාව ගමේ ඉන්න හැම මනුස්සයම, ඒ තියා පබිලිනාගෙ සීයලා, තාත්තලා, සහෝදරයො හිටං පාවලා දීලා තමයි නතර වෙන්නෙ. සෙදෝ හාමිනේ ඒ වෙලාවට දරුවො දෙන්නගෙ කන් දෙකට හොඳ තදට තමන්ගෙ අත් දෙකෙන් වහනවා. ඇයි දෙයි හාංදුරුවනෙ ඔය ගිනි වතුර වගේ වචන මේ නොදරුවන්ගෙ කන් අස්සට වක්කරන්න දෙන්න පුළුහන්ද? අන්තිමේ දරුවො මොන මොනවා ඉගෙන ගෙන ඔව්වා කොයිබ ගිහින් කියාවිද කවුද දන්නේ? ඒ උනාට සෙදෝට ඔක්කොටම වඩා දුක හිතුනෙ නම් පබිලිනා ගැන.
හැමදාම රෑට “අනේ දෙයියනේ ගහන්න එපා, බුදු අම්මේ මාව බේර ගනියෝ” කියලා කෑ මොර දෙන පබිලිනාගේ කට හඬයි ඒ අස්සෙන්ම ඇහෙන පොඩි කෙල්ලො දෙන්නගෙ මර විලාපෙයි අහවර වෙන්නෙ සපරමාදු කෙල්ලො දෙන්නව හැමදාම පිටිපස්සෙ දොර ඇරලා එලියට ඇදලා දාන එකෙන්. ඉන්පස්සෙ ඒ ගෙදර දිහාවෙන් ඇහෙන පබිලිනාගෙ කෙඳිරිල්ලෙ සද්දෙන්. කෙල්ලො දෙන්නා පැයක් විතර යනකම් පරාණ බයේ ගැහි ගැහි එලියට වෙලා දෙන්නට දෙන්නා බදාගෙන ඉන්නවා ජනේලෙන් දකින එකෙන්.
සති ගාණක් ඕක එක දිගට දැක්කට පස්සෙ ඇස් දෙක ඕකට පුරුදු උනාට මොකො සෙදෝ හාමිනේ චුට්ට චුට්ට වෙනස් වෙන්න පටන් ගත්තා. වෙනදා ඕනම දේකට බෝම සාන්ත දාන්තව, ඉවසිල්ලෙ නිවි හැනහිල්ලෙ තීන්දු තීරණ ගත්ත, කල්පනාවෙන් උත්තර දුන්න සෙදෝ හාමිනේ හරියට තරහ යන ඉස්තිරියාවක් වෙන්න පටන් ගත්ත.
ඒ වෙනස මුලින්ම දැනුණෙ ගුණරත්නට. වෙනදා ගෙයි කඩුල්ල පනිනකොටම කට පුරා හිනා වෙලා “ආවද?” කියලා අහන ඉස්තිරියාව දැන තමන් ආවද නැද්ද කියලවත් ගාණක් නැතුව මල් පාත්තියක් අස්සෙ අත පොවාගෙන ඉන්නවා දකිද්දි මක්ක හරි වෙලා තියෙනවය කියන එක ගුණරත්නට නොතේරී තිබ්බේ නෑ.
“මොකෝ සෙදෝ?” කියලා ඇහුවට හැබැයි සෙදෝ නෙවෙයි කාරණාව මක්කද කියලා කිව්වේ. ඒ උනාට ඉතින් ඒක මක්කවත් නැති ගැනියෙක්ගෙ මූණක් නෙවෙයිය කියන එකනම් ගුණරත්නට නොතේරී තිබ්බෙ නෑ.
අනෙක් අතට ගුණරත්නගෙ ඉතින් කියන්න තරම් වරදක් තිබ්බෙ නෑ. ගමනක් ගිහින් ආවොත් මනුස්සයා අත හිස්ව කවදවත් ගෙදෙට්ට ගොඩ උනේ නෑ. දරුවන්ට කන්න පැණි රස මක්ක හරි, සෙදෝට මල් අත්තක් හරි, අලුත් පලතුරක් එලෝලුවක් හරි මොනාහරි කඩචෝරුවක් හරි උස්සගෙන තමයි එන්නෙ. සෙදෝට හිසරදයක් කිව්වොත් මැණිකෙ හිටින්න කියලා වතුර කලේ පවා කකුල් දෙක ලඟට ලං කරන ජාතියෙ මනුස්සයා නෙව ගුණරත්න.ඉස්තිරියවගෙ හිත නරක් වෙලා කියලා තේරුණොත් වැඩිය ප්‍රශ්න අහලා හිත තවත් නරක් නොකර, දන්නා හැටියට හෙමින් ඒ හිත හදන්න බලනවා මිසක්කා ආය ඔය අනං මනං පුරස්න අහන, ඕන් නැති කතන්දර කියන, ඤං පචං ගෑවිලි නෑනෙ ගුණරත්න ලඟ. ඒ අතින් බලද්දි අම්මපා ඊළඟට බුදු වෙන්න තරං සුදුසුකං තිබිච්ච මනුස්සයා. ඔය තරම් හොඳ මිනිහෙක් තමන්ට ඉන්නවා කියන එක ගැන සෙදෝ හරිනං බුදුන්ට පාන තිබ්බට පස්සෙ ගුණරත්නට පානක් පත්තු කරන්නෝන උනාට මොකෝ සමහර ගෑනුන්ට ඉතින් කුකුලගෙ කරමලේ සුදු පාටයි වගේ තමන්ට ලැබිච්ච මිනිහගෙ අගේ පෙනුනෙ නැති හැටියක් තමයි මේ පබිලිනා – සපරමාදු කෙරුවාවෙන් පස්සෙ සෙදෝ හාමිනේටත් වෙලා තිබ්බේ. ඒ දවස්වල තමන්ට ලැබිච්ච ගුණ යහපත් මනුස්සයා ගැන හිතල සන්තෝස වෙන්න තිබ්බ හේතු ගණන් කරනවාට වඩා හිත නොදැනීම ගියේ ඉස්සරහ අල්ලපු ගෙදර පැත්තට.
පබිලිනාගේ ජීවිතේ දවසක්වත් නිස්කලංකෙ ගෙවෙන්නෙ නැතෙයි කියන කතාව ඉතින් හැමෝටම වඩා හොඳටම දැනගෙන උන්නෙ සෙදෝ හාමිනේ.
සපරමාදු පොලීසියේ රාජකාරිය අහවර කරලා රෑ වෙලා ගෙදර ආවම ඒ දිහාව නිකං ගිනි ගන්නවා වගේ. කුණුහරුප, සැක සංකා, බැණුම්, ගුටි, අඬන සද්ද, බඩු මුට්ටු පොලේ ඝන සද්ද ඔය හැම එකක්ම සෙදෝ හාමිනේගේ ගෙදෙට්ට කණේ තිබ්බා වගේ ඇහෙන්නෙ. සමහර දවස්වල රාත්තිරියට පබිලිනාගේ කෑමොර ගැහිල්ල ටික වෙලාවකින් නතර වුණාට පස්සෙත්, ඒ ගෙදර ඇතුළේ පබිලිනාට තමන් කැමති නැති දේවල් උහුලන්න වෙන බව සෙදෝට නොතේරුණා නෙවෙයි. ඒ ගැන වැඩිපුර හිතන්න තමන්ට අයිතියක් නැති බව දැන දැනත්, මනුස්ස හිතකට නොහිතා ඉන්න කියලා නියෝග කරන්න පුළුවන් කාටද නේද?
පුදුමෙ ඒ කිසි දෙයක් නෙවෙයි.
පුදුමෙ උදේ වෙනකොට පබිලිනා ආයෙමත් පබිලිනාම වෙච්ච එක. රෑ පුරා අඬපු ගෑනි උදේට මූණ හෝදගෙන, කොණ්ඩෙ බැඳගෙන, ගවුම හරි රෙද්ද හරි පිළිවෙළට ඇඳගෙන වැට ලඟට එනවා. ඉදලා කිහිල්ල අස්සෙ රඳෝගෙන “සෙදෝ අක්කේ අර උඹ දුන්න මිරිස් පැළේ මලක් ඇවිල්ලනෙ” කියලා හිනා වෙවී කියනවා. සමහරදාට ඒකිගෙ අතේ නිල් පාට ලපයක්. තවත් දවසක බෙල්ල ලඟ තැලුම් පාරක්. ඇවිදිනකොට ඇඟපත රිදෙනවා වගේත් පේනවා. ඒත් ඒ කිසි දෙයක් ගැන කිසි දවසක පබ්ලිනා නෙවි හුම් කියලා වචනයක් සෙදෝ එක්ක කියන්න ඉස්සර වුණේ. සෙදෝ අහුවොත් “අනේ ඔය මිනිහගෙ හැටි නෙව අක්කෙ. පිරිමි ඉතින් ඔහොම තමා අක්කෙ. ඒ උනාට මට ආදරෙයි” කියලා අත පිහදාගෙන වෙන කතාවකට හැරෙනවා මිසක්කා ආය සපරමාදු ගැන වචනෙකින් අඩුවක් පාඩුවක් වැරැද්දක් කියන්නෙ නෑ පබිලිනා.
සෙදෝට ඒ වෙලාවට තරහයි. පබිලිනා බාගදා තමන් එක්කල සපරමාදුට බැන්නා නම් මීට වඩා හිත නිස්කලංක කරගන්න තිබ්බමයි කියලමයි සෙදෝට නං හිතෙන්නෙ. සෙදෝට දරාගන්නම අමාරු උනේ පබිලිනා කරන මේ අමූලික බොරුව. පබිලිනාලහ වෙන දේ තමන්ගෙ කනේ තිබ්බා වගේ ඇහෙන විහ්තිය හොඳටම දැනගෙනත් ගෑනි කිසි ගානක් නැතුව තමන්ට මෙයාකාර බොරු කියල ලබන විනෝදෙ මොකද්ද කියලමයි සෙදෝ තරහෙන් වගේ හිතුවෙ. ඔය තරහා ඉතින් හිතෙන් පිටකරගන්න විදිහක් තිබුණෙ නැති හන්දා හිත අස්සෙ පැසව පැසව තිබ්බා හරියට ජාඩි හැලියට පණූවො දැම්මා වගේ.
ඕන් ඔය හන්දම මෙච්චර දවසක් සිඟාලෝවාද සූත්තරේ කියවෙන සුවාමියයි ඉස්තිරියාවයි විදියට ජීවත්වෙච්ච සෙදෝ හාමිනේයිගෙයි ගුණරත්නගෙයි ගෙදෙට්ට හෙණ ගහන්න මහ කාලයක් ගියේ නෑ.
හෙණ ගැහුවයි කිව්වට ඉතින් අහස කලු කරගෙන, අකුණු පුපුරගෙන එක පාරටම පාත් වෙච්ච හෙණයක් නෙවෙයි ඒක. මුලින්ම ආවේ හීන් පොදයක් වගේ. ගුණරත්න කිව්ව වචනයක් දිහ වැරදියට බලපු එකෙන්, මනුස්සයා පරක්කු වෙලා ගෙදර ආව දවසක “කොයිබද මෙච්චර වෙලා උන්නෙ?” කියලා වෙනදා නොඅහපු පුරස්නයක් අහන එකෙන්, “මං කියන දෙයක් ගැන ගාණක්වත් තියෙයිද ඔහේට?” කියලා හේතුවක් නැතුවම කට ඇද කරන එකෙන් තමයි මුලින් පොද ගහන්න පටන් ගත්තෙ. ගුණරත්න මුලදි ඕවා ගාණකට ගත්තෙ නෑ. ඉස්තිරියාවගෙ හිත මොකක් හරි හේතුවකට නරක් වෙලා ඇති කියලා හිතලා හිටියා. ඒත් දවස් යද්දි සෙදෝට ගුණරත්නගෙ ඕන්න ඔය හොඳකමත් හිතට හරි මහප්‍රාණ තරහක් ගෙනාවා.
තමන් තරහෙන් මක්ක හරි කිව්වම ගුණරත්න කොරේ නිස්සද්ද වෙන එක. තමන් තරහෙන් බත් පිඟාන මේසෙට ටිකක් හයියෙන් තිබ්බම “මැණිකෙට මොකක් හරි හිතේ අමාරුවක්ද?” කියලා හෙමින් අහනවා මිසක්කා ගුණරත්න නෙවි සද්දෙට ආය උඹ බං බොලං කියලවත් කිව්වෙ. කවදාවත් කෑ ගහන්නෙ තියා හිතෙන්වත් එහෙම හිතන මනුස්සයෙක් නෙවිනෙ ගුණරත්න. එහෙව් මනුස්සයා ඉතින් අතක් පයක් කිසි දාක උස්සන්නෙ නැතෙයි කියන එක ආය අමුතුවෙන් කියන්නෝන නැනෙ. සෙදෝට ඉවසන්න අමාරු උනේ ඕන්න ඔය ගුණරත්නගෙ ඉවසීම
“මිනිහෙක් උනාම ටිකක් මිනිහෙක් වගේ ඉන්න බැරිද?” කියලා දවසක් සෙදෝ කටින් පිට කොරාපු වචනෙ ගුණරත්නගෙ කන අස්සේ කීං කීං ගැවෙ ඕන් ඔහොම දවසක.
“මක්කද සෙදෝ ඒ කතාවෙ තේරුම?”
“ඇයි මං මක්කද කිව්වෙ?”
“මිනිහෙක් වගේ ඉන්න බැරිද කිව්වෙ?”
“ඉතින් වැරදිද?”
ගුණරත්න ටික වෙලාවක් සෙදෝ දිහා බලාගෙන හිටියා. ඒ බැල්මෙ තිබ්බෙ තරහක් නෙවෙයි. තේරුම් ගන්න බැරිකමක්. තමන් මෙච්චර කල් හොඳයි කියලා හිතාගෙන කරපු දේවල් එක පාරටම වැරදි උනේ කොහොමද කියලා හොයන මනුස්සයෙක්ගෙ බැල්මක් ඒ බැල්මෙ තිබ්බෙ.
“මං මොනාද උඹට අඩු කරලා තියෙන්නෙ සෙදෝ?” කියලා ගුණරත්න අහද්දි ඒ ප්‍රශ්නෙට උත්තරයක් සෙදෝ ලඟ තිබ්බෙ නෑ. තිබ්බෙ නෑ නෙවෙයි, තිබුණත් ඒක කියාගන පුලුහන්කමක් තිබ්බෙ නෑ. මොකෝ ඉතින් හැබෑටම ගුණරත්න එහෙම කිසි දේකින් අඩුවක් පාඩුවක් කොරාපු මනුස්සයෙක් නෙවිනෙ. ඒත් හිත ඇතුළෙන් මොකක්දෝ එකක් “මදි” කියලා කියන විත්තිය සෙදෝට නොතේරුනා නෙවෙයි. ඒත් මදි මොකද්ද කියන දේ සෙදෝවත් දැනගෙන උන්නෙ නැතෙයි කියන එක තමයි ඕන් ඇත්ත කතාව.
අල්ලපු ගෙදර රෑට සපරමාදුගෙ කට හඬ හරි සද්දෙට ඇහෙන වෙලාවට සෙදෝගේ හිත තව ටිකක් අවුල් උනා. පබිලිනා අඬනවා. බැණුම් අහනවා. සමහර රාත්තිරිවලට කෙඳිරිගානවා. ඒ ඔක්කොම අහගෙන තමන් ලඟ නිදාගෙන ඉන්න ගුණරත්නගෙ නිවිච්ච හුස්ම සද්දෙ සෙදෝට එක පාරටම කණට වැඩියෙන් ඇහෙන්න ගත්තා. මනුස්සයා නිස්කලංකයි. තමන්ට බයක් නෑ. හෙට උදේ මොකක් වෙයිද කියලා සැකයක් නෑ. ඒත් අන්න ඒ නිස්කලංකකමම සෙදෝට සමහර දවස්වල හිස්කමක් වගේ දැනෙන්න ගත්තා.
තමන්ට නොලැබිච්ච දෙයක් පබිලිනාට ලැබෙනවා කියලා සෙදෝ හිතුවෙ මොකක්ද කියලා සෙදෝටම හරිහැටි තේරුණේ නෑ. ඒක ආදරයක්ද, ආසාවක්ද, පුරුසයෙක්ගෙ බලහත්කාරකමක්ද, නැත්තම් රණ්ඩුවකින් පස්සෙ ආයෙ එක්කහු වෙන මොකක්දෝ උණුහුමක්ද කියන එක වෙන්කොරගන්න පුලුහන්කමක් ඇත්තටම සෙදෝටම තිබ්බෙ නෑ. ඇත්තටම පබිලිනාට ඒ කිසි දෙයක් ලැබුණෙත් නැති බව, ඒ ගෑනිට ලැබුණෙ බයයි වේදනාවයි විතරක් බව දැනගෙන හිටියෙත් සෙදෝම තමයි. ඒත් මනුස්ස හිත දන්න දේවල්වලට විතරක් අවනත උනා නම් මේ ලෝකෙ මෙච්චර දුක් කන්දරාවක් තියෙන්නෙ නෑනෙ නේද?
සෙදෝ තමන්ට තියෙන සන්තෝසෙ අරගෙන ඒකෙ අඩුපාඩු හොයන්න පටන් ගත්තෙ ආං ඒ විදියට. ගුණරත්න තමන්ට බණීන්නෙ නැති එක අඩුවක් පාඩුවක් උනා. උඹ මගේ, උඹ ඉන්නෝන මට ඔන හැටියෙ කියලා සද්දෙට ගමටම ඇහෙන්න සපරමාදු වගේ ගෝරනාඩු කොරලා දොරවල හොල්ලලා සද්ද කොරන්නෙ නැති එක සෙදෝගෙ හිතට හරි මදි උනා. වෙනදා “රත්තරං මිනිහා” කියලා හිතපු මනුස්සයාම ඩිංග ඩිංග “ඕනවට වැඩිය හොඳ මිනිහා” වෙලා නිතර දකින කුකුලගෙ කරමලේ වගේ පාට ඩිංග ඩිංග හේදිල ගියා.
දවසක් ගුණරත්න සෙදෝට දෙන්න කොහෙන්දො හොයාගත්ත මල් අත්තකුත් උස්සගෙන එද්දි ගෙයි දොරකඩ උන්න සෙදෝ ඒ දිහාව නොබලම වගේ තමා කිව්වෙ “ඕවම තමා ඔහේට මතක් වෙන්නෙ” කියලා..
“ඇයි මැණිකෙ, වෙන මක්කහරි ගේනකංද බලන් උන්නෙ?” කියලා ගුණරත්න අහද්දි සෙදෝට හොඳටොම තරහා ගියා.
“හැම එකම කියලා දෙන්න ඕනද මනුස්සයෙකුට?” කියලා ගස්සගෙන සෙදෝ ගෙයි අස්සෙ අතුරුදං වෙල යද්දි ගුණරත්න වෙනදා හේ නිස්සද්දව ඉන්න හිතුවෙ නෑ. අතේ තිබ්බ පංමල්ල බිම තිබ්බා. පිලේ කණුවට හේත්තු වෙලා ටික වෙලාවක් සෙදෝ දිහා බලාගෙන හිටියා. ඉන්පස්සෙ බොහොම හෙමින් “මට උඹේ හිත කියවන්න බෑනෙ සෙදෝ. උඹ කියන දෙයක් මට කරන්න පුලුහන්. උඹ නොකියා හිතෙන් හිතන දෙයක් මං කොහොම දැනගන්නද?” කියලා ගේ ඇතුලට ගියා.
ආං ඒ වචන ටික තමයි මෙච්චර දවසක් බොර වෙලා තිබ්බ සෙදෝගේ හිත ඩිංගිත්තක් පාදන්න හේතු උනේ. ඒත් හිතට වැටිච්ච හැම ඇත්තක්ම මනුස්සයෙක් පිලිගන්නෙ නෑනෙ. සමහර ඇත්තවල් පිලිගන්නවට වඩා ඒවා කිව්ව මනුස්සය එක්කලා තරහ ගන්න එක ලේසියි. සෙදෝ කලෙත් ඒකමයි.
ඊළඟ දවස් කීපෙ ගෙදර තිබ්බ නිස්කලංක ගතිය වෙනස් උනා. ගුණරත්න කතා කළේ අඩුවෙන්. සෙදෝත් කතා කළේ ඕනම දේකට විතරයි. මිදුලෙ මල් එහෙමම පිපුණා. උදේට හීනි වැල්ලෙ සෙදෝගේ ඉදල් පාරත් එහෙමම රටා ඇන්දා. ඒත් ගෙයක් පිටින් ලස්සනට තිබ්බ පලියට ගේ ඇතුලෙ තියෙන හිතුත් එයාකාරෙන්ම ලස්සනට තියෙනවා කියලා කොහොමද කියන්නෙ නේද?
ගෙයක් මාලිගාවක් කරන්නෙයි පැල්පතක් කරන්නෙයි ඉතින් ගැනු තමයි.
සමහර ගෑනුන්ට ලැබිච්ච දෙයින් සන්තෝස වෙන්න බෑ. උන්ට පුරුදු ලැබිච්ච නැති දේ ගැන හිත හිතා දුක් වෙන්න. ඒ දේ සතුටක්ද, දුකක්ද කියන එක උන්ට අදාල නෑ.
තමන්ට නොලැබිච්ච යමක් තවත් ගෑනියෙක්ට ලැබිලා තියෙනවා කියලා දැක්කොත් ගෑනු ආං ඒකට ලෝබකං කරනවම තමයි.
හරියට සෙදෝ අච්චර හොඳ මනුස්සයෙක් ලැබිලා ඉද්දි ගුටි කකා ජීවත්වෙච්ච පබිලිනා හාමිට ඉරිසියා කොරා වගේ!











