ඒකිගෙ අහවල් එක තිබ්බෙ නළලෙ.
මං දන්නවා ඒක ඇත්තටම එහෙම පිහිටලා තියෙන්නෙ නැති විත්තිය. ඒ උනාට සමහර කෙල්ලො එහෙම තමයි හිතන් ඉන්නෙ සහ ශාර්වරීගෙන් පස්සෙ ලොකු සීන් දාන කෙල්ලො හම්බෙන හැම වෙලාවකම මට ඔය අහවල් එක නළලෙ තියෙන සීන් එක හරියට මතක් වුණා.
ඔය කාලෙ මං කොහොමත් මල පැනලා උන්නෙ. ශාර්වරී හෙන පඩ සීන් දාලා මං එක්ක බ්රේක් අප් වෙලා උන්නෙ ඔය දවස්වල. ඒකි මාව දාලා ගියපු එකට වඩා මට තිබ්බ ලැජ්ජාව උනේ බැච් එකේ ඔක්කොම උන් අපේ ලව් සීන් එක දැනගෙන උන්න එක. ඇත්තනෙ කැම්පස් ඇවිත් රැග් එක ඉවර වෙනවත් එක්කම වගේ තමයි මම ඒකිත් එක්ක යාලු උනේ. මම කොහොමත් ඇහැ දාගෙන ඉඳියෙ අලුතෙන් ආව නැවට. ශාර්වරී තමයි අලුත් නැවේ උන්න ලස්සනම කෙල්ල. ඉණ ගාවට දිග ලාවට රත්තරන් පාට කරපු කොණ්ඩෙ එක්ක සුදුම සුදු පාට බෝපත් කොළේ හැඩේ මූණක් තිබ්බ ශාර්වරිට පැණි හලපු කොල්ලො ඕනතරං අපේ බැච් එකෙයි අපිට සුපර් සීනියර්, පට්ට සුපර් සීනියර් බැච්වලයි, ඒකිලගෙ බැච්වලයි උන්නට මොකෝ මගෙ තිබ්බ ලුක්ස් වලටයි, මගේ තිබ්බ දඩබ්බරකමටයි ශාර්වරීව අල්ලගන්න මට එච්චර අල්ලගන්න අමාරු උනේ නෑ. කොහොමත් ඒ දවස්වල බැච් කීපෙකම කෙල්ලො මගෙ පස්සෙන් ආවා. මං උන්ව තඹ සතේකට ගණන් ගත්තෙ නෑ. එහෙමෙකේ ශාර්වරී හිතන්න ඇති “මං මුව මග ඇර ගත්තොත් වෙන කෙල්ලෙක් මූව සෙට් කරගනීවි. නිකන් මොකටද අතට ලැබිච්ච කෑම එක කටට දාගන්නෙ නැත්තෙ” කියලා.
කොහොමහරි දිලාන් විජේරත්න වෙච්ච මමයි, ශාර්වරී දෑලබණ්ඩාර වෙච්ච එයයි යාලු උනේ අන්න එහෙම. ශාර්වරී නුවර හෙන සුපිරි පවුලක කෙල්ලෙක්. ඒ හන්දම ආව පුදුමාකාර ලස්සනකට එක්කහු වෙච්ච උඩරට ආඩම්බරයක් කෙල්ලට තිබ්බා. දැල බණ්ඩාර පරංපරාවෙන් ආව දියවඩන නිලමෙලගෙ පරංපාරවට හේත්තුවෙච්ච එකියක් හන්දා ශාර්වරී බැච් එකේ අනිත් උන් ඉස්සරහා කොහොමත් උන්නෙ ඔලුව ඩිංගක් උස්සන් මොණරියක් වගේ අහංකාරෙන්.
“ඔය නුවර උන්ගෙ ලොකුකං මං උඹට ආය අමුතුවෙන් කියලා දෙන්නෝන නෑ. ඕකිගෙ ඔය රැස් වලල්ල දැන්ම බස්ස ගත්තෙ නැත්තං පුතෝ උඹටම තමයි පස්සෙ කරදර වෙන්නෙ හොඳේ. උඹ පහතරට එකා හන්දා කොහොමත් ශාර්වරීලගෙ මව් දෙමව්පියො ඔය සම්බන්ධෙට කැමති වෙන්නෙ නෑ. හැබැයි කෙල්ල උඹේ පැත්තට ඇදගත්තොත් අම්මලව කැමති කරවගන්න බැරිවෙන එකකුත් නෑ. ඒක ඉතින් කරගන්න විදිය උඹ දැනගන්නෝන” කියලා මට කිව්වෙ අපේ බැච් එකේම හිටපු මගේ හොඳම යාලුවෙක් වෙච්ච කුඹුරි. කුඹූරිගෙ නම මේධා. මේධා කොහොමත් මුල ඉඳලම ශාර්වරීට එච්චර කැමැත්තක් පෙන්නුවෙ නෑ. මං මුලින් හිතුවෙ ඒකට හේතුව උනේ ඒකිගෙ හිතෙත් මං ගැන මොකක් හරි ක්රශ් එකක් වගේ දෙයක් තිබිච්ච හන්දා වෙන්නැති කියන එක. ඒ උනාට ශාර්වරීට අපේ බැච් එකේ කෙල්ලො ගොඩක් කැමති නැතෙයි කියන එක මට තේරුණෙත්, ඒකට හේතුව ශාර්වරීගෙ තිබිච්ච ලොකුකම කියන එක මට තේරුණෙත් ටිකක් කල් යද්දි.
“තමුසෙගෙ ඔය ලොකුකම නුවර බෝඩරෙන් ඇතුලෙ තියාගත්තම ඇති කුමාරිහාමි හොඳේ. කැම්පස් එක ඇතුලෙ ඔය ලොකු සීන් දාන්න ඇවීල්ලා නිකන් මගෙත් කාඩ් කුඩු කරන්න එපා” කියලා මම ශාර්වරීට කිව්වෙ දවසක් පච බංකුවක වාඩිවෙල ප්ලේන් ටී එකක් බිබී ඉන්න වෙලාවක.
“මගේ ලොකුකමක් නෑ. හැබැයි මං ආස නෑ ඔය එක එකා ලඟ පක්කලි කං කරන්න. ඔයාලා වගේම අපිත් මේ කැම්පස් එකට ආවෙ ඒලෙවල් පාස් වෙලාවෙ. එහෙමෙකේ මං මොකටද සීනියර්ස්ලා දැක්කම නිකන් මේ බිම බලාගෙන යන්නෝන හරියට නිකන් වරදක් කරලා වගෙ? ඔයාලගෙ බැච් එකේ අර කුඹුරිද මොකෙක්ද කියන අක්කා ඊයෙ මට කතා කරලා බැන්නා මම එයාව දැකලා ඊයෙ නොදැක්කා වගේ ගියා කියලා? මොකද්ද එයා එක්ස්පෙක්ට් කරන්නෙ එයාව දැක්කම මම එයා ඉන්න තැනට ඇවිල්ලා වැඳලා යාවි කියලද?” කියලා ශාර්වරී මං ඉස්සරහත් පුදුම ලොකුකමෙන් කියද්දි මට ඒකිට ගහන්න හිතුනා. “බැල්ලි” කියලා මං කිව්වෙ හිමීට.
“උඹේ කට වැඩියි හොඳේ. සීනියර්ස්ලට ගරු කරන්න ඉගෙන ගනිං ඉස්සරවෙලා” කියලා මං කිව්වෙ ඒ හන්දා. වෙන කෙල්ලෙක් උනා නම් ඒ වෙලාවට බය වෙලා තිගැස්සිලා බිම බලාගන්නෝන විත්තිය මං බලාපොරොත්තු උනාට මොකෝ ශාර්වරී එක තප්පරේකටවත් බිම බලාගත්තෙ නෑ. එක දිගටම මං දිහාවම කිසි ගාණක්, බයක් සැකක් නැතුවම බලාගෙන හිටියා. ඒ වෙලාවෙ තමයි මට තේරුණේ මේ විදියට ගියොත් නං මට මේකිව ලේසියෙන් සරෙන්ඩර් කරගන්න බැරි විත්තිය. අන්න ඒ හන්දා තමයි මං හිතුවෙ මේකිව සරෙන්ඩර් කරන්න හොඳ පාඩමක් උගන්නෝන විත්තිය.
“තමුසෙගෙ පුදුම ලොකුකමක්නෙ තියෙන්නෙ. මොකද ඔච්චර ලොකුකම? තමුසෙගෙ නළලෙද තියෙන්නෙ? හරි එකෙක්ගෙන් සල්ලං වෙච්ච දවසට තමයි තමුසෙලගෙ ඔය රැස් බහින්නෙ. අපේ මනුස්සකං හොඳ හන්ද තමයි තමුසෙලා ඔය බේරිල ඉන්නෙ” කියලා මං හෙන පිරිමියා වගේ කිව්වෙ. මං කොහොමත් හිතන් උන්නෙ මං රාවණා වගේ පිරිමියෙක් කියලා. කොහොමත් ඒ වෙද්දි ලංකාවෙ කෙල්ලන්ගෙ ට්රෙන්ඩ් එකක් තිබ්බනෙ රාමාට වඩා රාවණා සුපිරි ඩයල් එකක්, කවදහරි සෙට් කරගන්නවා නම් සෙට් කරගන්නෙ රාවණා වගේ ඩයල් එකක් කියලා. හැබැයි ඒ වෙලාවෙ මට මතක් උනේ නෑ රාවණා සීතාව දඬු මොනරෙන් ගිහින් කිඩ්නැප් කරගෙන ආවෙ මේ වනචර වැඩවලට නෙවෙයි, කොටින්ම ඒ මිනිහා සීතාට වචනෙකින්වත් වනචර කතාවක් කිව්වෙ නෑ කියන එක. අපි ලුක් එකෙන් තමයි රාවණා වගේ වෙන්න ප්ලෑන් කරගෙන හිටියෙ. රාවණාගෙ තිබ්බ පවර් එක, පිරිමිකම වගේ දේවල් ගැන හෙනට කතා කළාට මොකෝ අපිට ඒවයින් ඕන වුණේ ගෑනියෙක් ඉස්සරහා පොරක් වෙන්න පුළුවන් කෑල්ල විතරයි. කොටින්ම අපි රාවණාගෙන් ඉගෙනගෙන තිබ්බෙ ගෑනියෙක්ව උස්සගෙන යන්න පුළුවන් විදිය මිසක් ගෑනියෙක් ඉස්සරහා තමන්ගෙ ආසාවල් පාලනය කරගන්න පුළුවන් විදිය නෙවෙයි. රාවණා සීතාව අරගෙන ආවත් සීතාගෙ කැමැත්ත තමන්ට අයිති කරගන්න බැරි විත්තිය ඩයල් එක දැනගෙන උන්නා. හැබැයි මං හිතන් උන්නෙ ශාර්වරී මට කැමති වෙච්ච දවසෙ ඉඳලා ඒකිගෙ කැමැත්ත අකමැත්ත දෙකම මට අයිතියි කියලා. ඒක තමයි මං ඒ දවස්වල ආදරේ කියලා හිතාගෙන උන්නෙ.
අනික අපිට තිබ්බෙත් පුදුම පිරිමිකමක්. කෙල්ලෙක් අපි කියන දේකට ඔළුව වැනුවොත් ඒකි හොඳ කෙල්ලෙක්. ඔළුව වැනුවෙ නැත්තං ඒකිගෙ ලොකුකම. අපි පස්සෙන් ආවොත් ඒකිට අපි ගැන පිස්සු. ඒකි අපිව මඟ ඇරියොත් ඒකිගෙ රැස්. අපි කෙල්ලෙක්ව දාලා ගියොත් ඒක අපේ චොයිස් එක. කෙල්ලෙක් අපිව දාලා ගියොත් ඒකිට පාඩමක් උගන්නන්න ඕන. කොටින්ම අපේ පිරිමිකම කියන මඟුල රැකිලා තිබ්බෙත් කෙල්ලෙක් අපි ඉස්සරහා කොච්චර පාත් වෙනවද කියන එක උඩ. එහෙම බලද්දි අපි හෙන පිරිමි කියලා හිතාගෙන උන්නට ඇත්තටම අපේ පිරිමිකම තිබිලා තියෙන්නෙ පුදුම බයකින් කවර් වෙලා. කෙල්ලෙක්ගෙ එක වචනෙකින්, එක බැල්මකින්, එක බෑ කියන උත්තරේකින් කුඩු වෙලා යන්න තරම් ඒක බොහොම බාල බඩුවක් වෙලා තිබ්බා කියන එක මට පෙන්නලා දුන්නෙ ඇත්තට ශාර්වරී.
හැබැයි ඒ කාලෙ මට ඒවා තේරුණේ නෑ. මට ඕන වුණේ ශාර්වරී මට බය වෙනවා දකින්න. මොකද මං එතකොටත් හිතන් උන්නෙ ගෑනියෙක් තමන්ට බය වෙන එකයි ගරු කරන එකයි දෙකම එකක් කියලා. ආදරේට බය නැති ගෑනියෙක් එක්ක ඉන්න පුළුවන්කමක් තියෙන්නෙ තමන් ගැන විශ්වාසයක් තියෙන පිරිමියෙක්ට විතරයි කියන එක මං දැනගෙන උන්නෙ නෑ. මං වගේ උන්ට ඕන වුණේ ගෑනියෙක්ගෙ ආදරේට වඩා ඒකිගෙ යටහත් පහත්කම. මොකද ආදරේ ලබන්න නම් තමන් ඒකට සුදුසු මිනිහෙක් වෙන්න ඕන. හැබැයි කෙනෙක්ව බය කරන්න ඒ මුකුත් ඕන නෑ. පොඩ්ඩක් සද්දෙ දාන්න පුළුවන් වුණාම ඇති.
ඇත්තටම ඒ දවස්වල මං බය වෙලා උන්නෙ ශාර්වරී මට බය නොවෙන එකට. හැබැයි ඒක පිළිගන්න තරම් පිරිමිකමක් මට තිබ්බෙ නෑ.
මං ඒකිව සරෙන්ඩර් කරන්න හිතාගෙන දේවල් කියද්දි ශාර්වරී මං දිහා බලාගෙන උන්නා. ඒකිගෙ මූණෙ තිබ්බෙ තරහක්ද, අප්පිරියාවක්ද කියලා මට හරියටම තේරුණේ නෑ. හැබැයි ඒකි බය වෙලා නෑ කියන එක නං මට හොඳටම තේරුණා.
“ඔය මට ඔය තර්ජනයක්ද ඔය දාන්නෙ දිලාන්?” කියලා ශාර්වරී ඇහුවෙ කිණ්ඩියට වගේ හිනාවෙවී.
“තර්ජනයක් නෙවෙයි. තමුසෙට තමුසෙගෙ තරම කියලා දෙන්නෙ”
“මගේ තරම?” ශාර්වරී හිනා වුණා. හැබැයි ඒක මං ආස කරපු විදියෙ හිනාවක් නෙවෙය
“මං දෙයක් අහන්නද?”
“මොකද්ද?”
“ඔයා ඔච්චර පිරිමියෙක් නං ඇයි මං ඔයාට බය වෙනකල් බලන් ඉන්නෙ?”
මට ඒ ප්රශ්නෙ තේරුණේ නෑ.
“මොකද්ද කියන්නෙ?”
“නෑ මං අහන්නෙ, මං ඔයාට ආදරේ කරන එකට වඩා ඔයාට ඕන මං ඔයාට බය වෙනවා දකින්නද?”
“විකාර කියවන්න එපා ඕයි”
“එහෙනං මං ඔයා කියන හැම දේටම ඔළුව වනන්නෙ නැති එක ඔයාට ඔච්චර ප්රශ්නයක් වෙන්නෙ ඇයි?”
මං උත්තරයක් දෙන්න කට ඇරියා. ඒත් කියන්න දෙයක් තිබ්බෙ නෑ. ඇත්තටම ඒකි අහපු ප්රශ්නෙට මං ළඟ උත්තරයක් තිබ්බෙ නෑ. ඒ හන්දා මං කළේ උත්තරයක් දෙනවා වෙනුවට තව ටිකක් කටේ සද්දෙ වැඩි කරපු එක
“මේ ශාර්වරී තමුසෙ මට ඔය ලොකු ටෝක් දෙන්න එන්න එපා. තමුසෙ කවුද කියලා මං හොඳට දන්නවා හොඳේ”
“නෑ දිලාන් ඔයා දන්නෙ නෑ.” ඒකි එහෙම කියලා අතේ තිබ්බ ප්ලේන් ටී කෝප්පෙ බංකුව උඩින් තිබ්බා.
“ඔයා දන්නෙ මං නුවර කෙල්ලෙක් කියලා. මගේ තාත්තා කවුද කියලා. මගේ වාසගම මොකද්ද කියලා. මං ලස්සනයි කියලා. ඔයාගෙ බැච් එකේම යාළුවො මං දිහා බලනවා කියලා විතරයි හැබැයි ඔයා මං කවුද කියලා දන්නෙ නෑ.”
“ආ ඇත්තද?”
“ඔව්. මොකද ඔයා මාව කවදාවත් අඳුරගන්න උත්සාහ කරලා නෑ. ඔයාට ඕන වෙලා තිබ්බෙ මාව අයිති කරගන්න විතරයි”
ඒ වෙලාවෙ මට ඒකිගෙ කතාව ඇහුණෙ මාව පහත් කරලා කතා කරනවා වගේ. විශේෂයෙන්ම ඒ වෙනකොට අපි දෙන්නා කතා කරන හැටි බලන් අපේ බැච් එකේ කොල්ලො දෙතුන් දෙනෙකුත් ටිකක් එහායින් හිටිය හන්දා ශර්වරී ඇඟිල්ල දික් කර කර මට එක එක ඒවා කියද්දි මට ඒකිගෙ ඇඟිල්ල කපන්න හිතුනා.
“එහෙනං තමුසෙට මං එක්ක ඉන්න බැරි නං යන එකයි ඇත්තෙ”
මං එහෙම කිව්වෙ ඒකි යන්නෙ නෑ කියන විශ්වාසෙන්. මොකද ඒ වෙනකල් මං දැනගෙන උන්න හැටියට කෙල්ලෙක්ට එහෙම කිව්වම සාමාන්යයෙන් වෙන්න ඕන ඒකි අඬන එක. නැත්තං මං කියපු දේ ආපහු ගන්නකල් පස්සෙන් එන එක. හැබැයි ශාර්වරී කළේ ඒ දෙකෙන් එකක්වත් නෙවෙයි.
“හරි” ඒකි කිව්වා.
“මොකද්ද හරි?”
“මං යන්නං” මං හිතුවෙ ඒකි විහිළුවක් කරනවා කියලා.
“තමුසෙ හිතන්නෙ මං විහිළු කරනවා කියලද?”
“නෑ දිලාන්. ඔයා විහිළු කරන්නෙ නෑ කියලා මං දන්නවා. ඔයා කියන ගොඩක් දේවල් ඔයාටට විහිළු වුණාට ඒවා අහගෙන ඉන්න මනුස්සයට විහිළු නෙවෙයි”
එහෙම කියලා ශාර්වරී නැගිට්ටා.
“තව එකක්”
එහෙම කියලා ඒකි ආපහු හැරුණා.
“ඔයා ඔය නිතරම අහනවනෙ මගෙ නළලෙද තියෙන්නෙ කියලා? මගේ නළලෙ මොකක් තියෙනවද කියලා හොයනවට වඩා ඔයාගෙ ඔළුව ඇතුළෙ මොනවද තියෙන්නෙ කියලා පොඩ්ඩක් හොයලා බලන්න දිලාන්. මට නං ඒකෙ එච්චර දෙයක් තියෙන පාටක් පේන්නෙ නෑ”
එහෙම කියලා ඒකි යන්න ගියා. මං හිතුවෙ ඒකි තව අඩියක් දෙකක් විතර ඉස්සරහට ගිහින් ආපහු හැරෙයි කියලා. ඒත් ඒකි හැරුණෙ නෑ. මං හිතුවෙ එදා රෑට කෝල් එකක් දෙයි කියලා. දුන්නෙ නෑ.
පහුවදා උදේ මං කැම්පස් එකට එද්දිවත් මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බෙ නෑ.
ඒ වෙනකොට මට තේරිලා තිබ්බෙ ශාර්වරී කියන්නෙ මං හිතන් උන්න ජාතියෙ කෙල්ලෙක් නෙවෙයි කියලා. හැබැයි ඒක පිළිගන්න මගෙ තිබ්බ පිරිමිකම මට ඉඩ දුන්නෙ නෑ.
ඉතිං මං කළේ ඒකිට තව තව ලොකු සීන් දාන එක.
“ඕකි නැතුවට මට කෙල්ලො නැද්ද බං? මට තව කොච්චර කෙල්ලො හොයාගන්න පුළුවන්ද? ඒකි හිතාගෙන උන්නෙ ඒකිගෙ එක තියෙන්නෙ නළලෙ කියලා” මං යන යන තැන හම්බුවෙන හම්බුවෙන උන්ට ශාර්වරී ගැන වැරදිම කිව්වා. ඒ වෙලාවෙත් මට මතක් උනේ නෑ රාවණා නං එහෙම බලු වැඩ කරේ නෑ නේද කියන එක.
හැබැයි ඒකෙත් මාරම විහිළුවක් තිබ්බා. ශාර්වරී මාව දාලා ගියාට පස්සෙ ඒකි මං ගැන එක වචනයක්වත් කාටවත් කොහෙවත් කියලා තිබ්බෙ නෑ. මං ඒකිගෙ චරිතෙ කෑලි කෑලිවලට ඉරලා බැච් එක පුරා බෙදද්දි ඒකි මං ගැන වචනයක්වත් කියලා තිබ්බෙ නෑ. ඒකිට මං ගැන කියන්න ඕන තරම් දේවල් තිබ්බා. අඩුම තරමෙ මං ඒකිට කරපු තර්ජනේ ගැන හරි කියන්න තිබ්බා. හැබැයි ඒකි එහෙම කළේ නෑ. ඒකිගෙ තිබ්බ ඔය මහ ලොකු ආඩම්බරකම හන්දා වෙන්න ඇති කියලා මං ඒ දවස්වල හිතුවට දැන් මට හිතෙන්නෙ ඒකි මං ගැන කතා කරන එකත් තමන්ගෙ කාලෙ නාස්ති කරන වැඩක් කියලා හිතන්න ඇති කියලා.
ඒ උනාට මං ඒකි ගැන කතා කරන එක නතර කළේ නෑ. කොටින්ම අපි දෙන්නගෙ සම්බන්ධෙ ඉවර වෙලා මාස ගාණක් ගියත් මගේ කතාවල ශාර්වරීට තිබ්බ තැන නැති වුණේ නෑ. මාර වැඩේ කියන්නෙ මං යන යන තැන ඒකි ගැන කතා කළාට ඒකි යන යන තැන මං ගැන කතා කළේ නෑ. මං ඒකිගෙන් නිදහස් වුණා කියලා ලෝකෙට පෙන්නන්න හදද්දිත් ඒකි ඇත්තටම මගෙන් නිදහස් වෙලා උන්නා.
ඒක තමයි මට දරාගන්න බැරි වුණේ.
මං හිතන් උන්නෙ ශාර්වරී මාව දාලා ගියා කියලා. හැබැයි ඇත්තටම වෙලා තිබ්බෙ ඒකි තමන්ට ගැළපෙන්නෙ නැති මිනිහෙක්ගෙන් අයින් වෙච්ච එක විතරයි. මං ඒක මගේ පිරිමිකමට වෙච්ච නින්දාවක් කරගෙන තිබ්බා.
කොහොමහරි ශාර්වරී මට හොඳ පාඩමක් ඉගැන්නුවා. හැබැයි ඒකි ඒ පාඩම ඉගැන්නුවෙ මං හිතන් උන්න විදියට මගේ පිරිමිකමට චැලෙන්ජ් කරලා නෙවෙයි. මගේ පිරිමිකම කියලා මං හිතාගෙන උන්න දේ ඇතුළෙ තිබ්බ හිස්කම මටම පෙන්නලා.
ගෑනියෙක්ගෙ නළලෙ අහවල් එක තියෙනවා කියලා හිතන තරමට මං පිරිමියෙක් වෙලා උන්නට මගේ පිරිමිකම තිබ්බෙ කොතැනද කියලා හොයාගන්න මට සෑහෙන කාලයක් ගියා.
අන්තිමට බලද්දි ශාර්වරිගෙන් “අහවල් එක නළලෙද තියෙන්නෙ?” කියලා අහන් උන්න මම මගේ අහවල් එක නළලටත් වඩා උඩින් තියාගෙන ලෝකෙට පේන්න හොල්ල හොල්ල ඉඳලා තිබ්බා.











