දීප්තිමත් කෙස් කළඹකට නිවසේදීම කන්ඩිෂනර් හදමු

ඔබේ හිසකෙස් සෝදා පිරිසිදු කිරීමෙන් අනතුරුව ඒවායේ තෙතමනය රඳා පවත්වා ගැනීමට සහ මෘදු බව ආරක්ෂා කර ගැනීමට කන්ඩිශනර් කිරීම අනිවාර්ය වෙනවා.නමුත් බොහෝ දෙනාට මග හැරෙන පියවරක් තමයි මේ කන්ඩිෂනර් කිරීම කියන්නෙත්. මේ වන විට වෙළඳපළේ තිබෙන කන්ඩිෂනර් බොහොමයක් ඉතාම මිල අධික ඒවා නිසා ඔබට නිවසේදී පහසුවෙන්ම සකස් කරගන්නට පුළුවන් , ඉතා හොඳ ප්‍රතිඵල ලබා දෙන කන්ඩිශනර් වර්ග කිහිපයක් ගැන කියන්න අපි හිතුවා.

කන්ඩිශනර් වලින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද ? 

හානියට පත් හිසකෙස් වලට ප්‍රතිකාර කරයි 

වියළි හිසකෙස් පෝෂණය කරයි 

හිසකෙස් වල සිනිඳු බව සහ මෘදු බව ආරක්ෂා කරයි 

හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරයි 

දීප්තිමත් බව වැඩි කරයි 

හිසකෙස් කළමනාකරණය කර ගැනීම පහසු කරයි 

නිවසේදීම සකස් කරගන්න පුළුවන් කන්ඩිශනර් වර්ග මොනවාද ? 

• මී පැණි සහ ඔලිව් තෙල් කන්ඩිශනර් 

ඔලිව් තෙල් සහ මී පැණි යනු ඔබේ හිසකෙස් වලට තෙතමනය ලබා දීමට සහ පෝෂණය කිරීමට උපකාරී වන ස්වභාවික අමුද්‍රව්‍ය දෙකකි

මි පැණි තේ හැඳි 2කට ඔලිව් තෙල් තේ හැඳි හතරක් මිශ්‍ර කර සෝදාගත් හිසකෙස් වල හොඳින් ආලේප කරන්න. ඉන්පසුව ශවර් කැප් එකකින් හිසකෙස් හොඳින් ආවරණය කර මිනිත්තු තිහක් පමණ තිබෙන්නට හැර හොඳින් සෝදා හරින්න 

• බිත්තර සහ ඔලිව් තෙල් කන්ඩිශනර් 

බිත්තර කහ මදය හිසකෙස් වර්ධනයට උපකාරී වන අතර එය හිසකෙස් අග පැලීම් වලින් ආරක්ෂා කිරීමට සහ හානියට පත් හිසකෙස් වලට ප්‍රතිකාර කිරීමට ද උපකාරී වේ.  වියළි හිසකෙස් වලට තෙතමනය ලබා දීම සහ පෝෂණය ලබාදීමටද බිත්තර වලට හැකියාව තිබෙන අතර ඔලිව් තෙල් වලින් ද හිස කෙස්වලට තෙතමනය සහ පෝෂණය ලබාදෙනවා.

බිත්තර කහමදයකට ඔලිව් තෙල් තේ හැඳි දෙකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් පමණක් වතුර තේ හැඳි දෙකක් පමණ එකතු කරන්න. ඉන් පසුව සෝදා ගත් හිසකෙස් කොටස් වලට බෙදා මිශ්‍රණය ඉතා හොඳින් ආලේප කරන්න. ශවර් කැප් එකකින් හිස හොඳින් ආවරණය කර විනාඩි තිහක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න 

• කෙසෙල් , මී පැණි සහ ඔලිව් තෙල් කන්ඩිශනර් 

කෙසෙල් යනු සිලිකා අඩංගු හොඳම ප්‍රභවයක් ලෙස සැලකෙනවා. සිලිකා යනු හිසකෙස් ගැලවී යාමට ප්‍රතිකාර කිරීමට සහ හිසකෙස් දීප්තිමත් කිරීමට හැකියාව තිබෙන ඉතා හොඳම අමුද්‍රව්‍යයකි. ඊට අමතරව හානියට පත් හිසකෙස් යථා තත්ත්වයට පත් කිරීමට සහ අග පැලුනු හිසකෙස් වලට ප්‍රතිකාර කිරීමටත් එයට හැකියාව තිබෙනවා. මී පැනි සහ ඔලිව් තෙල් මගින් හිසකෙස් වලට හොඳ තෙතමනයක් ලබා දෙන අතර මෙම අමුද්‍රව්‍ය තුනෙහි එකතුව හිසකෙස් සඳහා විශිෂ්ට ප්‍රතිඵල අත් කර දෙනවා.

ඉතා හොඳින් පොඩි කර ගත් ඉදුණු කෙසෙල් ගෙඩියකට මී පැණි තේ හැඳි එකක් සහ ඔලිව් තෙල් තේ හැඳි දෙකක් එකතු කර මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය සෝදා ගත් හිසකෙස් කොටස් වලට බෙදා ආලේප කරන්න. ශවර් කැප් එකකින් හිස ආවරණය කර විනාඩි 30 – 45 අතර කාලයක් තිබෙන්නට හැර හොඳින් සෝදා හරින්න 

• යෝගට් , ඔලිව් තෙල් සහ බිත්තර කන්ඩිශනර් 

යෝගට් සහ ඔලිව් තෙල් හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කිරීමට , හිසකෙස් අග පැලීම් වලින් ආරක්ෂා කිරීමට සහ හානියට පත් හිසකෙස් නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව තිබෙන අමුද්‍රව්‍ය දෙකකි. බිත්තර වල අඩංගු ප්‍රෝටීන් මගින් හිසකෙස් වලට ඉතා හොඳ පෝෂණයක් ලබාදෙන අතර මෙම අමුද්‍රව්‍ය තුන මගින් හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරනවා.

බිත්තරයකට ඔලිව් තෙල් තේ හැඳි එකක් සහ යෝගට් මේස හැදි දෙකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. හිසකෙස් සෝදා කොටස් වලට වෙන් කර මෙම මිශ්‍රණය ආලේප කර හොඳින් සම්බාහනය කරන්න.ඉන්පසුව ශවර් කැප් එකකින් ආවරණය කර මිනිත්තු පහළවක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. 

• කෝමාරිකා සහ කෙසෙල් කන්ඩිශනර් 

විටමින්, ඛනිජ ලවණ, ඇමයිනෝ අම්ල සහ සාලිසිලික් අම්ලය අඩංගු කෝමාරිකා මඟින්  හිසකෙස් ගැලවී යාම පාලනය කිරීම සහ තෙතමනය ආරක්ෂා කිරීම සිදුකරන අතර විටමින් බී සහ සිලිකා වලින් පොහොසත් කෙසෙල් මඟින් ද හිසකෙස් ගැලවී යාමට ප්‍රතිකාර කරනවා. ඊට අමතරව මෙම අමුද්‍රව්‍ය දෙක මඟින් හිස්කබල ආශ්‍රිත ගැටලු ද සමනය කරනවා 

මධ්‍යම ප්‍රමාණයේ ඉදුණු කෙසෙල් ගෙඩි දෙකක් හොඳින් පොඩිකර එයට නැවුම් කෝමාරිකා ජෙල් මේස හැඳි තුනක් හෝ හතරක් එකතු කර මිශ්‍ර කරන්න.නැතිනම් මෙම අමුද්‍රව්‍ය දෙක හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. සෝදා පිරිසිදු කරගත් හිසකෙස් මත මෙම මිශ්‍රණය ආලේප කර ශවර් කැප් එකකින් ආවරණය කරන්න.පැයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

ඔබට ඉතා පහසුවෙන් සොයා ගන්නට පුළුවන් අමුද්‍රව්‍ය වලින් සකස් කරගත හැකි කන්ඩිශනර් වර්ග කිහිපයක් තමයි මේ.විවිධ රසායනික අඩංගු මිල අධික කන්ඩිශනර් වර්ග වලට වඩා ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සකස් කර ගන්නා මෙවැනි කන්ඩිශනර් වර්ග ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ලබා දෙන බව නිසැකයි.

Related Articles

Don't Miss


Latest Articles