සුසුවඳ සූත්‍ර – 02

0
1694

ඇඳගෙන සිටි සුදු කමිසයේ ඉහළ බොත්තම් කිහිපය ලිහිල් කළ යුගාත්ම කාශ්මීර අමුණුගම, දිග කමිස අත් වැලමිට තෙක් ඉහළට ඇද ඇඳි පුටුවක් මතට වැටුණේ ය. ඔහු ගේ හිස පුටු වතෙන් මඳක් පිටුපසට බර වී, ඉක්මන් ඇස් පිය සලමින් තිබිණ. කණ්ණාඩි වාගේ දිලිසෙන කළු සපත්තු ද රන් පැහැති අගනා අත් ඔරලෝසුව ද තවමත් ඔහුව තරයේ වැළඳගෙන තිබේ. යුගාත්ම සුරතේ ඇඟිලි වලින් හිස කේ පිටුපසට තල්ලු කළේ ය. ඔහුට ම පහදා ගත නො හැකි නො සන්සුන් කමක් ඔහු වසාගෙන පවතී. ඊට හේතුව ඒ සුවඳ ද? නො එසේ නම් ඒ රුව ද?

යුගාත්ම දිගු හුස්මක් ගත්තේ ය. ලොව පුරා වන මිලාධික ම සුවඳ විලවුන් ආනයනය කරනා ව්‍යාපාරිකයෙකු ලෙස ඔහු නම් දරා හිඳී. ඕනෑ ම විලවුන් වර්ගයක්, ආඝ්‍රාණය කළ සැණෙන් එහි අන්තර්ගත සගන්ධ තෙල් වර්ග ටොප් නෝට්ස්, මිඩ්ල් නෝට්ස් හා බේස් නෝට්ස් වශයෙන් යම්තාක් දුරකට සංයුතිකව හඳුනා ගැනීමේ පළපුරුද්දක් දැන් ඔහු ට තිබේ. සුවඳ යනු ඔහු ගේ ආත්මයයි. ඔහු ගේ වෘත්තියයි. ඔහු ගේ ව්‍යාපාරයයි. නමුත් එදා මෙදාතුර කොතැනකදීවත් ඉව කළ නො හැකි වූ සුවඳක් ඇය වෙතින් හැමුවේ ය. ඒ නම් පුදුම සුවඳ සූත්‍රයකි. එහෙව් විලවුනක් ඔහු ට මගහැරුණේ කෙසේ ද? ඇය ඒ විලවුන් වර්ගය මිල දී ගත්තේ කිනම් රටකින් ද? එහි නිෂ්පාදකයා කවුරුන් විය හැකි ද?

සුවඳ විලවුන් ක්ශේත්‍රයෙහි විලවුන් නිෂ්පාදන සිදු කරනුයේ සුවඳ සූත්‍රයන් මත පදනම්ව ය. ද්‍රාවකයක් ද සගන්ධ තෙල් වර්ග ද කෘතිම සංයෝග වර්ග ද නිශ්චිත අනුපාත වලින් මුහු කළ විට විලවුන් නිපදවේ. මේ අනුපාතයන් සුවඳ සූත්‍ර ලෙස හැඳින්වේ. සුවඳ සූත්‍ර වූ කලී ක්ෂේත්‍රය තුළ රහස් ය. නිෂ්පාදකයන් ගේ බුද්ධිමය දේපළ ලෙස ඒ සලකනු ලැබේ.

යුගාත්ම විලවුන් නිෂ්පාදකයෙකු නොවේ. නමුත් ඔහු සුවඳ රසිකයෙකි. ඔහු ක්ෂේත්‍රයේ පෙරමුණෙහි ගමන් කරන ව්‍යාපාරිකයෙකු බවට පත් කරන ලද්දේ එකී රසිකත්වයයි.

කොළඹ, මහනුවර, ගාල්ල, නුවරඑළිය, රත්නපුර වැනි දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක වල යුගාත්ම ගේ විලවුන් ප්‍රදර්ශනාගාර ස්ථානගත කොට තිබේ. ලෝකයෙහි අගනා ම හා පැරණි ම වෙළෙඳ නාම යටතේ එන විලවුන් වර්ග එකී ප්‍රදර්ශනාගාර වලින් මිල දී ගන්නට පිළිවන. නමුත් ඇය ගල්වා සිටි සුවිශේෂ සුවඳැති විලවුන් වර්ගය ඔහු ට මෙතෙක් හමු වී නො තිබීම ගැන, යුගාත්ම තුළ ලැජ්ජාව මුසු අසහනකාරී බවක් ඇති වී තිබේ. සිය හුදෙකලා මන්දීරයේ එතැන මෙතැන වැටෙමින්, ඇඳුම් මාරු කිරීමේ හෝ උනන්දුවක් නැතිව හෙතෙම තත්පර වෙමින් සිටියේ ය.

දිය නා නැවුම් වී ලැවැන්ඩර් සුවඳ ඕඩිකොලෝන් බිඳු කිහිපයක් තවරාගෙන, අන්තරා ස්වරාවී ගාන්ධාරා සිය පර්යේෂණ කාමරයට පැමිණියා ය. නැවුම් බව සුරැකෙන සේ ශීතකරණයෙහි ගබඩා කොට තිබි, පෙර දා කඳුකරයෙන් ගෙනෙනා ලද විවිධ කඳුකර මල් හා පත්‍ර වර්ග ලං කොට ගත්තා ය. දාහකය දල්වා, ඇළුමිනියම් බඳුන් වලට ජලය ද ශාක කොටස් ද එකතු කරමින් ආසවනය මගින් සගන්ධ තෙල් නිස්සාරණය කිරීමේ කටයුතු ඇරඹුවා ය. හුමාල ආසවනය ද ජල ආසවනය ද මේ සඳහා ඇය යොදා ගනී. ඒ පර්යේෂණාගාර මට්ටමෙන් මිස නිෂ්පාදනාගාර මට්ටමෙන් නොවේ.

සාමාන්‍ය වශයෙන් ලෝකයේ බහුලව භාවිතා වන සගන්ධ තෙල් වර්ග වෙළෙඳ පොළෙන් ලබාගත හැක. විලවුන් සඳහා පරීක්ෂණ සිදු කිරීමේ දී ඇය ඒවා යොදාගනී. නමුත් මේ කඳුකර සුවඳ නිර්මාණය කිරීම යනු තනිකර ම ඈ තුළ උපන් අදහසකි. බොහෝ සගන්ධ තෙල් වර්ග මුහු කරමින් ඒ සඳහා උත්සාහ කළ ද බලාපොරාත්තු වූ ප්‍රතිඵලය ලද හැකි වූයේ නැත. එබැවින් නම දන්නා – නො දන්නා කඳුකර ශාක කොටස් ද යොදාගෙන සුවඳ තෙල් නිස්සාරණය කරමින් දිගට ම පරීක්ෂණ වල නියැළීම ඇගේ ඊළඟ පියවර විය. ඒ වෙනුවෙන් ඇය එකතු කරගෙන එන ලද කඳුකර පැළෑටි බොහොමයක්, පර්යේෂණ කාමරයෙහි ජනේලයට පිටතින්, සිය අවස්ථාව පැමිණෙනතුරු බලා සිටී.

දුරකතනය නාද වන්නට වූයේ පාරින්දි ගේ නමිනි. පුස්තකාලය ළඟ කෝපි හලේදී හමු වී මඳ වෙලාවක් කතාබහ කොට දුරකතන අංක හුවමාරු කරගත්තාට, නැවත ඔවුන් අතරේ ගනුදෙනුවක් සිදු වනු ඇතැයි අන්තරා නම් සිතුවේ ම නැත. දශක හතරක් ඉක්මවා යන ජීවන ගමනක් ගෙවා අවසන් කොට සිටිනා ඇය, හමු වී වෙන්ව යන මිනිසුන් ගැන දැන් ඉතා හොඳින් දන්නී ය. මිනිස් ගනුදෙනු ගැන සැබවින් දැන් ඕ උදාසීන යයි කීවාට වරදක් නැත. සම්බන්ධතා නඩත්තු කරන්නටය කියා ඇය කිසිවක් ම නො කරන තරමි. අහම්බෙන් හමු වූ මේ ගෑනු ළමයාට ද ඈ මතක තිබෙනු ඇත්තේ ගෙදර යනතුරු පමණකැයි අන්තරා සිතුවා ය. දුරකතන තිරය මත පාරින්දි ගේ නම සනිටුහන් ව තිබියදී  ඇගේ මුහුණට සිනහවක් පැමිණියේ  එබැවිනි.

“කෙල්ලට එහෙනං ගෙදර ගිහිනුත් මාව මතක තිබිල නේ…”

මඳහසක මුදු සරින් ඕ ළෙංගතුව මිමිණවා ය.

“අනේ… ඇයි එහෙම කියන්නෙ… ගෙදර ගියාම නෙවෙයි… මැරෙන්න පැයක් තියාත් මට ඔයාව මතකයි”

ඒ හුරතල් ආදරණීය නෝක්කාඩුවට නම් අන්තරා හොඳට ම සිනහ වූවා ය. ඒ තරම් සැහැල්ලු ලෙස සිනහ වූයේ කොයි තරම් කාලයකට පස්සේ ද කියාත් ඒ අතරේ ඇයට සිතිණ.

“ඔයා පරිස්සමෙං ගෙදර ගියා නේද අන්තරා…”

“ගෙදර ඇවිත් නාලත් ඉවරයි”

“මං වෙන වැඩ වගේකුත් කරගෙන මේ ගෙට ගොඩවුණා විතරයි. ඔයා ගෙදර යන්න ඇද්ද කියල මතක් වුණා”

අන්තරා ට සියුම් පසුතැවීමක් දැනිණ. ඒ පසුතැවීම, පාරින්දි වෙනුවෙන් එහෙම සොයා බලන හිතක් ඇයට ඇති නොවීම ගැන ය.

“එහෙනං… වොශ් දාගන්න ඕන. අපි පස්සෙ කතාකරමු හොඳේ. බායි…”

“බායි”

ඒ අකුරු දෙක අන්තරා ගේ මුවින් පිට වුණ – නො වුණ තරම ය. සුසුමක් මුදා හළ ඕ දුරකතනය පසෙක තබා සිය පරීක්ෂණ කෙරේ මුළු අවධානය ම යොමු කළා ය. හැන්දෑව අඳුරට හැරෙනා විට කඳුකර මල්,පත්‍ර හා පොතු වර්ග ගණනාවක සුවඳ තෙල් සාම්පල ලබාගන්නට ඈ සමත් වූවා ය.

සන්ධ්‍යාව හා රාත්‍රිය වෙන් කරනා සීමාවේ වැස්සක් පතිත වෙමින් තිබිණ. අන්තරා තේ කෝප්පයක් සාදාගෙන විත්, බරාඳ පුටුවක හිඳ එය තොලගාමින්, අඳුර සමග පොරබදනා සන්ධ්‍යාලෝකය දෙස දෙනෙත් යොමා සිටියා ය. සීනි නො දැමූ තේ සමග පැණිබර රටඉඳි යනු රස පදමකි. සන්ධ්‍යාවත් සමග වැහි මන්දාරමක් යනු ද කදිම පෑහීමකි.

අන්තරා ට සිය පුත් නූපුර සිහි විය. ඔහු හිතෙන් නැගී සිටිනා හැම වෙලාවක ම හදවතේ දැවීමක් ඇති වේ. ගෙදරදී ඔහු ගේ අතට පයට හැම දේ ම කර දුන්නේ ඈ ය. ගෙදර සිටින්නේ වී නම් තුන් වේල ම බත් පත අනා මුවෙහි තැබිය යුතු වූයේ ද ඇයයි. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන තුරු ඔහු සිය දෑතින් තමන්ගේ වැඩක් කරගෙන ඇත්නම් ඒ ඉතා අල්ප වශයෙනි. එහෙව් ඔහු දැන් තනිව තමන්ව බලාකියා ගන්නේ කෙසේ ද?

තේ එක බීමෙන්  පසු ඔහු ට දුරකතන ඇමතුමක් දිය යුතු යයි අන්තරා සිතාගත්තා ය. නූපුර නම් අම්මා සිහි වී ඇමතුමක් දෙන්නේ ම නැති තරමි. ඔහු ට ඈ සිහි වන්නේ නැතිවාවත්ද? නමුත් අන්තරා ට නම් පුතු ගෙදර නැතිව සිය හදවතේ හැම සෛලයකට ම පාළු දැනේ. දුකක් ද හිස් කමක් ද දැනේ. ඈ සිය ජීවිතයෙන් වැඩි කොටසක් කැප කළේ පුතු වෙනුවෙනි. ඇගේ මුළු ලෝකය ම වූයේ ඔහු යි. හදවතේ ලොකු ම ඉඩ අරා සිටියේ ඔහු යි. ඇහේ මූණේ තියාගෙන, අත පත ගාමින් කවමින් පොවමින් ඇති දැඩි කළ ශරීරයේ ම කොටසක් වන්නේ නූපුර යි. නමුත් ලොකු වන්නට වන්නට ඔහු ඇගෙන් ඈත් වූ බව, දැන් ආපසු සිතත්දී ඇයට වැටහේ. ඇයට තිබූ ලොකු ම බැඳීම ඔහු වෙත්දී, නූපුර මුලින් තාත්තා සමග ද පසුව අම්මා සමග ද බැඳීම් ලිහිල් කොට ඈත් වෙමින් සිටියේ ය. ඔහුත් එක්ක තොරතෝංචියක් නැතිව කියවීම අන්තරා ගේ එක ම සතුට වෙත්දී පුතු ටික ටික කතා බහ අඩු කළේ ය. ඔහු තමන් ගේ ම අභ්‍යන්තර ලෝකයක් තුළ හුදෙකලා වෙන්නට රිසි වූයේ ය.

“ඒගොල්ලො දන්නෑ අපේ ඇඟේ ඇට මස් ලේ වලට දියවෙලා තියෙන්නෙ ඒගොල්ලො ගැන ආදරේ කියල”

ඇය හිතෙන් මිමිණුවා ය. එසැනෙන් ඉන්දියානු ස්ත්‍රියක වන කිශෝරී රායි නම් වන සිය මව් හා මහා ගාන්ධර්ව ජිතේන්ද්‍ර මුතුමුදලි නම් වන පියාණන් සිහි වී හෘත් පේශි තදින් සංකෝචනය වූයේ ය. ඔවුන්ටත් මෙලෙස ම දැනුණු යුගයක් නො තිබිණි ද? ඔවුන් ගේ පැතුම් ද ගෞරවය ද දෙපයට පෑගුණු දුහුවිලි තරමට හෝ නො තකා, දක්ෂිණ සමගින් ඉතා ම ළාබාල යුවතියක සන්ධියේ දී රහසින් නික්ම යත්දී, ඔවුන්ටත් මේ ගින්දර නො දැනිණි ද? පාරා වළල්ලක් සේ අද මේ ඇය කරා ම පැමිණ ඇත්තේ ඒ ගින්දර නො වනු ඇත් ද? සොබා දහම නඩු අසන්නට පමා විය හැකි ය. නමුත් එය අමතක වී අත්හැරී යන්නේ නැත. එසේ ම සොබා දහමේ නඩු තීන්දු තරමක් අමුතු විය හැක. දරා ගන්නට අසීරු ද විය හැක. නමුත් ඒ තීන්දු අ සාධාරණයි කියා කිව හැක්කේ කාට ද?

දක්ෂිණ ගේ මෝටර් රථය නලා හැඬවී ය. අන්තරා එහෙම ම හිඳ, කනප්පුව මත වූ දුරස්ථ පාලකය ගෙන රෝලර් ගේට්ටුව විවර කළා ය. වැස්සත් අඩ අඳුරත් අතරින් රියෙහි විදුලි පහන් ඇස් නිලංකාර කළ තරමි. අංගනයෙහි රිය නතර කළ දක්ෂිණ විතානගේ, අන්තරා දෙස නො බලා ම ඇතුළු ගෙට ගියේ ය. අන්තරා ගේට්ටුව වසා දමමින් අසුනෙන් නැගී සිටියේ සිය නීත්‍යානුකූල සැමියාට තේ එකක් පිළියෙළ කරනනටයි.

ඔවුන් ගේ බැඳීම නීත්‍යානුකූල විවාහ සහතිකයට පමණක් සීමා වන්නට ගත්තේ කවදා සිට ද කියා අන්තරා ට නිශ්චිතව ම කිව නො හැක. ප්‍රකට නර්තන ශිල්පියෙකු වන ඔහු කෙරේ බැඳුණු ප්‍රේමයේ ආකර්ෂණය මත මව්පියන් අතැර ඔහු වෙතට ආවාට පස්සේ සිදු වූ දේවල් ලියනවා නම් එය නවකතා පොතක් වනු ඇති බව පමණක් ඇය දනී.

අන්තරා තේ එක රැගෙන යත්දී දක්ෂිණ සිටියේ මතු මහලේ ය. ඔහු ඔවුන් ගේ යුගළ කාමරයෙන් නික්මී මතු මහලේ   වෙනම කාමරයක පදිංචියට ගොස් සෑහෙන කාලයකි. විවාහ සහතිකයක් නොවුණාට, ඔහු ගේ පවුල් ජීවිතය ගෙවෙන්නේ සිය නර්තන පන්තියේ දක්ෂ ම සිසුවියක වූ සම්පතී සමග ය. දක්ෂිණ ඇය වෙනුවෙන් සියල්  පහසුකම් වලින් අනූන නිවසක් මිල දී ගෙන දී, ඇය සමගින් දරුවන් දෙදෙනෙකු ද හදාගෙන එහි වැඩිපුර රැයක් ගතකරන්නේ ය. ඒවා දැන් ප්‍රසිද්ධ රහස් වන අතර අන්තරාට සේ ම රටේ ලෝකේ මිනිසුන්ට ද දැන් ඒවායේ ගාණක් නැත. නමුත් ඔහු අන්තරා ගේ ගෙදර මසකට රෑ කිහිපයක් ගත කරනා එක ද නතරකොට නැත.

“දක්ෂිණ”

තේ එක ඔහු අතට දී අන්තරා ඒ නමින් ඔහු ආමන්ත්‍රණය කළේ වැදගත් කතාවකට බව දක්ෂිණ ට නො දැනුණා නොවේ. ඔවුන් අතරේ අඹු සැමි සබඳතා බිඳී ගොස් වසර ගණනාවක් ගත වී තිබිණි ද, අන්තරා ගේ සුසුමක වෙනසක් පවා තවම ඔහු හඳුනයි.

“පුතා වෙනුවෙන්නෙ අපේ බැඳීම නීති පොතේ හරි තියාගන්න ඕන වුණේ. දැන් ඉතින් එයා ආයෙ ලංකාවට එයි කියල මං හිතන්නෑ. එයාගෙ ජීවිතේ එයා එහෙ පටන් ගනී”

දක්ෂිණ යන්තම් හිස හරවා සිය ජීවිතයේ ප්‍රථම ගැහැනිය දෙස බැලුවේ ය. අපමණ කුණාටු සුළි සුළං ඉඩෝර නියං සායන්ට පස්සේත් මේ ගැහැනිය මේ තරම් සන්සුන් ව ඉන්නේ කෙසේ ද කියා ඔහු ට වැටහෙන්නේ නැත.

“නූපුර එහෙම කිව්වද…”

“එයා මොනවත්ම කියන ළමයෙක් නෙවෙයිනෙ දක්ෂිණ. ඒත් එයා එහෙම කරයි. මට ඒක දැනෙනව”

“එයාට එහෙම කරන්න බෑනෙ. එයා කොහොමද අම්මව අමතක කරල එහෙම…”

“නෑ දක්ෂිණ. අපි එහෙම හිතන්න හොඳ නෑ. කාටත් වැඩිය අපේ ජීවිත අයිතිවෙන්නෙ අපිටමයි. පුතාටත් එහෙමයි. මං කියන්න ගියේ ඒ ගැන නෙවෙයි. දැං පුතාත් මෙහෙ නැති නිසා… ඔයා තවත් යුතුකමක් විදිහට මෙහෙ යන්න එන්න ඕන නෑ දක්ෂිණ. මට මං ගැන බලාගන්න පුළුවං. ඔයා සම්පතීයි දරුවො දෙන්නයි එක්ක එහේ ඉන්න. මෙහෙ එන එක එයාලට හිත් වේනාවක් විතරයි. ඒකෙන් අපි කාටවත් වෙන යහපතක් නෑනෙ. ඔයා මං ගැන හිතන්නෙපා. මට තනියක් නෑ. එහෙම තනියක් තියනවනං මට අම්ම තාත්ත ළඟට යන්නවුණත් පුළුවං”

අන්තරා කතා කළේ යකඩ ගැහැනියක් වාගේ හිත හයිය කරගෙන ය. හැඬුමකට තබා කටහඬේ බිඳීමකටවත් ඉඩ දෙන්නට ඇයට ඕනෑ වූයේ නැත. සාගරය තරම් හැඬූ කඳුළු එකතු කළ හැකි වී ද කඳුළු වලට කිසිත් කළ නො හැකි බැව් ඈ වටහාගෙන බෝ කලකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here