මුතු බෙලි හදවත – 13 වන කොටස

වැස්සක් වහිමින් තිබිණි. ආදිත්‍යා මින්දුල ව වඩා ගෙන සඳැල්ලට වී වැස්ස දෙස බලාන සිටියා ය. දුමාල් ගේ කාමරයේ දොර වැසී තිබුණේ ය. ඔහු උදේ රැකියාවට යනු පිණිස පිය ගැට පෙළ බහිනවා ආදිත්‍යා කාමරයේ වීදුරු ජනේලයෙන් දුටුවා ය. කාර්යාල ඇඳුමට ඔහු බෙහෙවින් කඩවසම් යයි ඇය ට සිතිණි.

රැකියාවක් කළා නම් හොඳ ය යන සිතිවිල්ල ආදිත්‍යා ගේ හිත තුළ වහා ඇති විය.  ආදායම් මාර්ගයක් තිබීම ගැහැනියකට අත්‍යාවශ්‍ය දෙයකි. සැමියා ට ඈ රැකිය හැකි ආදායම් මාර්ග කෙතෙක් තිබුණ ද ඒ ඇගේ ආත්ම අභිමානය ට හේතුවකි. ආදිත්‍යා විවාහයට පෙර පෙර පාසල් ගුරුවරියක ලෙස කටයුතු කළා ය. පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලාවක් ද විවෘත විශ්ව විද්‍යාලය මගින් හැදෑරූ ඕ සිහින මවමින් සිටියේ මඳ කලක් අත්දැකීම් ලැබීමෙන් පසු ඇගේ ම පෙර පාසලක් පවත්වා ගෙන යන්නට ය. නමුත් උන් හිටි ගමන් සිදු වූ විවාහය නිසා ඇගේ සියලු බලාපොරොත්තු උපන් ගෙයි ම මිය ගියේ ය.

මේ විවාහය ගැන පූර්ණ විශ්වාසයක් තැබිය නො හැකි බව දැන් ආදිත්‍යා ට සිතේ. ඒ නිසා යළි රැකියාවක අවශ්‍යතාවය ද දැනේ. නමුත් එවැන්නක් ගැන අවධානය යොමු කළ හොත් මින්දුල ගේ ඉරණම කෙසේ විසඳේවිද කියා සිතා ගත නො හැකි ය. චිකිත්සක හා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන වල ගත වන සීමිත කාලයේ දී ඔටිසම් දරුවෙකු ගේ තත්වය සම්පූර්ණයෙන් ම යථාවත් කළ නො හැකි බව, චිකිත්සකවරු නිතර පවසති. දරුවා වැඩි කාලයක් ගත කරන්නේ ගෙදර වන නිසාවෙන්, මධ්‍යස්ථාන වලදී ඔවුන් ලබා දෙන මාර්ගෝපදේශයන් මව් පියවරුන් හා දරුවා සමග ගෙදර සිටිනා වැඩිහිටියන් විසින් භාවිතාවේ යෙදවිය යුතු ය. ඈ රැකියාවක් කළ හොත් ඒ වගකීම දරන්නට සිටිනා කෙනෙක් නැත.

දැනට මේ මොහොත තුළ පමණක් ජීවත් වෙමින්, අනාගතයේ දී එළඹෙන්නට නියමිත ප්‍රශ්න වලට ඒ වෙලාවට මුහුණ දෙනවා යි ආදිත්‍යා සිතා ගත්තා ය.

“වැස්ස නේ…”

ඒ හඬින් ඇය තිගැස්සී හැරී බැලුවා ය. සේනක විජයවික්‍රම සුදු ජාතික ඇඳුමකින් බබලමින් ඈ ඉදිරියේ සිට්යේ ය.

“ඔව් තාත්තෙ”

ඇය මින්දුල ව තදින් අල්ලා ගනිමින් ඉක්මනින් කීවා ය.

“මට ඔයා ගැන හරි දුකයි. අරූට කිසිම අයිතියක් නෑ ඔයාව එදා තනියම ගෙදර දාල වෙඩින් එකට යන්න. මැණිකෙ අගය කණා දන්නෙ නෑ කියනවනෙ ආදි…”

සේනක මින්දුල ගේ අතකින් අල්ලන්නට සේ සිය අතක් ගෙනවිත් ආදිත්‍යා ගේ උරහිසෙහි ස්පර්ශ කළේ ය. ඇය අඩියක් පසෙකට තබා ඔහු ගෙන් මඳක් ඈත් වූයේ ය.

“ඕක ලැජ්ජාවද ආඩම්බර කමද කියලයි මට තේරෙන්නෙ නැත්තෙ”

ඔහු සිනහ වෙමින් කීවේ ය. ආදිත්‍යා බැලුවේ මෙතනින් පැන ගන්නා විදිහක් ගැන ය. මින්දුල අතේ සිටින නිසා ඇයට ඉක්මනින් දුව ගත හෝ නො හැක.

“ඒ මොකක් වුණත් මං කැමතියි ඔයාගෙ ඔය විදිහට”

මේ මිනිසුන් සිය තිත්ත කළු ආත්මය බබලන සුදු ඇඳුමකින් වසා ගෙන ඉන්නා ලැජ්ජ නැති කමක් යයි ඇය සිතුවා ය.

“මේ අහන්න. විකුම් ඔයා ගැන බලන්නැත්තං මට පුළුවන් ඔයා ගැන බලන්න. කිසිම දුකක් දෙන්නැතුව මං ඔයාට සලකනව. ඔයා මෙහෙම දුක් විඳින්න ඕන නෑ දරුවෙකුත් කර පින්නගෙන…”

මේ මිනිසා විකුම් ගේ පියා නො වුණා නම් කතා කළ යුතු පිළිවෙල ආදිත්‍යා දනී. නමුත් ඔහු ව තරහා කර ගෙන මේ වහල යට යහතින් ජීවත් විය නො හැකි වනු ඇත. ඒ නිසා උපක්‍රමශීලී ව ගැලවී ගන්නට ඇය මගක් කල්පනා කළා ය.

“තාත්තෙ මං දැං පුතාට කෑම කවන්න ඕනෙ. මං යන්නං පහළට

ඈ යන්නට හැදුවා පමණි. සේනක ඇගේ අතක් තද කොට අල්ලා ගත්තේ ය.

“මේ මොකද මේ…අතඅරින්න”

ඇය සිය අත නිදහස් කර ගන්නට වෙර දැරුවා ය. නමුත් සේනක ගේ ග්‍රහණය දැඩි වූයේ ය. ආදිත්‍යා හැකි තාක් ශක්තිය යොදා අත ඇද්දා ය. මේ කලබලය නිසා මින්දුල බෙහෙවින් බිය වී කෑ ගසන්නට පටන් ගත්තේ ය. ඒ ඔහු ගේ හැටියකි. සිය පරිසර තත්වය වෙනස් වුව හොත් ඔහු අතිශය කලබල වෙයි. කෑ ගසා දඟලමින් හඬයි. ඒ තත්වය මැඩ පවත්වා ගැනීම පහසු නැත.

නමුත් මේ මොහොතේ ඒ හැඬීම ඇය ට ආශිර්වාදයක් වූයේ ය. මින්දුල ගේ ආක්‍රමණශීලී හැසිරීම මත සේනක තරමක් පසුබෑවේ ය

“මොන කරුමයක්ද මේ යක්ෂ පැටිය…”

ඔහු එසේ කියත්දී ආදිත්‍යා බැලුවේ රවා ගෙන වාගේ ය.

“ඇයි ඇයි මේ…”

සඳසීලී සඳැල්ලට ගොඩ වූයේ කලබලයෙනි. සේනක එහි සිටිනු දුටු ඇගේ ඇස් කුතුහලයෙන් ඇලලී ගියේ ය.

“ඒක තමයි මේ මාත් බැලුවෙ. කොහෙද ඉතිං…අපිට නලවන්න බෑනෙ. දැං ඉතිං මම්මා ඉන්නවනෙ”

කියමින් සේනක එතනින් ලිස්සා ගියේ ය. සඳසීලී ගේ ඇස් ඔහු යන පසු පස ඇදී ගියේ සැක සංකා පෙරදැරිව ය.

“මොකද්ද ආදිත්‍යා වුණේ…”

සඳසීලී ගේ ප්‍රශ්නය තුළ වූයේ එක ම ප්‍රශ්නයක් නොවේ. මින්දුල මේ විදිහට අඬන්නේ ඇයි, සේනක මෙතන කළේ මොකක්ද, මීට ටික වෙලාවකට කලින් මෙතැන සිදු වූයේ කුමක්ද වැනි ප්‍රශ්න ගණනාවක් ඒ තුළ ගැබ් වී තිබිණි.

“අපි මෙතන ඉන්නකොට තාත්තා ආව. පුතා බය වෙලා අඬන්න ගත්තා”

ඈ කීවේ බොරුවක් නොවේ. සිදු වූ දේ සැකෙවින් එසේ ය. සේනක කී දේවල් කෙසේ නම් සඳසීලී ගේ මූණ බලා ගෙන ඇය ට කියන්න ද?

කියන්නට බැරි කමක් නැත. නමුත් ඉන් සඳසීලී රිදුම් ලබනවා දකින්නට ආදිත්‍යා ට බැරි ය. ගැහැනියක වශයෙන් ඇය ආදිත්‍යා ට වචනයකින් හෝ නො රිදවූවා ය. ඒ වගේ නැන්දම්මලා ලොව සිටිත් දැයි සිතෙන තරමට ආදිත්‍යා ට කරුණාවත් වූවා ය. සිය සැමියා ඇගේ ම පුතු ගේ බිරිඳ ගැන අනවශ්‍ය උනන්දුවක් දක්වනවා යි දැන ගත හොත් ඇය ට කුමක් සිතේවි ද?

සඳසීලී මුණුපුරා ව සන්සුන් කිරීමට ලේලිය ට උදව් වූවා ය. ඉනික්බිති හෙමිහිට පහළ පහළට බැස සිය කාමරයට ගියා ය. ආදිත්‍යා ගේ මුහුණේ වූ බියපත් ගතිය ඈ හොඳින් දුටුවා ය. සේනක දරුවා ගේ හැඬීමට එතනට ගියා කියා ඇයට හඟවන්නට උත්සාහ කළත්, ආදිත්‍යා කීවේ ඔවුන් එතැන සිටියදී ඔහු ආ බවකි.

සේනක ගේ චර්යාව ගැන සඳසීලී නො දන්නවා නොවේ. ක්‍රියාකාරී දේශපාලකයෙකු වීම, ඔහු ගේ සල්ලාල ජීවිතයට ලැබුණ බලපත්‍රයක් සරි ය. සිය තරුණ වියේ දී නම් සඳසීලී ඔය කාරණා ගැන පස්සෙන් පන්නා ගෙන ගියා ය. නමුත් එක්තරා කාලයකදී ඕනෑ ම බිරිඳක් එවැනි කාරණා මත සිය සැමියා ලුහුබැඳීම නවතා දමන්නී ය. සඳසීලී සමාජ සේවයට යොමු වූයේ එසේ බිඳුණු හා හිස් වුණ හිතට ඔසුවක් ලෙසිනි. සමාජ සේවය වෙනුවෙන් කාලය වැය කරත්දී සේනක මත්තේ හැපි හැපි ඉන්නට ඇයට ඉස්පාසුවක් වූයේ නැත. අනිත් අතට ලෝකය ට විවර වෙත්දී එක පිරිමියෙක් ලෝකය කර ගෙන හිඳීමේ මානසික තත්වයෙන් පිටතට පිවිසීම ඉබේ ම සිදු වන්නේ ය.

ඔහු ඇසුරු කරන ගැහැනුන් ගැන කිසිවක් ම නො සොයා ගෙවී ගිය අවුරුදු ගණන කීය දැයි සඳසීලී ට ම මතක නැත. නමුත් සිය ලේලිය ආදිත්‍යා සමීපයේ සේනක හිඳිනු දකිත්දී ඇගේ පපුව ගැස්සී ගියේ ය. එය මහත් අපහසුතාවයක් දැනවූ හැඟීමකි.

සඳසීලී යහනේ වැතිර දෑස් පියා ගත්තා ය. මුළු සර්වාංගය ම දැවෙනවා සේ ඇය ට දැනේ. ආදිත්‍යා ගේ මූණ බලන්නට බැරි අපහසුතාවකින් හිත හිරි වැටී ඇත්තා සේ ඇය ට දැනේ.

නමුත් සාක්ෂි නොමැති ව කිසිත් පිළිබඳව පූර්ව නිගමන වලට එළැඹිය නො හැකි බව ද ඇය දැන සිටියා ය.

“අම්ම මං අපේ අම්මලගෙ ගෙදර ගිහිං එන්න යනව”

වැස්ස තුරල් වීමෙන් පසු සඳසීලී ගේ කාමරයට ආ ආදිත්‍යා දැනුම් දුන්නා ය. නැන්දම්මා මුණිවතින් බලා සිටියා පමණකි. නමුත් කියන්නට අහන්නට අපමණ දේ ඒ මුහුණේ ඉසියුම් රේඛා මත මැනවින් සනිටුහන් වී තිබිණි.

මහ ගෙදරට ගොඩ වෙත්දී හැමදාමත් සේ ම ආදිත්‍යා ගේ හදවතේ රිදුමැති බරක් ඇති විය. මේ ගෙදරින් පිට ව ගියා ට පස්සේ ඇත්තට ම සතුටෙන් සිටි එක දිනක් හෝ ඇගේ ජීවිතයට උදා වූයේ නැත. සැනසීමක් කියා දෙයක් හිමි විණි නම් ඒ මින්දුල පමණකි. ඔහු ද ඔටිසම් රෝගියෙකු බව දැන ගත් මොහොතේ ඒ සැනසීම හිරු දුටු පිනි සේ වාෂ්ප වී ගියේ ය.

“ලොකූ…”

පටු ඉස්තෝප්පුවේ වන බාල ලීයෙන් තැනූ හාන්සි පුටුවෙහි වැතිර උන් ජයලත් වරුසවිතාන සිය කෙසඟ සිරුර වාරු කර ගනිමින් කෙළින් වූයේ ය.

“තාත්තෙ…කොහොමද දැන් තාත්තට…”

ආදිත්‍යා මින්දුල වඩා ගෙන ම ජයලත් ළඟ නතර වූවා ය.

“වෙනසක් නෑ ලොක්කියෙ ඉතිං…මොන වෙනසක් ද අනිත් එක…මේව ඉතිං නිට්ටාවට හොඳ කරන්න පුළුවන් ලෙඩ නෙවෙයිනෙ. බෙහෙත් වල බලෙං ජීවත් වෙන එක තමයි …”

හදවත් රෝගියෙකු වූවා ට පස්සේ තාත්තා සිරුරෙන් වැහැරී පෙනුමෙන් වයස්ගත වූ සෙයක් ආදිත්‍යා ට දැනේ. නිරෝගී කාලයේ ඔහු ශක්තිමත් පෙදරේරුවෙකි. ජීවිතය කියන්නේ ලියා කියා පැහැදිලි කළ නො හැකි තරම් විහිළුවක් ය කියා ආදිත්‍යා සිතුවා ය.

“අම්ම කෝ තාත්තෙ…”

“ඔන්න කඩේට යනව කියල ගියා. මෙලහට එනව ඇති”

මින්දුල ව උකුල මතින් තබා ගනිමින් ආදිත්‍යා පරණ ඇඳි පුටුවකට බර වූවා ය.

“සීයා පුතේ මේ…පුතා ගෙ සීයා…කවුද…පුතා ගෙ සීයා”

ආදිත්‍යා මින්දුල ගේ සිත ජයලත් වෙත යොමු කරන්නට උත්සාහ කළත් එය පහසු කටයුත්තක් වූයේ නැත.

“දරුවට ප්‍රතිකාර ටික කෙරෙනව නේද පුතේ…”

“ඔව් තාත්තෙ. තෙරපි වලට වරද්දන්නැතුව අරං යනව මං. කොහොම හරි පුතාව සනීප කර ගන්න ඕනෙ තාත්තෙ”

“නැත්තං. අපිට ළමයින්ට වැඩි සම්පතක් තියෙනවද බං…අත පයේ හයිය තියෙනකල්…මේ කරුම ලෙඩේ හැදෙනකල් මාත් කරපු දෙයක් කළේ දරුවො වෙනුවෙන් තමයි. ඒකනෙ උං අද මෙහෙම අපිව බලා ගන්නෙ”

ආදිත්‍යා ගේ හිත දිය වී ගෙන ආවේ ය. නමුත් ඇය හඬන්නට ගියේ නැත. තාත්තා ලෙඩ ඇඳට වැටී සිටින මේ වෙලාවේ ගෙදර සියලු විය හියදම් දරන්නේ මල්ලී බව ඈ දනී. ඔහු ට එසේ කළ හැකි වූයේ වරාය අධිකාරියේ රැකියාව ලැබුණ නිසා ය. එය ලබා දුන්නේ සඳසීලී ගේ මැදිහත් වීම මත සේනක විජයවික්‍රම ය. ඒ ඇය විකුම් හා විවාහ වූ නිසා ය. ඒ විවාහය නිසා සිදු වූ එක ම යහපත් දේ එය පමණකි.

ආදිත්‍යා ගේ මවු  ලලිතා හාල් පහේ දැමූ මල්ලක් ද එල්ලා ගෙන ගෙට ගොඩ වූවා ය. ලොකු දුව දුටුවාටත් වඩා ඈ පිනා ගියේ මුණුපුරා මින්දුල ගේ මූණ දුටු සතුටට ය.

“මගෙ පැටිය ආච්චි බලන්න ආවද මැණිකේ…”

කියමින් ඕ මින්දුල වඩා ගන්නට ගියත් ඔහු ඊට ඉඩ නොදී හඬන්නට සූදානම් වූයේ ය.

“ආ නෑ නෑ නෑ…පුතා ඉන්නෙ අම්ම ළඟ…”

ආදිත්‍යා ඔහු ව සන්සුන් කර ගත්තේ, නැත්නම් එතැන විශාල කලබලයක් විය හැකි බව දන්නා නිසාවෙනි. ලලිතා ගේ හිතේ වේදනාවක් ඇති විය. අනිත් ආච්චි අම්මලාට සේ මුණුපුරන් හුරතල් කිරීමේ වාසනාව, මුණුපුරෙකු ලබා සිටියදී ම ඇය ට අහිමි ය.

“ඒක නෙවෙයි ලොකූ”

තේ එකක් බොන ගමන් කුස්සියේ දී ලලිතා රහසිගත ස්වරයකින් ආදිත්‍යා ඇමතුවා ය.

“මොකද්ද අර විකුම් ගෙ ගෑනු හුටපටයක් ගැන කතාවක් තියෙනවයි කියන්නෙ…”

ආදිත්‍යා බිම බලා ගත්තා ය. ඇමති පුතෙකුට ඇගේ අත බාර දෙන්නට පෙර අම්මලාට ඒ ගැන හිතන්නට තිබුණා කියා අම්මා ගේ හිත රිදවන්නට තරම් ආදිත්‍යා නපුරු වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content