පිනි සේල – 23

දිනයක් පුරා පැවති මිහිර සේදී ගියේ ඉක්මනින් ය. හිමල්ක අපව නිවසට හැර දා යන්නට ගියේ වදනකුදු නොදොඩා ය. ඊෂාත් මාත් දෙඅත් පටලා නිවසට ඇවිද ආවේ කල්පනාබරව ය. අයියා කොහේ යන්නට ඇති දැයි සිතමින් මම කාමරයට පැමිණියෙමි. ඇඟ සෝදා ඇඳට වැටුණ ද මට නින්ද ළඟා වූයේ ම නැත. ඊෂා කාමරයේ දොරට ගසන්නට පටන් ගත්තේ ඒ මොහොතේ ය.

“නින්ද යන්නේ නෑ පිනි..”

ඇය කොට්ටයක් ද ඔසවාගෙන විත් මගේ ඇඳට වැටුණා ය. අප දෙදෙනා කිසිම කතාවක් නැතිව අඳුරට දෑස් අලවා බොහෝ වෙලා ගෙවන්නට ඇත.
ඊෂාගේ දුරකථනය නාද වන්නට ගත්තේ එවෙලෙහි ය.

“මාලක අයියා..”

ඊෂා වහා නැගිට ගත්තා ය.ඉනික්බිති වූයේ කලබල ඇමතුමකි. ඇමතුම අවසන් කළ ඈ මා වැලඳ ගත්තේ හඬාගෙන ය.

“අනේ පිනී අයියව ඇක්සිඩන්ට් වෙලා..”

තාත්තාගේ අනතුර ගැන පණිවිඩය පැමිණි දිනයට පසු මා මෙතරම් කම්පනය කළ දවසක් තිබුණේ ම නැත.ඊෂා හඬ නඟා වැළපෙද්දී වචනයක්වත් කතා කරගත නොහැකිව ගල් ගැසී මම මිනිත්තු කිහිපයක්ම ගෙවූයෙමි. අනතුරුව පහත මාලයට දිව ගොස් ඊෂලාගේ අම්මාත් තාත්තාත් අවදි කර ගන්නට මට හැකි විය.

අංකල් රෝහලට පිටව ගියේ අප කිසිවෙකුට එන්නට තහනම් කරමිනි. නමුත් නිවසේ වාහනය රැගෙන අපේ දොරකඩ මතු වන්නට දිනුකට එතරම් වෙලාවක් ගත වූයේ නැත. ඉතින් අපි වහා රෝහලට ඉගිල ගියෙමු.

“ඇත්තටම ලොකු අවුලක් නෑ ආන්ටි… අර ඉන්නේ හොඳට.කකුල නම් ටිකක් අවුල්.”

මාලක අයියා ඊෂාගේ අම්මා සන්සුන් කළේ ය. අයියා ගියේ ඔහු හමු වන බව කියමිනි. කෙලි ඉව ක්‍රියා කරන්නේ එක්තරා ක්‍රමයක ට ය. මාලක අයියා හිඳින්නේ බීමතින් දැයි පරීක්ෂාවෙන් මම විමසිලිමත් වූයෙමි.

නැත. ඔහු තුළ එවන් සේයාවක් වත් වූයේ නැත.

“අයියව හම්බ වෙන්න අපේ මෝඩයා ආවේ ඇයි??”

ඊෂා ඔහුගෙන් විමසුවා ය.

“ආ.. මේ.. හදිසි ඕඩර්ස් වගයක් ගැන කියන්නනෙ චූටි..”

මාලක අයියා කතාව මඟ හැරී ය. නමුත් දිනුකත් හිමල්කත් සමඟ දිගු කතාවකට ඔහු මැදිව සිටින’යුරු මඳ වෙලාවකින් අපට දැක ගන්නට හැකි විය.

“අයියා මාලක අයියා මීට් වෙන්න ගිහින් නෑ..”

ඊෂා අම්මා සමඟ අයියාගේ රෝහල් කාමරය තුළට ගිය වහා දිනුක මට පැවසුවේ කල්පනාබරව ය.

“අයියා ආපහු ගිහින් අර හෝන්තුවට කතා කරලා. එතන මොකක් හරි වෙන්න ඇති පිනී.. ඊට පස්සෙ එනකොට තමයි ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ. අනික අයියා බීලා හැප්පිලාත් නෙවෙයි. කවුරුහරි එයාව හප්පගෙන ගිහින්නෙ..”

ඔහු කියවාගෙන යයි. මම බියපත් දෑස් ඇතිව බලා සිටියෙමි.

“තිවංකි එක්ක දැන් රිලේෂන්ශිප් එකක් තියෙන්නේ නාරද ගුණරත්න නේද? කතාවට කියන්නේ ඌ එච්චර හොඳ එකෙක් නෙවෙයි කියලනෙ.. ඌ හප්පගෙන යන්න ඇති. ඊයේ හිටියෙත් ඌ තමා..”

හිමල්ක පවසන්නේ කෝපයෙනි. මිනිසුන්ට මෙතරම් පහත් අඩියකට වැටෙන්නට හැකි කෙසේදැයි සිතමින් මම ඔහේ බලා සිටියෙමි.

ඉතා සැහැල්ලුවෙන් ගෙවී ගිය දවස් අවසන් ව ගියේ ය. අමෝද අයියා සැහැල්ලු මිනිසෙකුව හුන් දවස් අතීතයට එක්ව තිබිණ.රාත්‍රියේ වැඩ අවසන් කර විත් අපේ ව්‍යාපාරයේ අලුත් ම විස්තර බෙදා ගත් දවස් යළි පැමිණියේ නැත. ආන්ටිට පෝෂණීය ආහාර සකසන්නට සිතුණු දවසක පිටතින් කෑම ඕඩර් කරවා ඇගෙන් බැනුම් ඇසූ දවස් ඉතා දුර ගොස් අවසන් ය. අමෝද අයියා මට ඇමතුවේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය ම විටෙක පමණි. ඔහු නැවත “කෙල්ලන් පෙන්නන්නට බැරි මිනිහා” බවට පත් වී ඇතැයි කියමින් ඊෂා කඳුළු සැලුවා ය. බොහෝ රාත්‍රීන් වල ඔහු නිවසට ආවේ බීමතින් බව පැහැදිලි ය. කරන්නට කිසිත් තිබුණේ නැත. කිසිවක් සිහි වන්නේ ද නැත.

අමෝද අයියා සිතුවම් කළ “පිනි සේල පොරවාගත් පිනී” ප්‍රීතිමත් දෑසින් මගේ බිත්තියේ එල්ලී සිටියා ය. ඒ සිතුවම ප්‍රීතිමත් සිහිනයක අවසානයක් බව මට නොවැටහුණා නොවේ. ඇය ඒ ප්‍රීතිමත් දින කිහිපය මට ජීවිත කාලයටම සිහි ගන්වන්නට සමත් ය. අයියාගේ වෙනස් වීම දරා ගත නොහැකි තැන්වල ඒ සිතුවම දෙස ඔහේ බලාගෙන සිටීම මට පුරුද්දකට ගොස් තිබිණ.

මලිඳුව දිනක් සරසවි අංගනයේ දී හමු වූයේ හදිසියේ ය. ඔහු දකින්නට ම ඕනෑ වී තිබූ බව මට හැඟුණේ ඔහු දකිද්දී ය.

“පිනී.. ඔයා මොකෝ කිසිම සද්දයක් නැත්තේ..”

ඔහු මවෙත පැමිණියේ දිලිසෙන සිනාවකිනි. මහා වේදනාවක් දිය කර හරින්නට සමත් ඒ සිනාව පසුගිය දින කිහිපයකම හදවත වෙළා ගත් වේදනාව ඔහුට පවසන්නට මට බල කරන්නට ඇත.

මලිඳු කිසිත් නොකියාම මට සවන් දෙමින් කැන්ටිමට වී සිටියේ ය. අනතුරුව සිසිල් බීම බෝතලයක් මවෙත දිගු කරමින් ඔහුගේ කතාව ඇරඹුවේ ය.

“පිනී.. මම දන්නවා ඔයා මං ගැන හිතකින් ඉන්න විත්තිය. ඒත් මට කවදාකවත් ඔයාව එහෙම විශේෂයෙන් දැනිලා නෑ.අන්න ඒ හින්දා මං ඔයාට බලාපොරොත්තු දෙන්න කැමති නෑ.කවදාවත් දෙන්නෙත් නෑ.අමෝද මේ පහුගිය කාලේ පුරාවට ඔයාට හෝප්ස් දීලා දීලා දැන් එක පාරම අර නිළියක් දැකලා මොකක්ද ඒ නටන නාඩගම.. බලන්න ඔයාගෙ හැටි. ඇදිලා ගිහිල්ලා. ඒ මනුස්සයා ඔයාගෙ ජීවිතේ සෙල්ලමකට අරන්..”

ඔහු සැබෑ කෝපයකින් කියවාගෙන යයි. මම කඳුළු වැගිරෙන දෑසින් අසා සිටියෙමි.කෑගසා හඬන්නට උවමනා වුව ද මෙතැන යන්තම් වත් හඬන්නට නොහැක. සෙමින් ඉකි බිඳීම හැර මට කළ හැකි කිසිවක් තිබුණේ ම නැත.

“ඔයා ඔය යූස් වෙන එක නවත්තන්න පිනී.. මං අවුරුදු ගාණක් ඔයාගේ යාලුවා. මේ ළඟදි හම්බුණු මිනිස්සුන්ට ඔයා යූස් වෙන හැටි මට බලන් ඉන්න හරි අමාරුයි…”

මලිඳු දෑත් දිග හැර මා වැලඳ ගන්නට සූදානම් ය.නමුත් මට ඔහුගේ උරහිසේ හිස තබා ඉකි බිඳින්නට ඕනෑ විය.

අමෝද අයියා මට සමීප වූ පසු ඔහු මට නව බලාපොරොත්තු සොයා දුන්නේ ය. අපි මිතුරන් සේ එක් අරමුණු වෙත ඇවිද ගියෙමු. ඉතා ප්‍රීතිමත් දවස් මා ස්වාධීන යුවතියක් බවට පත් කරමින් තිබිණ. නමුත් ඒ සියල්ල හදිසියේ අවසන් ව ගොස් ය. මලිඳු මේ දෑත් දිගු කරන්නේ එවැනි අසරණ බවක සිටින පිනිදිට ය.

“මං උඩට යන්න ඕන මලිඳු.. අද ඊෂාත් නෑ. දිනුකත් කම්පැනි එකේ.ලෙක්චර් නෝට්ස් ටික ඕනමයි..”

හදිසි හැඟීමක් මා එතැනින් ඉවත් විය යුතු බවට බල කරද්දී මම වහා නැගී සිටියෙමි. විදුලි සෝපානය භාවිතා නොකර ම තුන් වැනි මහලේ අපේ දේශන ශාලාවට යන විට ද මගේ දෑසින් නොකඩවා කඳුළු ගලා හැලෙමින් තිබෙන්නට ඇත.

“පිනී.. මොකද ඕයි මේ…”

හිමල්ක දේශන ශාලාව අසල හිඳ මගෙන් ඇසුවේ ය. මලිඳුගේ මිත්‍රත්වය අමතක කර දිව ආ මට සහෝදර ප්‍රේමය ළඟ දිය නොවී ඉන්නට නොහැක. හිමල්කගේ උරයේ හිස ගසාගත් මගෙන් දවසක කදුළු දියව යන්නට පටන් ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles